ධෘතරාෂ්ට්‍ර-1

සිංහල විශ්වකෝෂය වෙතින්
(ධෘතරාෂ්ට්‍ර වෙතින් යළි-යොමු කරන ලදි)
වෙත පනින්න: සංචලනය, සොයන්න

ධෘතරාෂ්ට්‍ර

ලෝක පාලක සතරවරම් දෙවියන් වශයෙන් දක්වන පුද්ගල නාම අතුරින් මුලින් ම හමුවන නාමය ධෘතරාෂ්ට්‍ර ය. සංස්කෘත භාෂාවෙන් ධෘතරාෂ්ට්‍ර, බ්‍රැතරාෂ්ට්‍ර යනුවෙන් ද පාලි භාෂාවෙන් ධතරට්ඨ යනුවෙන් ද මොහු හඳුන්වනු ලැබේ. ධර්මයට හෙවත් සෘතයට අධිපති වූ හෙතෙම අධ්‍යාත්මයේ ද පාලකයා විය. ඍග්වේද යුගයේ පටන් ම ආකාසට්ඨ (ආකාශස්ථ) දෙවියකු විය. මොහු, දෙවියන්ගේ රජු යන අදහසින් ‘සාමුජ’ වූ අතර වරුණ, සෝමරක්ෂ, ධෘතවෘත, ධෘතරාෂ්ට්‍ර යන නම්වලින් ද හැඳින්වෙන බව එම යුගය කෘතීන්ගෙන් පෙනේ. ගන්ධර්ව නම් ජීව කොට්ඨාසයකට මෙම සෝමරත්න (ධෘතරාෂ්ට්‍ර) අධිපතිත්වය දැරූ බව ද සෘග්වේද සංගිතාවන්ගෙන් ද පැහැදිලි වේ. අථර්වවේද හා මහාභාරත යුගය දක්වා ම බටහිර දික්පති වශයෙන් කටයුතු කරන වරුණ (ධෘතරාෂ්ට්‍ර) බුද්ධකාලීන යුගය වන විට පූර්වදිශා භාර ව කටයුතු කළ බව දීඝනිකාය අනුව පෙනේ.

මහාභාරත යුගයේ මායාකාර දේව යෝනියක් ලෙස කටයුතු කරමින් ගණනින් ද වැඩෙමින් ක්‍රියාත්මක වූ මෙම ගාන්ධර්ව පිරිස, බුද්ධකාලයේ දී ශක්‍රාදීන්ට සංගීතය සපයන දිව්‍යමය සේනාවක් විය. ඔවුන්ගේ නායකත්වය ලැබුණේ ධෘතරාෂ්ට්‍රයනට ය.

බුද්ධකාලයේ දී හමුවන ධෘතරාෂ්ට්‍ර ශක්‍රගේ මූර දෙවියෙකි. මේ හැර ධජග්ග ආදි සූත්‍ර රැසක දී වරුණ නමින් හැඳින්වෙන, ඉන්ද්‍ර (ශක්‍ර) සහායක වෙනත් දෙවියෙකු ද හමුවේ. මේ අනුව වෛදික යුගයේ එක ම දෙවියෙකු ලෙස පිදුම් ලද වරුණ (ධෘතරාෂ්ට්‍ර) බුද්ධකාලය වන විට බලයෙන් පිරිහෙමින් වෙන් වූ නිදහස් දෙදෙනෙකුගේ තත්වයෙන් ක්‍රියා කළ බවට ද සාධක පවතී (A History of Sanskrit Literature – McDonald, A History of Sanskrit Lit. – Winternitz).

බෞද්ධ සාහිත්‍යයට අනුව ධෘතරාෂ්ට්‍ර ඇතුළු ගාන්ධර්වයන් වෙසෙනුයේ චාතුම්මහාරාජිකය නම් දිව්‍යලෝකයේ ය. එම දිව්‍ය ලෝකය ඒ නමින් ප්‍රකට වූයේ ධෘතරාෂ්ට්‍ර, විරුද්ගත, විරූපාක්ෂ, වෛශ්‍රවණ යන සිවුවරම් (චාතුම්මහාරාජික) දෙවියන් නිසා බව පෙනේ. බොහෝ අවස්ථාවල ධෘතරාෂ්ට්‍ර යන පුද්ගලවාචී නාමයෙන් නොව, චාතුම්මහාරාජික යන සමූහවාචී නාම පදයෙනි, මෙම රජුන්ගේ කාර්යභාරයන් පිළිබඳ ව සඳහන් වනුයේ. මෙකී චාතුම්මහාරාජික අතර දී ප්‍රධානියා වශයෙන් කටයුතු කර ඇත්තේ ධෘතරාෂ්ට්‍රයන් බව පැහැදිලි ය. චාතුම්මහාරාජිකය පිහිටා ඇත්තේ මහාමේරු පර්වතයේ බවත් මහාමේරුව මෙම චක්‍රාවලිය හරිමැද පිහිටා ඇති බවත් බෞද්ධ සාහිත්‍යයේ සඳහන් වේ. ශක්‍රයේ තාවතිංසයට ම අයිති දිව්‍ය ලෝකයක් ලෙස ද චාතුම්මහාරාජිකය සඳහන් ව ඇත.

මුළු මහත් විශ්වයේ මෙම චක්‍රවාලය (ලෝකය ඇතුළු අප්‍රමාණ ලෝක සංඛ්‍යාවක් පවතින බවත් ඒ හැම ලෝකයක් පාසා ම මෙවැනි ම ලෝකපාලක දෙවියන් ද වෙසෙන බවත් බෞද්ධ කෘතීන්හි වැඩිදුරටත් සඳහන් වේ. පාලි බසින් රචිත කෘතීන්හි පමණක් නොව, සංස්කෘත බසින් රචිත කෘතීන්හි ද සඳහන් වන ආකාරයට, ලෝකපාලක දෙවිවරු යනු බුදුරදුන්, බෝසත්වරුන් මෙන් ම සෑම ධාර්මික මිනිසුනට ද උපකාරී වූ රැකවරණය ලබා දුන් පිරිසකි. බුද්ධ චරිතයේ හැම වැදගත් අවස්ථාවක ම ධෘතරාෂ්ට්‍ර ප්‍රමුඛ සිවුවරම් දෙවියන්ගේ අනුග්‍රහය නොමඳ ව ලද බව පෙනේ. මෙම දෙවිවරුන් මනුෂ්‍යයන් නොවුණත්, ඉපදීම, මරණය හා නැවත ඉපදීම උරුම කරගත්, යහපතට - ගුණයට ගරු කරන සත්ව කොට්ඨාසයක් වූ බව පෙනේ.

දීඝනිකායට අයත් (මහාගෝවින්ද ආදි) සූත්‍ර කිහිපයක ම ධෘතරාෂ්ට්‍ර පිළිබඳ තොරතුරු හමුවේ. ජනවසභ නම් යක් සෙනෙවියකුව උපත ලබන බිම්බිසාර රජු, තාවතිංසවාසී ශක්‍ර දෙවියන්ගේ සුධර්මා ධර්ම සභාවේ ධෘතරාෂ්ට්‍ර ප්‍රමුඛ චාතුර්මහාරාජික දෙවියන් අසුන් ගත් අන්දම විස්තර වේ. එකී ධර්ම සභාවට ප්‍රවිෂ්ට වන ධෘතරාෂ්ට්‍රයන් අසුන්ගනු ලබනුයේ බටහිරට මුහුණලා ය. ඔහුගේ මහත් වූ පරිවාර සේනාව ඔහුට පිටුපසින් අසුන්ගත් බව ද සඳහන් කර ඇත.

