ආගම

සිංහල විශ්වකෝෂය වෙතින්
14:28, 4 ජූලි 2024 වන විට Senasinghe (කතාබහ | දායකත්ව) විසින් සිදු කර ඇති සංශෝධන

(වෙනස) ← පැරණි සංශෝධනය | වත්මන් සංශෝධනය (වෙනස) | නව සංශෝධනය → (වෙනස)
වෙත පනින්න: සංචලනය, සොයන්න

ආගම යන වචනය මෑතක් වනතුරු ව්‍යවහාර කරන ලද්දේ අවබෝධය, දේශනා ධර්මය, ධර්ම ග්‍රන්ථය, සාම්ප්‍රදායික ඉගැන්වීම යනාදි අර්ථ යන්හිය. එහෙත් මෑතක සිට එය නොයෙක් ඇදහිලි ක්‍රම හා පුදපූජා විධි පොදුවේ දැක්වීමට යොදනු ලැබේ. ඇතැම් විට එය එසේ ව්‍යවහාරයට එන්නට ඇත්තේ 'religion' යන ඉංග්‍රීසි වචනය වෙනුවටය. බැඳීම යන අරුත් ඇති ලතින් වචනයකින් බිඳී ආ යථෝක්ත ඉංග්‍රීසි වචනය බටහිර ලෝකයේ මුලින් ව්‍යවහාර කරනු ලැබුවේ මිනිසා හා නිර්මාතෘ දෙවි කෙනකුන් අතර ඇති බැඳීම හෙවත් සම්බන්ධය මුල් කර ගෙනය. එසේ ද වුවත් එය බෞද්ධ, හින්දු, ක්‍රිස්තියානි, ඉස්ලාම්, යුදෙව්, ජෛන යනාදි නොයෙක් ඇදහීම් ක්‍රම දැක්වීමට ද යොදා තිබේ. එහෙත් මේ සියලු ම ඇදහීම් ක්‍රමවල නිර්මාතෘ දෙවියෙක් හෙවත් ඊශ්වරයෙක් ඇතැයි නොකියැවේ. ථෙරවාද බුද්ධාගමේත් මහායාන බුද්ධාගමේත් ජෛනාගමේත් නිර්මාතෘ ඊශ්වරයෙක් ඇතැයි පිළිගැනීමක් නැත. අද්වෛත හින්දු ආගමේ ද පුද්ගලරූපීඊශ්වරයකුගේ පරම සත්‍යතාව නොපිළිගනු ලැබේ.

නිර්වචනය

ඊශ්වරවාදී ආගම් මෙන් ම අනීශ්වරවාදී ආගම් ද ඇති නිසාත් ආගමක් මිනිස් ජීවිතයේ හා මිනිස් සමාජයේ නොයෙක් අංශවලින් ප්‍රකාශයට පත් වන නිසාත් ආගම යන්නෙහි නියමාර්ථය දැක්වෙන පැහැදිලි නිර්වචනයක් සැපයීම උගහටය. මහාචාර්ය ලෞබාගේ 'ආගම පිළිබඳ මනෝවිද්‍යාත්මක අධ්‍යයනයක්' ('A Psychological Study of Religion') යන පොතේ ආගම පිළිබඳ විවිධ ලේඛකයන් දී තිබෙන නිර්වචන හතලිස් අටක් ම සංග්‍රහ කොට තිබේ. 1871 දී එඩ්වඩ් ටෙලර් නම් මානවවිද්‍යාඥයා ආගම යන්නට "යටත් පිරිසෙයින් දිය හැකි නිර්වචනයක්" වශයෙන් ආගම වූකලි "අතිමානුෂ අධිභූතයන් කෙරෙහි ඇති විශ්වාසය" යයි දක්වා ඇත. එහෙත් විශ්වාස පමණක් නොව පිළිවෙත් ක්‍රම හා හැඟීම් ද ආගමකට අන්තර්ගත වන බව කිව යුතුය. ෆ්‍රේසර්ගේ 'ස්වර්ණමය ශාඛාව' ('The Golden Bough') නම් ග්‍රන්ථයෙහි (2 වන සංස්කරණය 63 පිට) දී තිබෙන්නේ මිනිසාගේ හැසිරීම පදනම් කොට ගත් නිර්වචනයකි. එනම් "ආගම යන්නෙන් මා තේරුම් ගන්නේ ස්වභාවධර්මය හා මිනිස් ජීවිතය හසුරුවා පාලනය කරතැයි විශ්වාස කරනු ලබන්නා වූ ද මිනිසාට වඩා උත්තරීතර වූ ද බලයන් තමා කෙරෙහි පහදවා ගැනීමය" යන්නයි. මේ නිර්වචනයට අනුව යක්දෙස්සාගේ අනවින හා හදි හූනියම් ද ආගමට ඇතුළත් වේ. එහෙත් ලේඛකයන් වැඩිදෙනා පුද්ගල ස්වරූපයෙන් සිටින දෙවි දේවතාවන් හා භූතයන් පිදීම හා අයැදීම ආගමට අයත් කාර්‍යයක් ලෙසත් අපෞද්ගලික බලවේග යන්ත්‍රමන්ත්‍ර මාර්ගයෙන් මර්දනය කිරීම අභිචාරවිධි ගණයට අයත් කාර්‍යයක් ලෙසත් සලකති. ආචාර්‍ය්‍ය ජේ. මැක්ටැගට් 'ආගමේ සමහර ආධානග්‍රාහී මත' ('Some Dogmas of Religion') යන තම පොතෙහි (3 පිට) ආගම යන්න නිර්වචන කොට තිබෙන්නේ මානසික හැඟීමක් වශයෙනි. ඒ මෙසේයි: "ආගම යනු මානසික තත්ත්වයක් බව පැහැදිලිය. එය අප හා විශ්වය හා අතර පොදු වශයෙන් පවත්නා සුසංගතිය ගැන හැඟීමක් මත පිහිටි චිත්තවේගයක් වශයෙන් මැනවින් විවරණය කළ හැකි බව මට හැඟෙයි." මෙයින් පෙනී යන්නේ ආගම යන්නට නිර්වචන දැක්වීමේ දී විශ්වාස ගැන පමණක් නොව හැඟීම් හා පුදපිළිවෙත් ගැන ද අප අවධානය යොමු විය යුතු බවයි.

පැරණි ඉන්දියාවේත් මූලික බෞද්ධ ග්‍රන්ථවලත් 'ආගම' යන අරුත පැවසීමට ව්‍යවහාර කර තිබෙන්නේ 'බ්‍රහ්ම චර්යය්‍ය (බ්‍රහ්මචරිය)' යන වචන යයි ("චත්තාරි ච අනස්සාසිකානි බ්‍රහ්මචරියානි අක්ඛාතානි..." — සන්දක සුත්ත, මජ්ඣිම නිකාය). විශ්වය ගැන යමක් පරම සත්‍යය යයි විශ්වාස කෙරේ නම්, ඊට අනුකූල වූ ජීවිතය බ්‍රහ්මචර්යය්‍ය යයි හඟිනු ලැබේ. මේ අදහසට අනුව ආගමකින් බලාපොරොත්තු විය හැකි පරමාර්ථය නම් පරම පදය හෝ පරම සුවය වන විමුක්තිය ලබා ගැනීමයි. විමුක්තිය වනාහි සෑම උසස් ආගමක ම ප්‍රධාන සංකල්පය ලෙස සැලකිය හැක. විමුක්තිසාධක දෙවියකු ගැන උගන්වනු ලබන්නේ සමහර ආගම්වල පමණක් වුව ද සෑම ආගමක ම පෞද්ගලික විමුක්තියේ වටිනාකම අවධාරණයෙන් පෙන්වනු ලැබේ. සෑම උසස් ආගමකින්ම යෝජනා කරනු ලබන ක්‍රියා මාර්ගය විමුක්ති මාර්ගයක් ලෙස සිතිය හැකිය. විමුක්තිය ආගමක ප්‍රධාන අංගය වුවත් ඒ ඒ ආගම්වල අන්තර්ගත වූ වෙනත් ප්‍රධාන අංග ද විමුක්ති මාර්ග ද වෙනස් වන බැවින් නානා ආගම් වශයෙන් මිස සියලු ම ආගම් පොදුවේ සලකා 'ආගම' වශයෙන් හැඳින්විය හැකි එක් විෂයයක් නොමැත.

