හින්දු න්‍යාය ශාස්ත්‍රය
ප්‍රධාන හින්දු දර්ශන (න්‍යාය, වෛශේෂික, ශාංඛ්ය, යෝග, පූර්වමීමංසා, වේදාන්ත යන) සයෙන් එකකි. ඇතැම් තැනෙක මෙය න්‍යාය විද්‍යා, හේතුවිද්යා, තර්කවිද්යා යන නම්වලින් ද හැදින්වේ. න්‍යාය සූත්‍රවලට ප්‍රථම ‘අන්වීක්ෂිකී’ විද්‍යාව නමින් එය ප්‍රචලිත ව පැවතිණ. න්‍යාය ශබ්දය ‘අන්වීක්ෂිකී’ වචනයට පර්යාය වචනයකි.
මෙහි ‘න්‍යාය’ යන්නෙහි අදහස නම් පරාර්ථානුමානයයි. එසේ වුවත් සම්පූර්ණ ප්‍රමාණ ශාස්ත්‍රය න්‍යාය ශාස්ත්‍රයට ගැනෙයි. අනෙකුත් දර්ශනයනට අහිමි වූ මෙහි ඇති විශේෂතාවය ද ප්‍රමාණයන්ගේ විශිෂ්ට භාවයයි.
ක්‍රි.පූ. සවැනි ශතවර්ෂයේ පටන් තැන තැන විසිරී ගිය තර්කපදාර්ථයෝ අපට උපලබ්ධ වෙති. දේශනාපාලියෙහි ද පරාර්ථානුමානයේ ජීව ධාතුව වූ ව්‍යාප්තිය අනුලෝම (අන්වය), ප්‍රතිලෝම (ව්‍යතිරේක) වශයෙන් දක්නට ලැබේ.
ශාස්ත්‍රීය ස්වරූපයෙන් ගත් න්‍යාය ශාස්ත්‍රයක ආරම්භය වශයෙන් පිළිගැනෙන්නේ 2වන ශතවර්ෂයයි. ගෞතම නම් මුනිවරයෙකු (ක්‍රි.ව. 150) විසින් ප්‍රථමවරට ‘න්‍යායසූත්‍ර’ නම් ග්‍රන්ථය නිපදවන ලදි. මෙම විෂයයට අදාළ ආදි ම ග්‍රන්ථය එයයි. එය අධ්‍යාය පසකින් යුක්ත ය. හැම අධ්‍යායක් ම ආන්තික වශයෙන් කොටස් දෙකකි. ‘අක්ෂපාද’ යනු ද ‘ගෞතම’ මුනිහට ඇති තවත් නමකි. එම නිසා න්‍යාය දර්ශනයට ‘අක්ෂපාද දර්ශනය’ යැයි ද කියති. දෙවන ශතවර්ශයෙහි ආරම්භ වූ න්‍යාය දර්ශනය භාෂ්යකාරාදි අනෙක් ආචාර්යවරයන් විසින් 11වන ශතවර්ෂය දක්වා ම පෝෂණය විණ. මේ කාලසීමාව තුළ සාමාන්‍ය වශයෙන් අනිකුත් වෛදික දාර්ශනිකයන් විසින් ද විශේෂ වශයෙන් බෞද්ධ ජෛන න්යායකයින් විසින් ද තියුණු විවේචනයට භාජනය කරන ලදි. මේ විවේචනයන්ට පිළිතුරු සපයමින් ස්වකීය ආරක්ෂාව සැලසෙන පරිදි න්‍යය දර්ශනය ශක්තිසම්පන්න විය. දර්ශන ශාස්ත්රාදීන්ගේ මේ ගැටීමාදියෙන් විතතභාවයත් ඔපයත් ඒවාට ඇතිවූහ. මේ දක්වා වැඩුණු ශාස්ත්‍රයට ප්‍රාචීන න්‍යායයි කියති. දර්ශන ශාස්ත්‍රයට තිබිය යුතු අධ්‍යාත්ම මුහුණුවර ප්‍රාචීන න්‍යායයෙහි නොනැසී පවතී.
12වන ශතවර්ෂයෙන් පසු න්‍යාය ශාස්ත්‍රයට අමුතු මුහුණුවරක් ඇති විය. එවක පටන් ‘නව්‍ය න්‍යාය’ නමින් එය ප්‍රචලිත විය. පිරිසිදු අධ්යත්මවාදය ඉන් ඉවත් විණි. ප්‍රාචීන න්‍යායයෙහි තිබූ අධ්යත්මවාදය විනිවිද පෙන්වන්නා වූ රසවත් වචන මාලාවක් වෙනුවට අවුල් සහිත නීරස භාෂා විලාසයක් ඇතිවිණ. අර්ථයට වඩා ශබ්දයේ පිහිට පතන ලදි. කෙසේ වෙතත් බුද්ධියේ තියුණුභාවයක් ඇතිකර ගැනීමට නව්‍ය න්‍යාය මහෝපකාරී වන බව පිළිගත යුතු ය.
