අයිහෝළේ
ඉහත සඳහන් ආගමික ගොඩනැඟිලි අතුරෙන් ලාඞ්ඛාන්, මේගුටි, කොන්ත්ගුඩ්, දුර්ගා වැනි මන්දිර සුප්‍රසිද්ධය. චාලුක්‍ය සම්ප්‍රදායට අයත් මෙම ගොඩනැඟිලි භාරතීය ගෘහනිර්මාණ ශිල්පයේ ක්‍රම විකාසය දැනගැන්ම පිණිස අතිශයින් උපකාරි වේ.
ලාඩ්ඛාන් මන්දිරය (බ.) අයිහෝළේ ගොඩනැඟිලි අතුරෙහි ඉතා ම පැරණි නිර්මාණය ලෙස සලකනු ලැබේ. සිදුරු සහිත කැටයම් පුවරුවලින් ආවරණය වූ ප්‍රදක්ෂිණාපථය හා පැතලි පියස්ස මත පිහිටි දෙවැනි මහල මෙහි විශේෂ ලක්ෂණයි. කොන්ත්ගුඩ්, මේගුටි යන මන්දිර ද ලාඞ්ඛාන් මන්දිරයට බෙහෙවින් සමානය. මේගුටි නම් වූ ජෛන මන්දිරය අයිහෝළේ ගොඩනැඟිලිවල කාලනිර්ණය කරනු වස් උපකාරි වූවකි. මෙය ක්‍රි.ව. 634 දී දෙවැනි පුලකේසින් නම් බටහිර චාලුක්‍ය රජුගේ සමයෙහි රවිකීර්ති නමැත්තකු විසින් ගොඩනගන ලද බව මන්දිරයෙහි පිහිටි ශිලාලේඛනයක සඳහන් වේ. පුලකේසින් රජුගේ රාජ්‍යකාලය පිළිබඳ ඓතිහාසික වූත්, දේශපාලනමය වූත්, වැදගත් තොරතුරු රාශියක් මෙම ශිලාලේඛනයෙහි අඩංගු වේ.
දුර්ගා මන්දිරය පැරණි චෛත්‍යශාලාවල ආකෘතියට බෙහෙවින් සමාන වේ. එහෙත් පැතලි පියස්ස හා ඊ මත පිහිටි ශිඛරය එහි විශේෂ ලක්ෂණ වශයෙන් සැලකිය හැක. හුජිමල්ලිගුඩි මන්දිරය ද දුර්ගා මන්දිරයේ සැලැස්ම අනුගමනයෙන් කරන ලද්දකි. මෙහි ගර්භගෘහයටත් මණ්ඩපයටත් අතර පිහිටි අන්තරාලය මීට පෙර ගොඩනැඟිලිවල නොදක්නා ලක්ෂණයකි.
අයිහෝළේ දෙව් මැදුරු සියල්ලක් ම වෛෂ්ණව, ශෛව හා ජෛන ප්‍රතිමාවන්ගෙන් ද නොයෙක් දේවකථා නිරූපණය වන ගල්කැටයම්වලින් ද ලියවැල් මෝස්තර, ගණ රූප ආදියෙන් යුත් විසිතුරු කැටයම්වලින් ද සමලංකෘතය. ගුප්ත යුගයේ විශිෂ්ට තම නිර්මාණයන් වූ සාරනාථ මූර්ති ලක්ෂණ මෙන්ම ආන්ධ්‍ර හා පල්ලව මූර්ති ලක්ෂණ ද අයිහෝළේ මූර්ති කැටයම්වල මැනැවින් පිළිබිඹු වේ. (ඉන්දියානු ගෘහනිර්මාණ ශිල්පය බ.).
(සංස්කරණය: 1965)