සහනාධාර

සිංහල විශ්වකෝෂය වෙතින්
වෙත පනින්න: සංචලනය, සොයන්න

(Relief Found). පාරිභෝගිකයාට රජය විසින් නොමිලේ හෝ අඩු මිලට භාණ්ඩ හා සේවා සැපයනු ලැබීම සහනාධාර නමින් හැඳින්වේ. මෙරට ජනතාව භුක්ති විඳිමින් සිටි ප්‍රධානම සහනාධාරය සහල් සලාකයයි. ආදායම් තත්වය කුමක් වුව ද ඕනෑම කෙනෙකුට තමන්ට හිමි සහල් ප්‍රමාණය මෙම ක්‍රමය යටතේ ස්ථිර වශයෙන් ම ලබාගත හැකි විය. සලාක ක්‍රමයක් යටතේ සහල් බෙදාහැරීමෙන් පැහැදිලි වූයේ සහල්වලට ඇති ඉල්ලුම හා ඒවායේ සැපයුම අතර පරතරයන් පැවති බවත් එහෙයින් ආහාර සම්පත් සාධාරණ ව බෙදා හැරීම සඳහා රජය මැදිහත් වූ බවත් ය. ඒ නිසා හාල් සලාක ක්‍රමය වූ කලී පෞද්ගලික ව්‍යවසායක ආර්ථිකය තවත් නිදහස් වෙ‍ෙළඳපොළ ආර්ථිකය (අබාධ ව්‍යවසාය ආර්ථිකය, ධනවාදී ආර්ථිකය බ.) තුළට රජය මැදිහත් වූ ප්‍රධාන ම විධියයි.

දෙවැනි ලෝක යුද්ධ සමයේ ආහාර ද්‍රව්‍ය ආනයනය කිරීම අපහසු විය. ඒ නිසා සැපයුම සීමා විය. එහෙත් යුද්ධකාලීන වියදම් නිසා ජනතාව අතට පත් වූ මුදල් ප්‍රමාණය වැඩි විය. වියදම් කිරීමේ හැකියාව ඉහළ ගියේ ය. ඒ නිසා ආහාරවලට කෙරුණු ඉල්ලුම පුළුල් විය. ආහාර මිල ඉහළ යාමෙන් ගෙන දෙන පීඩනය තුනීකරලීමටත් සහල් සාධාරණ අන්දමට බෙදා හැරීමටත් 1943 දී සහල් සලාක ක්‍රමය හඳුන්වා දෙන ලදි. පසුගිය අවුරුදු 30 මුළුල්ලේ ම ආර්ථික කටයුතු තුළට රජය මැදිහත් වෙමින් නිදහස් අර්ථක්‍රමය විකෘති කිරීමේ මෙරට ආර්ථිකය මිරිකීමේ මුල් අවස්ථාව වශයෙන් සැළකිය හැක්කේ එයයි.

1978 අයවැය යෝජනා ක්‍රියාත්මක වීමෙහි ප්‍රතිඵලයක් වශයෙන් පළමුවන වතාවට අවුරුදු 35කට පසුව මෙකී සලාක ක්‍රමය අහෝසි විණ. මේ සම්බන්ධව අයවැය කථාවේ මෙසේ සඳහන් වේ. නිදහස් නිවහල් සමාජයක් මත නිදහස් නිවහල් ආර්ථිකයක් ගොඩනැඟීම සඳහා අපේ රට ආර්ථික මූල්‍ය ක්‍රමය සම්පුර්ණයෙන් වෙනස් කළ යුතු වේ. ගත වූ තිස් අවුරුද්ද මුළුල්ලේ නොයෙකුත් සීමාකිරීම් හා බැඳීම්වලින් දැඩි ව පාලනය වූ අපේ මුල්‍ය හා ආර්ථික රාමුව විප්ලවයක් ලෙස ශීඝ්‍ර වෙනස් කිරීමකට හසු කළ යුතුයි. මෙරට මුල් ම සීමා කිරීම හා මුල් ම සලාක ක්‍රමය ආරම්භ වූයේ දෙවන ලෝක යුද්ධ කාලයේ දී ය. එනම් 1943 දී ය. එ් සලාක ක්‍රමය හා සීමා කිරීම්වලිනුත් ඒවායේ ප්‍රතිඵල වශයෙන් ඇති වූ පෝළිම් හා ප්‍රමාදවීම්වලිනුත් මානසික වශයෙන් වධහිංසාවලිනුත් අනෙකුත් තාඩනපීඩනවලිනුත් මේ රටේ මහජනතාවගෙන් බහුතර කොටසකට තව ම මිදීමට අපහසු වී තිබේ. 1970 සිට 1977 දක්වා වූ කාලයේ දී මෙම පාලනය කිරීම් හා සීමා කිරීම් එන්න එන්න ම දියුණු විය. රටේ මුළු ආර්ථිකය ම පීඩාකිරීම්වලින් මිරීකී ගියේ ය. සිමෙන්ති කොට්ටයක් මිලට ගැනීමට හෝ අවමංගල කටයුත්තක් සඳහා රෙදි කෑල්ලක් ලබා ගැනීමට හෝ මන්ත්‍රීවරයාගෙන් බලපත්‍රයක් ලබා ගැනීමට මහජනතාවට සිදු විය. මෙම ක්‍රමය සහමුලින් ම වෙනස් කිරීමට මුල පුරන්නේ මේ අයවැයෙනි.