මහාගෝවින්ද සූත්‍රයේ (දීඝනිකායII) දැක්වෙන පරිදි පංචසිඛ නම් ගාන්ධර්ව දිව්‍යපුත්‍රයා, ශක්‍ර දෙවියන්ගේ ප්‍රධානත්වයෙන් (සුධර්මා සභාවේ) පැවැත්වූ මහාසම්මේලන දෙකකට ධෘතරාෂ්ට්‍ර සපිරිවරින් පැමිණි ආකාරයත්, සත් දෙවිඳුන් බුදුගුණ වණද්දී ඔහු ඊට සවන් දී සිටි ආකාරයත් සඳහන් වේ. මෙකී ධර්ම සභාවලට සියලු ම දිව්‍ය ලෝකවල වෙසෙන සකල දිව්‍ය ගණයා ම සහභාගී වූ බව පෙනේ. කිඹුල්වත්නුවර පැවතුණු මහා ධර්ම සම්මේලනයකට, ධෘතරාෂ්ට්‍රයන් සහපිරිවරින් පැමිණි අන්දම බුදුන්වහන්සේ ම විස්තර කරන ආකාරය මහාසමය සූත්‍ර දේශනාවේදී (දීඝනිකාය - II) හමුවේ. රජගහ නුවර වසන කුම්භීර යක් සෙනෙවියන් සිය යක් පිරිස පිරිවරාගෙන බුදුන් ප්‍රමුඛ පන්සියයක් රහතන් වහන්සේ වැඩම කොට දම් දෙසීමට ආසන්න මොහොතේ එතැනට පැමිණියේ ය. අනතුරුව එම ස්ථානයට පැමිණියේ ධෘතරාෂ්ට්‍ර ඇතුළු ගාන්ධර්ව පිරිසයි. ඒ සමග ඔවුන්ගේ සේවකයන් වන මායා, කුටෙන්ඩු, වේටෙන්ඩු, විටූ, විටූච්ච, චන්දන, කාමසෙට්ඨි, කින්නුඝණ්ඩු සහ නිඝණ්ඩු යන පිරිස ද පැමිණි බව කියැවේ.

මෙකී පිරිස අතුරින් අවසානයට සඳහන් සිවු දෙනාගේ නාමයෙන් ධෘතරාෂ්ට්‍රයන්ගේ සේවකයන් හැටියට ආටානාටිය සූත්‍රයේදීද කියැවේ.) මෙම සූත්‍රයේ වැඩිදුරටත්, ධෘතරාෂ්ට්‍ර පෙරදිගට අධිපති බවත්, ගාන්ධර්වයන්ගේ රජු බවත්, මහා බලවත් සේනාවක් සතුව සිටින බවත් පැහැදිලි කොට ඇත.

ධෘතරාෂ්ට්‍රයන් පිළිබඳ දීර්ඝ මෙන් ම විවිත්‍ර තොරතුරු රැසක් ඇත්තේ ආටානාටිය සූත්‍රයේ ය. (දීඝනිකාය - III) විශේෂ ශාරීරික බලවේග සහිත වූ ඉන්ද්‍ර නමින් හැඳින්වෙන පුතුන් 91 (අනූ එක්) දෙනෙකු ධෘතරාෂ්ට්‍රයන්ට වූ බව එහි සඳහන් වේ. එම විශේෂ බලවේග ලෙස, ඉද්ධිමන්ත (ඍද්ධි බලය), ජූතිමන්ත (ප්‍රභව), වණ්ණවන්ත (වර්ණය), යසස්සිනො (ප්‍රසිද්ධිය)ත් විස්තර වේ. එලෙසින් ම ධෘතරාෂ්ට්‍රයන් ද සිය අනුග්‍රාමිකයන් අතර දස ආකාරයකින් වෙනස් ව කැපී පෙනුණ බව එහි සඳහන් වේ. එනම්, ආයු (ආයුෂ), වණ්ණ (රූපය), සුඛ (සැපවත් බව), යස (ප්‍රසිද්ධිය), අධිපති (ආධිපත්‍යය = බලය), රූප (රූපකාය සම්පත්තිය), සද්ද (ශබ්ද = මිහිරි හඬ), රස (රස), පොට්ඨබ්බ (ස්පර්ශය) යනු ඒ දස ආකාරයයි. මතු අත්බැවහි සැප පතා කුසල් ධර්ම සිදු කරන පෘථග්ජනයා මරණින් මතු, ධෘතරාෂ්ට්‍රයන්ගේ දේව මණ්ඩලයේ උපදින බව වැඩි දුරටත් ආටානාටිය සූත්‍රයේ සඳහන් වේ. සැදැහැවත් බෞද්ධයන් වන ධෘතරාෂ්ට්‍ර ඇතුළු පිරිස, අතීතයේ ද බුදුවරුන් සත් නමකට උපකාර කිරීම් හා රැකවරණය සැලසීම් මගින් විශාල සේවයක් සිදු කොට ඇත.

දීඝනිකායේ සූත්‍රවලට අමතරව ධෘතරාෂ්ට්‍ර පිළිබඳව පෙළ (පාළි) බසින් ලියූ කෘතියක හමු වනුයේ ජාතක කථා දේශනාවලියේ දී ය. එනම් සිරි කාලකණ්ණි ජාතකයේ දී ය. එහි විස්තර වන පරිදි ශ්‍රියාවට අධිපති වන්නා වූ ලක්ෂ්මී නැතහොත් 'ශ්‍රියාකාන්තාව' නමින් හඳුන්වන දෙවඟනගේ පියා, ධෘතරාෂ්ට්‍ර ය. ඇයට විරුද්ධ වූ දේවිය නැති නම් කාළකණ්ණියගේ පියා වනුයේ විරුල්හක ය. ඉහත කී දියණියන් දෙදෙනා අතර අනෝතත්ත විලෙන් නෑමේ දී, කවුරුන් පළමුවෙන් දියට බැසීමට සුදුසු වන්නේ ද යන්න පිළිබඳ ප්‍රශ්නයක් ඇතිවිය. පසුව එය ගැටුමක් දක්වා ම වර්ධනය විය. එම පැනය විසඳීමට සිවුවරම් දෙවියන් අපොහොසත් වූ තැන අවසාන විසඳුම ලබා ගන්නේ ශක්‍ර දෙවියන්ගෙනි. එම පැනය ශක්‍ර විසඳනුයේ විලේ දියට බැසීම පිළිබඳ පළමු අයිතිය ධෘතරාෂ්ට්‍රයන්ගේ දියණිය වන ශ්‍රියාව සතු කරමිනි. පාලි භාෂාවෙන්, පසු කාලෙක දී ලංකාවේ රචිත මහාවංස ටීකාව වන වංසත්ථප්පකාසිනී නම් ග්‍රන්ථය අනුව ලංකාවේ මුල් ම රජු වන විජය ඇතුළු පිරිස ඉන්දියාවේ සිට ලංකාවට නැව් නැග එද්දී, එම පිරිස රැක ගන්නැ'යි බුදු හිමියන් ශක්‍රයන්ට භාර කළ බව සඳහන් වේ. වැඩි දුරටත් කරුණු දක්වන එම කෘතිය, ශක්‍ර විසින් එම කාරිය වරුණ දෙවියනට (කලින් විස්තර කළ පරිදි ධෘතරාෂ්ට්‍රයන්ට) පැවැරූ බවත් සඳහන් වේ (වරුණ යනු විෂ්ණු නැතහොත් උපුල්වන් දෙවියන් ම වන බව ආචාර්ය සෙනරත් පරණවිතානයන් සිය 'The Shrine of Upulwan at Dewundara' නම් කෘතියෙන් පෙන්වා දී ඇත).

