මුතු

සිංහල විශ්වකෝෂය වෙතින්
වෙත පනින්න: සංචලනය, සොයන්න

(Pearls). නව විධි රත්නයන්ගෙන් එකකි. හස්ති, සර්‍ප, ශුක්ති (මුතු බෙල්ලන්), ශංඛ (සක්), මෙඝ, උණ වෘක්ෂ, මත්ස්‍ය, සූකර යන මොවුන්ගෙන් උපදනා මුතු ඇට වර්‍ගයකි. මොවුනතුරෙන් බෙල්ලන්ගෙන් උපදනා මුතු බෙහෙවින් සුලභ ය. ඇතුන්ගේ කුම්භ මධ්‍යයෙහි හටගන්නා සුදු හා කහ මිශ්‍ර පැහැය ඇති මුතු බ්‍රාහ්මණ වර්‍ගය වශයෙන් ද රතු කහ මිශ්‍ර පැහැය ක්‍ෂත්‍රීය වර්‍ගය වශයෙන් ද කහ මිශ්‍ර සැමවන් පැහැය වෛශ්‍ය වර්‍ණය වශයෙන් ද කහ මිශ්‍ර නිල් පැහැය ශුද්‍ර වශයෙන් ද සලකනු ලැබේ. ඉරු දින හෝ සඳු දිනක චන්‍ද්‍රයා පුෂ නැකතෙහි ගමන් කරන හෝ සුවණ නැකතෙහි ගමන් කරන විට ඓරාවණ කුලයෙහි ඇතුන්ගේ ද හිරු උත්තරායනයෙහි ගමන් කරන කාලයක ඇති වන සූර්‍ය්‍ය වත්‍ධ්‍ර ග්‍රහණයක දී භද්‍ර වර්‍ගයේ ඇතුන්ගේ ද කුම්භ, දන්තමූල යන ස්ථානයන්හි මුතු හටගනී. නොයෙක් හැඩහුරුකම් ඇති ප්‍රභා සම්පන්න (දීප්තිමත්) මේ මුතු මිළ කළ නොහැකි තරම් අගනේ ය. මේ මුතු පැළඳී රජුට යුද්ධවලින් ජයග්‍රහණය ද පුත්‍රලාභය හා නිරෝග භාවයද ගෙන දේ.

උරගුන්ගේ මුතු හටගන්නේ ශීර්‍ෂයෙහි ය. ඒවා දීප්තිමත් නිර්‍මල නිලවර්‍ණයෙන් යුක්ත ය. කටුවක මුවහත අගමෙන් ප්‍රභාමත් ය. විෂ වේග වැළැක්වීමෙහි සමර්ථ ය. වාසූකී කුලයෙහි උරගුන්ගෙන් හටගත් මුතු වටකුරු ය. නිල් පැහැයෙන් ප්‍රභාමත්ව බබළති. මේවා පුණ්‍ය හීනවූවෝ නොදක්නාහු ය. උරගුන්ගෙන් හට ගන්නා මුතු දැරීමෙන් ධනය ලඟාවීම ද සර්‍ප, යක්‍ෂ, රාක්‍ෂසාදීන්ගෙන් හා දුෂ්ට ලෝකයාගෙන් ඇති වන හිංසාවන්ගෙන් දුරුවීම ද වන්නේ ය. රජවරුන්ට යසස් වැඩීම, ජයග්‍රහණ හා ධනාගමය ද වන්නේ ය.

