ධර්ම පරාක්‍රමබාහු IX
(ක්‍රි.ව. 1503-1519) ලංකා ඉතිහාසයට විදේශාධිපත්‍යයේ බලපෑම් එල්ල වූ කාල වකවානුවක රාජ්‍ය පාලනය ඉසිලූ අයකු ලෙස ධර්ම පරාක්‍රමබාහු හැඳින්විය හැකි ය. 1509 වර්ෂය වන විට ලංකාවේ රජු මෙන් පෙනී සිටි වීර පරාක්‍රමබාහු රජ තෙමේ තමන් මහලු වියට එළඹෙත් ම රාජ්‍ය පදවියේ කාර්යභාරය සිය පුතුන් වෙත පවරා විවේකීව කාලය ගත කළේ ය. ඔහුගේ වැඩිමහල් පුතු වූයේ ධර්ම පාරක්රමබාහු ය. ඔහු කෝට්ටේ රාජ්‍ය පදවියේ කටයුතු මෙහෙය වූ අතර දෙවැනි පුත් විජයබාහු දකුණු ලක දෙවුන්දර ද තෙවැනි පුත් රාජසිංහ සතර කෝරළයේ ද නම සඳහන් නැති සිවු වැනි පුතු රයිගම ද පාලනය ගෙන ගියහ.
මහලු පියාගෙන් මරණින් පසු සිහසුනේ උරුමය සඳහා වැඩිමහල් කුමරුන් දෙදෙනා අතර අරගලයක් ඇති විය. වීර පරාක්‍රමබාහු රජුගේ කාලයේ සිට ම රාජ්‍ය පදවියේ කටයුතු කළ ධර්ම පරාක්‍රමබාහු රජුට වැසියන් වැඩි දෙනෙකු පක්ෂපාතිත්වය පළ කළ බව කියැවේ. මෙම කාලයේ දී ලංකාවට පැමිණ පෘතුගීසි තානාපති පිරිස පිළිගත් ධර්ම පරාක්‍රමබාහු රජු සිය බෑණා භයගන්වනු පිණිස පෘතුගීසීන්ගේ උපකාරය ඉල්ලා සිටියේ ය. ඊට ප්‍රත්‍යුපකාර ලෙස කොළඹ කොටුව අසල බිම් කැබැල්ලක් දෙන බව ඔහු පවසා ඇත. මෙම අවධියෙහි පෘතුගීසීන් වෙනත් කටයුතුවල නියැලී සිටි හෙයින් ඒ සඳහා මැදිහත්වන්ට අවකාශ ලැබී නොමැත.
නව වැනි ධර්ම පරාක්‍රමබාහු රජුගේ කාලයේ දී ලංකාවේ සිටි ප්‍රදේශීය පාලකයින් කෝට්ටේ රාජධානියේ අණසක නොපිළිගැනීමට පෙළඹුණු අවස්ථා දෙකක් ගැන සඳහන් වේ. ඉන් එක් අවස්ථාවක් නම් කන්ද උඩරට රාජ්‍යය භාරව සිටි සේනා සම්මත වික්‍රමබාහු පාලක තෙමේ කෝට්ටේ රජුට කප්පම් ගෙවීම අත්හිටුවීමයි. මෙම අවධිය කෝට්ටේ රාජධානියට බාහිර තර්ජන එල්ලවෙමින් පැවැති වකවානුවකි. දකුණු ඉන්දියාවේ කායල්පට්ටනමේ සිට පැමිණි මුහුදු කොල්ලකරුවෝ හලාවතට පහර දුන්හ. කෝට්ටේ යුවරජ තනතුර දැරූ සකල කලාවල්ලභ කුමරුන් ඔවුන් මෙල්ල කිරීම සඳහා යවනු ලැබී ය. මෙයින් ප්‍රයෝජන ගත් සේනාසම්මත වික්‍රමබාහු අවුරුදු පතා කෝට්ටේට ගෙවන අය පඬුරු පමණක් නොව රාජකාරිය සඳහා මිනිසුන් යැවීම ද නතර කෙළේ ය. තමාගේ නමින් කාසි නිකුත් කොට ප්‍රභූවරුන්ට ඉඩම් ප්රදානය කිරීම ඇරඹීමෙන් ස්වකීය ස්වාධිපත්‍යය තහවුරු කර ගැනීමට ඔහු උත්සාහ දැරී ය. මෙම අවස්ථාවේ දී ධර්ම පරාක්‍රමබාහු රජු, මැණික් කඩවර සිටි තම සොහොයුරු ශ්‍රී රාජසිංහ කුමරුන් යටතේ හමුදාවක් උඩරටට යැවී ය. මෙවිට යටත්භාවය පළ කළ වික්‍රමබාහු සාමයට කැමැත්ත පළ කෙළේ ය. 1505 වසරේ දී පෘතුගීසීන් ලක්දිවට ගොඩබට හෙයින් ධර්ම පරාක්‍රමබාහු රජු සිය ප්‍රාන්ත පාලනයේ නිරතව සිටි සොහොයුරන් කෝට්ටේ ට කැඳවී ය. එම අවස්ථාවේ දී ද වික්‍රමබාහු පූර්ණ ස්වාධීන රජකු සේ කන්ද උඩරට ක්‍රියාකරන්ට පටන් ගත්තේ ය. එම නිසා ධර්ම පරාක්‍රමබාහු රජු නැවත සකල කලාවල්ලභ කුමරුන් යටතේ කන්ද උඩරටට සේනාවක් යැවී ය. ඔවුන් යටිනුවර අල්ලා ගැනීමෙන් පසු වික්‍රමබාහු යටත් විය.