සංස්කෘත භාෂාවෙන් රචිත බෞද්ධ කෘතිවල ද සතරවරම් දේව සංකල්පය පිළිබඳ ව සඳහන් වේ. ඒවායේ ධෘතරාෂ්ට්‍රයන් පිළිබඳ ව සුවිශේෂ කරුණු කියැවෙන අවස්ථා පවතී. මූලසර්වාස්තිවාදීන්ගේ විනය පිටකයේ, සතරවරම් දෙවියන්ගේ පූර්ව භවයක විස්තර සටහන් ව ඇත. භික්ෂූන් වහන්සේලා භවාග්‍රයෙන් වැසී පවතින ලෝකපාලක දෙවියන් පිළිබඳ අතීත තොරතුරු ගෞතම බුදුහිමිගෙන් විමසයි. කාශ්‍යප බුදුරදුන් දවස සිදුවීමක් ගෞතම බුදුහිමියෝ විස්තර කරන්නාහ.

කාශ්‍යප බුදුහිමි දවස මහාසාගරයේ 'ශ්වාස හා මහාශ්වාස' නම් නාරජුන් දෙදෙනෙක් ජීවත් වූහ. නාගුරුළු වෛරය පූර්ව යුගවලට ද පොදු වූ දෙයකි. ඒ අනුව සුපර්ණයන් (ගුරුලන්) විසින් හඹා එනු ලබන නාගයන් පාතාල ලෝකයට වැද දිවි රැක ගැනීම සිරිතකි. එහෙත් කාශ්‍යප බුදුරදුන් පිළිබඳ පුවත අසා උන්වහන්සේ සරණ යන නාරජුන් දෙදෙනා, තමන් හඹා එන අට්ඨේස්සර (අෂ්ටේෂ්වර) හා චූඪේස්සර (චූලේශ්වර) දෙදෙනා ප්‍රමුඛ සුපර්ණයන් දැක තැති ගෙන දිව ගියේ නැත. ඒ ගැන පුදුමයට පත් සුපර්ණයන්, නා රජුගෙන් ඊට හේතු විමසන ලදුව, තමන් දැන් බුදුරදුන් සරණ ගිය උපාසකයන් බැවින් බියවීමට කරුණු නොමැති බව පවසන ලදි. සුපර්ණයන්ට ද බුදු හිමි සරණ යාමේ අභිලාෂය ඇති විය. ඒ අනුව ඔවුන් දෙපිරිස ම යොදාගත් දිනක, කාශ්‍යප බුදුහිමි හමුවට ගියහ. අතීතයේ විසූ වරම් දෙවියන් සිවුදෙන කසුප් බුදු හමුවට පැමිණ සමුගෙන යාමට ආසන්න මොහොතේත් එය ම විය. නා-ගුරුලු දෙපිරිස ම තෙරුවන් කෙරේ පැහැද සරණ ගොස් මතු භවයක එවැනි ම වරම්රජුන් වීමේ වරය දෙන ලෙස බුදුහිමිගෙන් අයැදී ය. කාශ්‍යප බුදුරජාණන් වහන්සේ, මතු ගෞතම බුදුහිමි දවස ශ්වාස, 'ධ්‍රැතරාෂ්ට්‍ර' නමින් ද මහාශ්වාස, 'විරුල්හක' නමින්ද අට්ඨේශ්වර 'විරූපාක්ෂ' නමින් ද චූඩේශ්වර 'වෛස්ශ්‍රවණ' නමින් ද එකී පදවි ලබන බව දෙසූහ. එසේ ම මන්දාකිනි නදිය අසබඩ දී මෙලෙස ම ධර්මශ්‍රවණය කරනු ලබන බව ද පැවසූහ.

මූලසර්වාස්තිවාදීන්ගේ විනය පිටකයේ තවත් එබඳු සටහනකි. ගෞතම බුදුහිමි උඳුමා නුවර වැඩ ‍වෙසෙන සමයේ මන්දාකිනි විල අසබඩ පෙදෙසට දිවා විහරණය පිණිස වැඩම කළ අවස්ථාවේ උන්වහන්සේට වැඩ හිදුනා පිණිස අසුන් පණවනු ලැබූයේ වෛශ්‍රවණ විසිනි. එකී සෙනසුනේ බුදුහිමි වැඩ හිඳිනා කල උන්වහන්සේ හමුවට මුලින් ම පැමිණුණේ ධෘරාෂ්ට්‍රයන් ය. සිය දහස් සංඛ්‍යාත පිරිවර සෙන් සමඟින් පැමිණෙන ධෘතරාශ්ට්‍රයන් අප්‍රමාණ දිව්‍ය මාණික්‍ය (දිව්‍යමාණි සමූහයෙන්) බුදුහිමි අභියස අතුරවා උන්වහන්සේ නැමද එකත්පස් ව, පෙරදිග දිසාවට වී බටහිරට මුහුණලා අසුන්ගත් බව එම කෘතිය දක්වාලයි. එකී දේශනාවේ අන්තර්ගත තවත් වැදගත් සඳහනක් වනුයේ බුදුහිමි ආර්ය හා දස්‍යු යන ද්විභාෂාවෙන් ම ධර්මය දේශනා කළ බවයි. එයට හේතුව හැටියට දක්වනුයේ ධෘතරාෂ්ට්‍රයන් හා විරුළ්හකයන් ආර්යයන් බවත් විරුළ්හයන් හා වෛශ්‍රවණයන් දස්‍යුන් බවත් දෙපක්ෂයට ම වැටහෙන පරිද්දෙන් බුදුහිමි දම් දෙසීමට භාෂා දෙක ම යොදාගත් බවත් ය. බුදුහිමි, ‘මහා රජුනි,’ යනුවෙන් ධෘතරාෂ්ට්‍රයන් අමතා ජාති, ජරා, ව්‍යාධි, මරණ නොමැති තැන දුක නැති බව පැහැදිලි කරමින් ධර්මය දෙසා ඇත. ධර්ම දේශනාව නිමා වන විට ධෘතරාෂ්ට්‍රයන් සත්‍යාවබෝධය කළ බව එම ග්‍රන්ථයේ වැඩි දුරටත් සඳහන් වේ.

සංස්කෘත භාෂාවෙන් රචිත ලලිතවිස්තරයට අනුව ත්‍රපුෂ (තපස්සු) හා භල්ලික (භල්ලුක) යන වෙ‍ෙළඳ දෙබෑයන් දුන් දානය පිළිගැනීමෙන් අනතුරුව බුදුහිමි, ධෘතරාෂ්ට්‍රයන්ගේ දේව මණ්ඩලයේ නක්ෂත්‍ර (දෙවියන්) හතකට, 'ලෝක පාලක දෙවියන්' යන නාමයෙන් පින් පැමිණ වූ බව සඳහන් වේ. තවත් තැනෙක ධෘතරාෂ්ට්‍රයන් තම කටයුතුවල දී තම දේව සභාවේ සිටි හිරු දෙවියන් හවුල් කරගත් බව ද දක්වා ඇත. ලෝක ව්‍යවහාරයට අනුව නක්ෂත්‍ර විසිඅට ලෙස සලකනු ලබන දෑ එම දේශනාවේ දී දෙවියන් ලෙස හඳුන්වාදී ඇත.