විචාර විධි

එබැවින් ආගම ගැන අධ්‍යයනයක් කිරීමේ දී කළ යුත්තේ ඒ ඒ ආගම්වල මූලික අදහස්, ඇදහීම් ක්‍රම, පූජාවිධි යනාදිය වෙන් වෙන් වශයෙන් විමසා බැලීමය. මෙය නන් අයුරින් කළ හැකි දෙයකි. ඒ ඒ ආගම්වල ප්‍රභවය හා විකාසනයත් ආගමික අදහස්වල මූලික අවස්ථාත් ඓතිහාසික ලෙස සොයා බැලිය හැක. එසේ ම ආගම් අතර ඇති සමාන අසමානකම් තුලනාත්මකව සෙවිය හැක. ආගමක් මනස කෙරෙහි බොහෝ දුරට බලපාන බැවින් ආගමික අදහස්, හැඟීම් යනාදි ආගමික වින්දන සියල්ල ම මනෝවිද්‍යාත්මකව ද විමසා බලන්නට පුළුවන. ආර්ථික පදනම හා සමාජ ජීවිතය ආගම කෙරෙහිත් ආගම සමාජ සැලැස්ම කෙරෙහිත් බලපාන බැවින් ආගම පිළිබඳව සමාජ විද්‍යාත්මක විග්‍රහයක් ද කළ හැකිය.

ඓතිහාසික

නොයෙක් ආගම්වල ඉතිහාසය ගැන ද ආගමික අදහස්වල හා ප්‍රතිඵලවල ඉතිහාසය ගැන ද ලිවූ පොත් රාශියක් තිබේ. ඉතිහාසගත ලියකියවිලිවලට අනුව සාධක සහිතව ලියා තිබෙන ග්‍රන්ථයන්හි ආගම්වල ඉතිහාසය පිළිබඳව වැදගත් කරුණු රැසක් සඳහන් වී තිබෙන නමුත් පැරණි ප්‍රාකෘතික මිනිසුන්ගේ ආගමික විශ්වාස හා ඇදහිලි ගැන ලියා තිබෙන බොහෝ දේ හුදු කාල්පනික මත බව අද පිළිගනු ලැබේ. මේ නිසා ආගමේ ප්‍රභවය සෙවීම නිෂ්ඵල ව්‍යායාමයක් බව කියති. එහෙත් ලියකියවිලි ඇති ඉතිහාසගත කාලයේ මුල් අවධියෙහි පහළ වූ ආගමික මත ගැන ද නූතන කාලයේ සමහර රටවල වෙසෙන නොදියුණු ප්‍රාකෘතික මිනිසුන්ගේ ආගමික මත ගැන ද බොහෝ දේ අපට දැන ගත හැකිය.

ආගමික මතවල ප්‍රභවය සෙවීම නිෂ්ඵල දෙයකැයි සිතන අය ඉදිරිපත් කරන තවත් කාරණයක් නම් මතයක ප්‍රභවය දැනගැනීමෙන් එහි නූතන වටිනාකම මැන ගැනීමට නුපුළුවන් බවය. මතයක මුල් ප්‍රභවය මිථ්‍යා විශ්වාසයක් වුව ද එය අනුක්‍රමපයන් විකාසනයට පත් වී දියුණු වූ අවස්ථාවේ දී හෙි සත්‍යතාවක් හා වටිනාකමක් තිබෙන්නට පුළුවන. ප්‍රාකෘතික අභිචාරමය අදහස් විකාසනයට පත්වීමෙන් විද්‍යාවෝ දියුණු වූහ. මෙය සත්‍යයක් වුවත් ඇතැම් නවීන ආගමික අදහස් පැරණි ප්‍රාකෘතික මතවලට වඩා එතරම් දියුණු බවක් කිව නොහැකිය. එම නිසා ඓතිහාසික සාධක ඇති විට ආගමික මතවල මුල සෙවීම වැදගත් ශාස්ත්‍රීය ගවේෂණයක් ලෙස ගණන් ගත යුතුයි.

වේද කාලයේ පටන් බුදුසමයේ පහළ වීම දක්වා භාරතීය ආගමික වර්ධනය සොයා බැලීමට උපයෝගී වන මහඟු සාක්ෂ්‍ය තිබේ. මේ කාලපරිච්ඡේදය තුළ උද්ගත වූ ප්‍රධාන ආගමික විශ්වාස ගැන සිතා බලන විට මිනිස් සිතෙහි පහළ වී ඇති සෑම ආගමික විශ්වාසයක් ම මේ අවධියෙහි දී බිහි වී තිබෙන බව ද ඓතිහාසික වශයෙන් ඒ විශ්වාසයන්ගේ ප්‍රභවය කුමක් වී ද යන්න ද වටහා ගත හැකිය. ඍග් වේදයේ ආදිම සූක්තවලින් පෙනෙන්නේ එකල සිටි මිනිසුන්ට ශුභසාධක වූත් ඔවුන්ගේ විස්මයට හා බියට හේතුභූත වූත් ස්වභාවධර්මයාගේ ඇතැම් සිදුවීම්වලට පළමු කොට පුද්ගලත්වයක් ආරෝපණය කරනු ලැබීමෙන් ද පසුව ඒවා දේවත්වයෙහි ලා සලකනු ලැබීමෙන් ද කල්යාමේ දී පූර්ණ පුද්ගලත්වයක් ඇති දෙවිවරුන් බිහිවුණු අන්දමය. එමෙන් ම ඍග්වේදයේ දසවැනි මණ්ඩලයේ සඳහන් "සර්වඥ, සර්වබලසම්පන්න, සර්වසුන්දර" වරුණ දෙවියන් පිදීමේ ද ක්‍රිස්තියානි හා ඉස්ලාම් ආගම්වල මූලික විශ්වාසය වූ ඒකදේව වාදය වැන්නක් පැවතුණු අන්දම අපට පෙනී යයි. එහෙත් එවකට ඒකදේවවාදයෙන් තෘප්තියකට නොපත් අය ඒකත්වවාදයක් ඇතිකරගත් අයුරුත් මේ මතය උපනිෂද් සමයේ වැඩි දියුණු වූ අයුරුත් දැක්ක හැකිය. එවක ඇතිවුණු සියලු ම ආගම් භෞතිකවාදීන්ගේ හා සංශයවාදීන්ගේ තියුණු විවේචනයට පාත්‍ර වූ කල ජෛන බෞද්ධ යන අනීශ්වරවාදී ආගම් උද්ගත වූ අයුරු ද අපට පෙනේ. එසේ ම බ්‍රාහ්මණ යුගයේ සකස් කරන ලද අථර්ව වේදයේ භූත විශ්වාසයෙන් හා අභිචාර විධීන්ගෙන් පදනම් ලත් යන්ත්‍ර මන්ත්‍ර බලිතොවිල් හදිහූනියම් ගස් ගල් ඇදහිලි ආදියෙන් සමන්විත ආගමික මතවල තතු අපි හඳුනා ගනිමු. මෙසේ පැරණි සාහිත්‍යය පිරික්සා බැලීමෙන් ද පුරාවිද්‍යාත්මක සාක්ෂ්‍යවලින් (නි. මොහෙන්ජෝදාරෝ, හරප්පා) ද ආගමික විශ්වාසවල හා ඇදහිලිවලත් ප්‍රභවයන් හා වැඩීම පිළිබඳ නෑසබඳකම් මැනවින් වටහා ගත හැකිය.