1518 දී නැව් කණ්ඩායමක් රැගෙන ලංකාවට පැමිණි ලෝපෝ සුවාරිස් ද අල්බගේරියා ගාල්ලට සේන්දු වී කෝට්ටේ රජ වාසලට දූතයකු පිටත් කර යැවී ය. එම දූතයා පිළිගැනීම සඳහා ධර්ම පරාක්‍රමබාහු රජු කොළඹට පැමිණියේ ය. මෙකල කොළඹ බලවත් ව සිටි මුස්ලිමුන් යටත්කර ගැනීමට නම් කොළඹ බලකොටුවක් පිහිටුවිය යුතු යයි අල්බගේරියා තරයේ ම රජුට දැනුම් දී ඇත. එහෙත් මුස්ලිමුන්ගේ බලවත් ඇවටිල්ල නිසා රජු සිය අදහස් වෙනස් කෙළේ ය. මුළු රට ම පෘතුගීසින්ට එරෙහිව මෙහෙය වූ මුස්ලිම්හු කොළඹ පිහිට වූ පෘතුගීසි ගබඩාව සුන්කර දමා එහි කාලතුවක්කු සවි කරන ලද ආරක්ෂක ස්ථානයක් තැන වූහ. ඉන් අනතුරුව කොළඹ වෙරළට සේන්දු වූ පෘතුගීසි නැව්වලට වෙඩි තැබූහ. මෙයින් කුපිත වී ප්‍රතිප්‍රහාරයක් ඇරඹූ අල්බගේරියා ප්‍රතිකාල් හමුදාවක් ගොඩ බඳවා මුස්ලිම් බලය මැඩ කෝට්ටේ නගරය දෙසට සේනාව මෙහෙයවී ය. එහෙත් අතර මඟ සැඟ වී සිටි සිංහල සේනාවෝ පෘතුගීසින්ට පහර දී ඔවුන් පලවා හැරියහ. එහෙත් ඉන් නොනැවතුණු පෘතුගීසිහු, මුස්ලිම් විරෝධය ද නොතකා මැටි බදාම හා ගල් යොදා බලකොටුවක් ඉදි කොට එහි කාලතුවක්කු සවිකළහ. විය හැකි විපත වටහා ගත් ධර්ම පරාක්‍රමබාහු රජ තෙමේ යළි සාකච්ඡා ඇරඹීම සඳහා සිය දිසාවේ පිටත් කොට එවී ය. දීර්ඝ සාකච්ඡාවකින් පසු සිංහල රජු ප්‍රතිකාල් රජුට යටත් සාමන්ත රජකු ලෙස පිළිගැනිණ. ඉන්පසුව පළමු ව ඇති කර ගත් ගිවිසුම අලුත් කරන ලෙසත් කප්පම් ගෙවන ලෙසත් අල්බගේරියා රජුට දැන්වී ය. තානාපති දූත හුවමාරුවකින් පසුව පළමු ගිවිසුමේ වෙනස්කම් කිහිපයක් සිදුකොට ආරවුල සමථයකට පත්කෙරිණ. මෙම ගිවිසුම අනුව අවුරුදු පතා කුරුඳු බහාර් හාර සියයක් ද රතු මැණික් එබ්බූ රන් මුදු විස්සක් ද ඇතුන් දස දෙනෙකු ද ලංකාවේ රජු විසින් සැපයිය යුතු විය. ඒ වෙනුවට නැව් තොටවල් ආරක්ෂා කිරීමට ද සතුරන්ට විරුද්ධ ව කරන සටන්වල දී උදව්දීමට ද පෘතුගීසිහු ගිවිසියහ.
බලකොටුවක් ඉදිකිරීමට පෘතුගීසින්ට ඉඩදීම ගැන කුපිත වූ මහජනතාව රජුට විරුද්ධ ව නැඟීසිටියහ. කෝපාවිෂ්ඨ වූ පිරිසක් එක් රාත්‍රියක කොටුබැම්මේ කොටසක් කඩා දැමූහ. මේ පිළිබඳ ව පෘතුගීසින් ධර්ම පරාක්‍රමබාහු රජුට පැමැණිලි කළ ද රජුට කළ හැකි දෙයක් නොවී ය. ඊට හේතු වූයේ තම පවුලේ අයම සැහැසිකම් කිරීමට ජනතාවට අනුබල දුන් හෙයිනි. මෙසේ දේශීය හා විදේශීය බලපෑම්වලින් පීඩාවට පත් ධර්ම පරාක්‍රමබාහු රජු ක්‍රි.ව. 1519 දී මිය ගියේ ය.
ආශ්රිත ග්රන්ථ
1. උඩරට රාජධානිය 1470 - 1818 (ටිකිරි අබේසිංහ, ශ්‍රීමති දේවරාජ, පී.වී.පී. සෝමරත්න)
2. Political History of the Kindom of Kotte. 1400 - 1521 (G. V. P. Somarathna)
3. පරංගි යුගයේ හෙළදිව (ක්වේරෝස්, බරෝස්, රුබෙයිරෝ හා වෙනත් අය) රෝහණ පොන්නම්පෙරුම
4. ලංකා ඉතිහාසය - පෘතුගීසි යුගය (එස්.ජී. පෙරේරා පියතුමා)
5. ශ්‍රී ලංකාව පරාධීන සමය අංක 1 (එස්.එෆ්. ද සිල්වා, ඊ.ආර්. එරත්න)
(කර්තෘ: දයාපාල ජයනෙත්ති)
(සංස්කරණය නොකළ)