බෙල්ලන්ගේ මුතු හටගන්නේ ගර්‍භයෙහි ය. මේ මුතුවල ද බ්‍රාහ්මණාදී ජාති භේද සතරකි. බ්‍රාහ්මණ ජාතියට අයත් මුතු සුදු ය, දීප්තිමත් ය, බර ය. ක්‍ෂත්‍රීය වර්‍ණයට අයත් මුතු මදක් රතු ය, මහත් ය. අරුණුවන් ආලෝකයක් ගෙන දේ. වෛශ්‍ය ජාතියට අයත් මුතු මදක් කසාවන් ය, සිනිඳු ය. සුදුවන් ආලෝකයක් ගෙන දේ. ශුද්‍ර ජාතියට අයත් මුතු සුදු ය, සියුම් ය, මහත් වූයේ කාලවර්‍ණ ප්‍රභාවකින් යුක්ත වේ. සා නැකතෙහි හිරු ගමන් කරන කාලයෙහි වලාකුළුවලින් මිදී බෙල්ලන් මත පතිත වූ ජල බිංදුවලින් පැහැපත් නිර්‍මල මුතු හටගනී. මෙපරිද්දෙන් හටගන්නා මුතුවල විශාලත්‍වය ජල බිංදු අනුව සැලකිය යුතුයි. බෙල්ලන්ගෙන් හට ගන්නා මුතු අතුරෙන් රුක්මිණි නමැති මුතු වර්‍ගය අතිශයින් දුර්ලභ ය. සුදු පැහැයෙන් යුත් මේ මුතු ඇටයක් සාදික්කා ගෙඩියක් පමණ මහත් ය, දීප්තිමත් ය. රජවරුන්ගේ පරිහරණයට සුදුසු වූ මේ අගනා මුතු විශේෂය භාග්‍ය හීනවූවන්ට නොලැබෙන බවත් එය මිළ කළ නොහැකි තරම් අගනා බවත් රත්න ලක්‍ෂණ දන්නවුන් විසින් ප්‍රකාශිතයි. මේ මුතු දැරීමෙන් ශරීර සෞඛ්‍යය, ආයු, වර්ණ, බල හා සම්පත් වැඩිම ද වන්නේ ය.

ශංඛයන්ගේ ද මුතු හටගන්නේ ද හර්‍භයෙහි ය. මේ මුතු ඇටයක් මහඩෙබර ඵලයක් පමණ විශාල වූයේ ද ශංඛයෙහි මැද කොටසට සමාන පැහැයෙන් යුක්ත වූයේ ද ගල් වර්‍ෂා කැට වැනි දීප්තියක් ඇත්තේ ද වෙයි. එය පරෙවි බීජුවටක් පමණ මහත යයි ඇතැම් ග්‍රන්ථවල සඳහන් වේ. අස්විද ආදී නැකැත්වලින් උපන් සක් බෙල්ලන්ගෙන් හටගත් ශුභඵලදායක මුතු වර්‍ග සම්විස්සකි. ඒවා සුදු ය, කළු ය, කසාවන් ය, රතු ය, නිල් ය, ලේවන් පැහැ ය, කහ රතු මිශ්‍ර පැහැ ය, මඳක් තඹුරුවන් පැහැ ය, පළොල් මල් පැහැය යන නවවිධ වර්‍ණ භේදයකින් ද යුක්ත වේ. මේ මුතුවලින් උද්ගත (විහිදෙන) ප්‍රභා කහ, රතු, සුදු, නිල් යයි සතර වැදෑරුම් ය. කසාවන් ප්‍රභාව ඇති මුතු දැරීමෙන් ලක්‍ෂමියගේ ලඟාවීම ද රතට හුරු ප්‍රභා ඇති මුතුවලින් බුද්ධි වර්‍ධනය ද සුදුවන් ප්‍රභා ඇති මුතුවලින් යසස් වැඩීම ද නිල් පැහැ ඇති මුතුවලින් සෞභාග්‍යය ද වන්නේ ය. පහසුවෙන් හැඳිනගත නොහැකි මේ මුතුවල වටිනාකම ද මිල කළ නොහැක්කේ ය.

මේඝයන්ගෙන් ඇති වන මුතු හටගන්නේ ජල බිංදුවලිනි. ආවභය, ප්‍රවණිය, උද්ධගය, සංචනය, සුවහය, පරිවතීය, පරාවභයයි වායු සතක් එකක් මත්තෙහි අනික වශයෙන් පිළීවෙලින් පිහිටියේ ය. මොවුනතුරෙන් සත්වැනි වූ පරාවන වායුගෝලයෙහි වූ මේඝයන්ගෙන් හටගත් විදුලියට බඳු ප්‍රභා ඇති මේ මුතු පහතට වැටෙන කළ දෙව්ලොව වැසි දෙවියන් විසින් ගනු ලැබෙත්. කුකුළු බිජුවට පමණ මහත් වූ ද ගෝලාකාර වූ ද ගුරු වූ ද (බර සහිත වූ ද) සූර්‍ය්‍යාට බඳු පැහැ ඇත්තා වූ ද මේ මුතු මනුෂ්‍යයන් අතර දුර්ලභ ය. යම් නරපතියෙක් මේ මුතු පළදින්නේ ද එයින් ඇති වන ශුභඵල හුදෙක් ඕ හට පමණක් නොව ඔහුගේ ප්‍රජාව කෙරෙහි ද වන්නේ ය, හාත්පසින් යොදුන් සියයක් හිමි කොට පැමිණෙන සියලු අනර්ථයන් වළක්වාලීමෙහි සමත් ය. ජලයෙහි උපදනා මුතු ය, තාරකාවන්ගෙන් උපදනා මුතු ය, වාතයෙන් උපදනා මුතු යයි මේෂ ජාත මුතු ත්‍රිවිධාකාර ය. ජලයෙන් හටගන්නා මුතු අතිශයින් ප්‍රභාමත් ය. තරුවලින් හටගත්තේ වටකුරු ය, කාන්තිමත් ය, හිරුට බඳු ප්‍රභා ඇත්තේ වැඩි වේලාවක් ඒ දෙස බලා සිටීමට නොහැකි ය. වාතයෙන් හටගත්තේ මෘදු ය, බර අඩු ය, වටකුරු ය, මල රහිත ය, කාන්තිමත් ය.