මේ අනුව සහල් සලාකය අහෝසි කිරීම මෑත ආර්ථික ඉතිහාසයේ වැදගත් සිද්ධියකි. ශ්‍රී ලංකාවේ පිස්කල් ප්‍රතිපත්තියේ ලක්‍ෂණයක් නම් සුභසාධනය හා සංවර්ධනය අතර ගැටුමයි. සහල් සලාකය නොකඩවා පවත්වා ගෙන යනු ලැබුවේ සුභසාධනයට තැන දීමක් වශයෙනි. සංවර්ධන කටයුතු සඳහා යෙදවිය හැකි ව තිබුණු මුදල් සහනාධාරය සඳහා කැප කරන්නට සිදුවිය. 1976 රජයේ ආදායමින් 16%ක් ම ආහාර සහනාධාරය සඳහා වැය විය. මේ සම්පත් ප්‍රමාණය එදිනෙදා පරිභෝජනය සඳහා නොගෙන ආර්ථික සංවර්ධනය යොද ගත්තේ නම් මෙරට ආහාර නිෂ්පාදනය බොහෝ දුරට වැඩී වීමට ඉඩ තිබුණි. වෙනත් අංශවල නිෂ්පාදන කටයුතු ප්‍රසාරණය වීමට අවකාශ තිබුණි.

සහල් සලාකය අහෝසි කිරීමේ ප්‍රතිඵලයක් වශයෙන් ආර්ථික සංවර්ධනය සඳහා අවශ්‍ය ප්‍රාග්ධන වියදම වැඩි කර ගැනීමට හැකිවේ. මෙරට සංවර්ධන කටයුතුවල දී මුහුණපෑමට සිදු ව ඇති ප්‍රධාන බාධකය ප්‍රාග්ධන හිඟකම බැවින් මේ පියවර සංවර්ධනයේ දෘෂ්ටිකෝණයෙන් වැදගත් ය.

එමෙන් ම ගෙවුම් ශේෂය මත ඇති පීඩනය ලිහිල් කර ගැනීමට ද මෙය අවස්ථාවක් කර ගත හැකි බව එකවර ම පෙනී යනු ඇත. ආනයනය තුළ සහල්වලට හිමි තැන සැළකිල්ලට ගත් විට එවැනි හැඟීමක් ඇති වේ. මුළු ආනයනවලින් 1972 දී 7.8%ක් ද 1973 දී 9.9%ක් ද 1974 දී 15.8%ක් ද 1975 දී 20.2% ක් ද 1976 දී 13.7%ක් ද වූයේ සහල් ය. සලාකය අහෝසි කිරීම නිසා සහල් ආනයනය අඩු වී ගොස් ආනයන වියදම ද පහළ වැටෙනු ඇතැයි කෙනෙකුට තර්ක කළ හැකි ය. එසේ වුව ද සහල් හිඟ වී මිල නැඟිමත් සමඟ පිටි ආදේශ කිරීමට පාරිභෝගිකයන් පෙළඹි ඇත. ආයනයනවලින් 1972 දී 4%ක් ද 1973 දී 16.7%ක් ද 1974 දී 18.8%ක් ද 1975 දී 19.1%ක් ද 1976 දී 14.6%ක් ද දෙනෙක් ගත්පිටි තව තවත් වැඩි වනු ඇත.

රුපියලේ විදේශීය අගය 1977 නොවැම්බර් මස 15 දින සිට දෙගුණයකින් පහළ දමා ඇති බැවින් පිටි ගෙන්වීම සඳහා රජයට දැරීමට සිදුවන වියදම වැඩී වී තිබේ. මේ කරුණු සැළකිල්ලට ගත් විට සහල් සලාකය අහෝසි කිරීමෙන් ගෙවුම් ශේෂය මත ඇති පීඩනය එතරම් අඩු වෙතැ'යි බලාපොරෙත්තු තබාගත නොහැකි ය.

