ෆ්‍රීද්‍රිච් විල්හෙල්ම් නීට්ෂ

සිංහල විශ්වකෝෂය වෙතින්
වෙත පනින්න: සංචලනය, සොයන්න

(Nietzsche, Friedrich Wilhelm) (1844.10.15-1900.08.25). 19 වන සියවසේ ජීවත් වූ ජර්මන් ජාතික සංස්කෘතික විචාරකයෙකි, කවියෙකි, දාර්ශනිකයෙකි. නීට්ෂ ස්වකීය වෘත්තීය ජීවිතය අරඹන ලද්දේ සම්භාව්‍ය මනෝවිද්‍යාඥයකු වශයෙනි. නීට්ෂගේ අදහස් දර්ශනය, සාහිත්‍යය, මනෝවිද්‍යාව සහ පැවැත්මවාදය ඇතුළු ක්ෂේත්‍ර රැසක් කෙරෙහි ප්‍රබල බලපෑමක් සිදු කොට තිබේ. මෙහි ලා විශේෂයෙන් ආගම පිළිබඳ ඔහුගේ විවේචනය, පුද්ගලත්වය අවධාරණය කිරීම හා මානව තත්ත්වය පිළිබඳ ගවේෂණය දිගුකලක් අදාළ ක්ෂේත්‍ර තුළ ප්‍රබල මෙන් ම මතභේදාත්මක බලපෑමක් සිදු කොට ඇත. ඇතැමෙකු මොහු නූතන පැවැත්මවාදයේ පුරෝගාමියා ලෙස සලකන අතර ඇතැමෙක් ඔහු නූතනත්වයේ විචාරකයකු හා සමාජසම්මත සාරධර්ම අභියෝගයට ලක් කරන්නකු ලෙස ද සලකති.

නීට්ෂ ඉපදී හැදී වැඩී පෝෂණය වූයේ ජර්මනියේ (වත්මන්හි ල්‍යුට්සන් (Lützen) හි කොටසක් වූ) රොකන් (Röcken) නම් නගරයේ ය. ඔහුගේ දෙමාපියන් වූයේ Carl Ludwig Nietzsche සහ Franziska Nietzsche ය. දරුවන් තිදෙනකුගෙන් යුත් පවුලේ වැඩිමලා වූයේ නීට්ෂ ය. ඔහුට තව බාල සොහොයුරියක් (Elisabeth Förster-Nietzsche) හා සොහොයුරෙක් (Ludwig Joseph) ද වූහ.

නීට්ෂ ජීවිතයේ අවසාන සමයෙහි මානසික ආබාධයකට ලක්විය. ජීවත් වන කාලය තුළ ඔහු සාපේක්ෂව ප්‍රකට නොවූ අතර ඔහුගේ මරණයෙන් පසු දශක කිහිපය තුළ ඔහුගේ කෘති පුළුල් පිළිගැනීමක් සහ වැදගත්කමක් ලබා ගත්තේ ය. නීට්ෂට වයස අවුරුදු පහක් පමණ වන විට ඔහුගේ පියා මොළයේ හටගත් රෝගාබාධයකින් මිය ගියේ ය. ඉන්පසු ඔහු සිය මව සමඟ සිය මිත්තනිය සහ නැන්දලා වාසය කළ නඋම්බු(ර්)ග් (Naumburg) නගරයට පදිංචියට ගියේ ය. 1856 දී සිය මිත්තනිය මියගිය පසු ඔවුහු නැවත වෙනත් නිවසකට ගිය අතර එම නිවස (Nietzsche-Haus) දැනට කෞතුකාගාරයක් සහ නීට්ෂ අධ්‍යාපන ආයතනය වශයෙන් පවතී.

