සිවිල් වරද

සිංහල විශ්වකෝෂය වෙතින්
වෙත පනින්න: සංචලනය, සොයන්න

නීතීයේ මේ ශාඛාවට ඇතුළත් වන්නේ එකකු කල වරදකින් අනෙකෙකුට සිදු වූ අනර්ථයක් හෝ පාඩුවක් හෝ වෙනුවෙන් ඒ වැරදිකරුවා වන්දි ගෙවීමට බැඳි සිටී ද නැද්දැ'යි යනු නිශ්චය කරන ව්‍යවස්ථා සමූහයයි. මෙහිලා අදහස් කෙරෙන වරද හුදෙක් පොරෙන්දු කඩ කිරීමක් නොවේ. ඉහත කී බැඳී සිටීම නිශ්චය කිරීමට උපකාරී වූ තනි මූලධර්මයක් නොමැතියි. නීතියෙන් දැක්වෙන්නේ ඒ ඒ අවස්ථාවන්හි දී කරුණු පවත්නා අන්දමට අනෙකෙකුට පාඩුවක් හෝ අනර්ථයක් සිදුවන්නා වු ඇතුම් වර්ගවලට අයත් ක්‍රියා හෝ පැහැර හැරීම් වැරදි බවයි. නීතියෙන් වන්දියක් ලැබිය හැකි ඒ ඒ වර්ගවලට අයත් අනර්ථයන්ට ‌හෝ පාඩුවලට අවක්‍රියා යැයි ව්‍යවහාර වේ. එක් එක් අවක්‍රියාවක් නිමිත්තෙන් වන්දි අතින් ඇතිවන වගකීම ඒ අවක්‍රියාවට ම විශේෂ වූ කොන්දේසිවලට යටත් ව පවතී. මේ විෂය පිළිබදව නීතිය අතින් සියුම් විස්තරයකට (නඩුවකට සහභාගී වන පක්ෂ) නොබැස සාමාන්‍යයෙන් කරනු ලබන හැඳින්වීමක්

(අ). ප්‍රධාන වැරදි වර්ග,

(ආ). අවක්‍රියා නඩු පිළිබඳ බැඳීම්,

(ඇ). නඩුවක දී නිදහසට ඉදිරිපත් කරන කරුණු යන මේ ශීර්ෂ යටතේ දැක්විය හැකියි.

(අ). ප්‍රධාන වැරදි වර්ග

නීත්‍යනූකූල යුක්තිසහගත බවක් නැති ව හිතාමතා ම අනෙකකු නින්දාවට ලක් කිරීම එක් වර්ගයෙකි. මේ වර්ගයට බෝහෝ වැරදි ඇතුළත් ය. ඒවායින් සමහරක් නම්:

1 අනෙකෙකු අපකීර්තියට පත් කරන හෝ නින්දාවට ලක්කරන ප්‍රකාශයක් ඒ තැනැත්තාට ම නැතහොත් වෙන තැනැත්තෙකුට කිරීම. (මේ සම්බන්ධයෙන් පවරන නඩුවක දී විත්තිකාරයාගේ නිදහස සඳහා ගෙන හැර පාන ප්‍රධාන කරුණු නම් එම ප්‍රකාශය සත්‍ය වන බව හා එය කරන ලද්දේ ද්වේශ සහගතව හෝ අයථා චේතනාවකින් නොව මහජනයාගේ යහපත පිණිස බව, නැතහොත් එය මහජනයා පිළිබඳ කරුණක් සම්බන්ධයෙන් ද්වේශයක් හෝ අයථා චේතනාවක් නැති ව තමාගේ අවංක අදහස දැක්වීම වශයෙන් කරන ලද්දක් බව, එසේත් නැතහොත් ප්‍රකාශය කරන ලද්දේ එසේ කිරීමට වරප්‍රසාදය ඇති ප්‍රස්තාවක දී ද්වේශයක් හෝ අයථා චේතනාවක් නැති ව බව යන මේවායි. ඇතැම් ප්‍රස්තාවන්හි දී හෝ ඇතැම් තත්ව යටතේ දී හෝ කරන ප්‍රකාශ මුළුමුනින් ම විශේෂ වරප්‍රසාදවලින් රැකී කෙරෙන ඒවා ය. එයින් අදහස් කරන්නේ ඒ ප්‍රකාශ අසත්‍ය වුවත් ද්වේශයක් හෝ අයථා චේතනාවක් ඇතිව කරනු ලැබුවත්, ඒ සම්බන්ධයෙන් නඩු පවරිය නොහැකි බවයි. පාර්ලිමේන්තු රැස්වීම්වලදී කරන ප්‍රකාශ මීට නිදර්ශනයි.)