උණ ගස්වල මුතු හටගන්නේ ඇතුළත පුරුක් මත ය. ගල් වර්‍ෂා කැට හා සමාන වර්‍ණයෝ ඇත්තේ ය. කොහොත් කපුරු හෝ පළිඟුවලට සමාන ය, මඳක් පැතලි ය, වාසම ය, රළු ය, දිව්‍ය ජනයන් උපභොග කරනු ලැබූ ස්ථානවල හැර අන් තැනක මේ මුතු හට ගැනීමක් නැත, මේවා චන්‍ද්‍රයාට බඳු ප්‍රභා ඇත්තේ ය, බෙහෙවින් පින් ඇත්තවුන්ගේ වන මේ මුතු වෙද මාත්‍රාදියෙන් රක්තා කටයුතු ය. පංච භුතයන්ගෙන් හටගත් රේඛා අනුව මේ මුතු පස් වැදෑරුම් ය. ආපො, තෙජො, වායු, පඨවි ආකාශ යන නාමයන්ගෙන් හඳුන්වන මේ මුතු පැළඳීම් දැරීම් මාත්‍රයෙහි ව්‍යාධි හට නොගැන්ම ද ස්ත්‍රී වසඟභාවය ද ඇති වන්නේ ය, මේ මුතු ද මිල නොකොට හැක්කේ ය.

තිමී ආදී මත්‍යසයන්ගේ හිසෙහි මුතු හටගැනීම වන්නේ ය. මේවා පාඨින මන්ත්‍රයන්ගේ (පෙටියන්ගේ) පිටට සමාන වර්‍ණ ඇත්තෝ ද වටකුරු ද සැහැල්ලු ද සියුම් ද වන්නේ ය. ඔලිඳ ඇට පමණ මහත් වූයේ ද පළොල් මල්වලට බඳු ප්‍රභා ඇත්තේ ද මඳ වූ කාන්ති ඇත්තේ ද වෙයි. මත්ස්‍යයන් කෙරෙහි පවත්නා සප්ත ප්‍රකෘති අනුව ඔවුන්ගෙන් හටගන්නා මුතු ද වාත, පිත්ත, කළු, ද්වන්දව, සන්නිපාත වශයෙන් සත් වැදෑරුම් ය. වාත ප්‍රකෘති සැහැල්ලු ය, අරුණුවන් පැහැ ඇත්තේ ය. පිත්ත ප්‍රකෘති ඇත්තේ මෘදු ය, මදක් කසාවන් ය. කළු ප්‍රකෘති ඇත්තේ සුදු ය, බර ය. වා පිත් දෙකින් යුක්ත වූයේ මෘදු ය, ලඝු ය. වාසෙම් දෙකින් යුක්ත වූයේ ස්ථුල ය. පිත් සෙම් දෙකින් යුක්ත වූයේ පළිඟු පැහැ ඇත්තේ ය. සියලු ලක්‍ෂණයන්ගෙන් යුක්ත වූයේ සන්නිපාතික යයි කියත්. එක් දොසක් ඇති මත්ස්‍යයන්ගෙන් ද සන්නිපාතික මත්ස්‍යයන්ගෙන් හටගත් මුතු ශුභඵලදායක ය. සාමාන්‍යයෙන් මසුන්ගෙන් හටගන්නා මුතු දැරීමෙන් අග්නිභය ඇති නොවේ.