නීට්ෂ මුල දී බාලක විද්‍යාලයක ද පසුව පෞද්ගලික පාසලක ද අධ්‍යාපනය ලැබී ය. ඔහුට එහි දී උසස් පවුල්වලින් පැවැත එන ගුස්ටෆ් කෘෘග් (Gustav Krug) සහ විල්හෙල්ම් පින්ඩර් (Wilhelm Pinder) යන මිතුරන් මුණ ගැසුණි. කුඩා නීට්ෂ සිය අධ්‍යාපනික ජීවිතයේ දී කිස්තු දේවධර්ම පිළිබඳ ඉහළ ම දක්ෂතා ප්‍රකට කළේ ය. මිය ගිය පියා ක්‍රිස්තියානි පූජකවරයකු වීම හේතුවෙන් අන්තර්ජාතික වශයෙන් ප්‍රසිද්ධියට පත් ව තිබූ ශූල්ප්ෆෝටා (Schulpforta) නම් කිතු දහම උගන්වන උසස් අධ්‍යාපන ආයතනයේ අධ්‍යාපනය ලැබීමට නීට්ෂට ශිෂ්‍යත්වයක් හිමි විය. 1858 සිට 1864 දක්වා වසර හයක පමණ කාලයක් නීට්ෂ එහි අධ්‍යාපනය ලැබුව ද එහි දී ඉහළ ම දක්ෂතා දැක්වීමට ඔහු අපොහොසත් විය. එහි දී ඔහු පද්‍ය බන්ධනය සහ සංගීතය ද හදාළේ ය. මෙහි දී ඔහු සංගීතය සහ සාහිත්‍යය සම්බන්ධ ‘Germania’ නමැති සමිතියේ නායකත්වය ඉසුලූ හෙයින් ග්‍රීක්, ලතින්, හීබ්‍රෑ සහ ප්‍රංශ යන භාෂා පිළිබඳ ප්‍රවීණත්වයක් ලබා ගැනීමට ද අවස්ථාව උදා විය. මෙකී භාෂා ඥානය හේතුවෙන් ඒ ඒ භාෂාවලින් පැවැති ප්‍රාථමික මූලාශ්‍රය පරිශීලනයට ඔහුට අවකාශ ලැබුණු අතර වැඩිදුර අධ්‍යාපනය හේතුවෙන් තමා හුරුපුරුදු පරිසරයෙන් බැහැර නව අත්දැකීම් ලැබීමට ද අවස්ථාව උදා විය. මෙහි අධ්‍යාපනය ලැබූ අවසාන විභාගයේ දී ඔහු ඉහළ ම කුසලතා පෙන්නුම් කළේ ආගම සහ ජර්මන් භාෂාව සඳහා වන අතර ඊළඟට ග්‍රීක් හා ලතින් යන භාෂා සඳහාත් ඉන්පසු පිළිවෙළින් ප්‍රංශ භාෂාව, ඉතිහාසය, භෞතික විද්‍යාව සඳහාත් ය. හීබ්‍රෑ භාෂාව සහ ගණිතය සඳහා ඔහුට ලැබුණේ අවම සාමර්ථ්‍යයන් ය. මෙහි දී සංගීත විෂයයට අදාළ විවිධ කුසලතා ඔහු පළ කළේ ය. මෙම අධ්‍යාපනයෙන් පසුව නීට්ෂ බොන් විශ්වවිද්‍යාලයට (University of Bonn) ඇතුළත් ව පූජකවරයකු වන අදහසින් දේවධර්මය හා සම්භාව්‍ය භාෂාවේදය (Classical Philology) හදාළේ ය. ඉන්පසුව ඔහු ලයිප්සිග් විශ්වවිද්‍යාලයෙහි (University of Leipzig) දී මහාචාර්ය ෆ්‍රිඩ්රිච් විල්හෙල්ම් රිට්ෂ්ල් (Friedrich Wilhelm Ritschl) යටතේ තවදුරටත් භාෂාවේදය හා ඉතිහාසය හදාළේ ය. එහි දී ඔහුට එයවින් රෝඩ (Erwin Rohde) මිතුරාගේ සමීප ඇසුර ලැබීමට ද අවකාශ ලැබිණ.

නීට්ෂගේ අනාගත අධ්‍යාපනික හා දාර්ශනික ජීවිතයට ආතු(ර්)ව ශෝප්න්හවාඋ(ර්) (Arthur Schopenhauer) ගේ ඉගැන්වීම් බෙහෙවින් බලපෑවේ ය.

1869 දී රිච්ෂ්ල්ගේ සහාය ද ඇති ව නීට්ෂ වයස 24 දී පමණ බාසල් විශ්වවිද්‍යාලයේ (University of Basel) සම්භාව්‍ය භාෂාවේදය (Classical Philology) පිළිබඳ මහාචාර්ය පදවියට පත් විය. පැවැත්මවාදය, ශූන්‍යවාදය සහ සාම්ප්‍රදායික යුරෝපීය සදාචාරය සහ ආගම පිළිබඳ විවේචනය පිළිබඳ ඔහුගේ ගැඹුරු සහ හරවත් කෘති සඳහා ඔහු ප්‍රසිද්ධියක් ඉසිලී ය.