සංස්කෘත මිශ්‍රිත සාහිත්‍යය තුළින් මහායානික හා තන්ත්‍රයානික ආභාසිත සංකල්ප දක්වා ලෝක පාලක දේව අදහස් විකාශනය වූ බව පෙනේ. එම විකාශනයන් ඔස්සේ ථේරීයවාදී ස්වරූපයට වඩා වෙනස් මගක් ගත් චීන, ටිබෙට් හා ජපන් ආගමික සාහිත්‍යය තුළ, ධෘතරාෂ්ට්‍රයන් ද ස්වරූපය අතින් වෙනස් වූ මගකට අවතීර්ණ වූ බව පෙනේ. චීනයට සතරවරම් දේව විශ්වාසය ගෙන යනු ලැබුවේ අමෝඝව්‍රජ විසින් බවත් ඒ ලංකාවේ සිට බවත් චීන වැසියන් විශ්වාසය කරනු ලැබේ. එම සිදුවීම වී ඇත්තේ ක්‍රි.ව. 733 දී ය. චීනයේ සතරවරම් දේවසංකල්පය විකාශනය වූයේ අවුරුද්දේ ඍතු හතරට ආරෝපණය වුණු ආකාරයක් ගනිමිනි. පෙරදිගට අධිපති, ගාන්ධර්වයනට නායක ‘චිහ් - කුවෝ’ (ධෘතරාෂ්ට්‍ර) ග්‍රීෂ්ම ඍතුව නිරූපණය කරයි. ඔහුගේ වමතේ ගිටාරයක් වැනි තත් සහිත භාණ්ඩයකි. දකුණතින් එම තත් පිරිමදියි.

මාඕ ධර්මයේ ද සතරවරම් දෙවියනට සමාන ගති පැවතුම්වලින් හෙබි දෙවියන් සිවු දෙනෙකි. මෝ- ලි-හායි යනු ධෘතරාෂ්ට්‍රයන් හා සමීප ලක්ෂණ ඇති දෙවියන් ය. මෙම දෙවියන්ට ඉන්ද්‍රජාලික බලයක් ද පවතින බව එම ධර්මය විශ්වාස කරන්නෝ පිළිගනිති.

ජපන් බසින් සතරවරම් දෙවියන් හඳුන්වනුයේ 'ෂී-ටෙන්-නෝ' යනුවෙනි. 'ජාකොතු' යනු ධෘතරාෂ්ට්‍රයන් හැඳින්වූ ජපන් නමයි. පෙරදිගට අධිපති වන මොහු කඩුවක් හා ත්‍රිශූලයක් දරා සිටින අයුරින් නිරූපිත ය.

තාන්ත්‍රික බෞද්ධ සංකල්ප බහුල ව දක්නට ලැබෙන ප්‍රඥා පාරමිතාව නම් සංස්කෘත ග්‍රන්ථයට ජපන් බසින් ලියන ලද අර්ථකථනය 'නින්නෝක්‍යෝ' නම් වේ. ධ්‍යානී බුදුවරුන් පස් නමකගේ පස් ආකාර රුදුරු විලාසයන් දක්වන ත්‍රෛලෝකව්‍රජ බෝධිසත්වයන්, ධ්‍රැතරාෂ්ට්‍රයන් හා පෙනී සිටින බව එහි සඳහන් වේ. එසේ පෙනී සිටිනුයේ ගාන්ධර්වයන්ට අධිපති 'ශ්වේතවර්ණ' රජුන් යන නාමයෙනි. (චීනය, ජපානය හා ටිබෙට් රට අසුරින් දැක්වූ කරුණු උපුටා ගැනුණේ The Gods of Northern Buddhism - Alice Getty නම් කෘතිය ඇසුරිනි).

ධෘතරාෂ්ට්‍රයන් ඇතුළු ලෝක පාලක දෙවියන්ගේ ආදිතම ප්‍රතිමා ලැබී ඇත්තේ ඉන්දියාවේ සාංචි ස්තූපයෙනි. ඒවායේ ධෘතරාෂ්ට්‍රයන් නිරූපණය කොට ඇත්තේ ත්‍රිශූලයක් අතින් ගත් ආකාරයෙනි. ලංකාවේ ද අනුරාධපුර, විජයරාමයේ කළ කැණීම්වල දී හමු වූ ලෝකපාලක දේවප්‍රතිමා අතර ධෘතරාෂ්ට්‍රයන්ගේ පිළිම ද පැවති බව ආචාර්ය පරණවිතානයන් නිගමනය කර ඇත (The Gods of Adam's peak - S. Paranavitana). මේ හැර අනුරාධපුරයට සැ: 9ක් නැගෙනහිරින් පිහිටි පූලියන්කුලම නම් ස්ථානයේ තිබුණු විහාරස්ථානයක කරන ලද කැණීම් කටයුතුවල දී හමු වූ තනියෙන් කරන ලද දේවරූප අතර ද ධෘතරාෂ්ට්‍රයන්ගේ රූප විය. (University of Ceylon - History of Ceylon VoL.I, PT.I 40J p.)

චීනයේ පිකිංහි 'යුං හො කුන්ග්'හි ආරක්ෂක දේවතා මැදුරේ වර්ණයෙන් චිත්‍රයට නැගූ ධෘතරාෂ්ට්‍ර රුවකි. චීන තුර්කිස්ථානයේ තිබී හමු වූ ධෘතරාෂ්ට්‍ර රුව, යුද්ධායුධ අතින් දරා සටනට යන ආකාරයකින් නිරූපිත ය. එය හමු වී ඇත්තේ හාරිකී විහාරස්ථානයට විරුද්ධ දිශාවේ පිහිටි වෙනත් විහාරයකිනි. එය ගලුන් නෙළුෑ කැටයමකි. ධෘතරාෂ්ට්‍රයන් නිරූපිත ආදිතම චීන කැටයම් හා සිතුවම් හමුවන්නේ චීන තුර්කිස්ථානයේ කුන් - හ්වෑන් හා මර්ෆින් යන ස්ථානවලිනි.

විවිධ ආසියාතික රටවලින් සොයාගනු ලැබූ සතරවරම් දේවරූප රැසක් දැනට බර්ලින්හි 'ෆර් විල් කකුන්සේ' කෞතුකාගාරයේ තැන්පත් කොට ඇත. එම රූප විවිධ යුගවල දී කරන ලද නිර්මාණයෝ ය (The Gods of Northern Buddhism - Alice Getty).

(කර්තෘ: ඉන්දිරා කේ. පෙරේරා: 1995)

ධෘතරාෂ්ට්‍ර

වරම් දෙවිවරුන් සතර දෙනා අතුරෙන් මුලින් ම නම දැක්වෙන්නේ මොහුගේ ය. ධෘතරාෂ්ට්‍ර (ධ්‍රැතරාෂ්ට්‍ර) යනු ඔහුගේ නාමයේ සංස්කෘත රූපයයි. පාලි පොත්වල එය දැක්වෙන්නේ “ධතරට්ඨ” යනුවෙනි. වෛදික සම්ප්‍රදායය අනුව ධර්මයට හෙවත් අනුව ඍතයට අධිපති වූ හෙතෙම අධ්‍යාත්මයේ දී පාලකයා විය. ඍග් වේද යුගයේ පටන් ම හේ දෙවියෙක් විය. මොහු, දෙවියන්ගේ රජු යන අදහසින් “සාම්‍රාජ්‍ය” වූ අතර “වරුණ”, “සෝමරක්ෂ”, “ධෘතවෘත”, “ධෘතරාෂ්ට්‍ර” යන නම්වලින් ද හැඳින්වුනු බව එම යුගයේ කෘතීන්ගෙන් පෙනේ. ගාන්ධර්ව නම් ජීව කොට්ඨාසයකට මෙම සෝමරත්න (ධතරාෂ්ට්‍ර) අධිපතිත්වය දැරූ බව ද ඍග් වේද සංහිතා වන්යෙන් ම පැහැදිලි වේ. අථර්ව වේද හා මහා භාරත යුගය දක්වා ම බටහිර දික්පති වශයෙන් කටයුතු කරන වරුණ (ධෘතරාෂ්ට්‍ර) බුද්ධ කාලීන යුගය වන විට පූර්ව දිග භාරව කටයුතු කළ බව දීඝනිකාය අනුව පෙනේ.

