විද්‍යුත් ඌෂ්මක
තාප උත්පාදක ප්රභවය වශයෙන් විද්‍යුත්ශක්තිය උපයෝගී කරගනු ලබන ඌෂ්මක විද්‍යුත් ඌෂ්මක නමින් හැඳින්වේ. මෙම ඌෂ්මක ප්‍රධාන වශයෙන් විද්‍යුත් පරිපථයකින් හා උදුනකින් සමන්විත වේ. විද්‍යුත් පරිපථය තුළින් ධාරාව ගලායන කල ඉවත් වන තාපයෙන් උදුන තුළ ඇති පැටවුම (load) රත් වේ. පරිපථයේ ගලායන ධාරාව කෙළින් ම පැටවුම හා සම්බන්ධ වී හෝ නොවී තිබිය හැකිය. විද්‍යුත් ධාරාව නිසා ඉවත් වන තාපය විද්‍යුත් පරිපථයේ ප්රතිරෝධයට ද විද්‍යුත් ධාරාවේ වර්ගයට ද අනුලෝමව සමානුපාතික වේ.
නිර්මාණය අතින් විද්යුත්ඌෂ්මක විවිධාකාර වේ. එහෙත් විද්‍යුත්ශක්තිය තාපශක්තියට පරිවර්තනය කරනු ලබන ක්‍රමය අනුව පුළුල් ලෙස විද්‍යුත් චාප (aro) ඌෂ්මක, විද්‍යුත් ප්‍රතිරෝධ (resistance) ඌෂ්මක හා විද්‍යුත් ප්‍රේරණ (induction) ඌෂ්මක යයි විද්‍යුත් ඌෂ්මක තුන් පරිද්දෙකින් බෙදා දැක්විය හැකිය. ඒ ඒ ඌෂ්මකවල ප්‍රතිරෝධ මාධ්‍යය තාපන අවයවය (heating element) වශයෙන් ක්‍රියා කරයි. චාප උදුන්වල ප්‍රතිරෝධ මාධ්‍යය වනුයේ වාතයයි. ප්‍රතිරෝධ ඌෂ්මකවල ප්‍රතිරෝධ මාධ්‍යය සුදුසු ද්‍රව්‍යයකින් තනා ඇති කම්බියක්, පටියක්, කූරක් හෝ ද්‍රවයක් විය හැකිය. ප්‍රේරණ ඌෂ්මකවල ප්‍රතිරෝධ මාධ්‍යය ද්‍රවයක් හෝ ඝනයක් හෝ විය හැකිය. උදුනේ නිපැදවෙන තාපය, තාපසංක්රමණයෙහි පොදු ක්‍රම වන සන්නයනය, සංවහනය හා විකිරණය යන ක්‍රමවලින් පැටවුමට සම්ප්‍රේෂණය වේ. දෙන ලද අවශ්‍යතාවක් අනුව සුදුසු විද්‍යුත් ඌෂ්මකයන් තෝරා ගැනීමේ දී අවශ්‍ය වන උපරිම උෂ්ණත්වය කෙරෙහි හා පැටවුමේ තාපසන්නායකතාව කෙරෙහි විශේෂ සැලකිල්ලක් දැක්විය යුතුය. චාප ඌෂ්මකවලින් ලබාගත හැක්කේ සීමාසහිත තාප ප්‍රමාණයක් පමණි. එහෙත් ප්‍රතිරෝධ ඌෂ්මකවල හා ප්‍රේරණ ඌෂ්මකවල උෂ්ණත්වය සීමාරහිතව වැඩි කළ හැකි බැවින් එවැනි උදුනක තාපසහ (refractory) ද්‍රව්‍යයට සහ පරිවරණ ද්‍රව්‍යයට දරාගත හැකි උෂ්ණත්වය උපරිම උෂ්ණත්වය වශයෙන් සැලකිය හැකිය.
