යෝහාන් වැන් ඕල්ඩන්බානවෙල්ට්
(Johan Van Oldenbarnevelt) (1547-1619). ඕලන්ද ජාතික රාජ්‍යතන්ත්‍රඥයෙකි. එවක ස්පාඤ්ඤ ආධිපත්‍යය යටතේ පැවති නෙදර්ලන්ත රාජ්‍යය ස්පාඤ්ඤ බැම්මෙන් මුදාගෙන නිදහස ලබා ගැනීම පිණිස විලියම් ද සයිලන්ට් (මෞන විලියම්) ගෙන ගිය සටනට ආධාර දුන් දේශප්‍රේමියෙකි.
1569 දී නීතිඥ වෘත්තියට බැඳුණු ඕල්ඩන්බානවෙල්ට් මඳකලකින් ම කැරලිකරුවන් හා එක්විය. 1579 දී යූට්රෙක්ට් සංගමය පිහිටුවීම සම්බන්ධයෙන් මුල් තැනක් ගත් ඔහු ඔරෙන්ජ්හි විලියම්ගේ අභාවයෙන් පසු එලිසබත් රැජිනට රාජ්‍යය පැවරීමේ අදහසින් ගිය දූත මෙහෙයක ප්‍රධානයා වශයෙන් කටයුතු කෙළේය. ඕලන්දයේ හා සීලන්තයේ ‘ස්ටාට්හෝල්ඩර්’ හැටියට නාසෞහි මොරිස් කුමරුන් පත්කිරීම ගැන ද ඔහු මුල් ව ක්‍රියා කෙළේය. 1586 දී ඕලන්දයේ ‘ලාන්ච්ස්-අද්වොකාත්’ නම් වූ නිත්‍ය අධිකරණ පදවියකට පත් කරනු ලැබූ ඕල්ඩන්බානවෙල්ට් ඉන්පසු බෙල්ජියම්-ඕලන්ද එක්සත් සමූහාණ්ඩුවේ සිවිල් කටයුතු හා විදේශ කටයුතු පාලනය කෙළේය. ඇම්ස්ටර්ඩෑම්, රොටර්ඩෑම් ආදි නගර පාලනය කළ වෙළඳ මණ්ඩල වෙනුවෙන් ඔහු පෙනී සිටි කාලයේ දී ඕලන්ද වෙළඳ කටයුතු බෙහෙවින් දියුණු විය. ඕලන්ද පෙරදිග ඉන්දියා වෙළඳ සමාගම පිහිටුවනු ලැබුයේ ද මොහුගේ කාලයේ දීය. මොරිස් කුමරුන්ගේ යුද්ධ කාර්යයන්ට ආධාර දුන් ඔහු 1596 දී ප්රංසය හා එංගලන්තය සමග එක්ව ත්රිසංයෝජන (Triple Alliance) ගිවිසුම ඇති කර ගත්තේය. ඉන්පසු කාලයේ දී ස්පාඤ්ඤය සමග සාමයට එළඹීමේ පරමාර්ථයෙන් ක්‍රියා කළ හෙතෙම රටේ බලවත් අයගේ විරෝධය මැද ම එරට සමග 12 වසක තාවකාලික සමගි ගිවිසුමකට බැඳුණේය. ක්‍රමයෙන් ඔහුගේ බලය වැඩි වත් ම ඔරෙන්ජ් පරපුර ද රදල පක්ෂය ද ඔහුට විරුද්ධ වූහ.
මේ අතර ඇති වූ ආගමික වියවුල් නිසා බැරෑරුම් තත්වයක් පැන නැංගේය. ‘රිමොන්ස්ට්රන්ට්වරුන්’ හා කැල්වින්වාදීන් අතර ඇති වූ ආගමික සටනේ දී ඕල්ඩන්බානවෙල්ට් රිමොන්ස්ට්රන්ට්වරුන්ට විරුද්ධව දැඩි ක්‍රියා මාර්ගයක් අනුගමනය කෙළේය. එහෙත් මොරිස් කුමරු ගත්තේ අනික් පක්ෂයයි.
1618 දී මොරිස් කුමරුන්ගේ නියමයෙන් ඔහු සිරභාරයට ගන්නා ලදි. ඉක්බිති රාජද්‍රෝහි කුමන්ත්‍රණ චෝදනා උඩ නඩු විභාග කොට 1619 මැයි 13 වැනි දින ඔහු ජීවිතක්ෂයට පමුණුවන ලදි.
ඕලන්දයේ විසූ ශ්‍රේෂ්ඨ ජාති හිතෛෂියකු හැටියට ඕල්ඩන්බානවෙල්ට්ගේ නම ඉතිහාසගත වී ඇත.
(සංස්කරණය: 1974)