සුනී

සිංහල විශ්වකෝෂය වෙතින්
වෙත පනින්න: සංචලනය, සොයන්න

(Zuni). ඇමෙරිකා එක්සත් ජනපදයේ නිව් මෙක්සිකෝ ප්‍රාන්තයේ කුඩා කොලරාඩෝ (Little Colorado) නමැති ගංගාවේ අතු ගංගාවක් වන සුනි ගංගාශිත ව වාසය කරන පියුබ්ලෝ (Pueblo) ඉන්දියානු ගෝත්‍රයකි. සුනී සමාජය මව්පේරුවේ වංශ දහතුනකින් සමන්විත වේ.

සුනී කාන්තාවන් ඔවුන්ගේ ප්‍රධාන රැකියාව වශයෙන් කරන්නේ කුඩ විවීම හා මැටි භාණ්ඩ තැනීමයි. පුරුෂයන්ට අයත් කාර්ය වනුයේ තිරිඟු වගා කිරීම ය. වාරිමාර්ග මගින් ජලය සපයාගෙන ඔවුහු ගොවිතැන් කටයුතුවල නිරත වෙති. රිදීබඩු හා ආභරණ අලංකාර ලෙස තැනීමට ද සුනී පුරුෂයෝ දක්ෂ වෙති.

සෙසු පියුබ්ලෝ ඉන්දියානුන් මෙන් ම සුනීවරු ද සාමකාමී, ආගමානුකූල ජීවිතයක් ගත කරති. ඔවුන් අතර දක්නට ලැබෙන ප්‍රධාන උත්සවය වනුයේ නොවැම්බර් මස අවසානයේ හෝ දෙසැම්බර් මුල් භාගයේ පවත්වනු ලබන ශාලාකෝ (Shalako) උත්සවයයි. එම උත්සවයේ දී දෙවිවරුන් විලසින් වෙස් මුහුණු පැළඳගන්නා නාට්‍යකරුවෝ, අලුත් නිවෙස්වලට ආශිර්වාද කරති.

සුනීවරුන් පැවත එන ආකාරය හා මුල්කාලීන ඉතිහාසය පිළිබඳව වාර්තා දක්නට නොලැබේ. ඔවුන්ගේ පුරාණ ප්‍රවාදවල දැක්වෙන ආකාරයට මුතුන් මිත්තෝ පොළොවෙන් බිහිවී තැනින් තැන ඇවිදිමින් අවුත් එහි පදිංචි වූහ. 16 වැනි ශතවර්ෂයේ දී ස්පාඤ්ඤ ජාතිකයන් මෙහි පැමිණෙන විට සුනීවරු හාවිකූහ් (Hawikuh) හා තවත් නගර පහක හෝ හයක ජීවත් වූහ. පසුකාලයේ දී මේ නගර සියල්ල සිබෝලාහි (Cibola) නගර හත යන නමින් හඳුන්වන ලදී.

මෙහි රන් තැන්පත් කොට ඇතැයි යන මිථ්‍යා විශ්වාසය මත පිහිටා 1540 දී ස්පාඤ්ඤවරු මේ නගර ආක්‍රමණය කළහ. 1680 පියුබ්ලෝ විප්ලවයෙන් පසු මෙම නගර පාළුවට හරින ලදි. 1695 නව පියුබ්ලෝ රාජධානිය ඉදිකරන ලද්දේ පැරණි නගරයක් තිබූ ප්‍රදේශයක ය.

සුනීවරුන් ක්‍රිස්තියානි ආගමට හැරවීමට විදේශීන් ගත් උත්සාහයන් එතරම් සාර්ථක නොවී ය. ඇමරිකානු සංස්කෘතික ලක්ෂණ සෑහෙන දුරකට සුනිවරුන් කෙරෙහි බලපා ඇතත් සම්ප්‍රදායික සංස්කෘතික අංග තවමත් මෙහි දක්නට ලැබේ. 2015 වනවිට සුනීවරු 19228 ක් පමණ සංඛ්‍යාවක් විසූ බව සංඛ්‍යා ලේඛන අනුව පෙනේ.

(කර්තෘ: දේවිකා ප්‍රියදර්ශනී එදිරිවීර: 1978)

(සංස්කරණය නොකළ)

"http://encyclopedia.gov.lk/si_encyclopedia/index.php?title=සුනී&oldid=4279" වෙතින් සම්ප්‍රවේශනය කෙරිණි