පටුන
විද්‍යුත් චාප ඌෂ්මක
චාප ඌෂ්මකයක් ඉලෙක්ට්‍රෝඩ දෙකකින් හෝ වැඩි ගණනකින් ද, එම ඉලෙක්ට්‍රෝඩ සීරුමාරු කිරීම සඳහා යොදනු ලබන උපක්‍රමයකින් ද, ඉලෙක්ට්‍රෝඩ අතර විද්‍යුත් චාපයක් ඇති කිරීමට අවශ්‍ය වන ආකාරයේ වෝල්ටීයතාවක් ඇති කිරීම සඳහා යෙදෙන පරිණාමකයකින් (පරිණාමකය බ.) ද, උදුනකින් ද සමන්විත වේ.
උදුන වානේ කබොලකින් තනා එහි ඇතුළත අවශ්‍යතාවට අනුව ආම්ලික හෝ භාස්මික ඇතුරුමකින් නිමවා තිබේ. පරිණාමකය උපයෝගී කොට ධන හා ඍණ ඉලෙක්ට්‍රෝඩ අතර විද්‍යුත් චාපයක් ඇති කිරීමෙන් උදුන තුළ තාපය උත්පාදනය කරනු ලැබේ. විද්‍යුත් චාපය ඇති වන කොටසේ ඇති වාතය රත්වීම නිසා එයින් විකිරණය වන තාපයෙන් පැටවුම රත් වේ. ඉලෙක්ට්‍රෝඩ ක්‍රමයෙන් දහනය වන කල්හි යාන්ත්‍රික උපක්‍රමය මගින් ඉලෙක්ට්‍රෝඩ සුදුසු ප්‍රමාණයට ස්වයංක්‍රියව පහත් වේ.
විද්‍යුත් චාප ඌෂ්මකවල කාබන් හෝ මිනිරන් ඉලෙක්ට්‍රෝඩ උපයෝගී කරගනු ලැබේ. මෙම ඉලෙක්ට්‍රෝඩ සිලින්ඩරාකාර හෝ ඍජුකෝණාස්රාකාර හෝ විය හැකිය. සාමාන්‍යයෙන් සිලින්ඩරාකාර කාබන් ඉලෙක්ට්‍රෝඩ අඟල් 40ක පමණ විෂ්කම්භයකින් ද මිනිරන් ඉලෙක්ට්‍රෝඩ අඟල් 18-20 පමණ විෂ්කම්භයකින් ද යුක්තය. විශාල ඌෂ්මකවල යොදනු ලබන ඉලෙක්ට්‍රෝඩ වානේ කොපුවක් තුළ පුරවන ලද කාබන් මිශ්‍රණයකින් යුක්ත වේ. කොපුව සහිත ඉලෙක්ට්‍රෝඩය දහනයෙන් ක්ෂය වන කල පළමු කොපුවට තවත් කොපුවක් වෙල්ඩිං කොට මිශ්‍රණය නැවත වරක් පුරවනු ලැබේ. මෙම ආකාරයේ සමහර ඉලෙක්ට්‍රෝඩවල විෂ්කම්භය අඩි 8ක් පමණ වේ. මෙම ඉලෙක්ට්‍රෝඩ ක්ෂය වී යෑම යාන්ත්‍රික වශයෙන් ගෙවීයාමෙන් ද අධික උෂ්ණත්වය නිසා ඔක්සිකරණය වීමෙන් ද යන දෙයාකාරයෙන් සිදු වේ. එහෙත් ඉලෙක්ට්‍රෝඩ නිර්මාණය ප්‍රධාන වශයෙන් ම පාලනය කරනු ලබන සාධකය වනුයේ ඉලෙක්ට්‍රෝඩ ඔක්සිකරණයයි. ඉලෙක්ට්‍රෝඩ ඔක්සිකරණය වීමේ දී මූලිකව ක්‍රියා කරනුයේ ඉලෙක්ට්‍රෝඩය මතුපිට ඇති උෂ්ණත්වයයි. එහෙයින් බොහෝ ඌෂ්මකවල ඉලෙක්ට්‍රෝඩ වටා ඇති ජලනළ පද්ධතියක් මගින් ඉලෙක්ට්‍රෝඩවල උෂ්ණත්වය පළමුව නිශ්චය කරන ලද අගයක පවත්වා ගනු ලැබේ.
