ඇෆ්ඝනිස්ථානය

සිංහල විශ්වකෝෂය වෙතින්
13:41, 29 අප්‍රේල් 2026 වන විට Senasinghe (කතාබහ | දායකත්ව) විසින් සිදු කර ඇති සංශෝධන

(වෙනස) ← පැරණි සංශෝධනය | වත්මන් සංශෝධනය (වෙනස) | නව සංශෝධනය → (වෙනස)
වෙත පනින්න: සංචලනය, සොයන්න

(අවකන් රට). නිරිත දිග ආසියාවේ රටකි. මෙහි විශාලත්වය වර්ග සැතපුම් 250,000ක් පමණ වේ. 1895 දී පාමීර් කොමිසම ද 1903 දී හා 1905 දී පර්සියාවත් 1946 දී සෝවියට් සංගමයත් අතර ඇති කර ගත් ගිවිසුම් කීපයක් ද අනුව මෙහි දේශසීමා ලකුණු වී ඇත්තේය. ඇෆ්ඝනිස්ථානයට උතුරින් සෝවියට් දේශය ද නැගෙනහිරින් හා දකුණින් පකිස්ථානය ද බටහිරින් ඉරානය ද වෙයි.

භූමි ලක්ෂණ

කුඩා පාමීර් සානුවෙන් (24,000') නිරිත දිගට විහිදෙන හින්දුකුෂ් කඳුවැටිය හා ඒ ආශ්‍රිත කඳුහෙල් නිම්න ආදිය ඇඝනිස්ථානයේ ප්‍රධාන භූමි ලක්ෂණයෝය. හින්දුකුෂ් වැටියෙහි සාමාන්‍ය උස අඩි 15,000ක් වුවත් එහි ඊසාන දිග කොටස අඩි 24,000කට වඩා උසය. රට මැද දී මෙම වැටියෙන් දකුණු දෙසට විහිදෙන පග්මන් කඳු අඩි 16,000ක් ද බටහිරට විහිදෙන කොහ්-ඉ-බාබා අඩි 15,000ක් ද බන්ඩ්-ඉ-බාබා අඩි 12,000ක් ද උසය. මුළු ඇෆ්ඝනිස්ථාන දේශය ම මුහුදු මට්ටමේ සිට අඩි 4,000ක් පමණ උස ඇත.

උතුරේ ඔක්සස් ගඟ, වයඹ මුර්ගාබ් ගඟ, බටහිර හාරි-රූඩ් ගඟ, නිරිතෙහි හෙල්මාන්ඩ් ගඟ සහ නැගෙනහිර කාබුල් ගඟ ඇෆ්ඝනිස්ථානයේ ප්‍රධාන ගංගාවෝයි. සින්ධු ගඟේ ශාඛාවක් වන කාබුල් ගඟට පඤ්ජ්හීර් සහ කුනාර් නම් වූ අතු ගංගා ගලා බසී. සැතැපුම් 600ක් වන හෙල්මාන්ඩ් ඇෆ්ඝනිස්ථානයේ ඉතා ම දිග ගංගාවයි. හින්දුකුෂ් කඳුවලින් පටන් ගන්නා එය හාසරා නම් වූ සානුව ඔස්සේ ගලා හෙල්මන්ඩ් කාන්තාර මධ්‍යයෙහි පිහිටි හෙල්මන්ඩ් විලට වැටේ. වයඹ දිග ඇෆ්ඝනිස්ථානයේ මුර්ගාබි ගඟ හා බටහිර දෙසට ගලන හාරි-රූඩ් ගඟ තුර්කිස්ථානයේ දී වැල්ලෙහි අතුරුදහන් වේ.

හින්දුකුෂ් වැටියට උතුරින් ද ඔක්සස් ගඟට දකුණින් ද පිහිටි ප්‍රදේශයෙහි නැගෙනහිර කොටස බඩක්ෂාන් නම් වූ සානුවයි. බටහිර කොටස ඇෆ්ඝන් තුර්කිස්ථාන තැනිතලාවයි. කොක්වා හා කුන්දුස් යන ගංගා බඩක්ෂාන් සානුව ඔස්සේ ගලා ගොස් ඔක්සස් ගඟට එක් වන අතර හින්දුකුෂ් කඳු බෑවුම්වලින් ඇෆ්ඝන් තුර්කිස්ථානයට ගලා යන ගංගා එහි වැලි සහිත පොළවට උරා බසී. බඩක්ෂාන් සානුව හා ඇෆ්ඝන් තුර්කිස්ථාන තැනිතලාව වියළි වුව ද ඉතා සාරවත්ය.

ඇෆ්ඝනිස්ථානයේ දකුණු කෙළවර පිහිටි කාන්තාරයෙන් රටේ මුළු විශාලත්වයෙන් 1/4ක් පමණ වූ ප්‍රදේශයක් වැසී ඇත. ඝන වැලි තට්ටුවකින් යුත් උෂ්ණ කාන්තාරයක් වන මෙහි ජනාවාස දුලබය. හාමූන්-ඉ-හෙල්මාන්ඩ් සහ ගවුඩ්-ඉ-සරේ නම් වූ විල් දෙකක් මෙහි ඇතත් මේවා ද ක්‍රමයෙන් සිඳී යෙමින් පවතී. මෙම කාන්තාර ප්‍රදේශය හා හින්දුකුෂ් කඳු අතර පිහිටි හාසාරා නම් වියළි සානුව ඇෆ්ඝනිස්ථානයේ මධ්‍ය ප්‍රදේශයයි. කඳුවැටිවලින් සහ ගංගා නිම්නවලින් මෙය කැපී බෙදී ඇත.

හින්දුකුෂ් කඳුවැටියට නැගෙනහිරින් කාබුල් ගංගාධාරය ආශ්‍රිත 'පහත්බිම්' (5,000'-6,000') ඇෆ්ඝනිස්ථානයේ ඉතා ම සාරවත් වූ ද අධික ජනගහනයකින් යුත් වූ ද ප්‍රදේශයයි. දියළු පසින් යුත් මේ පෙදෙස්වලට ජල පහසුව ඇති හෙයින් මෙහි කෘෂිකර්මය ඉතා දියුණුය.

දේශගුණය

ඇෆ්ඝනිස්ථානය සාමාන්‍යයෙන් වියළි රටකි. එක් එක් භූමි ප්‍රදේශයෙහි උස අනුව දෛනික හා ආර්තව (seasonal) උෂ්ණත්ව අන්තයන් ද සුළං හා වියළි බව ද ඇති වේ. හින්දුකුෂ් වැටියෙන් ආවරණය වී ඇති උතුරුදිග නිම්න මධ්‍ය හා දකුණු දිග කඳු ප්‍රදේශයන්ට වඩා අධිකතර ශීතෝෂ්ණ අන්තරයන්ට භාජන වේ. සාමාන්‍යයෙන් ජූනි හා සැප්තැම්බර අතර කාලයේ පවත්නා ග්‍රීෂ්ම ඍතුවේ දී උතුරු ඇෆ්ඝනිස්ථානයේ උෂ්ණත්වය පැ. 112°ක් පමණ විය හැකිය. මෙම ඍතුවේ දී කාරා කුම් (බ.) ආදි කාන්තාර හරහා පැයට සැතපුම් 110ක පමණ වේගයෙන් හමා එන දැඩි වියළි උෂ්ණ සුළං ද මෙම අධික උෂ්ණයට හේතු වේ. මධ්‍ය කඳු ප්‍රදේශයෙහි හා ඊට නැගෙනහිරින් හා දකුණින් වූ කාබුල් හා ඝාස්නි ආදි ප්‍රදේශයන්හි ග්‍රීෂ්ම ඍතුවේ උෂ්ණත්වය පැ. 100° ඉක්මවනුයේ කලාතුරකිනි. මෙකී පෙදෙස්වල ශීත ඍතුවේ උෂ්ණත්වය පැ. -15° දක්වා අඩු වේ.

උතුරු ඇෆ්ඝනිස්ථානයේ සාමාන්‍ය වාර්ෂික වර්ෂාපතනය අඟල් 7ක් පමණ වේ. මධ්‍යම කඳුකරයෙහි ද නැගෙනහිර හා දකුණු ප්‍රදේශයෙහි ද අඟල් 13ක පමණ සා.වා. වර්ෂාපතනයක් ඇත. ශීත ඍතුව වර්ෂාධික කාලයයි. මෙම ඍතුවේ දී බටහිරින් හමා එන හිම කුණාටුවලින් හිමපතනය ඇති වේ.

ශාක හා සත්තු

ඇෆ්ඝනිස්ථානයේ වර්ෂාව වැඩි ඉතා උස් බෑවුම්වල හේසල්, ඈෂ්, වෝල්නට් ආදි ශාක ද අඩි 3,000ට වඩා උස් නුවූ බෑවුම්වල වල් ඔලීව, ඇකේෂා ආදිය ද වැඩේ. වර්ෂාව හිඟ බටහිර ප්‍රදේශයන් කරා පැමිණෙත් ම ස්වාභාවික වෘක්ෂලතාදියෙහි සරුසාර බව හීන වේ. කන්දහාර් හා හිරාත් අතර ප්‍රදේශයෙහි පෙරුම් කායම් ලබාගන්නා හිංගු (Ferula asafoetida) ශාකය බහුලව වැඩේ. කෑමට ගන්නා ඵල සහිත වෝල්නට්, පයින්, සන්ජිත් ආදි ශාකයන්ගෙන් ඇෆ්ඝනිස්ථානයට තරමක ආදායමක් ලැබේ. සාලෙප් (salep), ඛින්ජුක් (khinjuk) යන නම්වලින් හැඳින්වෙන කායම් වර්ග ලබාගන්නා පැළෑටි විශේෂයෝ ද මෙරට බහුලය.

වනාන්තරයන්හි වෘකයන්, සියලුන්, දිවියන් හා වලස්සු ද උතුරු දිග නිම්නයන්හි කොටි ද සධ්‍යම කඳුකරයෙහි එළුවන්, ගෝනුන් හා මුවෝ ද වෙසෙත්. ඇෆ්ඝනිස්ථානයේ පක්ෂි වර්ග 124ක් පමණ සිටිතැයි ගණන් බලා ඇත. වලිකුකුළන්, තාරාවුන්, පාත්තයන් හා ලිහිණි ඉන් සමහරකි.

ඛනිජ ධනය

ඇෆ්ඝනිස්ථානයේ ඛනිජ වර්ග කීපයක් ම ඇති බව භූවිද්‍යා පරීක්ෂණයන්ගෙන් හෙළි වී ඇතත් ඒවා හාරා ගැනීමට තරම් ආකර කර්මාන්තය දියුණු වී නැත. ගෝර්බාන්ඩ් හා ලටාබාන්ඩ් ප්‍රදේශයන්හි හා හින්දුකුෂ් වැටියෙහි ගල් අඟුරු නිධි ඇත. ප්‍රධාන ගල් අඟුරු ආකර පිහිටියේ ඉෂ්පුෂ්ටාහිය. හිරාත් හා උතුරු ඇෆ්ඝනිස්ථාන ප්‍රදේශයන්හි තිබෙන ඛනිජතෙල් නිධි කැණීම තව ම ආර්ථික වශයෙන් සංවිධානය වී නැත. බඩක්ෂාන්, අන්ධුකි හා හිරාත් යන පෙදෙස්වලින් ලබාගන්නා ගල්ලුණු රටේ අවශ්‍යතාවන්ට ප්‍රමාණවත්ය. ගෝර්බාන්ඩ් ප්‍රදේශයෙහි යකඩ, තඹ හා මැංගනීස් නිධි ඇත. කන්දහාර්හි රන් ආකර තිබේ. උතුරු ඇෆ්ඝනිස්ථානයේ ගං රන් ලැබේ. බඩක්ෂාන් ප්‍රදේශයෙහි ඉතා උසස් වර්ගයේ නීලෝපල (ලපිස් ලසුලි) හා රතුකැට ඇත. රිදී, ක්‍රෝම්, ඇස්බෙස්ටොස්, ගෙන්දගම් ආදි ඛනිජ නිධි ද ඇෆ්ඝනිස්ථානයේ ඇත.