12වන ශතවර්ෂය නව්‍ය න්‍යායේ ආරම්භයයි. ගංගෙය්‍ය උපාධ්‍යාය (ක්‍රි.ව. 1200) එහි ආදිකර්තෘවරයායි. ඔහු විසින් ‘තත්ව චින්තාමණි’ නම් ග්‍රන්ථය කරන ලදි. ‘ප්රත්යක්ෂානුමානොපමා න ශබ්ද්යප්රමාණාඃ’ (1:13) යන න්‍යාය සූත්‍රය අළලා කාරිකා දහස් ගණනකින් එය නිමවන ලද්දකි. ව්‍යාඛ්‍යා අනුව්යාඛ්යා මගින් විස්තර වූ අය අදත් විශාල වෙමින් පවති.
‘මිථිලාව’ හා වංගදේශයේ ‘නවද්වීපය’ නව්යන්යායයේ ප්‍රධාන විද්‍යපීඨ වූහ. ගංගෙය මිථිලවේ බ්‍රාහ්මණයෙකි. ගෞතමට ද වාසභූමිය වූයේ මිථිලාදේශයේ යනු මතයකි.
න්‍යාය දර්ශනයෙහි සොළෙස් පදාර්ථ කෙරෙන් පසළොසක් ම ප්‍රමාණ ශාස්ත්‍රයට අදාළ කෙටස් වෙති. ප්‍රමේය පදාර්ථ ද ප්‍රමාණයට අරමුණු වන හෙයින් ඉන් බැහැර නොවත්. නිවැරදි දැනුමක් ඇති කරවන ක්‍රමය ප්‍රමාණයයි. එය ද ඥානයයි. ප්රත්යක්ෂය, අනුමානය, උපමානය, ශබ්දය වශයෙන් ප්‍රමාණ සතරෙකි. ඉන්ද්රිය මගින් ඇතිවන නිදොස් දැනුම ප්‍රත්‍යක්ෂයි. නිර්විකල්පක සවිකල්පික වශයෙන් එය දෙවැදෑරුම් ය. වාත්ස්යාදීන්ට ද බෞද්ධයන්ට මෙන් නිර්විකල්පිතය ප්‍රමාණවත් විය. වාචස්පතීමිශ්රාදීන් ඇතුළු පශ්චාත්කාලීනයන්ට සවිකල්පය ප්‍රමාණවත් විණ.
අප්රත්යක්ෂ වස්තුවක් පිළිබඳ ව ප්රත්යක්ෂ වස්තුවක් මගින් ඇතිවන යථාර්ථඥානය අනුමානයයි. එය ස්වාර්ථ, පරාර්ථ වශයෙන් දෙවැදෑරුම් ය. එහෙත් සූත්‍රාදියෙහි එය තෙයාකර ය.
මේ නම මෙවැනි විදියේ වස්තුවකට හිමිවූවක් යන අදහස පෙරටුකොට ‘මේ නම ඇත්තා තමා වේ’ යන හැඟීම උපමානය නිසා ඇති වූවකි.
ශබ්දය නිසා දැනුමක් ඇති වෙයි. එම ශබ්දය විශ්වාස කටයුතු තැන්පත් පුරුෂයෙකුගේ විය යුතුයි. ඉන් ඇතිවන දැනුම ද යථාර්ථඥානයකි. වේදය ඇතුළු මුළු මහත් ධර්ම ශාස්ත්‍රය ම ප්‍රමාණවත් පුරුෂයන් විසින් දේශිත හෙයින් ප්‍රමාණවත් වෙයි.