විද්‍යුත් චාප ඌෂ්මකවල යොදන ඉලෙක්ට්‍රෝඩ තෝරාගනු ලබන්නේ ධාරා ඝනත්වය (current density) අනුවය. කාබන් ඉලෙක්ට්‍රෝඩවලට වර්ග අඟලට ඇම්පියර 30-60 පමණ ධාරාවක් ද, මිනිරන් ඉලෙක්ට්‍රෝඩවලට වර්ග අඟලකට ඇම්පියර 100-300 පමණ ධාරාවක් ද දරාගත හැකිය. ඉලෙක්ට්‍රෝඩ මත අධිවෝල්ටීයතාවක් යෙදීමෙන් දිග චාපයක් ලබාගත හැකිය. තාපසංක්රමණය පහසුවීම ද අඩු ධාරාව නිසා ඉලෙක්ට්‍රෝඩවල දී හා නායකයන්හි දී ඉවත් වන තාප ශක්තිය අඩුවීම ද මෙහි ඇති වාසි වුවත් උදුනේ තාපසහ ද්‍රව්‍යය මේ නිසා ඉක්මනට ඛාදනය වීම ද අන්තරායදායක වීම ද නිසා සාමාන්‍යයෙන් වෝල්ට 300-325 අතර අගයක් මේ සඳහා බොහෝවිට යොදාගනු ලැබේ.
ස්ටැසනෝ (Stassano) භ්‍රමණ ඌෂ්මකය හා ඒරූ (Heroult) චාප ඌෂ්මකය ලාක්ෂණික චාප ඌෂ්මක දෙවර්ගයකි. ස්ටැසනෝ ඌෂ්මකය 1 රූ සටහනේ දැක්වේ. මෙහි උදුන සිලින්ඩරාකාරය. යාන්ත්‍රික උපක්‍රමයක් මගින් සිලින්ඩරය එහි අක්ෂය වටා ක්‍රමවත්ව දෝලනය කළ හැකිය. මේ නිසා උදුන තුළ ඇති පැටවුම හොඳින් මිශ්‍ර වේ. සිලින්ඩරයේ උඩ මතුපිටෙහි ඇති විවරයක් තුළින් පැටවුම උදුන තුළට ඇතුළු කිරීම ද ප්‍රතික්‍රියා නිසා ඉවත් වන වායු සිලින්ඩරයෙන් පිටතට ගමන් කරවීම ද කළ හැකි වේ. සිලින්ඩරයේ අක්ෂය දිගේ පිහිටන අයුරින් ඉලෙක්ට්‍රෝඩ දෙක සවි කොට තිබේ. ඉලෙක්ට්‍රෝඩ දෙක අතර පැටවුමට ඉහළින් ඇති වන විද්‍යුත් චාපය නිසා පැටවුම රත් වේ. යකඩ ඔක්සයිඩ්වලින් ලෝහ උණු කිරීම සඳහා පළමුව මෙම ඌෂ්මකය නිර්මාණය කරන ලද නමුත් ලෝහ මිශ්‍රණ නිපැදවීම සඳහා යොදාගත හැකි අයුරු කුඩා ඒකක වශයෙන් දැනට මෙම ඌෂ්මක තනනු ලැබේ. ඒරූ ඌෂ්මකය 2 රූප සටහනේ දැක්වේ. මෙම ඌෂ්මකයේ වහලෙන් පහළට එල්ලෙන ආකාරයට ඉලෙක්ට්‍රෝඩ සවි කොට තිබේ.