මහාභාරත යුගයේ මායාකාර දේව යෝනියක් ලෙස කටයුතු කරමින් ගණනින් ද වැඩෙමින් ක්‍රියාත්මක වූ මෙම ගාන්ධර්ව පිරිස, බුද්ධකාලයේ දී ශක්‍රාදීන්ට සංගීතය සපයා දිව්‍යමය සේනාවක් වූහ. ඔවුන්ගේ නායකත්වය ලැබුණේ ධෘතරාෂ්ට්‍රයනට ය. බුද්ධකාලයේ දී හරටන ධෘතරාෂ්ට්‍ර දෙව්ලොවට අධිපති ශක්‍ර දිව්‍ය රාජයාගේ සේනාපතියෙකි. “වරුණ” නමින් හැඳින්වෙන, ඉන්දු (ශක්‍ර) සහායක වෙනත් දෙවියකු ද හමුවේ. මේ අනුව වෛදික යුගයේ එක ම දෙවියකු ලෙස පිදුම් ලද වරුණ, (ධෘතරාෂ්ට්‍ර) බුද්ධ කාලය වන විට බලයෙන් වෙන් වූ නිදහස් දෙවියන් දෙදෙනකුගේ තත්වයෙන් ක්‍රියා කළ බවට ද සාධක පවතී. (A History of Sanskrit Literature - Macdonel; A History of Sanskrit Lit: - Winternitz)

ධෘතරාෂ්ට්‍ර ප්‍රමුඛ සතරවරම් දෙවිවරුන් වාසය කරනුයේ පහළම දිව්‍ය ලෝකය වන චාතුර් මහා රාජිකයේ ය. චාතූර් මහා රාජිකයන්ගේ අර්ථය වනුයේ ද මහරජවරුන් සතර දෙනකුගෙන් සමන්විත වුව යන්න යි. ධෘතරාෂ්ට්‍ර (ධතරට්ඨ) විරූඪ (විරුළ්හක) විරූපාක්ෂ (විරූපක්ඛ) වෛශ්‍රවණ (වෙස්සවණ) යනු ඒ සතර දෙව් රජ වරුය. මේ සතර දෙනාගේ පාලන ආධිපත්‍යය යටතේත් ශක්‍ර දිව්‍ය රාජයාගේ පරමාධිපත්‍ය යටතේත් චාතූර් මහා රාජිකය හෙවත් සව්මහරජය පිහිටා ඇත්තේ මහමෙර වටා පිහිටි සත්කුළපව් අතුරෙන් උසම එක වන යුගන්ධර පර්වතය මස්තකයේ ය. තව්තිසා දෙව්ලොව ආක්‍රමණය කිරීම සඳහා මහමෙර පල්ලේ තිබෙන අසුර භවනයේ සිට වරින් වර පැමිණෙන දෙවියන්ගේ පරම සතුරු අසුරයන් මැඬලීම සඳහා මේ සතර දෙවියෝ ශක්‍ර දිව්‍ය රාජයා විසින් සිව්දිග රැකවලෙහි යෙදෙන මහසෙනෙවියන් කොට පත්කරන ලද හ. සක් දෙවියන්ගේ අධිපතීත්වයෙන් යුතු නැගෙනහිර දිසාවේ භාරකාරත්වය සහ ආරක්ෂක සේනා නායකත්වය ධෘතරාෂ්ට්‍රයනට පැවැරීමෙන් ඒ වරම් දෙවියන්ගේ ප්‍රභූත්වයත් වැදගත් බවත් පෙනී යයි.

සතර වරම් දෙවිවරු සතර දෙනා දේවයෝනි සතරක සර්වාධිකාරිත්වය උසුළති. ධෘතරාෂ්ට්‍ර ගන්ධර්ව නම් දේවයෝනියේ පරමාධිපති වේ. ඔහු නැගෙනහිර දිසාව රැකවල් කරනුයේ ගන්ධර්ව සේනාවක් කැටුව ය. විරූඪ හෙවත් විරුළ්හක කුම්භාණ්ඩයන්ගේ පරමාධිපතියා වන අතර දක්ෂිණ දිශාව භාරව ද, විරූපාක්ෂ දිව්‍යනාගයනට අධිපතිව පශ්චිම දිශාව ද කුවේර හෙවත් වෛශ්‍රවන් යක්ෂයනට අධිපතිව ........ පාලනය කරති.

(චාතුර්මහාරාජික දෙව්ලොවට ගන්ධර්ව දිව්‍ය ලෝකය යන නම ව්‍යවහාර වේ. ඒ එහි දෙවියන් වෘත්තියෙන්ම ගන්ධර්වයන් වන බැවිනි. සක්දෙව්රජුනට නෘත්‍ය ගීත වාද්‍යාදිය පවත්වනුයේ මොවුන් විසිනි. සුප්‍රකට පඤ්චශිඛද ඔවුන්ගෙන් එකෙකි. එසේ වුවද ධෘතරාෂ්ට්‍රගේ පරමාධිපත්‍යයට යටත් යව ගන්ධර්වයෙන් මොවුහු නොවෙති. දිව්‍යලෝකයක් ඔවුනට නැත. අහසින් යාම ඇතුළු ඍද්ධි බල සම්පන්න වූ ඔවුහු සිද්ධයන් හා විද්‍යාධරයන් මෙන් පොළොව ආශ්‍රය කරගෙන වාසය කරන භූමාටු දේව නිකායකට අයත් වෙති.

ඇති සක්වළවල් ගණන අනන්ත අපරිමාණ බවත් ඒවායින් දසදහසක බුදුරදුන්ගේ අණසක එක එල්ලේම පවතින බවත් බෞද්ධ සාහිත්‍යයෙහි සඳහන් වේ. අත්‍යන්තයෙන් විශේෂත්වයක් මේ සක්වල දසදහසේ වරම් දෙවිවරු සතළිස් දහසක් වෙති. ඉතා වැදගත් වන බුද්ධ මංගලවලට මේ සතළිස් දහසම සහභාගී වන බව කියැවේ. එසේ වුව ද බුදුරදුන් හා විශේෂයෙන් කුලුපග වනුයේ ත්, සෑම විටම බුද්ධෝපස්ථානය සඳහා ලකලෑස්ති වී සිටිනුයේත් මඟුල් සක්වළ යැයි කියනු ලබන මේ සක්වළේ වරම් දෙවිවරු සතර දෙනා වෙති. බෝ සතුන් මවුකුස පිළිසිඳ ගත් මොහොතේ සිටම තමනට අයිති දිග සිට ඔවුන් රකවල් කළ බව කියැවේ. මෙබඳු සේවයෙහි ද ධෘතරාෂ්ට්‍ර භාරව සිටිනුයේ තමන්ට අයත් දිශාව වූ නැගෙනහිර දිශාවයි.