තුලනාත්මක

නොයෙක් ආගම් තුලනාත්මකව සසඳා බලා හදාරන්නට පටන් ගත්තේ පැරණි භාරතීය චින්තකයන් හා අරාබි චින්තකයන්ය. බටහිර රටවල මෙය පටන් ගත්තේ 19 වැනි ශතවර්ෂයේ දීය. ඉන්දියාවේ ආගම් හැදෑරූ සුප්‍රකට මැක්ස් මුලර් පඬිතුමා බටහිර උගතුන් අතුරෙන් මෙවැනි අධ්‍යයනයක් කළ ප්‍රථමයා බව පෙනේ. ශාස්ත්‍රීය ලෙස තුලනාත්මකව ආගම් හැදෑරීමේ පරමාර්ථය ඒ ඒ ආගම්වල සංකල්පයන් අතර සමාන අසමානකම් පිරික්සා බලා පොදු වූ ද වෙනස් වූ ද ලක්ෂණ විමසා බැලීම විනා අලුත් ආගමක් බිහිකිරීම හෝ එක් ආගමක වැඩි සත්‍යතාවක් වත් වැඩි වටිනාකමක් වත් දැක්වීම හෝ නොවේ. එහෙත් බටහිර බොහෝ ක්‍රිස්තුභක්තික උගතුන් තුලනාත්මකව ආගම් හදාරා ඒවා විවේචනය කොට ඇත්තේ ක්‍රිස්තියානි ආගමේ වැඩි සත්‍යතාවක් හා වටිනාකමක් ඇති බව පෙන්වීමටය. අද ලෝකයේ ඇති ප්‍රධාන ආගම් හතරවන බුද්ධාගම, හින්දු ආගම, ක්‍රිස්තියානි ආගම හා ඉස්ලාම් ආගම දළ වශයෙන් සලකා බලන කල ඒවායේ ප්‍රධාන අදහස්වල ඇතැම් සමානකම් තිබෙන බව පෙනේ. ආගම් හතරේ ම ලෝකාතික්‍රාන්ත පරම පදාර්ථයක් පිළිගනු ලැබේ. ක්‍රිස්තියානි හා ඉස්ලාම් ආගම් දෙකේ මෙය පෞද්ගලික නිර්මාතෘ දෙවි කෙනෙකි. හින්දු ආගමේ එය බ්‍රහ්මත්වයයි. බුදුසමයෙහි එය දික්කාලමුක්ත අප්‍රතීත්‍යසමුත්පන්න නිර්වාණයයි. එමෙන් ම ආගම් හතරේ ම මරණින් මතු ජීවිතයක් ගැන උගන්වනු ලැබේ. ක්‍රිස්තියානි හා ඉස්ලාම් ආගම්වල එය පුනරුත්ථානයකි හෙවත් මළවුන්ගෙන් නැගිටීමකි. හින්දු ආගමේ හා බුදුසමයේ එය පුනර්භවයයි. එක් එක් පුද්ගලයා විසින් කරනු ලබන හොඳ නරක සම්බන්ධයෙන් ඔහු වග කිව යුතුය යන සංකල්පයත් ආගම් හතරට ම පොදු වූවකි. හින්දු හා බෞද්ධ සමයන්හි කර්මවාදයෙහි ද ක්‍රිස්තියානි, ඉස්ලාම් ආගම් දෙකෙහි පාපය හා දේව විනිශ්චය පිළිබඳ ඉගැන්වීමෙහි ද එය ගැබ්ව පවතී. තවද ආගම් හතරේ ම පරමාර්ථය හා විමුක්තිය වශයෙන් උගන්වනු ලබන්නේ යථෝක්ත ලෝකාතික්‍රාන්ත පදාර්ථයට ළඟාවීමය, නැතහොත් එය සමග එක් වීමය. ක්‍රිස්තියානි, ඉස්ලාම් ආගම් දෙකේ දෙවියන්වහන්සේ සමග සහව්‍යතාවක් ලබා ගැනීමේ වැදගත්කම ගැන උගන්වනු ලැබේ. හින්දු ආගමේ උගන්වන්නේ බ්‍රහ්මත්වයට පැමිණිය යුතු බවයි. බුදුසමයේ උගන්වනු ලබන්නේ නිර්වාණය සාක්ෂාත් කළ යුතු බවයි. පූර්වෝක්ත ලෝකාතික්‍රාන්ත පදාර්ථයට ළඟාවීම සඳහා අනුගමනය කළ යුතු මාර්ගයේ ද බොහෝ සමානකම් තිබේ. ආගම් හතරෙන් ම උගන්වනු ලබන්නේ හොඳ ජීවිතයේ වටිනාකමයි. තමා උපමා කොට අනුන්ට හිංසා නොකළ යුතු බවත් හොඳ කළ යුතු බවත් කියනු ලැබේ. මේ ප්‍රතිපත්තිය යථෝක්ත නොව සෑම උසස් ආගමකට ම පොදුය. ක්‍රිස්තියානි ආගමේත් ඉස්ලාම් ධර්මයේත් වර්ණනා කොට ඇත්තේ ධර්මිෂ්ඨ ජිවිතයේ වැදගත්කමය. හින්දු ආගමේ ශීලයේත් සමාධියේත් වැදගත්කම් උගන්වනු ලැබේ. බුදුසමයෙහි ශීලයේත් සමාධියේත් ප්‍රඥාවේත් වටිනාකම ගැන දේශනා කර තිබේ. භාවනාවේ වැදගත්කම හින්දු බෞද්ධ ආගම් දෙකේ ප්‍රධාන වශයෙන් උගන්වනු ලැබේ. පසු කලක කතෝලික සභාවේ ද යාච්ඤාව පුරුදු කිරීමෙන් භාවනාව දියුණු කළ භාවනානුයෝගී පිරිසක් ඇතිවිය. ඉස්ලාම් ආගමේ ද භාවනාව වැඩු සුෆී නම් නිකායයක් පහළ විය.

මෙසේ ආගම් අතර සාමාන්‍ය වශයෙන් සමානකමක් ඇති නමුත් සියුම් ලෙස පිරික්සා බලන විට පෙනෙන්නට තිබෙන්නේ වෙනසකි. ක්‍රිස්තියානි, ඉස්ලාම් ආගම්වල පෞද්ගලික ඊශ්වරයකු පිළිගන්නා නමුත් හින්දු ආගමට අනුව පරම පදාර්ථය අපෞද්ගලිකය. බුදුසමයේ නිර්මාතෘ ඊශ්වරයකුට විරුද්ධව තර්ක කර තිබේ. හින්දු බෞද්ධ ආගම්වල දැක්වෙන පුනරුත්පත්තිය ක්‍රිස්තියානි ඉස්ලාම් ආගම්වල එන පුනරුත්ථානයට හාත්පසින් ම විරුද්ධය. එමෙන් ම හින්දු බෞද්ධ කර්මවාදය ක්‍රිස්තියානියෙහි එන පාපය (sin) පිළිබඳ ඉගැන්වීමට සහමුලින් ම විරුද්ධය. බෞද්ධ මතයට අනුව කර්මය යනු තමා කරන ක්‍රියාවන්ගේ විපාක තමාට ම භුක්ති විඳින්නට සිදු වීමයි. ක්‍රිස්තියානි ආගමේ උගන්වන පරිදි අනුන් (ආදම් නම් ප්‍රථම පුරුෂයා) කළ පවක් නිසා මුළු මනුෂ්‍ය සංහතිය කෙලෙසීමට පත් වූ බැවින් තමාට ද එහි ප්‍රතිවිපාක භුක්ති විඳින්නට සිදු වේ. විමුක්ති මාර්ගය ගැන සලකතත් ක්‍රිස්තියානි ඉගැන්වීමට අනුව තමාගේ උත්සාහයට වඩා පරමෝත්කෘෂ්ටත්වයට පත් වීමට ආධාර වන්නේ දේවානුග්‍රහයයි. බුදුසමයට අනුව නිවන ලබා ගන්නේ දේවානුග්‍රහයකින් නොව සිය උත්සාහයෙනි. ආගම් අතර මෙසේ පරස්පර විරෝධී මත තිබීමෙන් පෙනී යන්නේ සෑම ආගමක ම කියා තිබෙන දේ සත්‍ය නොවිය හැකි බවය.

