ලේවි එෂ්කොල්
(1895-1969). වත්මන් ඊශ්‍රායෙලයේ තුන්වන අගමැතිවරයායි. ලේවි එෂ්කොල් හෙවත් ලේවි ෂ්කොල්නික් උපන්නේ යුක්රේන්හි ඔරටෝවා නම් ස්ථානයේය. 1914 දී ඔහු එවක තුර්කි පාලනය යටතේ පැවති පලස්තීනයේ පදිංචි විය.
ඊශ්‍රායෙල් රාජ්‍යය ගොඩනැඟීමෙන් පසු ඔහු එහි ආරක්ෂක කටයුතු පිළිබඳ අධ්‍යක්ෂ ජනරාල්වරයා බවට පත් විය. සයනිස්ට් (Zionist) සංවිධානයට බැඳුණු හේ එහි භාණ්ඩාගාරික ලෙස සේවය කළේය. 1951 දී බෙන්-ගුර්යොන්ගේ කැබිනට් මණ්ඩලයේ කෘෂිකර්ම හා සංවර්ධන කටයුතු පිළිබඳ ඇමති පදවිය ද 1952-63 දක්වා මුදල් ඇමති පදවිය ද ඉසිලීය. 1963 දී බෙන්-ගුර්යොන් අගමැති පදවියෙන් ඉල්ලා අස් වූයෙන් එෂ්කොල් ආරක්ෂක අමාත්‍ය පදවියට හා අග්‍රාමාත්‍ය බවට ද පත් විය. 1965 මැතිවරණයෙන් ඔහුගේ මාපායි පක්ෂයට වැඩි ආසන ගණනක් හිමි වූයෙන් වාමාංශ කම්කරු පක්ෂය ද සමග එෂ්කොල් සභාග රජයක් පිහිටුවිය.
1967 සදින යුද්ධයෙන් ඊශ්‍රායෙලය මිසරය පරදවාලූයේ ලේවි එෂ්කොල් අගමැතිව හුන් කාලයේ දීය.
(සංස්කරණය: 1974)