මාෂක

සිංහල විශ්වකෝෂය වෙතින්
වෙත පනින්න: සංචලනය, සොයන්න

ශරීරයේ හටගන්නා උඳු, මුං බඳු සටහන් ඇති උත්පාත විශේෂයකි. යම් ලකුණක් මාතෘගර්‍භයේදීම ඇති විනම් ඒ ප්‍රකෘතිසයි කියන ලදී. ප්‍රකෘතියෙන් අන්‍යවූයේ උත්පාත නම් වේ. මනුෂ්‍යයන්ට ඇති වන ශුභාශුභ හඳුන්වන පංචවිධ උත්පාතයන්ගෙන් මාෂක ද එකකි. පුරුෂයන්ගේ දකුණු පාදයෙහි මාෂක හට ගැනීමෙන් ධන ක්ෂය ද වාම පාදයෙහි ස්ත්‍රී වියෝග ද, කෙන්ඩාවල අර්‍ථ ලාභ ද, දකුණු දණහිසෙහි ක්‍ෂෙම ද වම් දණහිසෙහි ශත්‍රැ වෘද්ධිය ද, දකුණු කලවේ ස්ත්‍රීලාභ ද වම් කලවේ විග්‍රහ ද, වෘෂණ දකුණු පාශ්වයේ ධන ලාභ ද වමේ ධාන්‍ය වෘද්ධි ද, දකුණු කොශයේ ජය ද වාම කොශයේ අපජය ද, දක්ෂිණ ජඝනයේ බන්ධුනාශ ද වමේ ධනහානි ද, දකුණු උදරයේ සතුරු බිය ද වමේ ශ්‍රිය ද, දකුණු තනයේ අථිලාභ ද වමේ මිත්‍රලාභ ද, දකුණු ඇලයේ මරණ ද වමේ රෝදුක් ද, දකුණු කිසිල්ලේ ශෝක ද වමේ දිළිඳු බව ද, පිටේ ඇස් ලෙඩ ද, දකුණු හස්තයෙහි ධනහානි ද, වමේ ස්ථාන භ්‍රංශ ද, දකුණත වැලමිටෙන් පහළ ජය ද ඉහළ ශෝක ද, වම් අතේ වැලමිටෙන් පහත ලාභ ද උඩ ප්‍රීති ද, දකුණු අංශයෙහි කීර්ති ද වමේ ලාභ ද, දකුණු බොටුවේ විග්‍රහ ද වමේ නිග්‍රහ ද, දකුණු නිකටේ භීති ද වමේ දිළිඳු බව ද, දකුණු කම්මුලේ භොග ලාභ ද වමේ අපකීර්තිය ද, දකුණු උකුණුවල ශෝක ද, වමේ රෝග ද, යටිතොලේ මනස්තාප ද උඩුතොලේ ප්‍රීති ද, දකුණු නාසයේ තැවුල් ද වමේ පසුතැවිලි ද, දකුණැසේ සිත් තැවුල් ද වමැසේ සිත් සතුට ද, දකුණු කනේ ප්‍රීතිය ද වමේ විප්‍රයෝගය ද, දකුණු බැම ස්ත්‍රී කලහ ද වමේ අවමාන ද, නළල් දෙකෙළවර ජය ද, දකුණු නළල් තලයේ ව්‍යාධි ද වමේ දිළිඳු බව ද, හිස්මුදුනේ සම්පත් ලාභාදිය ද දක්වයි.

(කර්තෘ: ඩී.ආර්. සෙනෙවිරත්න: 1956)

(සංස්කරණය නොකළ)

"http://encyclopedia.gov.lk/si_encyclopedia/index.php?title=මාෂක&oldid=5851" වෙතින් සම්ප්‍රවේශනය කෙරිණි