කර්මාන්ත හා රැකීරක්ෂා

ඇෆ්ඝනිස්ථානයෙහි කඳු හා කාන්තාරවලින් වැසී ඇති බිම් පෙදෙස් හැරුණු විට කෘෂිකර්මාන්තය සඳහා වෙන් වී ඇති බිම් ප්‍රමාණය වර්ග සැතපුම් 20,000ක් පමණ වේ. දියළු පසින් පිරි නිම්නයන්ට හා ලොවෙස් පසින් වැසී ගිය උතුරු ඇෆ්ඝනිස්ථාන තැනිතලාවන්ට සීමා වී ඇති මෙම ගොවිබිම් ඉතා සාරවත්ය. මේවායේ තිරිඟු, වී, බාර්ලි, ඉරිඟු, සීනි බීට්, උක්, කපු, දුම්කොළ, පලතුරු හා එළවළු ද එරඬු හා හිංගු වැනි බෙහෙත් පැළෑටි ද වගා කරනු ලැබේ.

ඇෆ්ඝනිස්ථානයෙහි එඬේර වෘත්තියෙහි යෙදෙන්නෝ ද බොහෝය. සංචාරක එඬේරුන් විසින් ඇති කරනු ලබන බැටළුවෝ මෙහි ප්‍රධාන ධනයයි. මේ බැටළුවන්ගෙන් සමහරකු (ඩුම්බා බැටළුවන්) මස් පිණිස ගනු ලැබූවත් වැඩි වශයෙන් උන් ඇති කරනු ලබන්නේ ලොම් හා හම් පිණිසයි. අශ්ව, බූරු, ඔටු, එළු, ගව ආදි සත්තු ද ඇති කරනු ලබත්.

ගොවිතැනට හා සතුන් ඇති කිරීමට සම්බන්ධ වූ කර්මාන්ත කීපයක් ම ඇෆ්ඝනිස්ථානයෙහි තිබේ. කන්දහාර්හි හා කාබුල්හි ලොම් කර්මාන්තශාලා දෙකක් ද කුන්ඩුස්, ජබාල්-උස්-සෙරාජ් හා පුල්-ඉ-කුම්රි යන ස්ථානයන්හි කපු කම්හල් ද ගුල්බහාර්හි නවීන රෙදි කම්හලක් ද ඇත. බග්ලාන්හි බීට් සීනි කම්හලක් ද ජලාලාබාද්හි උක් සීනි කම්හලක් හා කන්දහාර්හි පලතුරු ටින්වල ඇහිරීමේ කම්හලක් ද තිබේ. සිමෙන්ති, ගිනිපෙට්ටි, බොත්තම්, සබන්, සපත්තු හා කෘෂිකාර්මික උපකරණ ද ඇෆ්ඝනිස්ථානයෙහි නිපදවනු ලැබේ. කපු රෙදි, පට රෙදි, බුමුතුරුණු සහ සාළු විවීම හා සම් කර්මාන්තය සුළු කර්මාන්ත වශයෙන් දියුණු වී ඇත. තේ හා සීනි හැර රටේ ආහාර ද්‍රව්‍ය අතින් ඇෆ්ඝනිස්ථානය ස්වයංපෝෂිතය. පලතුරු හා පාන් එරට වැසියන්ගේ ප්‍රධාන ආහාර වේ. කපු පිළී, සීනි, තේ, කඩදාසි, සිමෙන්ති, ඛනිජතෙල්, යන්ත්‍රෝපකරණ හා මෝටර් රථවාහන ඇෆ්ඝනිස්ථානයේ ප්‍රධාන ආයාතයෝයි. ප්‍රධාන නිර්යාතය බැටළු සම්ය. ලොම්, කපු, අමු හා වියළි පලතුරු, සම්, බුමුතුරුණු, පෙරුම් කායම් හා දැව වෙනත් නිර්යාතයෝය.

නගර හා ජනගහන

ඇෆ්ඝනිස්ථානයේ අගනුවර කාබුල් (බ.) (206,208) ය. කන්දහාර් (77,186), හිරාත් (75,632), මසාර්-ඉ-ෂරීෆ් (41,960), ජලාලාබාද් (14,756) වෙනත් වැදගත් නගරය. (මෙහි දක්වා ඇති ජනගහන සංඛ්‍යා 1948 ගණන් බැලීම අනුවය.)

මංමාවත්

ඇෆ්ඝනිස්ථානය කරා ගොඩබිමින් යන මාර්ග බොහොමයක් දුර්ග මාර්ග ඔස්සේ වැටී ඇත. කාබුල් හා පකිස්ථානයේ පේශාවර් අතර පිහිටි කයිබර් දුර්ගය ද කන්දහාර් ප්‍රදේශයේ සිට දකුණු දෙසට මං පහසුව සැලසීමට උපයෝගී කරගෙන ඇති කොජක්, බෝලන් හා සිබි දුර්ග ද ඝාස්නි ප්‍රදේශයට මාර්ග යොමු කරවන ගොමල්, වෝෂි හා කුරාට් දුර්ග ද වඩා වැදගත් දුර්ගයෝය. ඇෆ්ඝනිස්ථානයෙහි දුම්රිය මාර්ග නැත. ප්‍රධාන නගර අතර විහිදි මහා මාර්ග ඇත. යහපත් මංමාවත්වල බස්, ලොරි ආදි රථවාහන පහසුකම් ඇතත් බොහෝ පෙදෙස්වල ඔටුවන් හෝ බූරුවන් හෝ යෙදූ තවලම් බහුලය. තවලම් මෙහෙයවීම ද ඇෆ්ඝනිස්ථානයේ වැදගත් ජීවනෝපායකි. හිරාත්හි හා කුන්ඩුස්හි කුඩා ගුවන් තොටුපළවල් දෙකක් ද කාබුල්හි හා කන්දහාර්හි අන්තර්ජාතික ගුවන් තොටුපළවල් දෙකක් ද ඇත. අන්තර්ජාතික තැපැල් හා විදුලි පණිවුඩ සංගමයේ සාමාජික රටක් වූ ඇෆ්ඝනිස්ථානයේ ප්‍රධාන ගුවන් විදුලි මධ්‍යස්ථානය කාබුල්හි පිහිටා ඇත. පුෂ්ටු, පාර්සි, උර්දු, ඉංග්‍රීසි, ප්‍රංස, රුසියන්, ජර්මන් හා අරාබි යන භාෂාවලින් මෙහි ගුවන් විදුලි වැඩසටහන් ප්‍රචාරය කරනු ලැබේ.

ඉතා ම මෑත දී කරන ලද ගණන් බැලීම අනුව ඇෆ්ඝනිස්ථානයේ ජනගහනය 12,000,000ක් පමණ වේ යැයි සලකතත් වඩා පරීක්ෂ්‍යකාරී ගණන් බැලීම් අනුව එරට ජනගහනය අසූ ලක්ෂයකට වැඩි නැතැයි සිතනු ලැබේ. සංවිධානාත්මක සංගණනයක් ඇෆ්ඝනිස්ථානයේ කිසි කලෙක පවත්වා නැත. ඇෆ්ඝනිස්ථානය මුස්ලිම් රාජ්‍යයකි. මෙහි මුස්ලිම් ජනයාගෙන් ඉතා වැඩි කොටස සුන්නි නිකායට අයත්ය. පුෂ්ටු (පෂ්ටෝ) හා පාර්සි ඇෆ්ඝනිස්ථානයේ රාජ්‍ය භාෂායි.

ආණ්ඩුව

ව්‍යවස්ථානුකූල රාජාණ්ඩුවක් මගින් ඇෆ්ඝනිස්ථානය පාලනය වේ. එහි පරම ශ්‍රෙෂ්ඨ නීතිදායක බලය රජු, සෙනට් සභාව හා ජාතික මණ්ඩලය යන අංගයන්ගෙන් සැදි පාර්ලිමේන්තුව සතුය. සෙනට් සභාව රජු විසින් යාවජීව වශයෙන් පත් කරනු ලබන සභිකවරුන් 50 දෙනකුගෙන් ද ජාතික මණ්ඩලය මහජන ඡන්දයෙන් තේරී පත් වන මන්ත්‍රීවරුන් 171 දෙනකුගෙන් ද සමන්විතය. මේ හැර මහත් ජාතික වැදගත්කමක් ඇති ප්‍රතිපත්ති පිළිබඳ ප්‍රශ්න සලකා බැලීම උදෙසා කලාතුරකින් පමණක් රැස්වන මහා මණ්ඩලයක් (ලෝයි ජිර්ගේ) ද ඇත. එම මණ්ඩලය අන්තිමට රැස්වූයේ 1955 දීය.

පාලන කටයුතු සම්බන්ධයෙන් ඇෆ්ඝනිස්ථානය ප්‍රධාන පළාත් 7කට ද කුඩා පළාත් 11කට ද බෙදා තිබේ. ප්‍රධාන පළාත් හත නම් කාබුල්, මසාර්, කන්දහාර්, හිරාත්, කතාඝාන්, නින්ග්‍රාහර් හා පක්ත්‍යා යන මේයි.

අවකන් දේශයේ වර්තමාන රජ මහමත් සහීර් ෂාය.

ඉතිහාසය

ඇෆ්ඝනිස්ථානය යන දේශනාමය භාවිතයට පැමිණ වැඩි කලක් නොමැත. දැනට ඇෆ්ඝනිස්ථානය නමින් හැඳින්වෙන ප්‍රදේශයෙන් විශාල කොටසක් පුරාණයේ දී බුරාසාන් නමින් හඳුන්වන ලදි. 1747 දී අහමද් ෂා දුරානි (අබ්දාලි) යටතේ ස්වාධීන ඇෆ්ඝන් රාජ්‍යය පහළ වන තෙක් ඇෆ්ඝනිස්ථානය යන නමින් රටක් නොවීය. ඇෆ්ඝන් යන නමින් දන්නා ලද ජාතියක් මේ ප්‍රදේශයේ බහුල වශයෙන් පදිංචිව සිටීමත් එහි බලය ලබාගත් රජ පෙළපත ඇෆ්ඝන් රාජවංශයක් වීමත් නිසාය, අහමද් ෂාගේ කාලයේ දී ඇෆ්ඝනිස්ථානය යන නම ඇති වූයේ.