දීඝනිකායට අයත් සූත්‍ර රැසක ම ධෘතරාෂ්ට්‍ර පිළිබඳ තොරතුරු හමු වේ. ජනවසභ සූත්‍රයේ දී (දීඝ නිකාය II භාගය 307 පිට - බුද්ධ ජයන්ති ත්‍රිපිටක ග්‍රන්ථ මාලා) ලබන බිම්බිසාර රජු, කාවන්තිස්ස වාසී ශක්‍ර දෙවියන්ගේ සුධර්මා දේව සභාවේ ධෘතරාෂ්ට්‍ර ප්‍රමුඛ චාතුර්මහාරාජික දෙවියන්, අසුන් ගත් අන්දම විස්තර කරයි.

දේව සභාවට ප්‍රවිෂ්ට වන ධෘතරාෂ්ට්‍රයන් අසුන් ගනු ලබනුයේ බටහිරට මුහුණ ලා ගෙන ය. ඔහුගේ මහත් වූ පරිවාර සේනාව ඔහුට පිටුපාමින් අසුන්ගත් බව ද සඳහන් කර ඇත. මහා ගෝවින්ද සූත්‍රයේ දී (දීඝ නිකාය II භාගය 335 පිට - බු. ජ. ත්‍රි. ග්‍ර. මාලා) පංචසිඛ නම් ගාන්ධර්ව දිව්‍ය පුත්‍රයා ශක්‍ර දෙවියාගේ ප්‍රධානත්වයෙන් පැවැත් වූ මහා සම්මේලන ධෘතරාෂ්ට්‍රයන් සපිරිවරින් පැමිණි ආකාරයත්, සක් දෙවිදුන් බුදුගුණ වනද්දී ඔහු එයට සවන් දී සිටි ආකාරයත් සඳහන් කරයි. මෙකී ධර්ම සභාවලට සියලු ම දිව්‍ය ලෝකවල වෙසෙන සකල දිව්‍ය ගණය ම සහභාගී වූ බව පෙනේ.

කිඹුල්වත් නුවර පැවැති බුද්ධ ප්‍රමුඛ මහා භික්ෂු සම්මේලනයකට ධෘතරාෂ්ට්‍රයන් සහපිරිවරින් පැමිණි අන්දමත් ඔහු අසුන්ගත් අන්දමත් මහා සමය සූත්‍රයේ දී (දීඝ නිකාය - II භාගය 383 පිටුව - බු. ජ. ත්‍රි. ග්‍ර. මාලා) දැක්වේ. රජගහ නුවර වසන කුම්භීර යක් සෙනෙවියන් සියයක් පිරිස පිරිවරාගෙන බුදුන් ප්‍රමුඛ පන්සියයක් රහතන් වහන්සේ වැඩම කොට දම් දෙසීමට ආසන්න මොහොතේ එතැනට පැමිණුනි. අනතුරුව එම ස්ථානයට පැමිණියේ ධෘතරාෂ්ට්‍ර ඇතුළු ගාන්ධර්ව පිරිසයි. ඒ සඳහා ඔවුන්ගේ සේවකයන් වන මායා, කුමෙන්ඩු, වේටෙන්ඩු, විටු, විටූච, චන්දන, කාමසෙට්ඨි, කින්ඝන්ඩු, සහ නිඝන්ඩු යන පිරිස ද පැමිණි බව කියැවේ. (මෙකී පිරිස අතුරෙන් අවසානයට සඳහන් සිවුදෙනාගේ නාමයන්, ධෘතරාෂ්ට්‍රයන්ගේ සේවකයන් හැටියට ආටානාටිය සූත්‍රයේ දී ද කියැවේ.) මෙම සූත්‍රයේ වැඩි දුරටත්, ධෘතරාෂ්ට්‍ර පෙරදිගට අධිපති බවත් ගාන්ධර්වයන්ගේ රජු බවත් ඉන්දු නමින් හැඳින්වෙන පුතුන් සමූහයක් ඔහුට සිටි බවත් මහා බලවත් සේනාවක් සතුව සිටින බවත් පැහැදිලි කොට ඇත. ධෘතරාෂ්ට්‍රයන් පිළිබඳ දීර්ඝ එමෙන් ම විචිත්‍ර තොරතුරු රැසක් ඇත්තේ ආටානාටිය සූත්‍රයේ ය. (දීඝ නිකාය - III භාගය 313 පිටුව බු. ජ. ත්‍රි. ග්‍ර. මාලා) විශේෂ ශාරීරික බලවේගයන් සහිත වූ ඉන්දු නමින් හැඳින්වෙන පුතුන් අනූ එක් දෙනකු ධෘතරාෂ්ට්‍රයන් හට වූ බව එහි සඳහන් වේ. එම විශේෂ බලවේග ලෙස ඍධිමන්ත (ඍද්ධි බලය), ජුති මන්ත (ප්‍රභව), වණ්නවන්ත (වර්ණය), යසස්සිනෙ (ප්‍රසිද්ධිය) වේ. එලෙසින්ම ධෘතරාෂ්ටයන් ද සිය අනුගාමිකයන් අතර දස ආකාරයකින් වෙනස් ව කැපී පෙනුණු බව ද එහි සඳහන් වේ. එනම්, ආයු (ආයුෂ), වණ්ණ (රූපය), සුඛ (සැපවත් බව), යස (ප්‍රසිද්ධිය), ආධිපත්‍යය (බලය), රූප (රූපකාය සම්පත්තිය), ශබ්ද (මිහිරි හඬ), රස (රස), පොට්ඨම්භ (ස්පර්ශය) යනු ඒ දස ආකාරයයි. මතු අත්බැව්හි සැප පතා කුසල් ධර්ම සිදු කරන පෘථග්ජනයා මරණින් මතු, ධෘතරාෂ්ට්‍රයන්ගේ දේව මණ්ඩලයේ උපදින බව වැඩිදුරටත් ආටානාටිය සූත්‍රයේ සඳහන් වේ. හොඳ බෞද්ධයන් වන ධෘතරාෂ්ට්‍ර ඇතුළු පිරිස, අතීතයේ ද විසූ බුදුවරුන් සත් නමකට උපකාර කිරීම් හා රැකවරණය සැලසීම් මඟින් විශාල සේවයක් සිදු කොට ඇත.

දීඝ නිකායේ සූත්‍ර හැරුණු විට ධෘතරාෂ්ට්‍රයන් පිළිබඳ ව පෙළ බසින් ලියූ කෘතියක හමුවනුයේ ජාතක කථා දේශනාවලියේ දී ය. එනම්, ශ්‍රී කාලකණ්නි ජාතකයේ දී ය. (පන්සිය පනස් ජාතකය - ජී.ඇන්. මුණසිංහ අප්පුහාමි - I භාගය - 711 පිටුව). එහි විස්තර වන පරිදි ශ්‍රියාවට අධිපති වන්නාවූ ලක්ෂ්මී නැතහොත් ශ්‍රියා කාන්තාව නමින් හඳුන්වන දෙවඟනයේ පියා, ධෘතරාෂ්ට්‍ර ය. ඇයට විරුද්ධ මූ දේවිය නැතිනම් කාළකණ්නියගේ පියා වනුයේ විරුල්හක ය. ඉහත කී දියණියන් දෙදෙනා අතර, අනෝතත්ත විලෙන් නෑමේ දී, කවුරුන් පළමුවෙන් දියට බැසීමට සුදුසු වන්නේ ද යන්න පිළිබඳ ප්‍රශ්නයක් ඇති විය. පසුව එය ගැටුමක් දක්වා ම වැඩිදියුණු විය. එම පැනය විසඳීමට සිවුවරම් දෙවියන් අපොහොසත් වූ තැන අවසාන විසඳුම ලබා ගන්නේ ශක්‍ර දෙවියන්ගෙනි. එම පැනය ශක්‍ර විසඳනුයේ විලේ දියට බැසීම පිළිබඳ පළමු අයිතිය ධෘතරාෂ්ට්‍රයන්ගේ දියණිය වන ශ්‍රියාට සතු කරමිනි.