2 ප්‍රමාණයක් වු හෝ විය හැකි යැයි සිතාගත හැකි වූ හෝ හේතූවක් නොමැතිව ද ද්වේශයෙන් හෝ අයථා චේතනාවෙන් යුක්තව ද අනෙකෙකුට විරුද්ධව ඔප්පු කළ නොහැකි නඩුවක් පැවරීම හෝ එපරිද්දෙන් ම නීතීය මගින් අනෙකෙකු සිර භාරයට ගැන්වීම හෝ අනෙකෙකුගේ ඉඩකඩම්වලට විරුද්ධව නීතී මාර්ගයෙන් ක්‍රියා කිරිම.

3 අනෙකකුට පහර දීම හෝ නොපමාව තමන්ට ශාරීරික පීඩාවක් සිදුවනු ඇත යන බියක් ඔහු තුළ හට ගැන්වීම හෝ ඔහුගේ ගමනාගමනයට ඇති නිදහස නැති කිරීම.

4 අනෙකෙකුගේ භාර්යාව සමඟ අනාචාරයෙහි යෙදීම (මේ වෙනුවෙන් අලාභ ඉල්ලන අයදුම්පතක් දික්කසාද පෙත්සමට ඇමිණිය යුතුයි)

5 අනෙකෙකුගේ භාර්යාව තමා වෙත පොළඹවා ගැනීම හෝ තමා වෙත සඟවා තබා ගැනීම හෝ නින්දාවට ලක් කිරීම. (නින්දාවට ලක් කිරීම සම්බන්ධයෙන් නඩු ගැනීමේ අයිතිවාසිකම් අඹුසැමි දෙදෙනා කෙරෙහි ම පැවරේ.)

බෙහෝ වැරදි ඇතුළත් වන තවත් අවක්‍රියා වගීයෙක් ඇත්තේ ය. හිතාමතා ම ද නීත්‍යනූකුල යුක්ති සහගත බවක් (හේතූවක්) නැතිව ද එසේ නොවේ නම් ඒ ප්‍රස්තාවේ දී සිහි මොළෙය ඇති මිනිසෙකු තරම් පරෙස්සමක් නැතිව ද අනෙකෙකුගේ ශරීරයට තුවාලයක් කිරීම, එපරිද්දෙන් ම අනෙකෙකුගේ රූපී දේපලකට හානියක් කිරීම, අනෙකකුගේ රූපී දේපලක් පැහැර ගැනීම (ඔහුගේ අයිතියෙන් ඉවත් කරලීම) යන මේ වැරදි එක් වර්ගයට ඇතුළත් වේ. මේ එක් එක් ක්‍රියාව වරදක් වශයෙන් ගැනෙන්නේ එය කරණකොට ගෙන මුදලෙන් අලාභයක් සිදු වි ඇතොත් පමණකි.

තවත් වැරදී කිහිපයක් නම්: නීතී විරෝධී ලෙස අනෙකෙකු මැරීම. (මළ තැනැත්තාගෙන් යැපුණු අයට ඒ මරණය නිසා මුදල් අතින් වූ පාඩුව වෙනුවෙන් වන්දි ඉල්ලා නඩුවක් දැමීමට මේ ශීර්ෂය යටතේ අයිතිවාසිකම් ඇතතේ ය.)

දුෂණයට සහභාගි නොවුණ ද මුදලක් ලබා ගැනීම නිසා එකඟ බවක් නොදැක්වූ ද අවිවාහක ස්ත්‍රීයකගේ කන්‍යාභාවය නැතිකර දැමීම.

අනෙකෙකුට තම භාර්යාවගේ හෝ මෙහෙකරුවෙකුගේ හෝ සේවය නීතී විරෝධි ලෙසින් නැතිකර දැමීම. ඒසේ නැත්නම් දෙපක‍්ෂයක් අතර ඇති කරගත් ගිවිසුමක් ඉන් පක‍්ෂයට පාඩු වන සේ කැඩීමට අනෙක් පක‍්ෂය පොළඹවාලීම.