පැටවුම් උදුනට ඇතුළු කිරීම සඳහා මෙම වහල ඉලෙක්ට්‍රෝඩ සමග ම ඉවත් කළ හැකිය. ඵලය ඉවත් කිරීම සඳහා උදුනේ පසකින් දොරක් ද තිබේ. මෙම දොර තුළ ඇති ජලනළ මගින් දොර සහිත ඉසව්වේ උෂ්ණත්වය පාලනය කළ හැකි වේ. පැටවුමට මඳක් ඉහළින් ඉලෙක්ට්‍රෝඩ දෙකේ කෙළවර හැමවිට ම පිහිටා සිටින අයුරු යාන්ත්‍රික උපක්‍රමයක් මගින් ඉලෙක්ට්‍රෝඩ ස්වයංක්‍රියව සීරුමාරු වේ. ඉලෙක්ට්‍රෝඩවලට අවශ්‍ය ප්‍රමාණයේ විද්‍යුත් විභවයක් යෙදූ කල්හි, එක් ඉලෙක්ට්‍රෝඩයකින් පැටවුමට ද, පැටවුමෙන් අනෙක් ඉලෙක්ට්‍රෝඩයට ද, කෙළින් ම ඉලෙක්ට්‍රෝඩ දෙක හරහා ද, විද්‍යුත් චාප ඇති වේ. යකඩත් අඩු තාපාංකයක් ඇති ලෝහත් ද්‍රව කිරීම සඳහා ද තාපසහ ද්‍රව්‍ය නිපැදවීම සඳහා ද පරීක්ෂණාත්මක රසායනික කටයුතු සඳහා ද මෙම උදුන් යොදාගනු ලැබේ.
ප්‍රතිරෝධ ඌෂ්මක
ප්‍රතිරෝධකයක් හර විද්‍යුත් ධාරාවක් ගමන් කරවීමට හැකි අයුරු සක ඇති විද්‍යුත් පරිපථයකින් ද, උදුනකින් ද, ප්‍රධාන වශයෙන් ප්‍රතිරෝධ ඌෂ්මකය සමන්විත වේ. වානෙන් තනන ලද කුටීරයක් තුළ තාපසහ ද්‍රව්‍යයක් ඇතිරීමෙන් උදුන නිමවා තිබේ. වැදගත් ම කොටස වූ, ප්රතිරෝධකවලින් සමන්විත ඌෂ්මකයේ සැකිල්ල උදුන තුළ සවි කොට, පරිවාර ද්‍රව්‍යයකින් එය ආවරණය කොට තිබේ. මෙම ප්‍රතිරෝධක සැකිල්ල තාපන අවයවය වශයෙන් ක්‍රියා කරයි. විද්‍යුත් පරිපථය හා පැටවුම අතර ඇති සම්බන්ධතාව අනුව ඍජු (direct) තාප ඌෂ්මක හා අනියම් (indirect) තාප ඌෂ්මක යයි ප්‍රතිරෝධ ඌෂ්මක ගණ දෙකකට බෙදිය හැකිය.
ඍජු තාප ඌෂ්මකවල පැටවුම ද විද්‍යුත් පරිපථයේ ම කොටසකි. එම නිසා පැටවුම තුළින් ද විද්‍යුත් ධාරාව ගලායයි. එවිට පැටවුමේ ප්‍රතිරෝධය නිසා ඉවත් වන තාපයෙන් පැටවුම රත් වේ. සාමාන්‍ය සෘජු තාප ඌෂ්මකවල උදුනේ සවි කොට ඇති ඉලෙක්ට්‍රෝඩ දෙකක් අතර පැටවුම තබනු ලැබේ. පැටවුම කුඩු වශයෙන් ඇති විට භාජනයක අසුරා ඉලෙක්ට්‍රෝඩ අතර තැබිය හැකිය. පැටවුමේ විශිෂ්ට ප්‍රතිරෝධය (resistivity) හා තාපගුණ, උෂ්ණත්වය අනුව වෙනස් වන හෙයින් ද, විශේෂයෙන් කුඩු වශයෙන් පැටවුම ඇතිවිට එය ඇහිරී ඇති ආකාරය අනුව, ස්ථානයෙන් ස්ථානයට ඉවත් වන තාපය වෙනස් වන නිසා ද, පැටවුම ඒකාකාරව රත් නොවේ. තවද පැටවුමේ ඒ ඒ ස්ථාන මහතින් එකිනෙකට වෙනස් නම් ධාරාව ගලායාමේ දී මහත කොටස්වල දී අඩුවෙන් ද සිහින් කොටස්වල දී වැඩියෙන් ද තාපය