පාලි භාෂාවෙන්, පසු කලෙකදී ලංකාවේ රචිත මහා වංශ ටීකාව වන වංශතප්පකාසිනී ග්‍රන්ථය අනුව ලංකාවේ මුල් ම රජු වන විජය ඇතුළු පිරිස, ඉන්දියාවේ සිට ලංකාවට නැව් නැග එද්දී, එම පිරිස රැක ගන්නැ'යි බුදු හිමියෝ ශක්‍රයන්ට භාර කළ බව සඳහන් වේ. වැඩිදුරටත් කරුණු දක්වන එම කෘතිය ශක්‍ර දෙවියන් විසින් එම කාරිය වරුණ දෙවියන්ට (කලින් විස්තර කළ පරිදි ධෘතරාෂ්ට්‍රයනට) පැවරූ බවත් සඳහන් වේ. (වරුණ යනු විෂ්ණු නැතහොත් උපුල්වන් දෙවියන් ම වන බව ආචාර්ය පරණවිතානයන් සිය The Shrine of Upulwan at Dewundara නම් කෘතියෙන් පෙන්වා දී ඇත.) සංස්කෘත භාෂාවෙන් රචිත බෞද්ධ කෘතීන්හි ද සතරවරම් දේව සංකල්පය පිළිබඳ ව සඳහන් වේ. ඒවායේ ධෘතරාෂ්ට්‍රයන් පිළිබඳ ව සුවිශේෂ කරුණු කියැවෙන අවස්ථා පවතී. මූල සර්වාස්තිවාදීන්ගේ විනය පිටකයේ, සතර වරම් දෙවියන්ගේ පූර්ව භවයක විස්තර සටහන් ව ඇත. භික්ෂූන් වහන්සේලා භවයෙන් වැසී පවතින ලෝක පාලක දෙවියන් පිළිබඳ අතීත තොරතුරු ගෞතම බුදු හිමිගෙන් විමසයි. කාශ්‍යප බුදු රදුන් දවස සිදුවීමක් ගෞතම බුදුහිමියෝ විස්තර කරන්නාහ. කාශ්‍යප බුදුරජුන් දවස මහා සාගරයේ ශ්වාස හා මයා ශ්වාස නම් නා රජුන් දෙදෙනෙක් ජීවත් වූහ. නා - ගුරුළු වෛරය පූර්ව යුගවලට ද පොදු වූ දෙයකි. ඒ අනුව සුපර්ණයන් (ගුරුලන්) විසින් හඹා එනු ලබන නාගයන් පාතාල ලෝකයට වැද දිවි රැක ගැනීම සිරිතකි. එහෙත් කාශ්‍යප බුදුරදුන් පිළිබඳ පුවත අසා උන්වහන්සේ සරණ යන නා රජුන් දෙදෙනා තමන් හඹා එන අට්ඨේශ්වර හා චූඨේශ්වර දෙදෙනා ප්‍රමුඛ සුපර්ණයන් දැක තැති ගෙන දිවුයේ නැත. ඒ ගැන පුදුමයට පත් සුපර්ණයන්, නා රජුන්ගෙන් ඊට හේතු විමසන ලදුව, තමන් දැන් බුදු රදුන් සරණ ගිය උපාසකයන් බැවින් බිය වීමට කරුණු නොමැති බව ඔව්හු පැවසූහ. එයින් සුපර්ණයන්ට ද බුදු හිමි සරණ යාමේ අභිලාෂය ඇති විය. ඒ අනුව දෙපිරිස ම යොදා ගත් දිනක, කාශ්‍යප බුදු හිමි හමුවට ගියහ. අතීතයේ විසූ වරම් දෙවියන් සිවුදෙන කසුප් බුදු හමුවට පැමිණ සමුගෙන යාමට අසන්න මොහොතත් එය ම විය. නා ගුරුළු දෙපිරිස ම තෙරුවන් කෙරේ පැහැද සරණ ගොස් මතු භවයක එවැනි ම වරම් රජුන් වීමේ වරය දෙන ලෙස බුදු හිමි අයැදූහ. කසුප් බුදු හිමියෝ මතු ගෞතම බුදු හිමි දවස, ශ්වාස - ධෘතරාෂ්ට්‍ර නමින් ද මහා ශ්වාස- විරුළ්හක නමින් ද අශිඨේශ්රවර - විරූපාක්ෂ නමින් ද චූඪේශ්වර - වෛශ්‍රවණ නමින් ද එකී පදවි ලබන බව දෙසූහ. එසේ ම මන්දාකිනි නදිය අසබඩ දී මෙලෙස ම ධර්ම ශ්‍රවණය කරනු ලබන බව ද පැවසූ හ.

මූල සර්වාස්ති වාදීන්ගේ විනය පිටකයේ තවත් එබඳු සඳහනකි. ගෞතම බුදු හිමි උදුමා නුවර වැඩ වසන සමයේ මන්දාකිනි විල අසබඩ පෙදෙසට දිව්‍ය විහරණය පිණිස වැඩම කළ අවස්ථාවේ උන්වහන්සේට වැඩ හිදුනා පිණිස අසුන පණවනු ලැබූයේ වෛශ්‍රවණයන් විසිනි. එකී සෙනසුනේ බුදුහිමි වැඩ හිඳිනා කල උන්වහන්සේ හමුවට මුලින් ම පැමිණුනේ ධෘතරාෂ්ට්‍රයන් ය. සිය දහස් සංඛ්‍යාත පිරිවර සෙන් සමඟින් පැමිණෙන ධෘතරාෂ්ට්‍රයන් අප්‍රමාණ දිව්‍ය මාණික්‍යයෙන් (දිව්‍ය මාණි සමූහයන්) බුදු හිමි අබියස අතුරා උන්වහන්සේ නැමද එකත් පස්ව, පෙරදිග දිසාවට වී බටහිරට මුහුණ ලා අසුන්ගත් බව එම කෘතිය දක්වාලයි. එකී දේශනාවේ අන්තර්ගත තවත් වැදගත් සඳහනක් වනුයේ බුදුහිමි ආර්ය හා දස්‍යූ යන ද්විභාෂාවෙන් ම ධර්‍මය දේශනා කළ බවයි. එයට හේතුව හැටියට දක්වනුයේ ධෘතරාෂ්ට්‍රයන් හා විරුළ්හකයන් ආර්යන් බවත් විරූඩ්කයන් හා වෛශ්‍රවණයන් දස්සූන් බවත් දෙපක්ෂයටම වැටහෙන පරිද්දෙන් බුදු හිමි දම් දෙසීමට භාෂා දෙකම යොදා ගත් බවත් ය. බුදු හිමි, මහා රජුනි යනුවෙන් ධෘතරාෂ්ට්‍රයන් අමතා, ජාති, ජරා, ව්‍යාධි, මරණ නොමැති තැන දුක නැති බව පැහැදිලි කරමින් ධර්මය දෙසැ ඇත. ධර්ම දේශනාව කෙළවර වද්දී ධෘතරාෂ්ට්‍රයන් සත්‍යාවබෝධය කළ බව එම ග්‍රන්ථයේ වැඩි දුරටත් සඳහන් වේ.