ආගම්වල සත්‍යාසත්‍යතාව

මෙසේ තුලනාත්මකව ආගම්වල සමාන අසමානකම් දෙස බලන්නා සේ ම අපට දාර්ශනික ලෙස ද ආගමික මතවල සත්‍යාසත්‍යතාව සොයා ගැනීමට උත්සාහයක් දැරිය හැකිය. නවීන විද්‍යාවන්හි ලෝකය පිළිබඳ සත්‍යය දැනගත හැකි ප්‍රමාණ වශයෙන් ප්‍රත්‍යක්ෂය හා අනුමානය පමණක් පිළිගන්නා නමුත් බුදුසමය හැර සෙසු ආගම්වල ශ්‍රැතිය මීටත් වඩා ප්‍රබල ප්‍රමාණයක් වශයෙන් පිළිගනු ලැබේ. ශ්‍රැතිය ප්‍රමාණයක් වශයෙන් පිළිගැනීම නිසා බයිබලය කෝරානය, වේදය යන ශ්‍රැති ග්‍රන්ථවල කියා තිබෙන දේ අවශ්‍යයෙන් ම පරම සත්‍ය ලෙස පිළිගැනීමට සිදු වේ. එහෙත් සත්‍යය අවිසංවාදී නම් පරස්පර විරෝධී මත දෙකක් ඇති තැන දෙක ම අවශ්‍යයෙන් ම සත්‍ය නොවිය හැකි බව අපට පෙනේ. ප්‍රධාන මත අතින් ආගම් අතර පරස්පර විරෝධී බවක් පෙනෙන හෙයින් ඒ මත සියල්ල ම අසත්‍ය විය හැකි වුව ද සියල්ල ම සත්‍ය විය නොහැකි බව පිළිගත යුතු වෙයි. එසේ ම මේ ශ්‍රැති ග්‍රන්ථවල ලෝකය පිළිබඳව සඳහන් බොහෝ දේ පිළිගැනීම දුෂ්කරය. ක්‍රිස්තියානි ඉස්ලාම් ආගම්වලට අනුව ආදම් නම් ප්‍රථම පුරුෂයා දෙවියන්වහන්සේගේ විශේෂ මැවිල්ලකි. එහෙත් මනුෂ්‍ය වර්ගයා එක්තරා වානර වර්ගයකින් විකාසනයට පත් වූ බව වැදගත් සාක්ෂ්‍ය හා සාධක සහිතව අද ජීව විද්‍යාවේ උගන්වනු ලැබේ. විද්‍යාත්මක මතය සත්‍ය නම් ආගමික මතය අසත්‍ය විය යුතුයි. මේ කරුණු දෙක නිසා ශ්‍රැති ප්‍රමාණය ප්‍රමාණයක් වශයෙන් සැලකිය නොහැකි බව නූතන දාර්ශනිකයන්ගේ පිළිගැනීමයි.

ශ්‍රැතිය කෙරෙහි විශ්වාසය තබා ආගමික මත භක්තියෙන් පිළිගනු ලැබූ නමුත් පෙර අපර දෙදිග ම දාර්ශනිකයෝ ඒවා තර්කානුසාරයෙන් ඔප්පු කරන්නට ද තැත් කළහ. හින්දු දාර්ශනිකයෝ වේදයේ පරස්පර විරෝධයක් නොමැති බවත් ඇතැම් වෛදික මත තර්කානුසාරයෙන් ඔප්පු කළ හැකි බවත් පෙන්වීමට උත්සාහයක් දැරූහ. ක්‍රිස්තියානි දාර්ශනිකයන් ද කියා සිටියේ ඇතැම් ආගමික මත තර්කානුසාරයෙන් ඔප්පු කළ හැකි බවත් ඉතිරි කොටස ශ්‍රැතියෙන් පිළිගත යුතු බවත්ය. ඊශ්වරවාදී ආගම්වල ගැබ් වී තිබෙන ප්‍රධාන සංකල්පය දෙවියන් වහන්සේ බව කිව හැකිය. බටහිර සම්ප්‍රදාය ගැන පමණක් කල්පනා කර බැලුවොත් බටහිර ක්‍රිස්තියානි දාර්ශනිකයන් දෙවියන්වහන්සේගේ සත්‍යතාව ඔප්පු කිරීමට තර්ක ඉදිරිපත් කළ බව පෙනේ. ඒ පිළිබඳව ප්‍රධාන තර්ක පහක් තිබේ. එහෙත් තර්ක පහ ම සදොස් බව නවීන දාර්ශනිකයන්ගේ පමණක් නොව ඇතැම් ක්‍රිස්තු භක්තික දේවධර්මවාදීන්ගේ ද පිළිගැනීමයි. සත්තා තර්කය, මූලහේතු තර්කය, සාධ්‍යතා තර්කය, සදාචාර තර්කය හා ආගමික වින්දනයෙන් කරන තර්කයයී මේ තර්ක පස සඳහන් කරනු ලැබේ. සත්තා තර්කයෙන් කියන්නේ සර්වප්‍රකාරයෙන් ම පරිපූර්ණ වූ පුද්ගලයකු වන දෙවියන් වහන්සේට පරිපූර්ණත්වය හේතු කොට ගෙන අස්තිත්ව ලක්ෂණය ද තිබිය යුතු බැවින් දෙවියන්වහන්සේ අවශ්‍යයෙන් ම සිටින බවයි. එහෙත් අස්තිත්වය කිසියම් දෙයක ලක්ෂණයක් නොවන බැවින් තර්කය සදෙස්ය. මූලහේතු තර්කයෙන් කියන්නේ සියලු දෙයට ම හේතුවක් ඇති නිසා විශ්වයට ද හේතුවක් තිබිය යුතු බවත් මේ හේතුව දෙවියන්වහන්සේ බවත්ය. එහෙත් සියලු දෙයට ම හේතුවක් තිබිය යුතු නම් මූල හේතුවට ද හේතුවක් තිබිය යුතු බවත් මේ හේතුව දෙවියන්වහන්සේ බවත් ය. එහෙත් සියලු දෙයට ම හේතුවක් තිබිය යුතු නම් මූල හේතුවට ද හේතුවක් තිබිය යුතු නිසා මූල හේතුවක් කිසිසේත් නොතිබිය හැකිය. සාකධ්‍යතා තර්කය කියා පාන්නේ විශ්වයේ ශුභසාධකත්වයක්, සෞන්දර්යයක්, සුසංගතියක් හා අභිප්‍රායක් දක්නට තිබෙන බැවින් එය අභිප්‍රායානුකූලව මැවීමට බුද්ධිසම්පන්න, ශුභසාධක දෙවියකු අවශ්‍ය බවය. එහෙත් විශ්වයේ අශුභ සාධකත්වයක් ද අශෝභන භාවයක් ද නරක ද දක්නට තිබේ. එවිට තර්කය වලංගු නොවේ. සදාචාර තර්කයෙන් කියන්නේ මිනිසාගේ සදාචාර ජීවිතය තේරුම් ගැනීමට ඊශ්වරයකුගේ සත්‍යතාව පිළිගත යුතු බවය. එහෙත් සදාචාර ජීවිතය මෙන් ම දුරාචාරය ද මිනිසුන් අතර ප්‍රචලිත බැවින් තර්කය බිඳ වැටේ. ආගමික වින්දන තර්කයෙන් කියන්නේ මිනිසුන් සමහර විට භුක්ති විඳින ආගමික වින්දන තේරුම් ගැනීමෙහි ලා දෙවියකු පිළිගත යුතු බවය. එහෙත් මේ වින්දන අන් අයුරින් තේරුම් කළ හැකි බැවින් ඒවා තේරුම් ගැනීමට දෙවියකු කෙරෙහි විශ්වාස කිරීම අනවශ්‍යය.

තර්ක ශාස්ත්‍රයේ හා දර්ශනයේ දියුණුව නිසා මෙන් ම යටකී පරිදි විද්‍යාවන්ගේ දියුණුව නිසාත් නවීන ලෝකයෙහි ආගම්වල මූලික ඉගැන්වීම්වලටත් ආගමික ආකල්පයටත් සාමාන්‍ය වශයෙන් ආගමටත් වැදී තිබෙන්නේ බලවත් පහරකි. නවීන විද්‍යාවන්ගේ සොයාගැනීම් ශ්‍රැතිගත බොහෝ මත වලට පටහැණි වීම මීට හේතුවයි. කරුණු රහිතව විශ්වාස කිරීමේ නැතහොත් භක්තියේ වැදගත්කම නොයෙක් ආගම්වල ඉගැන්වෙන අතර විද්‍යාවෙන් උගන්වනු ලබන්නේ කරුණු පිරික්සා බලා කරුණු පමණක් පදනම් කොට විශ්වාස කිරීමේ නැතහොත් බුද්ධිමත් විචාරයෙන් සමන්විත විද්‍යාත්මක ආකල්පයේ වැදගත් කමයි. එසේ ම විද්‍යාවන්හි විශ්වය හේතුඵල නියාමයන් බලපාන හේතුඵල පද්ධතියක් වශයෙන් සැලකූ අතර ඊශ්වරවාදී ආගම්වලින් ප්‍රකාශ වූයේ විශ්වය දේවාධිෂ්ඨානයෙන් මැවූ දේවාධිෂ්ඨානයෙන් වෙනස්වනසුලු, වෙනස් විය හැකි කෘතියක් බවය.