ඉවත් වේ. එහෙයින් සෘජු තාප ඌෂ්මකවල ප්‍රායෝගික වැදගත්කම සීමාසහිත වේ. කාර්මික වශයෙන් වඩා ප්‍රයෝජනවත් වන ඍජු තාප ඌෂ්මක වර්ගයක ප්‍රතිරෝධකය වශයෙන් ද්‍රව ලවණයක් යොදා ගනිත්. මෙම ඌෂ්මක ලුණු කටාරම් ඌෂ්මක නමින් ද හැඳින්වේ. ලවණයේ ප්‍රතිරෝධය නිසා ලවණය තුළින් විද්‍යුත් ධාරාවක් ගලායාමේ දී තාපය ඉවත් වේ. මේ නිසා කටාරමේ ඇති ලවණ ද්‍රාවණයේ උෂ්ණත්වය ඉහළ නඟී. පැටවුම ලුණු ද්‍රාවණය තුළ තැබීමෙන් රත් කළ හැකිය. රත් ලුණු ද්‍රාවණය සමඟ පැටවුම කෙළින් ම ස්පර්ශ වී ඇති නිසා පැටවුම ඉතා ඉක්මනින් රත් වේ. තවද පැටවුම ඔක්සිකරණය වීම ද ලවණ ද්‍රාවණය නිසා වළකී. ලිතියම්, සෝඩියම්, පොටෑසියම්, කැල්සියම්, මැග්නීසියම් හා ඇලුමිනියම් යනාදි ලෝහ නිපදවීම සඳහා කාර්මික ලෙස විශාල වශයෙන් ලුණු කටාරම් ඌෂ්මක උපයෝගී කරගනු ලැබේ. නිදසුනක් වශයෙන්, ඇලුමිනියම් නිෂ්පාදනයේ දී ඇලුමිනියම් ඔක්සයිඩයේ හා සෝඩියම් ඇලුමිනියම් ප්ලුවොරයිඩයේ මිශ්‍රණයක් ලවණ මිශ්‍රණය වශයෙන් යොදාගනු ලැබේ. මෙම මිශ්‍රණය තුළින් විද්‍යුත් ධාරාවක් ගමන් කරන විට ලවණ මිශ්‍රණයේ ප්‍රතිරෝධය නිසා විද්යුත්විච්ඡේදනයට අවශ්‍ය උෂ්ණත්වයට ලවණ මිශ්‍රණය රත් වේ. විද්යුත්විච්ඡේදනයේ දී උදුනේ පතුලේ ඇති මිනිරන් කැතෝඩය මත ලෝහ ඇලුමිනියම් එකතු වේ. ඍජු තාප ඌෂ්මක කෙරෙහි වෝල්ට 5-30 දක්වා වූ විභව අන්තරයක් සාමාන්‍යයෙන් යොදනු ලැබේ.
අනියම් තාප ඌෂ්මක (3 හා 4 B රූප සටහන්) පරීක්ෂණාගාර අවශ්‍යතාවන් සඳහා ද කාර්මික අවශ්‍යතාවන් සඳහා ද විවිධ ආකාරයෙන් නිමවා තිබේ. මෙහි ප්‍රතිරෝධක සැකිල්ල හා පැටවුම අතර විද්‍යුත් සම්බන්ධතාවක් නොමැත. පරීක්ෂණාගාර ඌෂ්මකයන්හි ප්‍රතිරෝධක ද්‍රව්‍යය වශයෙන් නයික්රෝම්, මිනිරන් හෝ මොලිබ්ඩිනම් ප්‍රතිරෝධක යොදාගනිත්. එහෙත් මිනිරන් හා මොලිබ්ඩිනම් වායුගෝලයේ දී ඔක්සිකරණය වන හෙයින් හීලියම්වලින් හෝ නයිට්රජන්වලින් සමන්විත ආරක්ෂක වායුගෝලයක ප්‍රතිරෝධක තැබීම අවශ්‍ය වේ. සෙ. 1,000° දක්වා වූ උෂ්ණත්ව සඳහා නිකල්-ක්‍රෝමියම් ලෝහ මිශ්‍රණය ද සෙ. 1,200° දක්වා වූ උෂ්ණත්ව සඳහා යකඩ-ක්‍රෝමියම්-ඇලුමිනියම් ප්‍රතිරෝධක ද යොදාගත හැකිය. තාපසහ ද්‍රව්‍යයකින් තනන ලද නළයක, ප්‍රතිරෝධකය ඔතා පරිවරණ ද්‍රව්‍යයකින් ආවරණය කොට කොපුව බහාලීමෙන් නිපදවා ඇති ඒකක වශයෙන් උදුන්වල මෙම ප්‍රතිරෝධක සවි කොට තිබේ.