ලෝකායත දර්ශනය හැර අනික් සකල දර්ශන ශාස්ත්‍රයන්ගේ ම පරමාර්ථය වනාහි සසර දුකින් සදහට ම විදිමයි. මිථ්‍යාඥානය නිසා සත්වයා සසර සැරිසරයි. නොහොත් බැම්මට හසු වී සිටියි. මිථ්යාඥානයට ප්‍රතිවිරුද්ධ වූ තත්වඥානය නිසා සසර දුකින් ඔහු මිඳෙයි. හෙවත් විමුක්ත වෙයි. තත්වඥනය නම් ආත්මය ආදි කොට ගෙන ඇති ප්‍රමේය දොළහ නියම රූපයෙන් හඳුනා ගැනීමයි. ආත්මයක් නැත ය, ආත්මය නොවූවක් ආත්මයකැයි වරදවා වටහා ගැනීම යනාදිය මිථ්යාඥානයෝ වෙති. තත්වඥානයෙන් මිථ්‍යාඥානය පහ වෙයි. ඉන් එහි ඵලය වූ රාග, ද්වේෂ ද ඔවුන් නිසා ඇති වන්නා වූ ඒ ඒ ද් කෙරෙහිි ඇතිවන ප්‍රවෘත්තිය ද ප්‍රවෘත්තිය පහවීමෙන් උපත ද උපත පහවීමෙන් දුක ද අහෝසි වෙයි. දුක නම් ශරීරය ඇතුළු එක්විසි වැදෑරුම් දුකයි. මෙසේ බන්ධනයට හේතු වූ මිථ්යාඥානාදි හේතු ප්‍රත්‍යයන් ක්‍රමයෙන් අහෝසි වන්නේ සසර දුකින් ද සත්වයා විමුක්ත වෙයි. නැවත නොබැඳෙන සේ ශරීරාදියෙන් සදහට ම ඉවත් ව නියම ස්වරූපවෙන් ආත්මයන්ගේ පැවැත්ම මුක්තභාවයයි. මුක්තාවස්ථායෙහි ආත්මට ජඩ වස්තුවක් හා සමාන ය. සුවදුක් ආදී ආත්මයට හිමි කිසිත් ගුණයක් නැත. ඥානය පවා නැත්තේ ය. එහෙයින් ගලක් හා සමාන ය. වෛශෙෂිකයන්ගේ මුක්තිය ද මෙය මැයි. න්‍යාය, වෛශෙෂික යන දෙදර්ශනය සමානතන්ත්ර හෙවත් මිත්‍ර දර්ශන වශයෙන් හැදින්වෙයි.
න්‍යාය-වෛශෙෂික සූත්‍ර පාඨයන්හි ස්වාභිමත ඊශ්වරයෙකු ගැන පැහැදිලි සටහනක් නොපෙනේ. භාෂ්යාකාරයන් ඇතුළු පශ්චාත්කාලීන නෛය්යායිකයෝ සර්වඥ වූ සර්වබලධාරී දෙවියකු ලෝකය මවන්නකු වශයෙන් පිළිගත්හ. එපමණක් නොව සත්වයාගේ විමුක්තිව පිණිස ද එම පරමාත්මයාගේ පිහිට පැතිය යුත් බවත් පෙන්වූහ. පරමාත්මයන් ආත්මගණයට වැටෙති. ජීවාත්මයට වඩා එහි ඇති පරමගතිය නම් 1.පරමාණු ආදි උපාදානකාරණා විෂයයෙහි ලා ඇති අපරොක්ෂ දැනුම, 2.මැවීමට ඇති අභිලාෂය හා 3.අබිමත වස්තුව නිපදවීමෙහි ලා ඇති ප්රයත්නයත් ය. ජීවාත්මයට නැති අට වැදැරුම් ඉසුරු භාවයක් ද ඔහුට ඇත්තේ ය.
න්‍යාය දර්ශනය වේදාන්තාදිය මෙන් අද්වෛත වාදයක් නොවෙයි. සාංඛ්‍ය දර්ශනය මෙන් ද්වෛත ද නොවේ. යෝග දර්ශනය මෙන් ත්‍රිත්ව වාදයන් ද නොවෙයි. බහුත්ව වාදයකි. එසේ ම තාත්වික වාදයකි. මායා වාදයක් හෝ ශූන්‍ය වාදයක් නොවේ. නිවැරදි බුද්ධියට යථාර්ථ වශයෙන් වැටහෙන්නා වූ සකල ම පදාර්ථයෝ තාත්විකයහ. ස්වරූපයක් ඇත්තාහු ය. නියම තත්වයක් - පැවැත්මත් ඒවාට ඇත.
න්‍යාය, වෛශේෂික යන දෙදර්ශනයට ම ආරම්භය ද වෙයි. අසත්කාර්යවාදයයි ද එයට කියති. වස්තුව කලින් නෙතිබිණ. පසුව බිහිවිය. බිහිවීම ම ආරම්භයයි. කාර්ණාවස්ථාවෙහිත් කාර්ය තිබෙන බවත් සංඛ්යාවාදීහු පිළිගනිති.
අනිකුත් දර්ශනයන්ට වඩා යම්කිසි විශේෂතාවක් න්‍යාය දර්ශනයට ඇතිනම් එ් ඇත්තේ එහි ඇති සාරවත් ප්‍රමාණ කොටස් පමණි. ප්රමාණාංශයෙන් එය අනිකුත් වෛදික දර්ශන අභිබවා සිටි. අධ්‍යාත්ම ශාස්ත්‍රයක් වශයෙන් එය දුර්වල ය. ද්වෛත-අද්වෛත වාද මේ තාත්වික වාදයට වඩා මැනවි.
(කර්තෘ: ඇස්. අභයසිංහ: 1956)
(සංස්කරණය නොකළ)