එහෙත් දේවාගම්වලට විරුද්ධව එල්ල කරනු විරුද්ධවත් එල්ල කරනු ලබන මේ විවේචන අවිචාරයෙන් බුදුසමයට විරුද්ධවත් එල්ල කිරීම වරදකි. ථෙරවාද බුදු සමයේ අමූලික ශ්‍රද්ධාව වෙනුවට වැදගත් ලෙස සැලකුවේ කාලාම සූත්‍රයේ කියා තිබෙන පරිදි විද්‍යාත්මක ආකල්පයකින් පදනම් ලත් ආකාර වතී ශ්‍රද්ධාවයි. බුදුසමයේ විශ්වය හේතුඵල නියාමයන් බලපාන හේතුඵල පද්ධතියක් බව උගන්වා තිබේ. බුදුසමයේ මූලික විශ්වාස නවීන විද්‍යාවන්ගේ සොයාගැනීම්වලට බොහෝ දුරට අනුකූලය. නවීන තාරකා විද්‍යාවට අනුව දහස් ගණන් සූර්යයන්ගෙන් හා ග්‍රහලෝකවලින් සමන්විත සිය දහස් ගණන් ලෝකධාතු විශ්වයේ විහිදී තිබේ. මූලික බුදුසමයෙන් ද කියන්නේ ඉරවල් හා සත්වාවාස දහස් ගණනින් සමන්විත සිය දහස් ගණන් ලෝකධාතු විශ්වයේ විහිදී තිබෙන බවය. ආත්මයක් නැතැයි උගන්වා සිතේ ආනුශයිකව පවත්නා ආශාවන්, අසම්ප්‍රජානව ක්‍රියා කරන මනෝසංස්කාරයන් හා ආභ්‍යන්තරික සිතේ බලපාන කාම, භව, විභව තෘෂ්ණාවන් ගැන බුදු සමයෙහි උගන්වන කරුණු නවීන මනෝවිද්‍යාවේ සොයා ගැනීම්වලට ඉතා කිට්ටුය. පුනරුත්පත්ති දහම ඇතැම් විද්‍යාත්මක සාක්ෂ්‍ය අනුව පිළිගත හැකි බව සමහර නවීන මනෝවිද්‍යාඥයෝ ද දාර්ශනිකයෝ ද කියා සිටිති. කර්මයේ සත්‍යතාවක් තිබිය හැකි බව තරමක් දුරට දක්වන සාක්ෂ්‍ය ද ලැබී තිබේ. පරචිත්තවිජානනය හා දිව්‍යචක්ෂුස ඇතුළු අතීන්ද්‍රිය ප්‍රත්‍යක්ෂයේ සත්‍යතාව ඔප්පු කරන පරීක්ෂණ ද පවත්වා තිබේ. බුදු සමයේ ද නිර්වාණය වැන්නක් පරීක්ෂණයකින් ඔප්පු කළ හැක්කක් නොවේ. එහෙත් නිර්වාණය ද පෞද්ගලික සත්‍යෙක්ෂණයකින් අවබෝධ කළ හැකි අවස්ථාවක් බව විශ්වාස කරනු ලැබේ. යථෝක්ත කරුණු නිසාත් විද්‍යාවන්ගේ දියුණුව නිසාත් බුදුසමය කෙරෙහි නූතන ලෝකයේ විශේෂ අවධානය යොමු වී තිබෙන බව පෙනේ.

විද්‍යාවේ මිම්මෙන් ආගමික විශ්වාසවල සත්‍යා සත්‍යතාව මිනිය නොහැකි බව ද කියනු ලැබේ. මීට හේතුව ආගමික විශ්වාස විද්‍යාවිෂයාතික්‍රාන්ත වීම බව මේ අදහස් ඉදිරිපත් කරන අය කියති. 'ආත්මය', 'දෙවියන්වහන්සේ' යනාදි සංකල්ප ඉන්ද්‍රියවිෂයාතික්‍රාන්ත වන බව සැබෑය. එහෙත් ඉන්ද්‍රියයන්ට විෂය වන ලෝකයට මේවායේ කිසිම බලපෑමක් නැත්නම් මේවා හුදු අර්ථශුන්‍ය, හිස් සංකල්ප බව නවීන දාර්ශනිකයෝ පෙන්වා දෙති. බලපෑමක් ඇත්නම් ඉන්ද්‍රියමය සාක්ෂ්‍යවලට අනුව ඒවායේ සත්‍යා සත්‍යතාවන් විමසිය හැකිය.

මනෝවිද්‍යාත්මක

ආගමික අදහස්, වින්දන හා ගති පැවතුම් වෙනත් මානසික අදහස්වලට, වින්දනයන්ට හා ගති පැවතුම් වලට සමාන වන බැවින් මනෝවිද්‍යාඥයාට ද ඒවා ගැන පරීක්ෂණයක් කරන්නට පුළුවන. එහෙයින් ආගම හෙවත් ආගමික ජීවිතය බොහෝ දුරට මනෝවිද්‍යාත්මකව ද සොයා බැලිය හැක. මේ අංශයෙන් කරන ලද පරීක්ෂණ පිළිබඳව ග්‍රන්ථ රාශියක් සපයා තිබේ. ආගමික මතවල මානසික ප්‍රභවය හා පැවැත්ම මනෝවිද්‍යාත්මකව තේරුම් කළ විට ඒවායේ ආගමික වටිනාකමක් නැති බව පැහැදිලි වේ යයි සමහර මනෝවිද්‍යාඥයන් සිතන නමුත් තවත් සමහර අය එය එසේ නොවේ යයි සිතති.

දෙවියන්වහන්සේ පිළිබඳව විශ්වාසයක් ඇති කර ගැනීමට ඉවහල් වන මානසික හේතූන් විග්‍රහ කොට දක්වමින් එක් මනෝවිද්‍යාඥයෙක් ඒවා සාම්ප්‍රදායික, ආනුභූතික හා බුද්ධිමය යනුවෙන් ලෙස සලකන්නේ සම්ප්‍රදායයේ බලපෑම, ළමා තුන් කොටසකට බෙදයි . සාම්ප්‍රදායික හේතුව ලෙස සලකන්නේ සම්ප්‍රදායයේ බලපෑම, ළමා කාලයේ ඉගැන්වීම යනාදියයි. ආනුභූතික හේතු තුන් කොටසකට බෙදේ. ස්වභාවධර්මයේ සෞන්දර්‍යය, සුසංගතිය හා හිතකාමිත්වය දැකීමෙන් ඇතැමකුට දෙවියකු කෙරෙහි විශ්වාසය ඇති විය හැකිය. එසේ ම සදාචාර ජීවිතය තේරුම් ගැනීමට හෝ එවැනි ජීවිතයක් ගත කිරීමට සදාචාර නීති කාරක දෙවියකු ගැන යමකු විශ්වාස කළ හැකිය. එමෙන්න්ම තද චිත්තවේගාත්මක හැඟීමක් නිසා හෝ ආශ්චර්යවත් දර්ශනයක් හෝ සිද්ධියක් නිසා යමකු තුළ දෙවියකු ගැන විශ්වාසයක් පහළ විය හැකිය. තවද බුද්ධිමය තර්කයක් සත්‍යයක් සේ වැටහීම නිසා දෙවියන්වහන්සේ පිළිගන්නට නැඹුරු විය හැකිය. ඊශ්වරයකු ගැන විශ්වාසය මෙන් ම අනීශ්වරවාදය ද මෙබඳු සාම්ප්‍රදායික, ආනුභූතික හා බුද්ධිමය හේතූන් නිසා පිළිගන්නට කරුණු සැලසිය හැකි බව අප පිළිගත යුතුයි. බුදුසමය පිළිගැනීම ද සාම්ප්‍රදායික ඉගැන්වීමකින් හෝ අනුන්ගේ දේශනයකින් (පරතො ඝොසො) ද සිය අනුභූති ආශ්‍රයෙන් නිරවද්‍ය ලෙස සිතීමෙන් (යොනිසොමනසිකාරො) සිදු විය හැකි බව කියනු ලැබේ.

සුප්‍රකට මනෝවිශ්ලේෂණ විද්‍යාඥයකු වූ සිග්මන්ඩ් ෆ්‍රොයිඩ් දේවාගමික විශ්වාස ආභ්‍යන්තරික සිතේ අවශ්‍යතාවන් නිසා ඇති කර ගන්නා මත බව ඔහුගේ 'මුළාවක අනාගතය' ('The Future of an Illusion') යන පොතින් පෙන්වා දෙයි.

දෙවියන් පිළිබඳ විශ්වාසය පිතෘදාරක සම්බන්ධතාවෙන් උපදින්නක් යයි ඔහු කියයි. මිනිසා ආගමෙන් ගැළවිය යුතු යයි ද හේ කියයි.