කාර්මික අවශ්‍යතාවන් සඳහා උපයෝගී කරගනු ලබන ඌෂ්මකවල උදුනේ බිත්ති තුළ පරිවාරක ද්‍රව්‍ය මගින් ප්‍රතිරෝධක ඔබ්බවා තිබේ. බොහෝ විට මෙම ප්‍රතිරෝධක සිලිකන් කාබයිඩ්වලින් හා මිනිරන්වලින් තනන ලද ඒවායි. මෙම ඌෂ්මක තුළට පැටවුම ඇතුළු කිරීමට ද ඵලය පිට කිරීමට ද විවිධ යාන්ත්‍රික උපක්‍රම යොදා තිබේ. පීලි මත දුවන රෝද උඩ නංවා ඇති කුඩා ට්රක්රථ මේ සඳහා බහුලව යොදාගනු ලැබේ. මෙම ඌෂ්මකවලින් බහුතර ප්‍රමාණයක උෂ්ණත්වය ස්වයංක්‍රියව සැකසේ.
තවත් අනියම් තාප ඌෂ්මක විශේෂයක පැටවුම රත්කිරීම සඳහා අධෝරක්ත විකිරණය (infrared radiation) උපයෝගී කරගනු ලැබේ. ඉහළ උෂ්ණත්වවල දී අධෝරක්ත විකිරණය අනායාසයෙන් ම ඇති වන හෙයින් මෙම ඌෂ්මකවල පැටවුම අධිඋෂ්ණත්ව උත්පාදකයකින් ලැබෙන විකිරණය මගින් රත්වීමට හරිනු ලැබේ. ඒ නිසා මෙම උදුන් තාප දීප්ත විදුලි පහන් විශාල ගණනකින් යුක්ත වේ. කාබන් සූත්‍රිකා සහිත විදුලි පහන් මේ සඳහා වඩාත් යෝග්‍යය. මෙම ඌෂ්මක උපයෝගී කොට ඉක්මනින් මතුපිට පෘෂ්ඨය පමණක් රත් කිරීමට පිළිවන. එහෙයින් තීන්ත වර්ග ආලේප කොට ඇති භාණ්ඩ වියැළීම සඳහා මෙම ඌෂ්මක ප්‍රධාන වශයෙන් ම යොදාගනු ලැබේ.
ප්‍රේරණ ඌෂ්මක
පරිණාමකයක ප්‍රාථමික දඟරය තුළින් විද්‍යුත්ධාරාව ගලායන විට ද්විතීයික ප්‍රේරණ ධාරාවක් (විද්‍යුත් ප්‍රේරණය බ.) ඇති වේ. ද්විතීයික දඟරයේ ප්‍රතිරෝධකය හේතුකොටගෙන මෙම ධාරාව නිසා තාපය නිපැදවේ. ප්‍රේරණ ඌෂ්මකයක මෙම මූලධර්මය උපයෝගී කරගනු ලැබේ. එහෙයින් පරිණාමකයක ද්විතීයික දඟරය වශයෙන් පැටවුම ක්‍රියා කරන ආකාරයට මෙම ඌෂ්මක සකසා තිබේ. තඹ දඟරයක් ප්‍රාථමිකය වශයෙන් ක්‍රියා කරයි. ප්‍රාථමික දඟරය තුළින් ධාරාව ගලායන කල්හි පැටවුම තුළ ඇති වන ප්‍රේරිත ධාරාව නිසා පැටවුම රත් වේ. ප්‍රාථමික දඟරය ද ද්විතීයික දඟරය වශයෙන් ක්‍රියා කරන පැටවුම ද එකිනෙකට ඈඳීම සඳහා චුම්බක ද්‍රව්‍යයක් යොදා ගැනීම හෝ නොගැනීම අනුව මදය (core) සහිත ප්‍රේරණ ඌෂ්මක හා මදය රහිත ප්‍රේරණ ඌෂ්මක යනුවෙන් විද්‍යුත් ප්‍රේරණ ඌෂ්මක කොටස් දෙකකට බෙදිය හැකිය.