ඊසාන දිගින් මොංගෝලියානු සානුවෙනුත් බටහිරින් පර්සියාවෙනුත් දකුණු දිගින් ඉන්දියාවෙනුත් වට වී ඇති ඇෆ්ඝනිස්ථානය ආදී අතීතයේ සිට ම සංචාරක ගෝත්‍රිකයන්ගේ ආක්‍රමණවලට ගොදුරු වූ ප්‍රදේශයක් විය. ආර්යය, සිතියන්, ටාටර්, මෝගල් සහ අරාබි යන ජාතීන් කලින් කල මේ ප්‍රදේශයට පැමිණ ඇති බවට සාධක ඇත. නොයෙක් සංස්කෘතීන්ට අයත් ජාතීන් මුණ ගැසුණ ස්ථානයක් වශයෙන් ඇෆ්ඝනිස්ථානය ඉතිහාසය අතින් වැදගත් වේ.

ඇෆ්ඝන් ජාතිකයන් පැවතෙන්නේ හේබ්‍රෙව් ජාතිකයන්ගෙන් යයි විශ්වාසයක් ඔවුන් අතර පවතී. මෙය පිළිගැනීමට ඇති සාධක ප්‍රමාණවත් නොවේ. එහෙත් ඇෆ්ඝන් ජාතිකයන් සෙමිටික් වර්ගයා අතර සම්බන්ධකමක් පැවති බව පිළිගත හැක. දැනට ඇෆ්ඝන්වරු කන්දහාර්, ඝාස්නි සහ කාබුල් යන ප්‍රදේශවල ද ඝිල්සායිවරුන් හා පඨාන් ගෝත්‍රිකයෝ සුලෙයිමාන් පර්වත ප්‍රාන්තයෙහි ද වාසය කරති.

ආර්යයන් ඉන්දියාවට පැමිණෙන්නට ප්‍රථම ඔවුන් ඇෆ්ඝනිස්ථානයේ කලක් වාසය කළ බව ඍග්වේදයේ සඳහන් සමහර ස්ථාන නාමවලින් පැහැදිලි වේ. එයට පසුව ඇෆ්ඝනිස්ථානය ඉතිහාසයේ සඳහන් වන්නේ ඩේරියස් නම් ඇකිමේනියානු අධිරාජයාගේ රාජ්‍යයේ කොටසක් වශයෙනි. ඔහුගේ අධිරාජ්‍යයට කාබුල්, කන්දහාර් සහ හිරාත් යන ප්‍රදේශ අයත්ව තිබිණ. හෙරොඩෝටස්ගේ වාර්තාවෙන් සහ ඇකිමේනියානු ශිලාලිපිවලින් පැහැදිලි වන ආකාරයට ඇෆ්ඝනිස්ථානය නමින් දැන් දන්නා ප්‍රදේශය ක්ෂත්‍රප හයකට බෙදී තිබිණ (ඇකිමේනියානු අධිරාජ්‍යය බ.) ඇකිමේනියානු අධිරාජ්‍යය බිඳ වැටීමෙන් පසුව ඇෆ්ඝනිස්ථානය මහා ඇලෙක්සැන්ඩර්ගේ පාලනය යටතට පත් විය. ඇලෙක්සැන්ඩර් තමාගේ නමින් මේ ප්‍රදේශයේ නගරයක් ඉදි කළ බව ද සඳහන් වේ. ඇලෙක්සැන්ඩර්ට මේ ප්‍රදේශයේ දී බොහෝදුරට මුණ ගැසුණේ ඉන්දියානු සංස්කෘතික ආභාසය ලද මිනිසුන් යයි දැක්වේ. ඔහුගේ අකාල මරණයෙන් පසුව ඇෆ්ඝනිස්ථානයේ ප්‍රදේශ අයත් වූයේ සෙලූකස් නිකේටර්ටය. ක්‍රි.පූ. 305 දී නිකේටර් සහ චන්ද්‍රගුප්ත මෞර්යයන් අතර වූ ගිවිසුමෙන් ඇෆ්ඝනිස්ථානයේ ක්ෂත්‍රප ප්‍රදේශ මෞර්යය අධිරාජ්‍යයේ කොටස් බවට පත්විය. අශෝක අධිරාජයාගේ සමයේ දී මේ ප්‍රදේශයට බුද්ධාගම් ප්‍රවිෂ්ට වන්නට ඇති බවට සාධක ඇත. අශෝකයන්ගෙන් පසුව ඇෆ්ඝනිස්ථාන ප්‍රදේශ මෞර්යය අධිරාජ්‍යයෙන් ගිලිහී ගියේය. මෙයින් පසුව ඉන්දු-ග්‍රීකයන් බලයට පත් වන තෙක් ඇෆ්ඝනිස්ථානයේ දේශපාලන වශයෙන් අවුල් සහගත තත්වයක් පවතින්නට ඇති බව පිළිගත හැකිය. ක්‍රි.පූ. 208 දී පමණ මේ ප්‍රදේශය තුන්වැනි ඇන්ටියෝකස් විසින් ආක්‍රමණය කරන ලදි. එයට පසුව ඇෆ්ඝනිස්ථානය බැක්ට්‍රියාවේ පාලක යුතිඩීමස් යටතට පත් විය (ඉන්දු-ග්‍රීකයෝ බ.). ඉන්දු-ග්‍රීකයන්ගෙන් පසුව මධ්‍ය ආසියානු සංචාරක ජාතීහු මේ ප්‍රදේශයට පැමිණියහ. ශක හා පාර්තියානු ගෝත්‍රිකයන්ගෙන් පසුව බලයට පත් කුෂාණ රාජවංශය මේ ප්‍රදේශයට දේශපාලන වශයෙන් ස්ථාවරත්වයක් ලබාදීමෙහි සමත් විය. කුෂාණ සමයේ දී, විශේෂයෙන් කනිෂ්ක අධිරාජයාගේ රාජ්‍ය සමයේ දී, ඇෆ්ඝනිස්ථානය ශ්‍රෙෂ්ඨ බෞද්ධ මධ්‍යස්ථානයක් විය. මධ්‍යම ආසියාවට හා ඈත පෙරදිගට බුදුදහම පැතිර වීමේ දී බාමියන් වැනි බෞද්ධ මධ්‍යස්ථාන වැදගත් තැනක් ගත්තේය (ඉන්දියාව-ඉතිහාසය බ.) ක්‍රි.ව. පස්වන සියවසෙහි මැදභාගයේ පමණ ඇෆ්ඝනිස්ථානය හූණ ආක්‍රමණිකයන් යටතට පත් විය. ඔවුහු නැගෙනහිර සහ උතුරු ඇෆ්ඝන් ප්‍රදේශවල බලය අල්ලාගෙන සිටියහ. සත්වන සියවසෙහි ඉන්දියාවට පැමිණි හියුං සාං නම් චීන සංචාරකයා ඇෆ්ඝනිස්ථානයේ පැවති බෞද්ධ සිද්ධස්ථාන පිළිබඳව තම වාර්තාවේ සඳහන් කොට ඇත.

ඉස්ලාම් බලයට යටත් වීම

මහමත්තුමාගෙන් පාලනය පිණිස යවනු ලැබූහ. බෙංගාලයේ ද ආණ්ඩුකාරවරු ඉන්දියාවේ නොයෙක් තැන්වලට පසු පළමුවන පරම්පරාවේ දී ම බුරාසාන් (ඇප්සන්) ඇප්සන් පාලනයක් ඇති විය. කර්නොයවා ම ප්‍රදේශය ඉස්ලාම් කඩුවට යටත් විණි. එම ප්‍රදේශ ගුජරාථ, මාල්වා, මුල්තාන්, ඛාන්දේශ්, සින්ධ වාසී බෞද්ධ හා හින්දු ආර්යය ජනයා ද බෞද්ධ ටාටර්වරු ද අකැමැත්තෙන් වුව ද ඉස්ලාම් භක්තිය භක්තිය මුල් බැසගති. මෙසේ බලන කල ඉන්දියා- යන ප්‍රදේශවල ඇෆ්ඝන් බලය නිසා ඉස්ලාම් පිළිගත්හ. පසු කල බැග්ඩෑඩ්හි කාලිප් බලය බිඳ වේ ඉස්ලාම් භක්තිය පැතිරීයාම එරට ඇෆ්ඝන් වැටුණු පසු, ඛුරාසාන්හි අරාබි ආධිපත්‍යය ද වැටී - බලයේ ව්‍යාප්තිය හා කෙතෙක් දුරට සම්බන්ධ වී ගියේය. කාබුල් හා කන්දහාර් වෙන ම රාජ්‍යයක් ඇද්දැයි පැහැදිලි ලෙස පෙනේ. බවට පත් විය. හිරාත් අරාබි සංස්කෘතික මධ්‍යස්ථානයක් වශයෙන් පැවැත්තේය.

10 වන සියවසෙහි දී බුරාසාන් ප්‍රදේශය පළමු වෙන් පර්සියානු ජාතිකයන් යටතට පත් විය. පසුව එහි තුර්කි රාජවංශයක් බලයට පත් විය. සබුක්- තිජින් නම් තුර්කි රජ ඝාස්නි නගරය මධ්‍යස්ථානය කොටගෙන කාබුල්හි සිට ඉන්දු නදිය දක්වා මුළු ප්‍රදේශය ම තමන් යටතට ගත්තේය. ඉන්දු නදිය පළමුවරට හින්දු ලබ්ධික ඉන්දියාව ඇෆ්ඝනිස්ථානයෙන් වෙන් කරන මායිම බවට පත් විය.

ක්‍රි.ව. 997 දී සබුක්තිජින්ගේ මරණින් පසු ඔහුගේ අවජාත පුත්‍ර මහමුද් ඇෆ්ඝනිස්ථානයේ සස්නි ප්‍රදේශයේ බලයට පැමිණියේය. ඝාස්නිහි මහමුද් දොළොස් වතාවක් ඉන්දියාව ආක්‍රමණය කළ බව පැවසේ. හෙතෙම බලුකිස්ථානය, පඤ්ජාබය, මූල්තාන් යන ප්‍රදේශවල ද බටහිර පර්සියාවේ ද තම අණසක පැතිරවිය. දිල්ලිය දක්වා ඉන්දියානු රජුන් යටත් කොට ඔවුන්ගෙන් කප්පම් ලැබුවේය. මේ තුර්කි පෙළපතේ (ඇප්සන්) රජවරු ඝාස්නි නුවර රාජධානිය වශයෙන් තබා ගෙන ක්‍රි.ව. 1140 දක්වා ඇෆ්ඝන් ප්‍රදේශයේ රජ කළහ. 1152 දී සෝර් රාජ්‍යයේ අලවුද්දීන් හුසේන් සාස්නි රාජධානිය විනාශ කොට දැමීය. ඔහුගේ බෑනා වූ සෝර්හි මහමුද් එපෙදෙසෙහි බලය අල්ලාගත්තේය. හෙතෙම පන්ජාබය යටත් කොට ඉන්දියාවට ඇතුළු වී එහි ද සිය අණසක පිහිටුවිය.

මහමුද් (සෝරි) විසින් සිය ඉන්දියානු යටත් ප්‍රදේශ පාලනය පිණිස කුටුබ් උද්දීන් අයිබෙක් නම් සෙන්පතියා ඉන්දියාවේ නතර කරන ලදි. හෙතෙම 1193 දී දිල්ලිය අල්ලාගති. මෙසේ පළමු වරට දිල්ලිය ඉන්දියාවේ මුස්ලිම් බලය පිළිබඳ ප්‍රධාන මධ්‍යස්ථානය බවට පත් විය. 1205 දී සෝර්හි මහමුද් මරනු ලැබීමෙන් පසු ඇෆ්ඝනිස්ථානයේ හා දිල්ලියේ සෝරි පෙළපත අභාවයට ගියේය.