නීට්ෂ ඔහුගේ පළමු පොත ‘The Birth of Tragedy out of the Spirit of Music’ 1872 දී ප්‍රකාශයට පත් කළේ ය. මෙම පොත යොහන් විංකල්මන් (Johann Winckelmann)ගේ History of Ancient Art (1764) කෘතියෙහි මුල් බැසගත් ග්‍රීක සංස්කෘතියේ ප්‍රමුඛ දහඅටවන සහ දහනවවන සියවසේ මුල් ප්‍රතිමූර්තිය ප්‍රශ්න කරයි. විංකල්මන් (Winckelmann) පුරාණ ග්‍රීසිය තාර්කික, උතුම් සහ සන්සුන් ලෙස නිරූපණය කළේය. නීට්ෂ, ඊට ප්‍රතිවිරුද්ධ ව, පුරාණ ග්‍රීක සංස්කෘතිය නිර්වචනය කරන්නේ ඇපලෝනියානු ‘සිහිනය සහ ඩයොනිසියානු මත්වීම’ අතර ඇති විරුද්ධත්වය මගිනි. ඔහු එය ‘පුද්ගල සහ ප්‍රජාව’, ‘පවුල සහ නගරය’, ‘නීතිය-සම්මුතිය සහ ස්වභාවය’, ‘රූපය සහ සංගීතය’ ලෙස වර්ධනය කරයි. තවද ‘පෙනුම සහ මායාව’ ඔලිම්පික් දෙවිවරුන්ගේ සුන්දරත්වය සහ ඛේදවාචකයේ භීෂණය අතර ආතතිය ඔහු වටහා ගන්නා නමුත් ඇපලෝනියානුවන්ගේ පවා වඩාත් මූලික හා ප්‍රාථමික මූලාශ්‍රය භීෂණය බව සොයා ගනී. Apollonian සහ Dionysian යුගලය සිතුවිලි සහ බලපෑම්, හේතුව සහ ආශාව අතර ප්‍රතිවිරෝධතා බවට පරිවර්තනය වන අතර, එතැන් සිට සාකච්ඡාව යුරිපිඩීස් සිට සොක්‍රටීස් දක්වා ගමන් කරයි. ඔහු එම ගැටලුව ද මෙහි ලා ඉදිරිපත් කරයි.

“මෙලෙස සරතුස්ත්‍රා (Zarathustra) කතා කළේ ය” (Also sprach Zarathustra) නමින් රචිත ග්‍රන්ථය නීට්ෂගේ වඩාත් ම ප්‍රසිද්ධ කෘතිය විය හැකි බව විචාරක මතයයි. ඔහු උත්තරමිනිසා (Overman) හෝ ‘Übermensch’ සහ සදාකාලික පුනරාවර්තනය පිළිබඳ ඔහුගේ අදහස් මෙහි දී ඉදිරිපත් කරයි.

1873 සිට 1876 දක්වා නීට්ෂ සිය ‘අකාල භාවනා’ (Untimely Meditations) නම් කෘතිය ලිවී ය. අධ්‍යයන දහතුනක් ලිවීමට අදහස් කරගෙන සිටිය ද තුන්වැන්න පළ කිරීමෙන් පසුව එම උනන්දුව ක්‍රමයෙන් හීන වූයෙන් නීට්ෂ සම්පූර්ණ කළේ අධ්‍යයන හතරක් පමණි: ඩේවිඩ් ස්ට්‍රෝස් - පාපොච්චාරණය සහ ලේඛකයා (1873); ජීවිතය සඳහා ඉතිහාසයේ භාවිතයන් සහ අවාසි (1874); Schopenhauer අධ්‍යාපනඥයා (1874); Richard Wagner Bayreuth (1876) වශයෙනි.

‘ඛේදවාචකයේ උපත’ (Die Geburt der Tragödie) යන තම මුල් කෘතියේ දී, නීට්ෂ චිත්‍ර හා සංස්කෘතියේ ඇපලෝනියානු සහ ඩයොනිසියානු මූලද්‍රව්‍යයන් වෙනස් කරමින් ග්‍රීක ඛේදවාචකයේ මූලාරම්භය සහ ස්වභාවය සාකච්ඡා කරයි.

Ecce Homo යන නීට්ෂගේ ස්වයං චරිතාපදාන කෘතිය ඔහුගේ ජීවිතයේ අවසානය දක්වා ලියූ අතර එය ඔහුගේ ම දාර්ශනික අදහස් වන අතර දර්ශන ඉතිහාසයේ ඔහුගේ වැදගත්කම පිළිබිඹු කරයි. සදාචාරයේ පෙළපත් (Zur Genealogie der Moral): නීට්ෂ සදාචාරාත්මක සාරධර්මවල මූලාරම්භය සහ වර්ධනය විමර්ශනය කරයි, හොඳ සහ නරක පිළිබඳ සාම්ප්‍රදායික සංකල්ප ප්‍රශ්න කරයි. පසුකාලීනව විසූ සිග්මන් ෆ්‍රොයිඩ් (Sigmund Freud), ජෝන් පොල් සාහ්ත් (සාත්‍රේ) (Jean-Paul Sartre), ඇල්බට් කැමූ (Albert Camus) වැනි දාර්ශනිකයන්ට මෙන් ම හර්මන් හෙස, ඩී.එච්. ලෝරන්ස් වැනි සාහිත්‍යවේදනීන්ට ද නීට්ෂගේ අදහස් බලපා තිබේ. 55 වැනි වියෙහි දී නීට්ෂ සිය උපන්බිම වන ජර්මනියෙහි දී මිය ගිය අතර ඔහුගේ දේහය Röcken Churchyard හි දී මිහිදන් කරන ලදි.

(කර්තෘ: උස්ගොඩ ධම්මගරු හිමි: 2024)