සූකරයන්ගේ මුතු හටගැනීම දන්තයන්හි වන්නේ ය. ඒවා දන්තාංකුරයන්ට බඳු පැහැ ඇත්තේ ය. බ්‍රාහ්මණාදී ජාති භෙද වශයෙන් මේවා ද සිව් වැදෑරුම් ය. බ්‍රාහ්මණ ජාතියට අයත් මුතු සුදු පැහැයෙන් ද ක්ෂත්‍රීය ජාතිය සුදු රතු මිශ්‍ර පැහැයෙන් යුක්තව රළුව ද වෛශ්‍ය ජාතිය සුදු කහ මිශ්‍රව මොලොක්ව ද ශුද්‍ර ජාතිය සුදු නිල් මිශ්‍රව රළුව සැමවන් පැහැයෙන් ද යුක්ත වේ. මෙයින් ඇතැම් මුතු සූකරයන් මෙන් ම අරිෂ්ට ය. සූකරයන්ගෙන් ඇති වන ශුභඵලදායක මුතු පින් මඳ මිනිසුන්ට නොලැබේ. මේවා රජුන්ගේ කිරීටයන්හි දැරීමට ශුභ බැව් ඇතැම් ග්‍රන්ථවල දැක්වේ. දෝෂ හීන වූ මුතු ශරීරයෙහි දැරීම හේතු කොට ගෙන චංචල මනුෂ්‍යයා පවා ස්ථිර බවට පත්ව ලක්‍ෂමි තොමෝ ඔහු වෙත රැදෙන්නී ය.

පූර්වෝක්ත මුතු වර්‍ග වශයෙන් අටකට බෙදා වෙන වෙන ම නාම අටකින් දැක්වේ. තරුමෙන් ප්‍රභාමත් මුතු සූතාර යන නමින් ද හාත්පසින් වට වූ මුතු සුවෘත්ත යන නමින් ද දෝෂ විහීන වූ මුතු සච්චක්‍ යන නමින් ද මල විරහිත වූ මුතු නිර්‍මල යන නමින් ද බර අධික මුතු ඝන යන නමින් ද තෙල් ගැල්වූ කලක් මෙන් සිනිඳු වූ මුතු ස්නීග්ධ යන නමින් ද ඡායා සමන්විත මුතු සච්ඡායා යන නමින් ද ව්‍රණ රෙඛා විහීන වූ මුතු ස්ඵුටික යන නමින් ද හඳුන්වනු ලැබේ. මේ හැර සුදු කාචයන්ට බඳු සුදුවන් ප්‍රභා ඇති චන්‍ද්‍රයාගේ පිළිබිඹුව සහිත මෘදු වූ කාන්තිමත් මනහර මුතු විශේෂයක් මහාරත්න නමින් හැඳින්වෙයි. මේවා දෙවියන් අතර විනා මනුෂ්‍යයන් අතර දුර්ලභ ය. මහා දෝෂ සතරක් ද මධ්‍යම දෝෂ සයක් දැයි මුතුවල දොස් දසයකි. යම්කිසි මුතු ඇටයක එක් කොටසක බෙලිකටු කැබැල්ලක් සහිත වූ ද ශුක්ති ගල්න නම් වූ ඒ මුතු ඇටය දැරීම කුෂ්ඨ රෝගයට හේතු වේ. යම් මුතු ඇටයක් මැද මත්ස්‍යයෙකුගේ ඇසකට බඳු ප්‍රභාවකින් යුක්ත වේ ද මත්ස්‍යක්ෂ නම් වූ දොසින් යුත් ඒ මුතු පැළදීමෙන් පුත්‍ර නාශය වේ. යම් මුතු ඇටයක් දීප්තියෙන් හා ප්‍රභාවෙන් තොරව උදරාකාරයෙන් දර්‍ශනය වේ ද වධ නම් වූ එය දැරීමෙන් මරණය සිදු වේ. යම් මුතු ඇටයක් පබළු (කොරල්) මෙන් රතු පාට ප්‍රභාවකින් යුක්ත වේ ද අතිරක්ග නම් වූ එය දැරීමෙන් දිළිඳුවන බැවින් දුරු කටයුතුයි. යම් මුතු ඇටයක එකක් මතුපිට අනික වශයෙන් කවාකාර වලී වේ ද ත්‍රිවෘත්ත නම් වූ එය පැළදීමෙන් සෞභාග්‍ය හානිය වේ. යම් මුතු ඇයටක් ගෝලාකාර නොවේ ද චිපීට නම් වූ එය දැරීමෙන් හැම කල්හි ම අපකීර්ති ලබයි. යම් මුතු ඇටයක් ත්‍රිකෝණාකාර වේද ත්‍ර්‍යශ්‍ර නම් වූ එය දැරීමෙන් සෞභාග්‍ය හීනකරයි. යම් මුතු ඇටයක් දිගින් වැඩි වේ ද කෘශ නම් වූ එය දැරීමෙන් ප්‍රඥා හානිය වෙයි. යම් මුතු ඇටයක බිඳීයාමක් නොමැතිව පාර්ශවයක ඌනතාවක් පෙනේ ද කෘශ්‍යපාර්ථ නම් වූ නින්දා කටයුතු ඒ මුතු ඇටය පැළදීමෙන් කැළඹීම් ඇති කරයි. යම් මුතු ඇටයක් වටකුරු නොවී පිඩක් මෙන් වේ ද අවෘත්ත නම් වූ එය දැරීමෙන් සියලු සම්පත් පැහැරගනී.