ඉන්දියාවේ ඉස්ලාම් සමය

කුටුබ් උද්දීන් අයිබෙක් (බ.) දිල්ලියේ වහල් රජ පෙළපත බලයෙහි පිහිටු විය. ඔහුගේ කාලයේ දී ඇෆ්ඝන්

1217 දී මොංගෝලීය මහා ආක්‍රමණික ජිංගිස් ආශාවෙන් මඩනා ලදුව රටවල් ආක්‍රමණයෙහි ඛාන් (බ.) මුළු ලොව ම තමන් යටතට ගැනීමේ යෙදුණේ ඇප්සන් ප්‍රදේශයට ද පැමිණියේය. ඔහු ඝාස්නි හරහා ඉන්දු නදී ප්‍රදේශය ද ආක්‍රමණය (ටැමර්ලේන්) (බ.) 14 වන ශත වර්ෂයේ දී එරට කොට වස්තුව පැහැර ගැනීමෙහි යෙදුණේය. ටිමූර් ආක්‍රමණය කරන තෙක් ඉහත කී ප්‍රදේශයෙහි වැඩි කොටසක මොංගෝලීය පාලනය පැවතිණ. ආක්‍රමණය කිරීමෙහි යෙදුණේ දිල්ලියේ තුග්ලක් ටිමූර් බටහිර ඇෆ්ඝන් ප්‍රදේශ හරහා ඉන්දියාව පරපුරෙහි පාලනය ඉතා දුර්වලව පැවති සමයකය. ටිමූර්ගේ ආක්‍රමණයෙන් පසු දිල්ලියේ ඇෆ්ඝන් රජ පරපුර අභාවයට ගිය අතර ඇෆ්ඝන් ආණ්ඩු - බෙංගාලය, අවුද්, මාල්වා, ගුජරාථ, ඛාන්දේශ්, කාරවරුන් යටතේ පැවති ඉන්දියානු ප්‍රදේශ වූ මූල්තාන් ආදිය ස්වාධීන රාජ්‍ය බවට පත් විය. පිර් වෙනුවෙන් සෙයියද්වරුන් සිටි දෙනෙක් 1478 දක්වා ලාහෝර්හි බලය ඉසුලූහ. පසුව වෙනත් ඇප්සන් වංශයක් වූ ලෝදි පෙළපතට දිල්ලියේ පාලනය අයත් විය.

බාබර් රජ

1526 දී බාබර් (බ.) රජු දිල්ලිය ආක්‍රමණය කරන විට ද එහි විසූයේ ලෝදි පෙළ පතට අයත් රජවරුන්ය. බාබර් රජ ටිමූර්ගේ පරම්පරාවෙන් පැවත ආ ටාටර් ගෝත්‍රයට අයත් තැනැත්තෙකි. ඔහු කාබුල් සිය අගනුවර කොට ගෙන කන්දහාර් ප්‍රදේශය ද නතු කරගෙන විසු යේය. 1526 දී ඉන්දියාව ආක්‍රමණය කළ ඔහු පානිපත්හි ඇති වූ ඓතිහාසික යුද්ධයෙන් දිල්ලියේ ඉබ්‍රාහිම් ලෝදි නම් වූ ඇෆ්ඝන් සුල්තාන් පරදවා ඉන්දියානු ඉතිහාසයේ නව පරිච්ඡේදයක් ආරම්භ කෙළේය. බාබර් මෝගල් ජාතිකයකු නොවූ නමුත් ඔහු විසින් ඉන්දියාවේ පිහිටුවන ලද අයි රාජ්‍යය මෝගල් අධිරාජ්‍යය නමින් ප්‍රකට විය. ඉන්දියාව වාස භූමි කොටගත් බාබර් කාබුල් හා කන්දහාර් ආදී ස්වකීය ඇප්සන් ප්‍රදේශ ඉන්දියා- වේ ම කොටස් හැටියට සැලකීය. 1530 දී ඔහු මිය යන විට ඔහුගේ අධිරාජ්‍යය ඔක්සස්හි සිට ඉන්දියාවේ අවුද් දක්වා පැතිර පැවැත්තේය. බාබර්ගේ පුත්‍ර හුමායුන් රජ වී දෙවර්ෂයක් ඇතුළත ශ්‍රේ ෂා නම් ඇෆ්ඝන් නායකයා විසින් ඔහු ඉන්දියාවෙන් පලවා හරිනු ලැබීය. හුමායූන් කාබුල්හි හා කන්ද - හාර්හි බලය අල්ලා ගත්තේය. 15 වර්ෂයකට පසු හෙතෙම දිල්ලිය ආක්‍රමණය කොට එහි ඉන්දු- ඇප්සන් සේනා පරදවා දිල්ලි සිංහාසනය හිමි කර ගත්තේය. ඉන්දියාවේ තැන තැන වූ ඇෆ්ඝන් අධිපතීන්ගේ බලය මුළුමනින් සිඳලූයේ හුමායූන්. ගේ පුත්‍ර මහා අක්බාර් (බ.) විසිනි. අක්බාර්ගේ කාලයේ දී දිල්ලියේ මෝගල් අධිරාජ්‍යයේ කොට- සක් සේ ඇෆ්ඝනිස්ථානය පාලනය විය. අක්බාර් රජ සිය සෙනෙවියන් යටතේ රාජ්පුත් සේනා යවා ඇෆ්ඝනිස්ථානයේ වරින් වර ඇති වූ කැරලි මැඩ පැවැත්විය. මහා අක්බාර්ගෙන් පසු ජහාන්ගීර්ගේ කාලයේ සිටම ඇප්සන් ප්‍රදේශ මෝගල් අධිරාජ්‍යයෙන් ගිලිහෙන ලකුණු පහළ වන්නට විය. 1621 දී කන්දහාරය අල්ලාගත් පර්සියානුවරු ජහාන්ගීර් අධිරාජයාට එපෙදෙස ආපසු අල්ලා ගන්ට ඉඩ නොදී කලක් ම එය තමන් යටතේ තබා ගත්හ. 1644 දී ෂා ජහාන් අධිරාජයා කලින් බාබර් රජුට අයත්ව තිබුණු ඇප්සන් ප්‍රදේශ අල්ලාගැනීමේ පරමාර්ථයෙන් කාබුල් දක්වා ගිය නමුත් පසුව හින්දුකුෂ් කඳු වැටියෙන් මොබ්බට සේනා සමග පසු බැස්සේය. 1668 දී අවුරාංග්සිව්ගේ කාලයේ දී පර්සියානුවරු නැවතත් කන්දහාර් ප්‍රදේශය අල්ලා ගත්හ. එවක් පටන් කන්දහාර් පර්සියානුන් හෝ ඇප්සන්වරුන් යටතේම පැවතිණ. කන්දහාර් හා හිරාත් හැර සෙසු ඇප්සන් ප්‍රදේශ අවුරංග්- සිගේ මරණය (1707) දක්වා දිල්ලි අධිරාජ්‍යයේ කොටස් ලෙස පැවතිණ. ඉන් පසු මෝගල් අධි. රාජ්‍යය ක්‍රමයෙන් පිරිහෙන්නට විය. ඒ සමඟම කන්දහාර් හා හිරාත් පර්සියානු පාලනය යටතට පැමිණියේය.

පර්සියානු-ඇෆ්ඝන් ගැටුම්

අවුරාංග්සිගේ මරණයට වර්ෂයකට කලින් (1706) මීර් වයිස් නම් වූ ඇෆ්ඝන් නායකයෙක් කන්දහාරය පර්සියානු පාලනයෙන් මුදාගත්තේය. අසදුල්ලා ඛාන් සදුසායි නමැත්තා හිරාත්හි පර්සියානුන් පලවා එපෙදෙස නිදහස් පාලන ප්‍රදේශයක් බවට හැරවිය. ඉක්බිති ඇෆ්ඝන් කන්දහාර් ප්‍රදේශයේ මීර් වයිස්ගේ පුත්‍ර මහමුද් බලයට පැමිණි පසු 1720 දී හෙතෙම පර්සි- යාව ආක්‍රමණය කොට කිරීමන් නම් ප්‍රදේශය අල්ලා ගත්තේය. 1721 දී හිරාත්හි අලි (ඇප්ප්සන්) වරු මෙෂද් නම් පර්සියානු ප්‍රදේශය ආක්‍රමණය කළහ. ඉක්බිති 1722 දී කන්දහාර්හි ඇප්සන් පාලක මහමුද් තෙමේ පර්සියාව ආක්‍රමණය කොට එහි ඉතා විශාල ප්‍රදේශයක් යටත් කර ගත්තේය. සුන්නි නිකායේ ඉස්ලාමිකයකු වූ ඔහු පර්සියානු රජු හැර රජපවුලේ සෙසු සියලු දෙනා ම වාගේ විනාශ කොට පර්සියාවේ ෂියා ඉස්ලාම් නිකාය මුළුමනින් වැනසීමේ බලාපොරොත්තුවෙන් ක්‍රියා කෙළේය. මහමුද්දෙන් පසු ඔහු පුත් අfප්රාස් ඛාන්ගේ කාලයේ දී කාලිප්ගේ විශාල තුර්කි හමුදා- වක් ඇෆ්ඝන් වරුන් යටතේ වූ පර්සියාව ආක්‍රමණය කළ නමුත් අභිප්රාස් අතින් පැරදිණ. එසේ වුව ද අfප්රාස් කාලිප්ගේ ආධිපත්‍ය පිළිගෙන පර්සියාවේ නායකත්වය ඉසිලීය.

නදීර් ෂා

පර්සියාවේ ශ්‍රෙෂ්ඨ රජකු වූ නදීර් ෂා 1737 වර්ෂයේ දී ඇfප්සන් ප්‍රදේශ ආක්‍රමණය කොට කන්දහාර්හි පර්සියානු පාලකයන් පත් කොට කාබුල් හරහා මෝගල් ඉන්දියාව ද ආක්‍රම-ණය කොට බොහෝ වස්තුව පැහැර ගෙන ගියේය. අතිශයින් ක්‍රෑර පාලකයකු වූ නදීර් 1747 දී ඔහුගේ ආරක්ෂක භට හමුදාවේ නිලධාරියකු අතින් ජීවිතක්- ෂයට පත් විය.