ෆ්‍රොයිඩ්ගේ මත විද්‍යාත්මක වශයෙන් උරගා බැලීම දුෂ්කර වෙතත් අප සිත් තුළ පවත්නා ආශාවන් හා අප පිළිගන්නා විශ්වාසයන් අතර මනෝමය හේතුඵල සම්බන්ධයක් තිබෙන බව මනෝවිද්‍යාඥයන් පිළිගෙන තිබේ. නියම තතු කෙසේ වුව ද අප බෙහෙවින් විශ්වාස කරන්නේ මානසික හේතූන් නිසා විශ්වාස කිරීමට තද ලැදිකමක් දක්වන දේය. බුද්ධධර්මයේ ද මේ සත්‍යය පිළිගනු ලැබේ. දැඩි භව තෘෂ්ණාවක් ඇති තැනැත්තා ආත්ම දෘෂ්ටියේ එල්ලීමට ලැදිකමක් දක්වයි. මෙසේ නොයෙක් දෘෂ්ටිවල එල්බ ගැනීම බෙහෙවින් අප සිත් තුළ බලපාන නොයෙක් තෘෂ්ණාවන්ට අනුව සිදුවන්නකි (තණ්හා පච්චයා දිට්ඨි උපාදානං). තවත් සුප්‍රකට මනෝවිශ්ලේෂණ විද්‍යාඥයකු වූ යුං ආගමික විශ්වාස වෙන් වශයෙන් විවේචනය නොකර මිනිසාගේ ආගමික විශ්වාස ද අන් මනෝවිද්‍යාත්මක කරුණු වශයෙන් පිළිගනී. මනෝවිශ්ලේෂකයන්ගේ මෙන් ම බුදු සමයේ ද පරමාර්ථය නීරෝග මනසක් ඇති කිරීමය. එබැවින් බුද්ධධර්මයත් නවීන මනෝ විශ්ලේෂණයත් අතර සමානත්වයක් නවීන මනෝවිශ්ලේෂණවාදීහු දකිත්.

මනෝවිද්‍යාත්මකව ආගම දෙස බලන්නාක් මෙන් ම ආගමත් සමාජයත් අතර ඇති අන්‍යෝන්‍ය බලපෑම් දක්වමින් සමාජ විද්‍යානුකූලව ද ආගම විග්‍රහ කළ හැකිය.

(කර්තෘ: කේ.ඇන්. ජයතිලක)

සමාජ විද්‍යාත්මක

පෞද්ගලික හා සමාජ ජීවිතයේ දී මිනිසාට මුහුණ පෑමට සිදුවන ලෙඩදුක්, අනතුරු, පසුතැවිලි, ධනධාන්‍ය විනාශවීම් ආදි උවදුරුවලට හේතුවක් සෙවීමට මිනිසා කවදත් උත්සුක වී යයි සිතිය හැකිය. මේ උවදුරු පිළිබඳ නියම හේතුඵල සම්බන්ධතාව බොහෝ විට මිනිසා දනියි. එහෙත් මිනිස් සිත තුළ උපදින කුතූහලය මෙයින් නොසන්සිඳේ. මෙම හේතුඵල සම්බන්ධය අනුව තේරුම් කෙරෙන්නේ කිසියම් උවදුරක් සිදු වූ අයුරු පමණය. මිනිස් සිතට නැගෙන ඊළඟ ප්‍රශ්නය නම් එම උවදුර සිදු වූයේ මන්ද යන්නයි. මෙම ප්‍රශ්නයට පිළිතුරක් ලැබෙන්නේ ආගමෙනි. ආගම විශ්වව්‍යාප්ත සමාජ ආයතනයක් වන්නේ මෙම ප්‍රශ්නය සෑම ජනතාවක් විසින් සෑම කාලයක ම අසනු ලබන්නක් බැවිනි. අප්‍රිකාවේ වසන අසන්ඩේ ජනතාව අතර වූ ඇදහිලි ක්‍රමය විග්‍රහ කළ ඉවන්ස්–ප්‍රිචාඩ් නමැති මානව විද්‍යාඥයා ආගමේ බීජය අසන්ඩේ විශ්වාස ක්‍රමය අනුසාරයෙන් විස්තර කර ඇත.

අසන්ඩේ ජනයා හූනියම් පිළිබඳ දැඩි විශ්වාසයක් ඇති ජනකොට්ඨාසයකි. එහෙත් කිසියම් උපද්‍රවයක් හා සම්බන්ධ ස්වාභාවික හේතූන් ඔව්හු මොනවට ප්‍රත්‍යක්ෂ කරති. වන ළැහැබට පිවිසි තැනැත්තකු අලියකු විසින් පාගා මරනු ලැබුවහොත් එම මරණයට හේතුව මියගියහුගේ ශරීරයට සිදු වූ තුවාළ බව ඔව්හු සැක නොකරත්. එහෙත් වෙන අයකු නොව මොහු ම, වෙන වේලාවක නොව මේ වේලාවේ ම, අන් අනතුරකින් නොව අලියකු විසින් තුවාළ කරනු ලැබීමෙන් ම මිය යාමට හේතුව කුමක් ද යන ප්‍රශ්නය ද නිරායාසයෙන්ම පැන නඟී. ආගමෙන් පිළිතුර සැපයෙන්නේ මෙම ප්‍රශ්නයටයි. මියගිය තැනැත්තා ඒ අවස්ථාවේ වනගත වූයේ ද අලියකු පැමිණ ඔහු පෑගුවේ ද ඔහුට අනතුරු පතා කරන ලද අණවින හේතු කොටගෙනය යනු අසන්ඩේ ජනයාගේ පිළිතුර වේ. අසන්ඩේවරු හූනියම ලෙස සලකන දේ. එනම් යම්කිසි සිදුවීමක ප්‍රාරම්භක හේතුව, වෙනත් ඇදහිලි ක්‍රමයන්හි වෙනත් වෙනත් නම්වලින් හැඳින්වේ. සාමාන්‍යයෙන් අප සමාජයෙහි මෙම ප්‍රාරම්භක හේතුව 'කර්මය' යනුවෙන් හැඳින්වේ.

ඉහත සඳහන් මූලික කාරණය හේතුකොටගෙන සර්වකාලීනව ද සර්වදේශිකව ද දක්නා ලැබෙන ආගමික චර්යාව ගස්ගල් පිදීම්, හදිහූනියම්, අභිචාරවිධි ආදි පහත් යයි සැලකෙන ආගමික විධිවලින් මෙන් ම යාච්ඤාවන්ට සහභාගිවීම හා මල් පූජා කිරීම ආදි උසස් යයි සම්මත ආගමික විධිවලින් ද සමන්විතය. බුද්ධාගම, ක්‍රිස්තියානි ආගම, හින්දු ආගම ආදිය 'ආගම්' යයි ද පැරණි මානව විද්‍යාඥයෝ කල්පනා කළහ. සර් ජේමීස් ෆ්‍රේසර් ආගම හා අභිචාර විධි යන දෙක ඉඳුරා ම වෙන් කොට දැක්විය. එසේ වුව ද, 'ආගමික' යයි ඔහු දැක්වූ ලක්ෂණ අභිචාර විධිවලද එමෙන් ම "අභිචාර විධි හා සම්බන්ධ" යයි ඔහු දැක් වූ ලක්ෂණ ආගමෙහි ද දක්නා ලැබෙන බව නවීන මානව විද්‍යාඥයන් පෙන්වා දී තිබේ. නවීන මානව විද්‍යාව ආගමික චර්යාව යන පොදු ශීර්ෂය යටතේ ඉහත සඳහන් හැසිරීම් විධි සියල්ල ම ගවේෂණය කරයි. මේ අනුව ඔළු දඩයම, මිනිස් බිලි පූජාව, ගස්ගල් පිදීම, සශ්‍රීකත්ව වර්ධන පූජා යනාදි සියල්ල ම ආගමික ක්‍රියා වශයෙන් සැලකිය හැක.