ස්වාභාවික හේතූන්ගෙන් හට නොගත් කෘත්‍රිම (ක්‍රියාවෙන් නිපන්) මුතු හැඳින ගන්නේ මෙසේ ය: උණු කරන ලද ලුණු සහිත තෙලෙහි මුතු ඇටය දමා රැයක් තබා ඉන්පසු වියළි වස්ත්‍රයක දවටා වීවලින් මැඩි කල වර්‍ණය වෙනස් ව මලානික වුවහොත් ඒ කෘතිමයි. නොඑසේ වී නම් සහජ මුතුයි. යම් මුතු ඇටයක් ලවණාකාර සහිත ගොමුත්‍ර භාජනයක බහා ගින්නෙන් ද්වේදකර වියළි වස්ත්‍රයකින් ඔතා වීවලින් මැඩීයෙන් දීප්තියට පත් වේ ද ඒ සහජයි. ඉඳින් බිඳුණේ වී නම් කෘත්‍රිම යයි දන්නේයි.

ලංකාවේ හටගන්නා මුතු නොයෙක් හැඩහුරුකම්වලින් යුක්ත ය, සිනිඳු ය, සුදු හංසයන්ගේ පැහැයට බඳු පැහැ ඇත්තේ ය, මහත ය. තාම්‍රපර්‍ණ ප්‍රදේශයේ උපදින මුතු මඳක් තඹ පැහැ මිශ්‍ර සුදුවන් ය, දීප්තිමත් ය. පාරලෞකිකයේ මුතු කළු, සුදු හෝ කහ පාටින් යුක්ත ය, ගල් හා මිශ්‍රවීමෙන් රළු ව තිබේ. සෞරාෂ්ට්‍ර දේශයේ මුතු වඩා සිහින්වූයේ හෝ මහත් වූයේ නොවේ. වෙඬරු පැහැයෙන් යුක්ත ය. පර්සියාවේ හටගන්නා මුතු දීප්තිමත් ය, බර ය, පැහැදිලි ය, ඉතා අගනේ ය. හිමාලයේ උපදින මුතු සැහැල්ලු ය, බිඳීම් සහිත ය, මිඳුන කිරි පාට ය, විශාල ය, හැඩහුරුකමින් දෙයාකාර ය. කෞබෙර ප්‍රදේශවල (උතුරුදිග රටවල) උපදින මුතු රළු ය, සුදු හෝ කළු පැහැයෙන් යුක්ත ය, සැහැල්ලු ය, දීප්තිමත් ය. පාන්ඩ්‍යවාටයෙහි උපදින මුතු නිඹ බිජු හෝ කොතඹුරු ඇට සමාන ය. බෙල්ලන්ගෙන් උපදින මුතු හැර අනිකුත් මුතු නොවිදිය යුතු බව දැක්වේ.