දුරානි පෙළපත හා ඇෆ්ඝනිස්ථාන රාජ්‍යය

නදීර් ෂාගේ යුද සෙනවියකු හැටියට සේවය කළ අබ්දුලි ගෝත්‍රයේ සදුසායි පක්ෂයට අයත් අහමද් ඛාන් නමැති ශූර සෙන්පතියෙක් අලි වංශිකයන් ගේ ආධාරය ලැබ 1747 දී කාබුල්, කන්දහාර්, හිරාත්, සින්ඩ්, කාශ්මීර, මුල්තාන් ආදි ප්‍රදේශ යටත් කොටගෙන අහමද් ෂා නමින් රජ විය. ඔහු තම රාජ්‍යයට දුරානි අධිරාජ්‍ය යයි නම් කෙළේය. ඇෆ්ඝනිස්ථානය යනුවෙන් නියම වශයෙන් රාජ්‍ය - යක් ඇති වූයේ මේ දුරානි රජ පෙළපතේ සම්භව- යෙන් පසුය. අහමද් ෂා දුරානි 1748 සිට 1756 දක්වා සිව්වරක් සිය අශ්ව සේනාව මෙහෙයවා ඉන්දියාව ආක්‍රමණය කෙළේය. ඔහුගෙන් වරින් වර හටගත් මේ උවදුරු කරණ කොටගෙන පිරිහෙමින් පැවති දිල්ලියේ මෝගල් රජය මරාඨ ගණ රජයේ ආධාරය සෙවීය. මරාඨවරු ද සික්වරු ද ඇෆ්ඝන්වරුන්ට විරුද්ධව නැඟී, ඔවුන් ඉන්දු නදියෙන් එගොඩට පලවා හැරියහ. එහෙත් 1761 දී තුන් වැනි පානිපත් යුද්ධයේ දී ඉන්දියාවේ ඇෆ්ඝන් සගයන් වූ රෝහිල්ලවරුන්ගේ ද ආධාර ඇතිව මරාඨ බලය මුළුමනින් ම වාගේ සිඳ දමන ලදි. අහමද් ෂා, අලි ජෞහාර් නමැත්තා මෝගල් අධිරාජයා හැටියට ප්‍රකාශ කොට පඤ්ජාබය හා මෝගල් අධි රාජ්‍යයෙන් විශාල කොටසක් ගිවිසුම් මඟින් තමන් අයත් කරගත්තේය. මෙසේ දිල්ලියේ මෝගල් අධිරාජ්‍යය ඉතා බෙලහීන තත්වයකට ඇද වැටිණි. මේ අතර සික්වරු සිය බලය තහවුරු කොටගෙන ලාහෝර්හි ඇප්සන් පාලකයා පලවා හැරියහ. සවන වරට ඉන්දියාව ආක්‍රමණය කළ අහමද් ෂා සික්වරුන් පරදවා බිහිසුණු ඝාතනයක යෙදුණේය. 1769 වන අහමද් ෂාගේ අවසාන කාලය සම්පූර්ණයෙන් ම වාගේ යෙදුණේ මේ අරගළ සඳහාය. විට අහමද් ෂා යටතේ තිබුණු පන්ජාබයේ ඇෆ්ඝන් ප්‍රදේශ සියල්ලක් ම සික් ජාතිකයන් විසින් අල්ලා ගන්නා ලදි.

අහමද් ෂාගේ බලව්‍යාප්තියේ උච්චතම අවස්ථාවේදී ඇප්සන් බලය බටහිරින් කැස්පියන් මුහුද අසලට ද නැගෙනහිරින් පන්ජාබය, කාශ්මීරය හා දිල්ලිය දක්වා ද පැතිර පැවැත්තේය. ඔක්සස් නදිය උතුරු මායිම විය. බලුකිස්ථානය ඔහුගේ ආධිපත්‍යය පිළිගත්තේය.

1773 දී අහමද් ෂා දුරානි මිය ගිය පසු රජ ඔහුගේ පුත්‍ර ටිමූර් ෂාගේ ද මුනුබුරු ෂා සමාන් රජුගේ ද කාලවලදී ඇෆ්ඝන් අධිරාජ්‍යය කැඩී බිඳී ගියේය. නැපෝලියන් පර්සියාවේ කළ කුමන්ත්‍රණ ගැන ඇති වූ බිය සැක නිසා ඉංග්‍රීසි පෙරදිග ඉන්දියා වෙළඳ සමාගමේ ඉන්දියා ආණ්ඩු කාරයා වූ මින්ටෝ සාමී විසින් ෂා ෂුජා අල් මුල්ක් (1803-09) වෙත මවුස්ටුවට් එල්ෆින්ස්ටන් 1809 දී දූත මෙහෙවරක යවන ලදි. එවක ඇප්සන් දේශයේ පැවති අරගළයන්ගේ ප්‍රතිඵලයක් වශ යෙන් 1810 දී ෂා ෂූජා බලයෙන් නෙරපා ඔහුගේ සහෝදර මහමුද් නැවතත් සිහසුන අයත් කර ගැනීම නිසා මේ දූත මෙහෙය ප්‍රතිඵල විරහිත එකක් විය. මහමුද් 1818 දක්වා රජපදවිය ඉසුලූ නමුත් එවක නියම බලය දැරූයේ බරාක්සායි ගෝත්‍රයට අයත් ඵට් ඛාන් නම් වූ විසියර් තැනය. එට් ඛාන් හිරාත් ප්‍රදේශය පර්සියානුන්ගෙන් මුදා ගත්තේය. ඔහු සදුසායි (දුරානි) පවුලට කරන ලද පීඩන හා අවමන් නිසා කිපුණු මහමුද් ඔහුගේ ඇස් අන්ධ කරවා පසුව දරුණු වධ දී ඔහු මරවා දැම්මේ ය. මෙයින් කෝපයට පත් බරාක් සායි පවුලේ මහමත් අසීම් හා දොත් මහමත් ද මහමුද් පන්නා හැර කාබුල්හි බලය හිමි කොටගත්හ. අසීම් එහි රජ බවට පත් විය. මින් පසු ක්‍රමයෙන් ඇෆ්ඝන් රාජ්‍යය භේදභින්න වී ගියේය.

ඉංග්‍රීසීහු ද රංජිත්සිංගේ නායකත්වයෙන් සික් වරු ද මේ වියවුල් තත්වයෙන් ප්‍රයෝජන ගැනීමට මාන බැලූහ. 1815 සිට ෂා ෂුජාට ඉංග්‍රීසීහු රැක වරණ දුන්හ. 1823 දී රංජිත්සිං පේශාවර් ප්‍රදේශය යටත් කොටගෙන තමන්ට පක්ෂ ඇප්සන් ජාතිකයකු සිහසුනට නැංවීය. කාශ්මීරය, දෙරාජාත්, මූල්තාන්, කන්දහාර් යන ප්‍රදේශ ද මේ වන විට ඔහු යටතේ විය. හිරාත්හි පාලනය ගෙන මහමත් අසීම් මිය ගියෙන් කාබුල්හි ඇෆ්ඝන් ගියේ කාබුල්හි හිටපු රජකු වූ මහමුද්ය. 1823 දී සිහසුන සම්බන්ධයෙන් බරාසායි සොහොයුරන් අතර කෝලාහල ඇති විය. 1826 දී දොස්ක් මහමත් කාබුල් සිහසුන හිමි කොටගෙන ජලාලා - ගත්තේය. තමා ඇෆ්ඝන් අධිරාජ්‍යයේ අමීර් බාද්, සාස්නි ආදි ප්‍රදේශවල පාලනය ද සියතට හැටියට ප්‍රකාශ කළ හෙතෙම 1834 දී කාබුල් කිරුළ නැවත අත් කරගැනීමට ෂා ෂුජා දරූ ප්‍රයත්නයක් නිෂ්ප්‍රභ කෙළේය. ‍ මේ අතර රුසියානු කුමන්ත්‍රණ නිසා ද දොස්ත මහමත් (අමීර්) හා රංජිත් සිං අතර පැවති විරුද්ධ කමින් ප්‍රයෝජන ගැනීමේ අදහසින් ද ඉංග්‍රීසීහු දොත් මහමත් වෙත 1837 දී ඇලෙක්සැන්ඩර් බ'න්ස් යටතේ දූත පිරිසක් යැවීය. දොත් සිටියේ ඉක්මනින් ආධාර ලබාගත යුතු තත්වයකය. ඉංග්‍රීසි තානාපතියා සික්වරුන්ට විරුද්ධව ආධාර දීමට පොරොන්දු වීමට පුළුවන් තත්වයක නොසිටියේය. මෙවිට ම රුසියන්වරුන් දොස්ට නොයෙක් විධියෙන් ආධාර දීමට කැමති බව දැන්වූයෙන් දොස්ත රුසියානු පැත්තට නැඹුරු විය.

1838 දී ෂා ෂුජා, රංජිත්සිං හා ඉන්දියාවේ ඉංග්‍රීසි අග්‍රාණ්ඩුකාර ඕක්ලන්ඩ් සාමි ද අතර තුන්හවුල් ගිවිසුමක් අත්සන් කැරිණි. ෂුජාට නැවත ඇප්සන් සින්ධි ප්‍රදේශ පිළිබඳ බේරුමක් ඇති කිරීම ආදිය කිරුළ අයත් කරදීම, ඇප්සන් - සික් හා ඇප්සන්- මින් බලාපොරොත්තු වන ලදි.

ප්‍රථම ඇෆ්ඝන්-ඉංග්‍රීසි යුද්ධය

තමන්ට අහිමි වූ ඇෆ්ඝන් කිරුළ ලබාගැනීම පිණිස ලුයිනා ප්‍රදේශ ලම් යෙන් හමුදාවක් රැස් කොටගත් ෂා ෂුජා ඉංග්‍රීසීන් ගෙන්ද ආධාර ලැබ 1839 දී කාබුල් බලා පිටත් විය. මේ කාලයේ ඉන්දියාවේ අග්‍රාණ්ඩුකාරයාව සිටි ඕක්ලන්ඩ් සාමි ෂුජාට ආධාර පිණිස සර් ජෝන් කින් හා කොටින් සෙනෙවියා යටතේ බ්‍රිතාන්‍ය හමුදාවන් ඇෆ්ඝනිස්ථානයට පිටත් කර යැවීය. ප්‍රථම ඇප්සන් යුද්ධය නමින් ප්‍රකට මේ යුද්ධයේ දී කන්දහාර්, සාස්නි ආදි ප්‍රදේශ යටත් වූ පසු සිය සේනාවන් විසින් අත්හැර දමනු ලැබූ දොස්ත මහමත්, අක්බාර් ඛාන් නම් සිය පුත්‍රයාගේ රැක වරණ ඇතිව බාමියන් හරහා කාබුල් නගරයෙන් පැන ගියේය. සටනක් නැතිව ම කාබුල් නගරය යටත් විය. අවුරුදු 30 කට ඉහත දී නැති වී ගිය කාබුල් සිංහාසනය නැවත වරක් ෂා ෂුජාට අයත් විය. බ්‍රිතාන්‍ය ආධාරයෙන් ඔහු ලත් සිංහා- සනයේ ආරක්ෂාව පිණිස බ්‍රිතාන්‍ය හමුදා කාබුල්හි නවත්වනු ලැබූහ. එහෙත් වැඩිකල් යන්නට පෙරම මේ හමුදා නිසා වියවුල් තත්වයක් ඇති විය. ෂා ෂුජා ඉංග්‍රීසීන්ගේ අනුග්‍රහය හැමවිටම පැතීම නිසා රටවාසීන්ට ඔහු එපා වන්නට විය. මේ අතර කාබුල්හි අමීර්ව සිට පැන ගිය දොත් මහමත් ඉංග්‍රීසීන්ට භාර වූයෙන් ඔහු ඉන්දියාවට යවනු ලැබීය. 1841 දී දොහ්ගේ පුත්‍ර අක්බාර් ඛාන්ගේ ප්‍රමුඛත්වයෙන් කාබුල්හි කැරැල්ලක් ඇති විය. එනුවර ඉංග්‍රීසි නියෝජිතයන් හැටියට නැවතී සිටි සර් විලියම් මැක්නොටන් හා සර් ඇලෙක්සැන්ඩර් බ'න්ස් ඇතුළු ඉංග්‍රීසි නිල ධාරීන් රැසක් මරා දමනු ලැබූහ. ඉතිරි වූ ඉංග්‍රීසිහු ඇෆ්ඝනිස්ථානයෙන් පිට වීමට කැමැත්ත දැක්වූහ. 1842 දී අනුගාමිකයන් 12,000 ක් ද සහිත බ්‍රිතාන්‍ය හා ඉන්දියානු පිරිසක් කාබුල් නුවරින් පිට වූහ. කාලගුණයේ අයහපත්කම නිසා ද සැඟවී සිටි ඇෆ්ඝන් වරුන්ගෙන් ලත් පහරින් ද මේ සේනාවෙන් විශාල සංඛ්‍යාවක් විනාශ විය. ෂා ෂුජා ද වැඩි කල් නොගොස් ම මරා දමන ලදි. ඝාස්නිහි බ්‍රිතාන්‍ය කඳවුර ඇප්සන් කැරලිකරුවන්ට යටත් වූ අතර කන්දහාර්, ජලාලාබාද් යන කඳවුරු ඉංග්‍රීසීහු රැක ගත්හ. ඉක්බිති ඇෆ්ඝනිස්ථානයේ බ්‍රිතාන්‍ය හිරකරුවන් බේරා ගැනීම හා ඇප්සන්වරුන්ගෙන් පළිගැනීම ද පිණිස ඉන්දියාවේ නව අග්‍රාණ්ඩුකාර – ඇලන්බරෝ සාමි යැවූ ඉංග්‍රීසි සේනා කයිබර් දුර්ගය ඔස්සේ ගොස් ජලාලාබාද් අල්ලාගත්හ. මාස ගණනකින් කාබුල් නගරය ද ඝස්නි ප්‍රදේශය ද යටත් කොටගත් ඔව්හු කාබුල් නගරය විනාශ කොට 1842 දෙසැම්බර් මාසයේ දී එරටින් පිට වූහ.