සංස්කෘත භාෂාවෙන් රචිත ලලිත විස්තරයට අනුව තුප්‍රෂ හා සල්ලික යන වෙළෙඳ දෙබෑයන් දුන් දානය පිළිගැනීමෙන් අනතුරුව බුදු හිමි, ධෘතරාෂ්ට්‍රයන්ගේ දේව මණ්ඩලය නක්ෂත්‍ර (දෙවියෝ) හතකට ලෝක පාලක දෙවියන් ය යන නාමයෙන් පින් පැමිණ වූ බව සඳහන් වේ. තවත් තැනෙක ධෘතරාෂ්ට්‍රයන් තම කටයුතුවල දී තම දේව සභාවේ හිමි හිරු දෙවියන් හවුල් කරගත් බව ද දක්වා ඇත. (ලෝක ව්‍යවහාරයට අනුව නක්ෂත්‍ර විසි අට ලෙස වළකනු ලබන එම දේශනාවේ දී දෙවියන් ලෙස හඳුන්වා දී ඇත.)

සංස්කෘත මිශ්‍රිත සාහිත්‍යය තුළින් මහායානික හා තාන්ත්‍රයානික ආහාෂිත සංකල්ප දක්වා ලෝක පාලක දේව අදහස විකාශනය වූ බව පෙනේ. එම විකාශනයන් ඔස්සේ ථෙරීයවාදී ස්වරූපයට වඩා වෙනස් මගක් ගත් චීන, ටිබෙට් හා ජපන්, ආගමික සාහිත්‍යය තුළ, ධෘතරාෂ්ට්‍රයන් ද ස්වරූපය අතින් වෙනස් වූ මගකට අවතීර්ණ වූ බව පෙනේ.

චිනයට සතර වරම් දේව විශ්වාසය ගෙන යනු ලැබුවේ අමෝඝව්‍රජ විසින් බවත් ඒ ලංකාවේ සිට බවත් චීනයේ පවතින විශ්වාසයයි. එය සිදුවී ඇත්තේ ක්‍රි.ව. 733 දී ය. චීනයේ සතර වරම් දේව සංකල්පය විකාශනය වූයේ අවුරුද්දේ ඍතු හතරට ආරෝපණය වුණු ආකාරයෙන් ගනිමිනි. පෙරදිගට අධිපති, ගාන්ධර්වයනට නායක විහ්-කුවෝ (ධෘතරාෂ්ට්‍ර) සුදු පැහැති “නිල් මකර” රුවකින් ග්‍රීෂ්ම ඍතුව නිරූපණය කරයි. ඔහුගේ වමතේ ගිටාරයක් වැනි තත් සහිත භාණ්ඩයකි. දකුණතින් එම තත් පිරිමදී.

මාඒ ධර්මයේ ද සතරවරම් දෙවියනට සමාන ගති පැවතුම්වලින් හෙබි දෙවියන් සිවු දෙනෙකි. මෝ-ලි-හයි යනු ධෘතරාෂ්ට්‍රයන් හා සමීප ලක්ෂණ ඇති දෙවියන් ය. මෙම දෙවියන්ට ඉන්ද්‍රජාලික බලයක් ද පවතින බව එම ධර්මය විශ්වාස කරන්නන් පිළිගනී.

ජපන් බසින් සතරවරම් දෙවියන් හඳුන්වනුයේ පී-ටෙන්-නෝ යනුවෙනි. ජාකොතු යනු ධෘතරාෂ්ට්‍රයන් හැඳින්වූ ජපන් නමයි. පෙරදිගට අධිපති වන මොහු කඩුවක් හා ත්‍රිශූලයක් දරා සිටින අයුරින් නිරූපිත ය.

තාන්ත්‍රික බෞද්ධ සංකල්පය බහුල ව දක්නට ලැබෙන ප්‍රඥා පාරමිතාව නම් සංස්කෘත ග්‍රන්ථයට ජපන් බසින් ලියන ලද අර්ථකථනය හින්නෝක්යෝ නම් වේ. ධ්‍යානී බුදුවරුන් පස් නමකගේ පසු ආකාර රුදුරු විලාසයන් දක්වන ත්‍රෛලෝකව්‍රජ බෝධිසත්වයන්, ධ්‍රැතරාෂ්ට්‍රයන් හා පෙනී සිටින බව එහි සඳහන් වේ. එසේ පෙනී සිටිනුයේ ගාන්ධර්වයනට අධිපති ශ්වේත වර්ණ රජුන් ය යන නාමයෙනි. (චීනය, ජපානය, හා ටිබෙට් රට ඇසුරින් දැක් වූ කරුණු උපුටා ගැනුනේ The Gods Of Northern Buddhism - Alice Getty නම් කෘතිය ඇසුරිනි.

ධෘතරාෂ්ට්‍රයන් ඇතුළු ලෝකපාලක දෙවියන්ගේ ආදිතම ප්‍රතිමා ලැබී ඇත්තේ ඉන්දියාවේ සාංචි ස්ථූපයෙනි. එවායේ ධෘතරාෂ්ට්‍රයන් නිරූපණය කොට ඇත්තේ ත්‍රිශූලයක් අතින් ගත් ආකාරයෙනි. ලංකාවේ ද අනුරාධපුර, විජයාරමයේ කළ කැනීම්වල දී හමු වූ ලෝකපාලක දේව ප්‍රතිමා අතර ධෘතරාෂ්ට්‍රයන්ගේ පිළිම ද පැවති බව ආචාර්ය පරණවිතානයන් නිගමනය කර ඇත (The gods of Adam's peak - S. Paranawithana). මේ හැර අනුරාධපුරයට සැ. 9ක් නැගෙනහිරින් පිහිටි පුලියන්කුලම නම් ස්ථානයේ තිබුණු විහාරස්ථානයක කරන ලද කැණීම් කටයුතුවල දී හමු වූ තඹයෙන් කරන ලද දේව රූප අතර ද ධෘතරාෂ්ට්‍රයන්ගේ රූප විය (University of Ceylon - History of Ceylon Vol. I p. I 407 pg.). චීනයේ පීකිංහි යුං හොං කුන්ග්හි ආරක්ෂක දේවතා මැදුරේ වර්ණයෙන් චිත්‍රයට නැගූ ධෘතරාෂ්ට්‍ර රුවකි. චීන තුර්කිස්ථානයේ තිබී හමු වූ ධෘතරාෂ්ට්‍ර රුව, යුද්ධායුධ අතින් දරා සටනට යන ආකාරයකින් නිරූපිත ය. එය හමු වී ඇත්තේ හාරිකී විහාරස්ථානයට විරුද්ධ දිශාවේ පිහිටි වෙනත් විහාරයකිනි. එය ගලින් නෙලූ කැටයමකි. ධෘතරාෂ්ට්‍රයන් නිරූපිත ආදිතම චීන කැටයම් හා සිතුවම් හමුවන්නේ චීන තුර්කිස්ථානයේ කුන්-හ්වෑන් හා ධර්ඹින් යන ස්ථානවලිනි. විවිධ ආසියාතික රටවල් සොයා ගනු ලැබූ සතරවරම් දේව රූප රැසක් දැනට බර්ලින්හි ෂිර් විල් කකුන්සේ කෞතුකාගාරයේ තැන්පත් කොට ඇත. එම කෘතීන් විවිධ යුගවල දී කරන ලද නිර්මාණයන් ය (The Gods of Northern Buddhism - Alice Getty).

(කර්තෘ: ඉන්දිරා කේ. පෙරේරා: 1995)

(සංස්කරණය නොකළ)

"http://encyclopedia.gov.lk/si_encyclopedia/index.php?title=ධෘතරාෂ්ට්‍ර-1&oldid=5550" වෙතින් සම්ප්‍රවේශනය කෙරිණි