මදය සහිත ප්‍රේරණ ඌෂ්මක
මහත තඹ දඟරයකින් සමන්විත ප්‍රාථමිකය ඔතා ඇති මදය වටා පුඩුවක ආකාරයට තාපසහ ද්‍රව්‍යයකින් තනා ඇති පීල්ලකින් මදය සහිත ප්‍රේරණ ඌෂ්මකය සමන්විත වේ. මෙම පීල්ල තුළ පැටවුම පිරී ඇති විට සෑදෙන පුඩුව තනිපොටේ ද්වීතීයික දඟරයක් වශයෙන් ක්‍රියා කරයි. පැටවුම රත් වන්නේ ඒ තුළින් ගලා යන ප්රේරිතධාරාව නිසා හෙයින් පැටවුම විද්‍යුතය සන්නයනය කරන්නක් විය යුතුය. එහෙයින් ලෝහ ද්‍රව කිරීම සඳහා ද රත් කිරීම සඳහා ද පමණක් මේ ඌෂ්මක යොදනු ලැබේ. බහුල වශයෙන් පිත්තල, ඇලුමිනියම්, සැහැල්ලු මිශ්‍ර ලෝහ, තුත්තනාගම් හා තඹ වැනි ද්‍රව්‍ය ද්‍රව කිරීමට සහ රත් කිරීමට මෙම ඌෂ්මක යොදා ගනිත්. ඌෂ්මකයට සම්බන්ධ කොට ඇති විද්‍යුත් ස්විච් ගියරයක් මගින් සුදුසු වෝල්ටීයතාවක් තෝරා ගැනීමෙන් උදුනේ උෂ්ණත්වය පාලනය කරනු ලැබේ. පැටවුමේ ස්වභාවය හා විශිෂ්ට ප්‍රතිරෝධය මත මෙම ඌෂ්මකවල කාර්යක්ෂමතාව රැඳී පවතී. උදුනෙන් ද්‍රව ලෝහය ඉවත් කිරීමේ දී සුළු ප්‍රමාණයක් ලෝහය පුඩුවේ ඉතිරි වීමට සලස්වනු ලැබේ. මෙය උදුන නොකඩවා ක්‍රියා කරවීමට උපකාරී වේ. මෙම ආකාරයේ ඌෂ්මකයන්ගේ පැටවුම ඉතා වේගයෙන් කැළතේ. ද්‍රව ලෝහය පොම්ප කිරීම සඳහා ද මෙම කැළතුම යොදාගත හැකිය.
මදය රහිත විද්‍යුත් ප්‍රේරණ ඌෂ්මක
තාපසහ ද්‍රව්‍යයකින් තනන ලද කෝවකින් ද ඒ වටා ඔතන ලද තඹ දඟරයකින් ද මෙම ඌෂ්මකය සමන්විත වේ. තඹ දඟරය සහ කෝව අතර පරිවරණ ද්‍රව්‍යය වශයෙන් ක්‍රියා කරන්නේ ද තාපසහ ද්‍රව්‍යය මය. උදුනේ අධික උෂ්ණත්වය නිසා තඹ දඟරය දැවී යාම වළක්වාලීම සඳහා ජලනළ මගින් ප්‍රාථමිකය සිසිල් කරනු ලැබේ. තඹ දඟරය ප්‍රාථමික වශයෙන් ද, කෝව තුළ ඇති පැටවුම ද්විතීයික දඟරය වශයෙන් ද, ක්‍රියා කෙරේ. වානේ සහ ඉහළ තාපාංකයක් ඇති ලෝහ ද්‍රව කිරීම සඳහා සාමාන්‍යයෙන් මෙම ඌෂ්මක උපයෝගී කරගනිත්. අඩු විද්‍යුත් සන්නායක ද්‍රව්‍ය හා විද්‍යුතය සන්නයනය නොකරන ද්‍රව්‍ය රත් කිරීම සඳහා ද මෙම ඌෂ්මක යොදාගත හැකිය.