තමා කියන දෙය සත්‍යයයි පිළිගෙන ඒ අනුව ක්‍රියා කෙරෙතැ'යි යන අදහසින් අනෙකෙකුට හිතාමතා ම අසත්‍ය ප්‍රකාශයක් කිරීම. (මෙය අවක්‍රියාවක් වන්නේ අනෙකා ඒ ප්‍රකාශය විශ්වාස කොට ඒ අනුව ක්‍රියා කිරීමෙන් මුදලෙන් පාඩුවක් කර ගතහොත් පමණි. වංචනික අදහසින් නොව අපරික‍්ෂාවෙන් කරන අසත්‍ය ප්‍රකාශයන්ගෙන් ස්වල්පයක් හැර ඉතිරි ඒ්වා සම්බන්ධයෙන් වන්දී ගෙවිමට බැඳිමක් නැත්තේ ය.)

තුන්වැන්නෙකුගේ ක්‍රියාවකින් අනෙකෙකුට පාඩුවක් වන සේ ඒ තැනැත්තා ගැන හෝ ඔහුගේ දේපලක් ගැන හෝ ද්වේශසහගතව හෝ අයථා චේතනාවෙන් හෝ අසත්‍ය ප්‍රකාශයක් කිරීම.

භාණ්ඩ හෝ ව්‍යාපාරය හෝ අනෙකෙකුගේ ය කියා මහජනයා රැවටෙන සුලු වූ නමකින් හෝ අන් පරිද්දෙකින් බඩු විකිණීම හෝ ව්‍යපාරයක් කරගෙන යෑම.

අනෙකෙකුගේ ඉඩමට, භූමියට හානියක් කිරීමෙන් හෝ වේවා, ඔහු ඒ ඉඩම භුක්තී විඳිමේ දී ඔහුට වෙන බාධාවක් කිරීමෙන් හෝ වේවා, ඒ ඉඩමෙහි පදිංචිව සිටිය දී ඔහුගේ සනීපයට නැතහොත් සැපපහසුවට බාධා කිරීමෙන් හෝ වේවා ඔහුට නීතී විරෝධි ලෙසින් ඉඩමේ භුක්තිය සම්බන්ධයෙන් කරදර කිරීම.

අවක්‍රියා නඩුවලට සහභාගී වන පක‍්ෂවල වගකීම්

රජය: ශ්‍රී ලංකාවේ පවත්නා නීතීය අනුව අවක්‍රියා වෙනුවෙන් වන්දි ගෙවීමට රජය බැඳි නැත්තේ ය. ඒහෙත් අවක්‍රියා වෙනුවෙන් වන්දි ග‍ෙවීමට බැඳි සිටීම පොදු රාජ්‍ය මණඩලයේ බොහෝ රටවල දැන් සිරිත වී තිබේ.

අන්‍ය කර්තෘක වගකීම්: අවක්‍රියා කොට ඇතොත් හෝ අවක්‍රියාවට යම්කිසි ආකාරයකින් සහභාගි වී ඇතොත් විනා කිසිවෙක් අවක්‍රියාවක් වෙනුවෙන් වන්දි ගෙවීමට සිරිතක් වශයෙන් බැඳි නැත්තේ ය. මින් පිට පැන යන එක් වැදගත් තැනක් වෙයි. සේවයට අයත් කටයුතු කිරීමේ දී සේවකයෙකු අතින් සිදුවන ක්‍රියාවක් වෙනුවෙන් ඔහුගේ ස්වාමියා වන්දි ගෙවීමට බැඳි සිටි. එසේ ම නියෝජකයෙක් තම නියෝජිතයා, නියෝජිතයා වශයෙනුත්, ඔහුගේ බල සීමාව ඇතුළතත්, කරන අවක්‍රියා වෙනුවෙන් වන්දි ගෙවීමට බැඳි සිටි.

සංස්ථාන: සංස්ථානයක නියෝජිතයන් අතින් හෝ සේවකයන් අතින් හෝ කෙරෙන අවක්‍රියා වෙනුවෙන් එම සංස්ථානය බැඳි සිටී ද යන්න තීරණය කරන්නේ වෙන යම්කිසි නියෝජනයෙකුගේ හෝ ස්වාමියෙකුගේ බැඳි සිටිම තීරණය කරන ව්‍යවස්ථා අනුව ම ය.

අඩුවයස්කාරයෝ: අඩුවයස්කාරයෙකු වීම අවක්‍රියා සම්බන්ධයෙන් නිදහසට කරුණක් ‌නොවේ. එහෙත් අවක්‍රියාව කරන්නාගේ මානසික තත්වය අවක්‍රියාවෙහි කොටසක් වුවහොත් අඩු වයස්කාරයෙකු වීම නිදහසට කරුණකි.