ආගම ප්‍රධාන වශයෙන් (1) ආගමික විශ්වාස (2) ඒ වටා රැඳී ඇති හැඟීම් (3) එම විශ්වාස හා හැඟීම් ක්‍රියාවට පරිවර්තනය කිරීමේ විධි යන තුනෙන් සමන්විතය. (1) විශ්වයේ ස්වභාවය ද මිනිසා හා විශ්වය අතර සම්බන්ධතාව ද සෑම ආගමක ම පදනමය. (2) ආගමික විශ්වාස බොහෝ විට ගෞරව සම්ප්‍රයුක්ත භය, ආදරය, අවනතභාවය, වෛරය ආදි චිත්තවේග හා සම්මිශ්‍රිතව පවතී. (3) සෑම ආගමක ම උචිත ආගමික හැසිරීම් සේ සැලකෙන පිළිවෙත් පද්ධතියක් වේ. විශ්වාසය, හැඟීම්, හැසිරීම යන මේ අංග තුන සෛද්ධාන්තික වශයෙන් වෙන් කළ හැකි වුව ද ඇත්ත වශයෙන් ඒවා වෙන් කොට ගත නොහැකි පරිදි එකිනෙක හා බැඳී පවතී.

ආගම වූ කලි මූලික මානුෂික අවශ්‍යතාවන් සපුරාලන සංස්කෘතික අංගයකි. මේ මූලික අවශ්‍යතා කවරේ ද? මිනිසාට තමාගේ පෞද්ගලික හා සමාජ ජීවිතයේ දී මානසික හා ශාරීරික වශයෙන් යම් යම් දුෂ්කරතාවන්ට මුහුණ පෑමට සිදු වේ. එවැනි අවස්ථාවල දී ඒවායින් මිදීමට අවශ්‍ය විද්‍යාත්මක දැනුමක් ඔහු සතු විය හැකිය. එහෙත් ඒ වූ කලි සීමාසහිත දැනුමක් පමණි. තම දුෂ්කරතාව මඟහරවා ගැනීමට ඒ දැනීම ප්‍රමාණවත් නොවූ විට ඔහු ඒ සඳහා උපකාර බලාපොරොත්තු වන්නේ ආගමික කාරකයන්ගෙනි. එනම් අධිභෞතික පුද්ගලයකුගේ උපකාරයයි. තවද මිනිසාගේ අත්දැකීම් අතුරෙන් අත්‍යන්තයෙන් සිත් කම්පා කරවනසුලු සිද්ධියක් වන මරණය සම්බන්ධයෙන් ද සැනසීමක් ඔහු ලබාගන්නේ ආගමෙනි. ජීවිතය මරණයෙන් කෙළවර නොවන්නේය යන්න මනුෂ්‍යයා අදහා ගන්නේ ආගමික අදහස් අනුසාරයෙනි. මතු ජීවිතය මේ ජීවිතයට වඩා හොඳ එකක් වනු ඇත යන මූලික මානුෂික අභිලාෂය පණ පොවා ගැනීමට මිනිසාට ආගම අවශ්‍ය වේ. තවද, මනුෂ්‍ය අත්දැකීමෙහි දක්නා ලැබෙන "නිරපරාධයේ දුක් විඳීම " ද ආගම විසින් තේරුම් කරනු ලැබේ. ගුණ ධර්මයෙන් පිරිහුණු, හොරමැරකමින් ජීවත් වන්නවුන් යහතින් ජීවත්වන බව ද සම්‍යක් ආජීවයෙන් කල් යවන සමහරුන් නොයෙක් දුක්ගැහැට විඳින බව ද නිතර දක්නා ලැබෙන කාරණයකි. මෙබඳු ගැටලු විසඳනු ලබන්නේ ආගම විසිනි. දුක්ගැහැට ඇති වීමට ප්‍රාරම්භක හේතුව ආසන්න කාරණයන් ඉක්ම පවත්නා කිසියම් අධිමානුෂ බලයක් යයි ආගම දක්වන හෙයිනි.

ලෝකයේ සියලු ම ආගම් මෙම මූලික ආගමික අවශ්‍යතා අනුව අවශ්‍යයෙන් ම හැඩගැසිය යුතු බව ඉන්දියාව, චීනය යනාදි දේශ කීපයක ම ආගම් පරීක්ෂා කළ මැක්ස් වේබර්ගේ නිගමනය විය. බෙහෙවින් ම දර්ශනයක් වූ මුල් බුදුසමය මේ අනුව වෙනස් වූ සැටි ඔහු තම 'ඉන්දියාවේ ආගම' නමැති ග්‍රන්ථයෙහි මැනවින් දක්වා තිබේ. බුදු දහමෙහි මූලික ඉගැන්වීමක් වන කර්මය යන්න තමන්ට වටහා නොගත හැකි සිදුවීම් තේරුම් කිරීමේ උපායක් බවට පෙරළා 'කරුමය'යි සාමාන්‍ය ජනයා විසින් හඳුන්වනු ලැබීය. තමාට තමාගේ ම පිහිටය යන පැරණි දහම වෙනුවට තමා වෙනුවෙන් ලෞකික දුක් කරදරවල දී පිහිට වීමට දෙවිදේවතාවන් රැසක් ද ලෝකෝත්තර වශයෙන් පිහිට වීමට බෝධිසත්වවරයෙක් ද ඇති කර ගන්නා ලදහ. මහායාන බුද්ධාගම විසින් මහත් සංකීර්ණ වු අභිචාර විධි හා පූජා විධි රටාවක් නිර්මාණය කරන ලදි. ලක්වැස්සන් විසින් ද මූලික ආගමික අවශ්‍යතා යනුවෙන් යට දැක්වූ මානසික අවශ්‍යතා පිරිමසා ගැනුම් වස් බුදුසමය තුළට තම ප්‍රාග්බෞද්ධ ඇදහිලි ක්‍රම ද දේව ගණයක් ද වෙනත් නොයෙක් ජන ආගමික අංග ද ඇතුළත් කර ගන්නා ලදි.

සමාජ නිෂ්පාදිතයක් වූ ආගම සමාජයේ අනික් අංග හා බැඳී පවත්නා ආකාරය කෙරෙහි ද විද්‍යාඥයන්ගේ සැලකිල්ල යොමු වී තිබේ. අප්‍රිකාවේ අසන්ඩේ නමැති ගෝත්‍ර සමාජයේ හූනියම් කරන යක්දෙස්සෝ අධිකරණ මණ්ඩලයක් මෙන් කටයුතු කරත්. හූනියම් කෙළේ කවුද යන්න සොයා බැලීම අරභයා නිමිති ඇල්ලීමේදී "රජුගේ නිමිත්ත" මගින් කරනු ලබන තීරණය අවසාන තීරණය වීමෙන් දැක්වෙන්නේ හූනියම් පාලනය කිරීමේ බලය දේශපාලන බලය හා සම්බන්ධ වී ඇති බවකි. රජු පූජකයකු ලෙස සැලකීම පිළිබඳ අදහස ද ආගම හා දේශපාලනය අතර සම්බන්ධය අඟවයි. රජුගේ ස්වාස්තිය මත මුළු සමාජයේ ම ස්වස්ත්‍යය හා සෞභාග්‍යය රඳා පවතී යන ප්‍රචලිත අදහස සර් ජේම්ස් ෆ්‍රේසර්ගේ "ස්වර්ණමය ශාඛාව" නම් වු ග්‍රන්ථයට පදනම් විය.

ආගම සමාජයේ දේශපාලන හා සමාජ ක්‍රමය නොවෙනස්ව පවත්වා ගෙන යාමේ උපායක් ලෙස ද ඇතැමුන් විසින් දක්නා ලදි. මොවුන් අතුරෙහි කාල් මාක්ස් ප්‍රධානය. මාක්ස් අදහස් කෙළේ එක් පංතියක් මගින් අනික් පංතිය යටත් කරගෙන සිටීමට ආගම උපයෝගී කරගෙන ඇති බවයි. යටපත් වී ඇති පංතියේ තත්වය එසේ ම විය යුතුය යන්න ඔවුන්ට දැක්වීමට ආගම උපයෝගී කොටගෙන ඇතැයි ද මේ නිසා යටත් වි සිටින්නන් තුළ නැඟී සිටීමට තරම් මානසික තත්වයක් ඇති නොවේ යයි ද ඔහු අදහස් කෙළේය. මැක්ස් වේබර් ද මීට තරමක් සමාන අදහස් පළකොට තිබේ. වාසනාවෙන් පරිපූර්ණ වූවෝ එම වාසනා මහිමයෙන් ම තෘප්තියට පත් නොවෙති. තමන් සතු වාසනාව සාධාරණ එකකැයි සිතා ගැනීමෙන් අස්වැස්මක් ලබා ගැනීම ද ඔවුන්ට අවශ්‍ය වේ. වාසනාවන්තයන්ගේ වාසනාව සාධාරණ වාසනාවක් බව දැක්වීමට ආගම රුකුල් දේ යයි වේබර් කීය. කිසියම් පෙර අත්බවක කරන ලද පිනින් නැතහොත් දේව වරමින් ඔවුන් වාසනාවන්ත වූහයි ආගම පවසන බැවිනි.

