අවධි ලක්ෂ්‍ය

සිංහල විශ්වකෝෂය වෙතින්
08:29, 26 ජූලි 2024 වන විට Senasinghe (කතාබහ | දායකත්ව) ('(Critical Points). කිසියම් පද්ධතියක් හෝ සංසිද්ධියක් හෝ එ...' යොදමින් නව පිටුවක් තනන ලදි) විසින් සිදු කර ඇති සංශෝධන

(වෙනස) ← පැරණි සංශෝධනය | වත්මන් සංශෝධනය (වෙනස) | නව සංශෝධනය → (වෙනස)
වෙත පනින්න: සංචලනය, සොයන්න

(Critical Points). කිසියම් පද්ධතියක් හෝ සංසිද්ධියක් හෝ එක් අවස්ථාවක සිට වෙන අවස්ථාවකට පත්වීමේ දී හදිසි භෞතික විපර්යාසයක් දක්වන ලක්ෂ්‍යයට සාමාන්‍ය වශයෙන් අවධි ලක්ෂ්‍යය යැයි කියනු ලැබේ.

රසායන විද්‍යාවේ අවධි ලක්ෂ්‍යය නම් එකක් අනික හා සමාන වීමට නැඹුරු වෙමින් පවතින අවස්ථා දෙකක් එකක් බවට පත් වී සර්වසමවන්නා වූ ලක්ෂ්‍යයයි. අවධි ලක්ෂ්‍යයට වඩා උසස් ලක්ෂ්‍යයකට පැමිණි වහා ම අවධි ලක්ෂ්‍යයට පහළින් වූ අවස්ථාවේ හදිසි භෞතික විපර්යාසයක් හටගෙන අලුත් අවස්ථාවක් පිළිබිඹු වේ. එසේ ම අවධි ලක්ෂ්‍යයට වඩා පහත් ලක්ෂ්‍යයකට පැමිණි වහා ම අවධි ලක්ෂ්‍යයට ඉහළින් වූ අවස්ථාවට වඩා වෙනස් අලුත් අවස්ථාවක් ඇති වේ.

අවධි උෂ්ණත්වය මෙවැනි ලක්ෂ්‍යයකි. පීඩනය යොදා වායුවක් ද්‍රව කිරීමට හැකි අවස්ථා තිබෙි.එහෙත් එක් එක් වායුවක් ඊට අදාළ කිසියම් උෂ්ණත්වයකට ඉහළින් පවතින විට කොපමණ පීඩනයක් යෙදුව ද එය ද්‍රව කළ නොහැකිය. එකී උෂ්ණත්වය වනාහි අවධි උෂ්ණත්වයයි.

අවධි පීඩනය නම් අවධි උෂ්ණත්වයේ පවතින වායුවක් ද්‍රව කිරීමට අවශ්‍ය වන පීඩනයයි.

අවධි පරිමාව වනාහි අවධි පීඩනයෙහි ද අවධි උෂ්ණත්වයෙහි ද පවතින ද්‍රව්‍යයක ගේ ග්රෑම්අණු එකක පරිමාවයි.

අවධි ඝනත්වය වූ කලි යට කී අවධි ලක්ෂ්‍යයන්ට අනුරූප වන ඝනත්වය වෙයි.

භෞතික විද්‍යාවේ සුපුරුදු අවධි ලක්ෂ්‍යයක් නම් අවධි කෝණයයි. ඝන මාධ්‍යයක සිට ඊට වඩා බෙහෙවින් විරල මාධ්‍යයක් වෙතට ආලෝක කදම්බයක් ගමන් කරන විට ඒ මාධ්‍ය දෙක අතරේ දී එය නැමෙයි. ඝන මාධ්‍යයෙන් යන කදම්බය එම මාධ්‍යයත් විරල මාධ්‍යයත් අතර වූ පෘෂ්ඨය හා වූ සෘජු කෝණය සමඟ ගන්නා කෝණය වෙනස් කළ විට එක් අවස්ථාවක දී ඒ කදම්බය මාධ්‍යයෙන් පිටතට නොගොස් මාධ්‍යය තුළටම නැවතත් පරාවර්තනය වෙයි. සාමාන්‍යයෙන් වර්තනය වී තිබෙන කදම්බය එසේ නොවී පරාවර්තනය වන යටකී අවස්ථාව ඇති කරන පතන කෝණය (angle of incidence) අවධිකෝණය වෙයි.

(සංස්කරණය: 1965)

"http://encyclopedia.gov.lk/si_encyclopedia/index.php?title=අවධි_ලක්ෂ්‍ය&oldid=6100" වෙතින් සම්ප්‍රවේශනය කෙරිණි