(ඇ) අවක්‍රියාවක් පිළිබඳ නඩුවක දී නිදහස සඳහා සාමාන්‍යයෙන් ඉදිරිපත් කරන කරුණු

ඇතැම් අවක්‍රියා සම්බන්ධයෙන් නිදහස සඳහා විශේෂ කරුණු ඉදිරිපත් කළ හැකි ය. ඒවා හැර අවක්‍රියාවක් පිළිබඳ කවර නඩුවකට වුවත් අදාළ වන කරුණු ගණනක් ඇත්තේ ය. පැමිණිලි කරනු ලැබු අනර්ථය හෝ පාඩුව සිදුවූයේ විත්තිකාරයා කෙරෙහි නීතීයෙන් පැවරී ඇති කටයුත්තක් කීරීමේ දී ය කියා හෝ තමාගේ නිත්‍යානූකූල බලය ක්‍රියාවේ යෙදීමේ දී ය කියා හෝ තම ශරීරය නැතහොත් දේපළ ආරක්‍ෂා කර ගැනීමේ අයිතිවාසිකම් රැකගැනීමේ දී ය කියා හෝ විත්තිකාරයාට කිව හැකි ය. එසේ කිය හැක්කේ එ් බලයේ හෝ අයිතිවාසිකමේ සීමාව නොඉක්ම වුව හොත් පමණකි. අනර්ථය සිදු වේ යැ’යි පැමිණිලිකාරයා සම්පූර්ණ වශයෙන් දැන ගෙනත් වටහා ගෙනත් සිය කැමැත්තෙන් ම අවදානමට මුහුණපෑමට සතුටු වූයේ ය කියා විත්තිකාරයාට තම නිදහස සඳහා කිය හැකි ය. තමා අපරීක්‍ෂාකාරී වුව ද පැමිණිලිකාරයාට අනර්ථය සිදුවූයේ ඔහුගේ ම අපරීක්‍ෂාකාරීත්වය නිසා යැයි විත්තිකාරයා ඔප්පු කළහොත් අවක්‍රියා නඩුවක දී පැමිණිල්ල නිෂ්ප්‍රභ වි යයි. අවක්‍රියා නඩුවක ද‍ෙපක්‍ෂෙය් ම අපරීක්‍ෂාකාරීත්වය ඔප්පු වුවහොත් උසාවියට යුක්ති සහගත ය කියා ඒත්තු යන ප්‍රමාණයට වන්දි මුදල අඩු කිරීමේ බලය එංගලන්තයෙහිත් පොදු රාජ්‍යමණ්ඩලීය සෙසු ඇතැම් රටවල්වලත් උසාවිවලට මෑත දී නීතීයෙන් ඇත්තේ ය. නිදහසට කිව හැකි තවත් කරුණක් නම් නියම කාලය පසු වීමෙන් නඩු දැමීමට ඇති ඉඩ ඇහීරී ගිය බවයි. ලංකාවේ නම් අවක්‍රියාවක් සම්බන්ධයෙන් නඩුවක් පැවරිය හැක්කේ එ් අවක්‍රියා නඩුවට හේතු වූ ක්‍රියාව සිදුවී අවුරුද්දක් ඇතුළත දී ය. පැමිණිලිකාරයාට සිදුවූයේ යැයි කියන අනර්ථය හෝ ඉන් කවර කොටසක් හෝ ඔහු කියන වැරැද්දෙන් කෙළින් ම සිදුවූයේ ද යන්න සෙවීම සඳහා සාමාන්‍යයෙන් කරන පරික්‍ෂණයට ‘ඍජු විපාක පරික්‍ෂණය’යි ව්‍යවහාර වේ. ඍජු විපාක පරීක්ෂණය යන්නෙන් අදහස් කරන්නේ අවක්‍රියාවක් කළ තැනැත්තා වන්දි ගෙවීමට බැඳී සිටින්නේ ඒ වැරැද්දෙන් කෙළින් ම සිදු වූ සියලු විපාක වෙනුවෙන් බවත් වැරැද්ද හා සම්බන්ධයක් නැති අලුත් හේතු හා ඇඳාලිය හැකි විපාක වෙනුවෙන් නොවන බවත් ය.

(කර්තෘ: බී.සී. ආලිප්: 1958)

(සංස්කරණය නොකළ)

"http://encyclopedia.gov.lk/si_encyclopedia/index.php?title=සිවිල්_වරද&oldid=4297" වෙතින් සම්ප්‍රවේශනය කෙරිණි