ශක්තිමත් බව, අඩු සන්නායකතාව, පැටවුම හා නිපැදවෙන ද්‍රව ලෝහය සමග ප්‍රතික්‍රියා නොවීම යනාදි ගුණවලින් කෝව යුක්ත විය යුතුය. විද්‍යුතය සන්නයනය නොකරන ද්‍රව්‍ය රත් කිරීම සඳහා ඌෂ්මකය යොදා ගන්නා විට, කෝව හොඳ විද්‍යුත් සන්නායක ද්‍රව්‍යයකින් තැනීම අවශ්‍ය වේ. ඒ නිසා බොහෝවිට මෙම කෝව මිනිරන්වලින් නිපදවනු ලැබේ. පැටවුම විද්‍යුතය සන්නයනය කරන්නේ නම් විද්‍යුතය සන්නයනය නොකරන ද්‍රව්‍යයකින් කෝව තනනු ලැබේ. නැතහොත් පැටවුම තුළින් ගලායන ප්රේරිතධාරාවට ආවරකයක් වශයෙන් කෝව ක්‍රියා කරයි. විද්‍යුතය සන්නයනය නොකරන ආම්ලික කෝව සිලිකාවලින් ද භාස්මික කෝව සින්ටර මැග්නීසියාවලින් (sintered magnesia) ද උදාසීන කෝව සර්කෝනියම්වලින් (zirconium) ද නිපදවනු ලැබේ. උදුනේ කඳ කොටසෙහි ද ප්රේරිතධාරා ඇති විය හැකි හෙයින් මෙය වැළැක්වීම සඳහා ලීවලින් හෝ ඇස්බෙස්ටොස් තහඩුවලින් උදුනේ කඳ කොටස නිමවනු ලැබේ. මදය සහිත ඌෂ්මකවල යෙදෙන විද්‍යුතයට වඩා අධිසංඛ්යාතයකින් යුතු විද්‍යුතය මදය රහිත ඌෂ්මකවලට යෙදිය යුතුය. තත්පරයට චක්‍ර 10,000 දක්වා සංඛ්‍යාතයකින් යුතු විද්‍යුතය සඳහා මෝටර (බ.) ද ඊට ඉහළ සංඛ්‍යාත සඳහා ඉලෙක්ට්‍රෝනික නළ (බ.) ද යොදා ගනිත්. පොදුවේ තත්පරයට චක්‍ර 960 ඌෂ්මකවල බහුලව යෙදෙන සංඛ්‍යාතයයි. විද්‍යුතයේ සංඛ්‍යාතය ඉහළ යන විට පැටවුමේ කැළතුම ක්‍රමයෙන් අඩු වේ. එහෙයින් පැටවුම හොඳින් කැළතිය යුතු අවස්ථාවල දී අඩු සංඛ්‍යාත විද්‍යුතය උපයෝගී කර ගනු ලැබේ. නවීන ඌෂ්මකයන්හි අධි සංඛ්‍යාතයකින් යුතු විද්‍යුතය හා අඩු සංඛ්‍යාතයකින් යුතු විද්‍යුතය එකවර ප්‍රාථමික දඟරයට යොදනු ලැබේ. අධිසංඛ්‍යාත විද්‍යුත් කොටස නිසා පැටවුම ඉක්මනට රත් වේ. අඩු සංඛ්‍යාත විද්‍යුතය නිසා පැටවුම හොඳින් සැළකේ.
(සංස්කරණය: 1974)