තවද සහල් සලාකය අහෝසි කිරීමෙන් සෑහෙන පිරිසකට දුෂ්කරතාවලට මුහුණපෑමට සිදුවනු ඇත. 1977 දෙසැම්බර් මාසයේ පවත්වන ලද සමීක්‍ෂණයකින් පෙනී ගියේ ජන සංඛ්‍යාවෙන් 50%ක් පමණ දෙනා රු.300ට අඩු අදායම් ලබන බව ය. සමහර දිස්ත්‍රික්කවල මේ අනුපාතය 60%කි. රාජ්‍ය සේවයේ ද සංස්ථාවල ද පෞද්ගලික අංශයෙහි ද රැකියාවල නියුක්ත අය පමණක් මසකට රුපියල් 300ට වැඩියෙන් උපයන බව වර්තාගත වී ඇත. මසකට රු.300ට වැඩි ආදායමක් ලබන අය පමණක් නොව ඔවුන්ගෙන් යැපෙන්නෝ ද සහල් සලාකය අහෝසි කිරීමේ පියවරට යටත් වන්නාහ. වෙළෙඳපොළේ භාණ්ඩවල වර්තමාන මිල ගණන් අනුව මසකට රුපියල් 300ක අදායම ඉතා ම පහත් මට්ටමකි. එහෙයින් සහල් සලාකය අහෝසි කිරීමෙන් වැඩි පිරිසකගේ දුෂ්කරතා උග්‍ර වී ඇත.

ආහාර ලබා ගැනීමට අපහසු වීම නිසා ජීවත් වීම කරදරකාරී දෙයක් වී ඇත. දශක තුනක පමණ කාලයක් තිස්සේ මෙරට දිළිඳු විශාල පිරිසකගේ පෝෂණ මට්ටම ආරක්ෂා වූයේ සහල් සලාකය නිසා යැ'යි කෙනෙකු තර්ක කළහොත් එයට විරුද්ධ වීම අපහසු ය. පෝෂ්‍යදායී මට්ටම රැකුනොත් පමණි, සෞඛ්‍ය තත්වය යහපත් ව පවත්නේ. ආහාර හිඟකමින් පෙළෙන සමාජයකට රෝග පීඩාවලට මුහුණදීමට ඇති ශක්තිය අඩු ය. මේ අනුව පෝෂණ මට්ටමත් සෞඛ්‍ය තත්වයත් මිනිස් සම්පත්වල වටිනාකම කෙරෙහි බලපායි. ඒවා යහපත් වුවහොත් පමණි මිනිස් ප්‍රාග්ධනයේ ඵලදායීතාව වැඩිවෙන්නේ. එහෙයින් සහල් සලාකය අහෝසි කිරීම මෙරට මිනිස් සම්පත්වල කාර්යක්‍ෂමතාව අඩුවීම කෙරෙහිත් සුභසාධනය පහළ වැටීම කෙරෙහිත් අසාධාරණය වැඩීවීම කෙරෙහිත් බලපා ඇත. රුපියල් 300ට අඩු ආදායම් ලබන්නේ යයි වාර්තාගත වුව ද සැළකිය යුතු කොටසක් නියම වශයෙන් ම ලබන ආදායම හෙළිදරව් කර නැත. රැකියා පමණක් කිරීමෙන් මසකට රුපියල් 300කට ඉහළ ආදායම් ලබන අයට වඩා වෙනත් මාර්ගවලින් ජීවත් වන අයගේ ජීවන තත්වය යහපත් ය. ඔවුන්ගේ අදායම් - වියදම් වෙළෙඳපොළේ නොදැක්වෙන බැවින් සහල් සලාකය අහෝසි කිරීමේ ප්‍රතිඵලයක් වශයෙන් මේ දෙපිරිස අතර විෂමතාවක් වර්ධනය වනු ඇත.

සහල් සළාකය අහෝසි කිරීමත් සමඟ ඉක්මනින් දැනුුණ ප්‍රතිඵලයක් නම් උද්ධමන පීඩනයයි. සලාක ක්‍රමය නිසා තරමක් යටපත් වී තිබූ උද්ධමනය දැන් විවෘත වී ඇත. එහෙයින් වෙළෙඳපොළේ සහල් මිල ඉහළ ගොස් තිබේ. එ් සමඟ ආදේශක ආහාර ද්‍රව්‍යවල මිල වැඩි වී ඇත. වෙනත් ආහාර වර්ගවල මිල ඉහළ යාම කෙරෙහි ද මෙය බලපෑවේ ය. මෙය උද්ධමනීය රැල්ලක වැදගත් අවස්ථාවකි. මේ නිසා ජීවන වියදම වැඩි විය. මහ මැතිවරණයේ හෝ ඉන්පසුව හෝ නොඉල්ලන ලද මුත් 1977 දෙසැම්බර් මස සිට වැටුප් රුපියල් 50කින් ඉහළ දැමීමෙන් වැටහෙන්නේ මේ තත්වය රජය විසින් ම පිළිගනු ලැබූ බවයි. එ් සමඟ පෞද්ගලික අංශයේ ද වැටුප් වැඩීවිම් සිදුවිය. එහෙයින් සෑම අංශයක ම වියදම් ඉහළ ගොස් ඇත. මේ වියදම් පියවා ගැනීම සඳහා භාණ්ඩවල මිල ඉහළ දමා ඇත. මේ අන්දමට වැටුප් - මිල පරතරය තුළින් උද්ධමනීය පීඩන දැඩි වී ඇත.