දොස්තා මහමත් (දෙවැනි වර)

ඉංග්‍රීසි ආක්‍රමණය නිසා අරාජික වූ ඇෆ්ඝනිස්ථානයේ සිංහාසනයට සදුසායි වංශයේ ෂා පූර් නම් කුමාරයා තෝරා ගන්නා ලදි. එහෙත්මේ අතර ඉන්දියාවේ ඉංග්‍රීසින් භාරයේ විසූ දොස්තා මහමත් ආපසු පැමිණියෙන් සිහසුන නැවතත් ඔහුට පැවරිණ. 1843 දී කාබුල්, ඝස්නි, ජලාලාබාද් යන ප්‍රදේශවල අමීර් පදවිය ලත් ඔහු 1854 වන විට ඇෆ්ඝන් තුර්කිස්ථානය, බාල්ක්, කන්දහාර් හා හිරාත් යන ප්‍රදේශ ද තමන් යටතට ගැනීමෙහි සමර්ථ විය.

මේ අතර 1848 දී දෙවන සික් යුද්ධයේ දී අමීර් දොස්ත ඉංග්‍රීසීන්ට විරුද්ධව සික්වරුන්ගේ පැත්ත ගත්තේය. ඔහු අක්බාර් ඛාන් නම් වූ තම පුත්‍රයා යටතේ යැවු සේනාව ඉංග්‍රීසීන් අතින් පැරදිණ. මේ යුද්ධයේ ප්‍රතිඵලයක් වශයෙන් ඇප්සන් රාජ්‍යයේ කොටසක් වූ පේශාවර් ප්‍රදේශය බ්‍රිතාන්‍ය ඉන්දියාවට ඈඳනු ලැබීය.

1848 දී දොස් ගේ වැඩිමහලු පුත්‍ර රණකාමී අක්බාර් ඛාන් මිය ගියේය. ගුලාම් නයිදර් නම් වෙනත් පුත්‍රයකුට ඔහුගේ තැන දෙන ලදි. 1855 දී මෙතෙම දොත් මහමත් වෙනුවෙන් ඉංග්‍රීසින් හා මිත්‍ර ගිවිසුමකට අත්සන් කෙළේ පර්සියානුන්ට විරුද්ධව ඉංග්‍රීසි ආධාරය ලබා ගැනීම පිණිසය. ඇප්සන්වරුන් 1854 දී යටත් කරගන්නා ලද හිරාත් ප්‍රදේශයට පහර දුන් පර්සියානුවරු එ පෙදෙස අල්ලා ගත්හ. එහෙත් ඇප්සන්වරුන්ගේ මිත්‍ර ඉංග්‍රීසීන්ගේ මැදහත් වීමෙන් හිරාත් ප්‍රදේශය ස්වාධීන පාලකයකුට පවරනු ලැබීය. 1857 දී ඇති වූ ඉන්දියානු හමුදා කැරැල්ලේ දී ගිවිසුමට ගරු කළ දොස්ත මධ්‍යස්ථව ම සිටියේය. මෙය ඉංග්‍රීසීන්ට විශාල අස්වැසිල්ලක් විය.

1863 දී හිරාත් ප්‍රදේශය නැවතත් දොත් අතට පත් විය. මෙයින් දෙසතියකට පසු ඔහු මිය ගියේය. ඔහුගේ පුතුන් 16 දෙනාගෙන් පස් දෙනෙක්ම සිංහාසනය පැතූහ. දොත් විසින් සිහසුනට තෝරනු ලැබ සිටි ශ්‍රේ අලි අමීර් හැටි යට පත් කරනු ලැබීය. එහෙත් ඔහුගේ වැඩිමහල් සෝයුරන් දෙදෙනා සහ බාල සොහොයුරන් කීප දෙනකු ද විරුද්ධ වීමෙන් කලක් ම වියවුල් තත්- ත්වයක් පැවතිණ. ඉංග්‍රීසීහු ශ්‍රේ අලි අමීර් හැටියට පිළිගත් නමුත් සිංහාසන උරුමය සම්බන්ධයෙන් යුද්ධයකට නොපැටලී සිටීමට වග බලාගත්හ. 1866 දී අfප්සාල් ඛාන්ගේ පුත්‍ර අබ්දුර් රාමන් විසින් ශ්‍රේ අලි පරදවා ඔහු කන්දහාරයටත් එතැනින් හිරාත් ප්‍රදේශයටත් පන්නා හරින ලදි. කාබුල්හි අමීර් පදවිය අප්සාල් ඛාන්ට හිමි විය. 1867 දී ඔහු මියගියෙන් අසීම් ඛාන් නම් වූ සහෝදරයාට කාබුල් හි අමීර් පදවිය ලැබුණේය. එහෙත් කාබුල් ජනතාවට අප්‍රිය වූ හෙතෙම ශ්‍රේ අලි විසින් පරදවන ලදි. ශ්‍රේ අලි 1868 දී නැවතත් ඇප්සන් රාජ්‍යයේ අමීර් බවට පත් විය.

දෙවැනි ඇෆ්ඝන් යුද්ධය

ශ්‍රේ අලි හා ඉංග්‍රීසීන් අතර හොඳ හිත වැඩි කලක් නොපැවැත්තේය. ඉංග්‍රීසීන්ගේ සතුරු රුසියානුන් හා ක්‍රමයෙන් ඔහු ගේ සම්බන්ධය දියුණු විය. 1878 දී ඇප්සන් වරු සර් නෙවිල් චේම්බර්ලින් යටතේ එවන ලද බ්‍රිතාන්‍ය දූත පිරිසට කයිබර් දුර්ගය පසු කිරීමට ඉඩ නොදී ඔවුන් ආපසු හරවා යැවුහ. මේ සිද්ධිය ගැන පළි ගැනීම පිණිස මාස කීපයක් ඇතුළත විශාල බ්‍රිතාන්‍ය හමුදාවක් ඇෆ්ඝනිස්ථානය ආක්‍රමණයෙහි යෙදුණේය. කල් නොයවා ම කයිබර් දුර්ගය අල්ලා ගත් ඉංග්‍රීසීහු 1879 දී කුරාම්, කන්දහාර් යන ප්‍රදේශ අල්ලාගත්හ. මේ වර්ෂයේ දී කාබුල් නුවරින් පලාගිය ශ්‍රේ අලි රුසියන් අගනුවර වෙත යද්දී මිය ගියේය. ශේර් අලිගෙන් පසු අමීර් පදවියට පත් කරන ලද යාකුබ් ඛාන් ඉංග්‍රීසින් හා සාමයට එළඹියේය. මේ සාමය අනුව කයිබර්, මිනි යන දුර්ග පාලනය ද කුරාම් නිම්නය, සිබි ආදි ප්‍රදේශ ද ඉංග්‍රීසීන්ට අයත් විය. කාබුල් නගරයට බ්‍රිතාන්‍ය රෙසිදන්තවරයකු එවීමට ද ඉඩ දෙනු ලැබීය.

අබ්දුර් රාමන් ඛාන්

යාකුබ් ඛාන් දුර්වල පාලක යෙක් විය. ඔහුගේ දුර්වලත්වයෙන් ප්‍රයෝජන ගත් කාබුල්හි බ්‍රිතාන්‍ය විරෝධී ජනයා බ්‍රිතාන්‍ය රෙසිදන්තවර සර් ලුවී කාවඤ්ඤාරි සෙනෙවියා හා ඔහුගේ ආරක්ෂක භටයන් මරා දැමූහ. මේ නිසා කන්දහාර්හි බ්‍රිතාන්‍ය සෙනෙවි රොබට්ස් එහි සිට පැමිණ කාබුල් නගරය අල්ලාගති. යාකුබ් ඛාන් සිහසුන අත්හැර බ්‍රිතාන්‍යයන් වෙත පැමිණියෙන් ඔහු ඉන්දියාවට එවන ලදි. අප්- සාල් ඛාන් අමීර්ගේ පුත්‍ර අබ්දුර් රාමන් ඛාන් 1880 දී කාබුල්හි අමීර් හැටියට බ්‍රිතාන්‍යයන් විසින් පිළිගන්නා ලදි.

මේ අතර කන්දහාර් ප්‍රදේශය ශේර් අලි ඛාන් නම් වූ ස්වාධීන පාලකයකු යටතේ පාලනය විය. 1880 දී යාකුබ් ඛාන්ගේ සොහොයුරු වූ හිරාත්හි ස්වාධීන පාලක අයුබ් ඛාන් බ්‍රිතාන්‍ය හමුදාවකට ද පහර දී කන්දහාරය අල්ලා ගත්තේය. ඉක්බිති එහි පැමිණි රොබට් සෙනෙවියා ඔහු පන්නා කන්දහාරය මදගත් නමුත් ශේර් අලි ඛාන්ට සිය බලය රැකගන නොහැකි වූයෙන් ඔහු ඉන්දියාවට ගොස් එහි විසීය. ඉක්බිති අබ්දුර් රාමන් අතින් පැර දුණු යාකුබ් ඛාන් පර්සියාවට පැන ගියේය. මෙ සේ කාබුල්හි පමණක් අමීර් පදවිය ලත් අබ්දුර්යකින් ඉංග්‍රීසීන් ඇෆ්ඝනිස්ථානයේ දේශපාලන රාමන් කල් නොයවාම කන්දහාර්, හිරාත් යන ප්‍රදේශ ද හිමි කර ගත්තේය.