පවුලේ අය එකතුව ආගමික කටයුත්තක යෙදෙන අවස්ථාවේ දී හෝ වේවා ගෝත්‍රයම එකතුව උත්සවශ්‍රීයෙන් වංශචිහ්නය ආහාරයට ගන්නා අවස්ථාවේ දී හෝ වේවා එක් රැස්ව ඉටු කරනු ආගමික පිළිවෙත් මගින් සමාජයේ සමගි සම්බන්ධතාව ප්‍රබල වන ආකාරය එමිල් ද්‍යුල්කෙම් පෙන්වා දී තිබේ. සමාජයේ සම්බන්ධතාව ප්‍රබල කිරීමෙහි ලා ආගමෙන් ඉටුවන කාර්යය පිළිබඳ මතය රැඩ්ක්ලිෆ් - බ්‍රවුන් නමැති මානව විද්‍යාඥයා විසින් අන්දමන් දූපත්වාසීන් පිළිබඳව ලියන ලද ග්‍රන්ථයකින් හා 'ආගම හා සමාජය' යන ලිපියෙනුත් පැහැදිලිව දක්වා තිබේ. මනුෂ්‍යයන් අතර නිරවුල් සන්සුන් සමාජ ජීවිතයක් ඇතිවන්නට නම් අවශේෂ අය සම්බන්ධයෙන් පුද්ගලයාගේ හැසිරීම පාලනය කරන සංකල්පාවලියක් ඇති විය යුතු යයි ඔහු කියයි. ආගමික පිළිවෙත් වූකලි මෙම සංකල්ප සංකේතානුසාරයෙන් ක්‍රියාවට පරිවර්තනය කිරීමකි. සමාජයේ පදනම වූ මෙම සංකල්පවලට පණ පෙවීමත්, පරම්පරාවෙන් පරම්පරාවට ඒවා භාරදීමත් ආගමික පුද පිළිවෙත්වල සමාජ කාර්යය වෙයි. චීනයේ මුතුන්මිත්තන් පිදීම හා ඕස්ට්‍රේලියාවේ වංශ විහ්න පිදීම නිදසුන් වශයෙන් ගන්නා රැඩ්ක්ලිෆ්-බ්‍රවුන් මේ දෙකේ දී ම ආගම හා සමාජ ව්‍යුහය අතර ඇති කිට්ටු සම්බන්ධය පෙන්වන අතරම සමාජයේ සමගි සම්බන්ධතා වර්ධනයට ආගම උපයෝගී වන සැටි ද පෙන්වයි.

ආගම වැදගත් සංවිධානාත්මක කාර්යයක් ඉටු කරන අයුරු මේ අනුව පෙනේ. හොඳ නරක පිළිබඳ අදහස් ප්‍රචලිත කිරීමෙනුත් දිව්‍යමය බලයක් පිළිබඳ විශ්වාසය හා වරද කරන්නාට මෙලොව දී නැතහොත් පරලොව දී දඬුවම් ලැබේය යන විශ්වාසය දැනවීමෙනුත් ආගම සමාජයේ ගැටුම් සීමා කරන පාලක කාර්‍ය්‍යයක් ද ඉටුකරයි. තේරුම් ගත නොහැකි මනුෂ්‍ය ජිවිතයට කිසියම් අර්ථයක් දෙනු ලබන්නේ ද ආගම විසිනි. මිනිසාගේ නිර්මාණාත්මක ආශාවන් තෘප්තිමත් කර ගැනීමට ආගම ඉඩ සලසන අතර ආගමික ප්‍රිත්‍යුත්සව වලින් සමූහ වශයෙන් ද විනෝදාස්වාදය ලැබේ.

අනුක්‍රමයෙන් සංවිධානය අතින් දියුණු වූ ප්‍රධාන ආගම් අනෙක් සමාජ ආයතනවලින් වෙන්ව නිවහල් ආයතන වශයෙන් සිටිනු පෙනේ. ඒකාබද්ධව තිබු ආගම හා රාජ්‍යය එකිනෙකින් වෙන් වූ අයුරු වර්තමාන යුරෝපීය ඉතිහාසය දෙස බලන විට පෙනී යයි. ආගමික ආයතන සතුව තිබූ අධ්‍යාපනය හා වෙනත් සමාජ සේවා කටයුතු අද ඉටු කරනු ලබන්නේ රාජ්‍යය මගිනි. තවද ආගම හා සම්බන්ධ වූ චිත්‍ර නාට්‍ය සංගීත ආදි කලා ද අද නිවහල් ක්ෂේත්‍රයෝ වෙත්. වෛද්‍ය විද්‍යාවේ දියුණුවත් සමඟ වෙදකම සඳහා අවශ්‍යව තිබූ ආගමික සුදුසුකම්වල වැදගත්කම නැතිවී ගියේය. ආගමික ආයතන විසින් මුලින් ඉටු කරන ලද සමාජ කාර්‍ය්‍ය රාශියක් ම සමාජශාලා, සමිති සමාගම්, රක්ෂා පිළිබඳ සංවිධාන, විනෝදස්ථාන ආදිය කෙරෙහි පැවරී ඇත.

විද්‍යාවේ දියුණුව සමග ආගම අනුක්‍රමයෙන් අහෝසි වේය යනුවෙන් පුරෝගාමී මානව විද්‍යාඥයන් ඉදිරිපත් කළ මතය සාවද්‍ය බව සිතීමට කරුණු ඇත. නවීන විද්‍යාත්මක සොයාගැනීම් කරණකොටගෙන ආගමික විශ්වාසයන් මුලිනුපුටා දැමෙනු වෙනුවට සිදුවන්නේ ඒවා නව සොයා ගැනීම්වලට අනුකූලව හැඩගැසීම බව සමාජ විද්‍යාඥයන්ගේ වැටහීමයි.

ආගමේ සාරය වූකලි ආගමික අනුභූතිය යයි ඇතැම් මානව විද්‍යාඥයන් මෙන් ම දේවධර්ම ශාස්ත්‍රඥයෝ ද විශ්වාස කරත්. ලෝකයේ ආගම් එකිනෙකින් වෙනස් වන නමුදු සෑම ආගමකට ම පොදු වූ කාරණයක් නම් ආගමික අනුභූතිය යයි ද ඔව්හු පෙන්නා දෙත්. ආගමික අනුභූතිය යනුවෙන් කුමක් හැඳින්වේ ද යන්න විස්තර කිරීම දුෂ්කරය. ඒ වූකලි තමා ම ප්‍රත්‍යක්ෂ කළ යුත්තකි. ආනන්දය, ශ්‍රද්ධාව, භක්තිය, ආලම්බන ප්‍රීතිය යනුවෙන් හැඳින්වෙන භාවාත්මක අවස්ථා ආගමික අනුභූතිය හඟවන ඒවා ලෙස ගිණිය හැකිය.

මේ ආකාර වූ ආගමික අනුභූතිය නවීන සමාජයේ වැදගත් අවශ්‍යතාවක් පිරිමසන බව සමාජ විද්‍යාඥයෝ පිළිගනිත්. පෞද්ගලික සම්බන්ධතාවන් අඩු නාගරික පරිසරයක තදබදව ජීවත්වන දසදහසක් දෙනා අතර වුව ද පුද්ගලයා සමහර විට ජීවත් වන්නේ මහත් හුදකලාවෙනි. මෙම මානසික හුදකලාව නොයෙක් මුනිවරයන්ගේ කීම්වලද සාහිත්‍යයේ ද පිළිබිඹුව ඇති අවස්ථා බොහෝය. එවැනි පරිසරයක ආගමික අනුභූතිය වූ කලි කාන්තාරයක පිපාසිතව තනි වුවකු ලබන පැනක් වැන්න. (ඒ ඒ ආගම් යටතේ හා ආගමික ශාස්තෘවරයන් යටතේ එන ලිපි ද අභිචාර විධි, වංශචිහ්න, ජීවාරෝපණය යන ලිපි ද බලන්න.)

(සංස්කරණය: 1965)

"http://encyclopedia.gov.lk/si_encyclopedia/index.php?title=ආගම&oldid=5758" වෙතින් සම්ප්‍රවේශනය කෙරිණි