එහෙත් උද්ධමනීය වාතාවරණය දේශීය ආහාර නිෂ්පාදනය සම්බන්ධයෙන් හිතකර වීමට ද පුළුවන. සහල්වල මිල ඉහළ යාම ගොවියා දිරි ගන්වනසුලු ය. අයවැය කථාවෙන් මීට අදාළ ව ගෙන ඇති අනෙකුත් යෝජනා ද සැළකිල්ලට ගත් විට ගොවියාට යෝග්‍ය පසුබිමක් සකස්වීමට ඉඩ තිබේ. සහල් හා අනෙකුත් ආහාර ද්‍රව්‍ය එක්රැස් කර තබා ගැනීමේ යෝජනාවක් ඉදිරිපත් වී තිබේ.

මේ නිසා මිල උච්චාවචනයෙන් පීඩා විඳීමට ගොවියාට සිදු නොවේ. තවද ආහාර ද්‍රව්‍ය නිෂ්පාදන අංශයට අලුතින් ම පිවිසෙන ආයතනයකට වර්ෂ 05ක බදු නිවාඩු ලැබේ. එමෙන් ම මෙතෙක් පැවැති 75%ක රජයේ පොහොර සහනාධාරය තව දුරටත් පවත්වා ගෙන යනු ලැබේ. වී සඳහා ගෙවනු ලබන සහතික මිල බුසලකට රු.40 දක්වා වැඩි කර ඇත. ගොවීන්ගේ වී රජයට ලැබුණත් නැතත් මේ පියවර හේතු කොට ගෙන පෞද්ගලික වෙළෙඳුන්ගෙන් ගොවියාට ඉහළ මිලක් ගබා ගැනීමට මෙය අවස්ථාවකි. මේ තත්වය සැළකිල්ලට ගනිමින් සහල් සලාකය ආහෝසි කිරීමේ පියවර විග්‍රහ කරන්නේ නම්, කිව යුතු ව තිබෙන්නේ මෙරට ගොවියට වාසිදායක යුගයක් ආරම්භ වීමට මෙයින් ඉඩකඩ සැලසෙන බවයි. එවිට සහල් නිෂ්පාදන අංශයේ තිබෙන යැපුම් ස්වරූපය ඉවත් වේ. වෙළෙඳපොළේ ඉහළ මිල බලාපෙරොත්තුවෙන් අතිරික්ත ප්‍රමාණයක් නිෂ්පාදනය කිරීමට ගොවීන් පෙළඹෙනු ඇත. ලාභ චේතනාව මත දේශීය කෘෂිකර්ම අංශය සකස් වන විට එය දැනට වඩා සතුටුදායක අන්දමින් සංවිධානය වේ. එනිසා ආහාර නිෂ්පාදන අංශය ප්‍රබෝධවත් වෙයි. ආහාර තත්වය යහපත් වෙයි. අතිරික්ත නිෂ්පාදනයක් සිදුවීමෙන් දේශීය අංශය ද ඉතිරි කිරීමේ අංශයක් වෙයි. එයින් ප්‍රාග්ධන සම්පාදනය වැඩි වෙයි. ආහාර තත්වය ඉහළ යන විට ජීවන මට්ටම එසවීමටත් වෙනත් භාණ්ඩ සඳහා අවශ්‍ය දේශීය වෙළෙඳපොළ වර්ධනය වීමටත් පිළිවන. ආහාර නිෂ්පාදන අංශය මේ අන්දමට දියුණු වීමෙන් නායක අංශය බවට පත් වීමට හැකි ය.

මෙරට ආර්ථිකය ඉදිරියට ගෙන යාමේ වගකීම එම අංශය වෙතට භාර දීමේ වැදගත් අවස්ථාව මෙයයි. එමඟින් ආරෝහණයේ පූර්ව කොන්දේසි සකස්වීමට ඉඩකඩ සැලසේ.

ආශ්‍රිත කෘති:

1. T. K. Brown. Economics, 211-218 p

2. Korl Baultin. Basic Economics, 64-79 p


(කර්තෘ: තිස්ස ඊරියගම: 1983)

(සංස්කරණය නොකළ)

"http://encyclopedia.gov.lk/si_encyclopedia/index.php?title=සහනාධාර&oldid=4219" වෙතින් සම්ප්‍රවේශනය කෙරිණි