1885 දී රුසියන්-ඇෆ්ඝන් අරගළයක් ඇති විය. ඉන් වර්ෂයකට ඉහත දී ඇෆ්ඝනිස්ථානයේ උතුරු මායිම සලකුණු කිරීමේ කාර්යය බ්‍රිතාන්‍ය ජාතික - යන්ගෙන් හා රුසියානුන්ගෙන් යුත් කොමිසමකට පැවරීමට තීරණය කරගෙන තිබුණු නමුත් රුසියන් නියෝජිතයෝ නියමිත පරිදි නොපැමිණියහ. ඇප් සන් හා ඉංග්‍රීසි නියෝජිතයන් එම කාර්යයෙහි යෙදී සිටිද්දී පව්දේ නම් ස්ථානයේ දී රුසියානු හමුදාවක් ඇප්සන්වරුන්ට පහර දුන්නේය. මේ කාලයේ දී අමීර් ඉන්දියාවේ අග්‍රාණ්ඩුකාර ඩපරින් සාමි සමඟ සාකච්ඡාවක් සඳහා පැමිණ සිටියෙන් අරගලය දිග්ගැස්සී නොගියේය.

1888 දී අමීර්ගේ ඥාති සහෝදර ඊසාක් ඛාන් නම් වූ ඇප්සන් තුර්කි ස්ථානයේ පාලකයා ගැසූ කැරැල්ල මැඩපැවැත්වීමෙන් පසු අබ්දුර් රාමන් එම උතුරු ප්‍රදේශයේ ද අසහාය නායකයා විය. මඳ කලකින් ම කපිරිස්ථාන නම් වූ කඳුකර වන ප්‍රදේශයක් ද සිය පාලනය යටතටගත් අමීර් ඉන්දියානු ප්‍රදේශවලට ද කඩා වැදුණේය. මේ නිසා දුරන්ද් මායිම නමින් ප්‍රසිද්ධ මායිම සලකුණු කිරීමට සිදු විය. 1901 දී අමීර් අබ්දුර් රාමන් මිය ගියේය.

අබ්දුර් රාමන් මහත් බල සම්පන්න රජෙක් විය. අයෝමය පාලනයක් ගෙන ගිය ඔහු යටතේ එරට මනා ලෙස සංවිධානය කරන ලද යුද්ධ හමුදාවක් හා ක්‍රමවත් ආණ්ඩුවක් ඇති විය. රටේ පැවැති මං පැහැරීම්, ප්‍රදේශාධිපතීන්ගේ පීඩන ආදිය නැති කිරීමට ක්‍රියා කළ ඔහු ඇෆ්ඝනිස්ථානයේ ආර්ථික දියුණුව ඇති කිරීමට ද වෙහෙස ගත්තේය. ඇෆ්ඝන් ඉතිහාසයේ ශ්‍රෙෂ්ඨ ස්ථානයක් ඔහුට හිමි වේ.

හබිබුල්ලා

අබ්දුර් රාමන්ගේ දෙටු පුත් හබි - බුල්ලා පියාට වඩා සහනශීල තැනැත්තෙක් විය. ඔහු රටේ බදු බර අඩු කිරීමට ක්‍රියා කෙළේය. නිතරම වියවුල් සහිත දේශ සීමා ප්‍රදේශ වල ගෝත්‍රික කටයුතු පිණිස රාජ්‍ය මන්ත්‍රණ සභාවක් ඇති කෙළේය. ඉංග්‍රීසීන් කෙරෙහි සැක සිතින් පසු වූ ඔහුගේ කාලයේ දී යම් යම් විශේෂ වරප්‍රසාද පතා කාබුල් නුවරට ගිය ඉංග්‍රීසි දූත මෙහෙවරක් අසාර්ථක විය. 1907 දී ඉංග්‍රීසීන්ගේ ආරාධනයෙන් ඉන්දියාවේ චාරිකාවක යෙදුණ හබිබුල්ලා අග්‍රාණ්ඩු කාර මින්ටෝ සාමි විසින් ඉමහත් ගෞරවයෙන් හා සාදරයෙන් පිළිගන්නා ලදි. මෙයින් පසු ඇෆ්ඝන් - ඉංග්‍රීසි සම්බන්ධය වඩා යහපත් වූ බව පෙනේ. 1907 ඇති වූ බ්‍රිතාන්‍ය - රුසියානු ප්‍රඥප්තියකින් ඉංග්‍රීසීන් ඇෆ්ඝනිස්ථානයේ දේශපාලන තත්ත්වයෙහි වෙනසක් ඇති කිරීමට බලාපොරොත්තු නොවන බව ප්‍රකාශ කළ අතර රුසියාව ඇෆ්ඝනිස්ථාන් ප්‍රදේශයේ කිසි ම ඇඟිලි ගැසීමක් නොකරන බවට පොරොන්දු විය.

හබිබුල්ලා අමීර්ගේ කාලය විශේෂයෙන් වැදගත් වනුයේ එවක එරටට බටහිර සංස්කෘතියේ නොයෙකුත් අංග ප්‍රවිෂ්ට වීම නිසාය. කාබුල්හි උසස් අධ්‍යාපන පීඨය, ප්‍රවෘත්ති පත්‍ර, ටැලිපෝන් සේවය, මෝටර් වාහන භාවිතය ආදිය එරට පැරණි මතධාරී ජනතාවගේ බලවත් විරෝධය මධ්‍යයේ ම ආරම්භ කැරිණ.

I වැනි ජගත් සංග්‍රාමය ඇති වූයේ හබිබුල්ලාගේ කාලයේ දීය. ඔහුගේ ප්‍රතිපත්තිය වූයේ පක්ෂයක් නොගෙන කටයුතු කිරීමය.

එම මහා යුද්ධයේ දී තුර්කිය ජර්මනියේ පක්ෂය ගැනීම ඉස්ලාම් දේශයක් වූ ඇෆ්ඝනිස්ථානය කෙරෙහි ද බලපෑවේය. තුර්කි සුල්තාන්වරයා ඉස්ලාම් ආගමේ නායක කාලිප්වරයා හැටියට එරට ජනයා ද සැලකූ බැවිනි. යුද්ධය පවතිද්දී ජර්මන් දූත පිරිසකට ඇෆ්ඝනිස්ථානයට ඇතුළු වීමට ඉඩ දෙන ලෙස හබිබුල්ලාට බල කර සිටීමට බ්‍රිතාන්‍ය විරෝධී ඇෆ්ඝන් පක්ෂයට පුළුවන් විය. ජර්මන් පිරිසට කාබුල් නගරයට ඇතුළු වීමට ඉඩ දෙන ලද නමුත් මෙය යුද්ධයට බැඳීමක් සේ සැලකිය නොහැකිය. ඔවුන්ගේ අහංකාර පැවැත්ම නිසා ඔවුන්ට එහි විසිය හැකි වූයේ හිරකරුවන් ලෙසය.

අවසානය දක්වා ම හබිබුල්ලා අමාරුවෙන් නමුත් මධ්‍යස්ථභාවය රැකගෙන සිටියේය. හෙතෙම 1919 පෙබරවාරි 19 දින රාත්‍රියේ ජලාලාබාද්හි යුද කඳවුරක දී සාහසික මරණයකට ගොදුරු විය. ඉක්බිති අමීර්ගේ සහෝදරයකු වූ නස්රුල්ලා ඛාන් ඇෆ්ඝන් අමීර් බවට පත් විය.

==

අමනුල්ලා

==

(මේ ශීර්ෂය යටතේ ද බලන්න.) නස්රුල්ලා ඛාන්ට අමීර් පදවිය ඉසිලීමට ඉඩ ලැබුණේ සදිනක් පමණි. කාබුල්හි ආණ්ඩුකාර පදවිය දරමින් සිටි, නැසීගිය අමීර්ගේ තෙවැනි පුත්‍ර අමනුල්ලා යුද හමුදාවේ සහාය ලබා තමා කාබුල්හි අමීර් හැටියට ප්‍රකාශ කෙළේය. නස්රුල්ලා ද අමනුල්ලාගේ දෙටු සොහොයුරා ද අමනුල්ලා අමීර් හැටියට පිළිගත්හ.

1919 දී මහා බ්‍රිතාන්‍යයට විරුද්ධව යුද්ධ ප්‍රකාශ කළ හෙතෙම ඉන්දියාවට ආක්‍රමණික සේනා යැවීය. තෙවැනි ඇෆ්ඝන් යුද්ධය නමින් හැඳින්වෙන මේ යුද්ධයේ දී අමනුල්ලාගේ සේනාවෝ පැරදුණාහ. බ්‍රිතාන්‍ය ඉන්දියානු භටයෝ කයිබර් දුර්ගය අසල ඩැකා ප්‍රදේශය අල්ලාගත්හ. අමනුල්ලා සාමයට කැමති වූයෙන් දෙපක්ෂය අතර 1919 අගෝස්තු මාසයේ දී ගිවිසුමක් අත්සන් කරන ලදි. මේ ගිවිසුම අනුව මෙතෙක් ඉංග්‍රීසි ආණ්ඩුව විසින් ඇෆ්ඝන් අමීර්වරුන්ට ගෙවන ලද ආධාර මුදල නවත්වන ලදි. එහෙත් අමනුල්ලාගේ අවශ්‍යතම පරමාර්ථයක් ද මේ ගිවිසුම නිසා ඉටු විය. එනම් ඇෆ්ඝන් රාජ්‍යයේ විදේශ සම්බන්ධතාවනට බ්‍රිතාන්‍ය ඉන්දියාවේ ඇඟිලි ගැසීම නතර වීමය. මහා බ්‍රිතාන්‍යය හෝ වෙන යම් රටක් හෝ සමඟ කෙළින් ම ගනුදෙනු කිරීමේ අයිතිය ඔහුට දෙන ලදි. මේ නිසා ඇෆ්ඝනිස්ථානය විදේශීය බැමිවලින් නිදහස් කරගත් වීරයා හැටියට අමනුල්ලාට විශාල කීර්තියක් අත් විය. 1921 දී හෙතෙම රුසියාව, තුර්කිය හා මහා බ්‍රිතාන්‍යය ද සමඟ ගිවිසුම් ඇති කරගත්තේය. ඉක්බිති මහා බ්‍රිතාන්‍යය, රුසියාව, ප්‍රංසය, ඉතාලිය, ජර්මනිය, තුර්කිය, ඉරාකය ආදි රටවල් සමඟ තානාපති සම්බන්ධකම් ඇති කරගත් ඇෆ්ඝනිස්ථානය 1923න් පසු සම්පූර්ණ නිදහස් රාජ්‍යයක් හැටියට පිළිගනු ලැබීය.

