හැරල්ඩ් රූපට් ලියොෆ්රික් ජෝජ් ඇලෙක්සැන්ඩර්
(වෛකවුන්ට්) (1891-). දෙවන ජගත් සංග්රාමයෙහි දී අතිවිශිෂ්ට සේවයක් කළ බ්රිතාන්ය යුද්ධ නිලධරයකු වූ මොහු උතුරු ප්රථම අයර්ලන්තයේ ටිරෝන්හි දී උපත ලැබීය. ලෝක සංග්රාමයේ දී ප්රංසයේ සේවය කළ හේ 1932 සිට 1938 දක්වා ඉන්දියාවේ උතුරු සේනාවන් භාරව කටයුතු කෙළේය. දෙවන ලෝක සංග්රාමය ආරම්භ වත් ම මේජර් ජනරාල් ධුරයට උසස් කරනු ලැබ ප්රධාන සේනාංකයක් භාරව ප්රංසයට ගිය ඇලෙක්සැන්ඩර් ප්රංසය ඇදවැටීමෙන් පසු ඩන්ක'ක් වරායෙහි රැකවල් ලා ඒ මගින් තුන් ලක්ෂයකට අධික මිත්ර භට පිරිසක් යුද බිමින් ඉවත් කරගැනීමේ මහා කාර්ය්යය භාරව ක්රියා කොළ්ය. 1942 දී බුරුමයේ අණදෙන නිලධාරියා ලෙස පත්ව ගිය හේ එම වර්ෂයේ දී ම ප්රධාන අණදෙන නිලධාරියා වශයෙන් මැද පෙරදිගට මාරු කරනු ලැබීය.
මොන්ට්ගොමරිගේ අටවැනි හමුදාව එල් ඇලමේන් ජයග්රහණය ලැබුවේත් ජර්මන් හා ඉතාලි බලඇණි ටියුනීසියාව දෙසට පලවා හරින ලද්දේත් ඇලෙක්සැන්ඩර්ගේ නායකත්වය යටතෙහිය. ඩ්වයිට් ඩී. අයිසන්හවර්ගේ නියෝජ්ය අණදෙන නිලධාරියා වශයෙන් හේ උතුරු අප්රිකාවේ යුද කටයුතු අවසන් කොට සිසිලියේ දීත් ඉන්පසු 1943 දී ඉතාලියේ දීත් කැරුණු ආක්රමණවල දී සාර්ථක ලෙස අණ දුන්නේය. අයිසන්හවර් එංගලන්තයට මාරු වී යෑමෙන් පසු ඇලෙක්සැන්ඩර් ඉතාලියේ මිත්ර පාක්ෂික බල ඇණියේ ප්රධාන අණදෙන නිලධාරිතැන වශයෙන් කටයුතු කෙළේය. රෝමය අල්ලා ගැනීමේ දී විශිෂ්ට සාමර්ථ්යයක් දැක්වූ හේ 1944 දී මධ්යධරණී රණ බිමෙහි ෆීල්ඩ් මාර්ෂල් තනතුරට හා පරම අණදෙන නිලධාරි ධුරයට පත් කරනු ලැබීය.
1945 දී යුද සේවයෙන් විශ්රාම ලැබූ ඇලෙක්සැන්ඩර් කැනඩාවේ අග්රාණ්ඩුකාර ධුරය භාර ගත්තේය. ඔහු ටියුනිස්හි වෛකවුන්ට් නාමයෙන් සම්මාන ලදුවේ ඊළඟ අවුරුද්දේ දීය. 1952 දී කැනඩාවේ අග්රාණ්ඩුකාර ධුරය අත්හළ ඇලෙක්සැන්ඩර් චර්චිල්ගේ නව කැබිනට් මණ්ඩලයේ ආරක්ෂක අමාත්ය පදවිය පිළිගත්තේය.
(සංස්කරණය: 1967)