අතසී (හණ, වරා, තණ හෝ තුනැස් මුං) පුෂ්පයන් මෙන් සැමවන් පැහැය ඇති මුතු ඇයට විෂ්ණුගේ ද චන්‍ද්‍රයාට සමාන මුතු ඇටය ඉන්‍ද්‍රයේ ද හිරියල් පැහැය ඇති මුතු ඇටය වරුණගේ ද කාල වර්‍ණ මුතු ඇටය යමගේ ද විලිකුන් දෙළුම් ඵලයකට හෝ රතු ඔලිඳ ඇටයකට බඳු පැහැය ඇති මුතු ඇයට වායු දෙවතාවාගේ ද දුමින් තොර වූ ගින්නකට බඳු දීප්ති ඇති මුතු ඇටය අග්නි දෙවියාගේ ද වාසස්ථාන වෙති. අද දවසේ මෙන් පෙර ද මුතු අගය කරනු ලැබුණේ බර අනුව යැ. එකල මාෂක සතරක් බර වූ දීප්තිමත් මුතු ඇටයක් රිදී කර්‍ෂාපණ 5,300ක් අගනේ ය. මාෂක 3 1‍‍/2, 3, 2 1/2, 2, 1 1/2, 1 බර ඇති මුතු පිළිවෙලින් කර්‍ෂාපණ 3,200, 2,000, 1,300, 800, 353, 135 යන වටිනාකම් ඇති විය. (වී ඇට සතරක බර ඔළිඳ එකකි. ඔලිඳ පහක් මාෂ එකකි.)

දෙවියන් විසින් පළදිනු ලබන මුතු පොටවල් 1,008කින් යුත් සිව් රියන් දිග ඇති මුක්තාහිරය ඉන්‍ද්‍රච්ඡන්‍ද නම් වේ. එයින් අඩක් වූයේ (මුතු පොටවල් 504ක් හා දෙරියනක් දික්වූයේ) විජයච්ඡන්‍ද නම් වේ. පොටවල් 108කින් යුත් දෙරියනක් දිග මුතු හරය හාර නම් වේ. ලතිකා 81කින් යුක්ත වූයේ දෙවච්ඡන්ද නම් වේ. 64කින් යුක්ත වූයේ අර්‍ධබාර නම් වේ. ලතිකා 54කින් යුක්ත වූයේ රශ්මි කලාප නම් වේ. ලතිකා 32කින් යුක්ත වූ හරය ගුච්ඡ නම් වේ. ලතිකා 20කින් යුක්ත වූයේ අර්‍ධගුච්ඡා නම් වේ. ලතිකා 16කින් යුක්ත වූයේ මාණවක නම් වේ. 12කින් යුක්ත වූයේ අර්‍ධ මාණවක නම් වේ. ලතිකා 8කින් යුක්ත වූයේ මන්දරී නම් වේ. ලතිකා පසකින් යුක්ත වූයේ 'භාර ඵලක' නම් වේ. මුතු ඇට විසි හතකින් යුත් රියනක් දිග මුතු හරය නක්‍ෂත්‍ර මාලා නම් වේ. එහි වෙනත් මැණික් හෝ රනින් කළ පබළු සහිත වී නම් 'මණිසොපාක' නම් වේ. ඒ මුක්තාහාරය මැද රනෙහි ඔබ්බන ලද මැණිකක් වී නම් එකල 'චාටුකාර' යන නමින් හඳුන්වයි. මාණික්‍යයන්ගෙන් තොරවූ රියනක් දිග ඇති තනිපොට මාලය 'එකාවලි' නම් වේ. එහි මැද මැණිකක් වී නම් 'යෂ්ටි' යන නාමයනේ හඳුන්වනු ලැබේ.

මුතු සාරගුණයෙන් යුක්ත ය, ශීතලය, සෙම් වඩයි, ඇසට හිතයි, මිහිරි ය, ශක්තිජනක ය, බල පුෂ්ටි වඩයි, විෂ පහකරයි, නේත්‍ර රෝග හා කාය රෝග ශමනය කරයි, හීනව ගියා වූ වීර්‍ය්‍ය ලබාදෙයි. මුතු දැරීමෙන් පාප හා ශ්‍රී විරහිත බව ද නැති කරයි. මුතුවලට සඳු අධිපති බැවින් මුතු දැරීමෙන් සඳුගෙන් ඇති වන අපල දුරු වේ. දෝලිකා යන්ත්‍රයෙහි කංසා කොළ යුෂයෙන් සේවද කිරීමෙන් මුතු ශෝධනය කරනු ලැබේ. මුතු පැළදීමෙහි රේවතී, අස්විද, දෙනට, ශත, සිත, සා, විසා, අනුර යන නැකත් ශුභ වේ.

(කර්තෘ: ඩී.ආර්. සෙනෙවිරත්න)

(සංස්කරණය නොකළ)

"http://encyclopedia.gov.lk/si_encyclopedia/index.php?title=මුතු&oldid=5956" වෙතින් සම්ප්‍රවේශනය කෙරිණි