හරාකිරි
(Hara Kiri). වැඩවසම් යුගයේ ජපානයේ සමුරයිවරුන් අතර පැවැති සියදිවි හානිකර ගැනීමේ උදාර ක්‍රමයක් මෙනමින් හැඳින්වේ. අන් රටවල ‘හරාකිරි’ යන නමින් ප්‍රසිද්ධ ව ඇතත් ජපානයේ මෙය හැඳින්වෙන්නේ (Seppuku) යන නමිනි.
මෙම ක්‍රමය මගින් මරණය සිදු කර ගැනීමේ දී සියදිවි හානි කරගන්නා තැනැත්තා කෙටි කඩුවකින් බඩේ වම්පසට ඇන, ඉන්පසු කඩුව දකුණු පසටත් උඩටත් හරවා බඩ කපාගත යුතු වේ. ඒ සමඟ ම පපුවේ පහළ කොටසට ද කඩුවෙන් ඇණ ගෙන පළමු කැපීම හරහා පහළට කපා, අනතුරුව උගුර ද හිල් කර ගෙන දිවි හානිකර ගැනීම වඩා උතුම් ලෙස සැලකේ.
අධික වේදනාවක් ගෙන දෙමින් සෙමින් මරණය ළඟා කරවන ක්‍රමයක් වන හරාකිරි, නිර්භීතකම දැක්වීමේ මඟක් වහයෙන් ද සමුරායිවරුන් තුළ පැවති ආත්මපාලනය හා දැඩි අධිෂ්ඨානය දැක්වීමේ මගක් වශයෙන් ද උපයෝගී කර ගන්නා ලදි.
මෙම දිවි හානිකර ගැනීමේ ක්‍රමය මූලික වශයෙන් කොටස් දෙකකට බෙදා දැක්විය හැකි ය. එනම් සිය කැමැත්තෙන් ම ඉදිරිපත් වී මෙම ක්‍රමය අනුව දිවි හානි කර ගැනීම හා බලකිරීම නිසා මේ ක්‍රමය අනුව දිවිහානිකර ගැනීම යනුවෙනි.
මෙම ක්‍රමය අනුව සිය කැමැත්තෙන් ම දිවි හානි කර ගැනීම ආරම්භ වූයේ 12 වැනි සියවසේ පැවති යුද්ධ සමයේ දී ය. එහි දී සතුරන් අතට පත්වීමෙන් අවමාන විඳීමට අකැමැති වූ පරාජිත සොල්දාදුවෝ මෙම ක්‍රමය මගින් සිය දිවි හානි කර ගත්හ. එමෙන් ම එකල විසූ සමුරායිවරු, නායකයකු මියගිය විට ඔහු කෙරේ පැවැති ආදරය පළ කිරීමේ මාර්ගයක් වශයෙන් ද රජුගේ හෝ ප්‍රධානියකුගේ නියෝගයකට විරෝධය පෑමේ මඟක් වශයෙන් ද තම යුතුකම් පැහැර හැරීමට වන්දියක් වශයෙන් ද හරාකිරි ක්‍රමය උපයෝගී කරගෙන දිවි හානි කර ගත්හ. තමන් විසින් යටත් කරගන්නා ලද ප්‍රාන්තයකට නැවතත් නිදහස දීමට විරෝධය දැක්වීම් වශයෙන් 1895 දී සොල්දාදුවන් හතළිස් දෙනෙකු මෙම ක්‍රමය භාවිතයෙන් සිය දිවි හානි කර ගත්හ. 1929 දී යොෂිහිතෝ අධිරාජයාගේ මරණය, හරාකිරි දක්නට ලැබුණු තවත් අවස්ථාවක් විය. දෙවන ලෝක සංග්‍රාමයෙන් පරාජයට පත් ව සතුරාට යටත්වීමට අකැමැති වූ සොල්දාදුවෝ රැසක් ද මෙසේ සිය දිවි හානි කර ගත්හ.
මරණීය දණ්ඩනය නියම කරනු ලැබූ සමුරායිවරුන්, සාමාන්‍ය වධකයකු ලවා හිස ගැස්සවීමෙන් වන තීන්දුවෙන් මිදවීම සඳහා ඔවුන්ට දිවි නසා ගැනීමට බල කරන ලදි. විශේෂයෙන් ම අධිරාජ්‍යයට විරුද්ධ වූවන් මෙසේ හරාකිරි ක්‍රමය අනුව දිවි හානි කර ගත්හ. 15 වැනි සියවසේ සිට 1873 දක්වා මෙම ක්‍රමය ක්‍රියාවේ යොදවන ලදි. තීන්දුව දුන් තැනැත්තා විසින් එවනු ලබන සාක්ෂිකරුවකු ඉදිරියේ සිරකරු දිවි නගා ගත යුතු විය. ඒ සඳහා සිරකරු රතු පලසක් මත හිඳුවා ඔහු පිටුපසින් කඩුවක් අතැතිව ඔහුගේ මිතුරකු හෝ ඥාතියකු සිටුවන ලදි. කෙටි කඩුවක් සහිත මේසයක් සිරකරු ඉදිරියේ විය. සිරකරු එම කඩුවෙන් ඇනගන්නවාත් සමඟ ම, මිතුරා ඔහුගේ හිස ගසා දැමිය යුතු විය. ඇතැම් අවස්ථාවල දී සිරකරු කඩුව ගැනීමට තැත් කරන විට ම ඔහුගේ හිස ගසා දමනු ලැබී ය. කඩුව ගැනීමට තැත් කිරීම දිවි හානි කර ගැනීමේ සංකේතයක් වශයෙන් සලකනු ලැබී ය.
(කර්තෘ: දේවිකා ප්‍රියදර්ශනී එදිරිවීර: 1978)
(සංස්කරණය නොකළ)
[[ප්‍රවර්ගය:]]