1922-25 කාලයේ දී ඇෆ්ඝනිස්ථාන දේශසීමා හා සම්බන්ධ ට්‍රාන්ස්-ඔක්සස් හා ට්‍රාන්ස්-කැස්පියන් ප්‍රදේශවල සෝවියට් බොල්ෂෙවික් කටයුතු දියුණු වන්නට විය. මේ ප්‍රදේශ හා ඇෆ්ඝනිස්ථානය අතර දේශසීමා අවුල් ඇති වන්නට ද විය. 1926 දී රුසියන් බොල්ෂෙවික්වරු දර්කාබාද් දේශසීමාවෙන් ඇතුළු වී ඇෆ්ඝන් මුරපොළක් යටත් කරගත්හ. මේ සිද්ධියෙන් පසු රුසියාව හා ඇෆ්ඝනිස්ථානය අතර ගිවිසුමක් ඇති විය. දෙරට අතර ආක්‍රමණයන් නතර කිරීමට මෙයින් ගිවිස ගන්නා ලදි.

රටේ නොයෙකුත් ප්‍රතිසංස්කරණ හා වෙනස්කම් ඇති කිරීමට ක්‍රියා කළ අමනුල්ලා හිතුවක්කාර පාලකයෙක් විය. මේ නිසා රටේ දියුණුවට බාධා ඇති විය. එමෙන් නොසන්සුන්කම් ද ක්‍රමයෙන් වැඩි වන්නට විය. 1927 දී අමනුල්ලා රජ සිය දේවිය ද සමඟ යුරෝපා සංචාරයක යෙදුණේය. 1928 දී පෙරළා සිය රට පැමිණි ඔහු තුර්කිය, පර්සියාව ආදි රටවල තමන් දුටු ප්‍රතිසංස්කරණ තම රටේත් ඇති කරලීමට වෑයම් කෙළේය. බටහිර සංස්කෘතියේ විවිධ අංගයන් එක්වරට ම ඇති කිරීමට වැර ගත්තේය. ඉස්ලාම් පූජක පක්ෂය බෙහෙවින් විරුද්ධ වූ ස්ත්‍රී අධ්‍යාපනය ආදි විපර්යාසයන් ඇති කිරීමට ගත් ප්‍රයත්න නිසා රටේ විශාල කැරැල්ලක් ඇති විය. මෙහි ප්‍රතිඵලයක් වශයෙන් 1929 දී ඔහුට ඇෆ්ඝන් සිහසුන හැරදමා යෑමට සිදු විය.

මේ අතර බවා-ඉ-සකාවෝ නම් හොරදෙටුවෙක් රාජසේනාවන් පරදවා කාබුල් නගරයට පහර දී එය යටත් කරගති. අමනුල්ලා පලායද්දී සිය සොහොයුරු ඉනයතුල්ලා සිහසුනට නම් කොට ගිය නමුත් බවා-ඉ-සකාවෝ, හබිබුල්ලා ඝාසි යන නමගෙන, මසක් රජකම දැරීය. මේ අතර නදීර් ඛාන් නමැති රාජකුමාරයෙක් හබිබුල්ලා ඝාසි නසා බලයට පැමිණියේය.

නදීර් ෂා

1929 ඔක්තෝබර් 15 දින රජබවට පත් නදීර් (ඛාන්) ෂා ඉංග්‍රීසින්ගේත් ආධාර ලැබ සංවර්ධන කටයුතු හා ප්‍රතිසංස්කරණයන් ද විශාල යුද්ධ හමුදාවක් ගොඩනැඟීමේ කටයුතු ද කිරීමෙහි යෙදුණේය. රුසියන්, පංජාබි ආදි විදේශිකයන්ගේ උසිගැන්වීමෙන් රටේ තැන තැන ඇති වූ කැරලි කීපයක් ම මැඩපැවැත් වූ මෙතෙම 1933 දී සාහසිකයකු විසින් මරන ලදි.

නදීර් ෂාගේ මරණින් පසු ඔහු පුත් මහමත් සහීර් ෂා රජ විය. මොහුගේ කාලයේ දී ජර්මන් ආධාර ලැබ කර්මාන්ත දියුණුවට වැඩ සලසන ලදි. අධ්‍යාපනයේ දියුණුවක් ද දක්නා ලදි. 1934 දී ඇෆ්ඝනිස්ථානය ජාතීන්ගේ සංගමයේ සාමාජිකත්වය ලද්දේය. 1930 දී ලේඛනගත ආණ්ඩු ව්‍යවස්ථාවක් එරට පළමුවරට ඇති විය. එය 1937 හා 1938 යන වර්ෂවල දී සංශෝධනය කරනු ලැබීය. 1940 දී රජුට විරුද්ධ අසාර්ථක කුමන්ත්‍රණයක් විය.

II ලෝක මහා යුද්ධය හා ඉන් පසු

1939 දී ඇති වූ ලෝක සංග්‍රාමයේ දී ඇෆ්ඝනිස්ථානය පෙර මෙන් ම මධ්‍යස්ථභාවය ප්‍රකාශ කර සිටියේය. එසේ කෙළේ ආර්ථික වශයෙන් ජර්මනියෙන් ලද ආධාර නිසා එරට අමනාප කරගැනීමට අකැමැති වූ නිසාය. එහෙත් එංගලන්තයේ හා රුසියාවේ බලකිරීම් නිසා 1941 දී තානාපති සේවයේ සිටි අය හැර සෙසු දෙසියයක් පමණ වූ ජර්මන් පාක්‍ෂික ජාතිවලට අයත් ජනයා ඇෆ්ඝනිස්ථානයෙන් පිටමං කරනු ලැබූහ. යුද්ධයේ අවසානය දක්වා ම ඇෆ්ඝන් රාජ්‍යය අමාරුවෙන් වුව ද ස්වකීය මධ්‍යස්ථ ප්‍රතිපත්තිය රැකගත්තේය. මේ නිසා එරටට 1945 දී සැන් ප්‍රැන්සිස්කෝහි ලෝක සාමය රැකගැනීම උදෙසා පැවැත්වූ ජාත්‍යන්තර රැස්වීමට ආරාධනා නොලැබුණේය. එහෙත් 1946 දී ඇෆ්ඝනිස්ථානය එක්සත් ජාතීන්ගේ මණ්ඩලයේ සාමාජිකත්වය ලැබුවේය. එම වර්ෂයේ දී සෝවියට් රුසියාව හා ඇෆ්ඝනිස්ථානය අතර දේශසීමා වෙනස් කරගැනීම සඳහා දෙරට අතර සම්මුතියක් ඇති විය. මේ අනුව ඇෆ්ඝනිස්ථානය කුෂ්කා නම් ප්‍රදේශය තුර්කි සෝවියට් සමූහාණ්ඩු ප්‍රදේශයට දී ඒ වෙනුවට කුඩා කොදෙව් දෙකක් ද යම් යම් පහසුකම් ද ලබාගත්තේය.

1932 සිට ආර්ථික සංවර්ධනය උදෙසා කර්මාන්ත දියුණුව පිණිස විදේශ ආධාර ද ඇතිව ක්‍රියා කරගෙන යන නමුත් ඇෆ්ඝනිස්ථානය ආර්ථික හා සමාජ තත්ත්වය අතින් දියුණුවෙන් ඉතා අඩු රටකි. 1940 දී කාර්මික සංවර්ධනය උදෙසා පස් අවුරුදු සැලැස්මක් අරඹන ලදි. ගමනාගමන පහසුව ඇති කිරීම, ජලවිදුලි බලය නිපදවීම, රෙදිවිවීම හා සීනි සෑදීම ආදි කර්මාන්තයන්හි විශාල වශයෙන් යෙදීම ආදිය ගැන ආණ්ඩුව මහත් උනන්දුවකින් ක්‍රියා කරගෙන යනු ලැබේ. අධ්‍යාපන දියුණුව උදෙසා පැරණි මතධාරීන්ගේ විරුද්ධත්වය නොතකා විවිධ විද්‍යාලයන් අරඹා තිබේ.

කලා ශිල්ප

ඇෆ්ඝනිස්ථානයේ පැරණි සංස්කෘතික මධ්‍යස්ථාන පිළිබඳ සාක්ෂි පුරාවිද්‍යාත්මක ගවේෂණයන්ගෙන් ලැබී තිබේ. 1959 වන තෙක් සාරාගනු ලැබූ ස්ථාන අතුරෙන් ඉතා වැදගත් සේ ගිණිය හැක්කේ කන්දහාර් නගරයට උතුරින් පිහිටි මුන්ඩිගක් නමැති ස්ථානයයි. මෙහි යට පස් තට්ටුවේ තිබී සොයා ගන්නා ලද වස්තු අතර දේශීය සම්ප්‍රදායානුකුල කලා කෘතීන් මෙන් ම කුල්ලි ආදි ඉන්දියානු මධ්‍යස්ථානයන්ගේ බලපෑමට හසු වූ කලා කෘතීහු ද වෙත්. මැද පස් තට්ටුවේ සැඟවී තිබී සාරාගන්නා ලද මන්දිරයන්ගේ නටබුන්වලින් හා වෙනත් කෘතීන්ගෙන් දැක්වෙන්නේ ඉරාන බලපෑමකි. සොයාගෙන ඇති බඳුන් අතර බලුකිස්ථානයේ මෝස්තර අනුව හැඩගැසූ ඒවා ද වේ. උඩ පස්තට්ටුවට අයත් නටබුන්වලින් හරප්පා සංස්කෘතියෙහි බලපෑම දැක්වේ. කලක් අත්හැර දමන ලද මෙම නගරය පසුව ඉන්දු මිටියාවතේ ජන කොට්ඨාසයක් විසින් වාසභූමි කොටගනු ලැබීම ඇතැම් විට මීට හේතුව විය හැකිය. මෙම ස්ථානයේ තිබී මහාමාතෘ දේවතා රූපයක් හමුවීම මෙම ස්ථානය පැරණි කල පටන් ම ඉන්දියාව හා ඉරානය අතර පිහිටි මධ්‍යස්ථානයක් සේ සැලකීමට සාධකයක් කොටගනු ලැබේ. නද්-ඉ-අලි නම් ස්ථානයේ තිබී සොයාගන්නා ලද පුරා වස්තුවලින් හෙළිවන්නේ පසුකාලයේ සිතියානු ආක්‍රමණයක් වූ බව හා දක්ෂිණ රුසියානු බලපෑම් මෙහි තුබුණු බවයි. මේ පිළිබඳ වැදගත් සාක්ෂියක් කොටගනු ලබන්නේ දිගු කෙමිවලින් යුත් බඳුන්ය. දැනට සොයාගෙන ඇති තොරතුරු අනුව ක්‍රි.පූ. 3000 පමණේ සිට ඇෆ්ඝන් ප්‍රදේශය විවිධ සංස්කෘතීන් එකට හමු වූ ස්ථානයක්ය යන මතය පිළිගත හැකිය.

ඓතිහාසික යුගය ඇකිමේනියානු ආධිපත්‍යයෙන් පටන් ගැනෙතැයි සිතිය හැක. මේ යුගයේ ද කර්මාන්ත හා කලා පිළිබඳ විදේශික සංවිධානයක් ඇෆ්ඝනිස්ථානයේ වූ බව පෙනේ. ඉන්දු-ග්‍රීක හා ග්‍රීක-බැක්ට්‍රියානු ජනයාගේ නැඟීම හා සමග නැගෙනහිර ඇෆ්ඝනිස්ථානය යාවනික ප්‍රදේශයක් විය. ඇෆ්ඝනිස්ථානයේ කොටසක වූ මෙම යාවනික පදනම මත ග්‍රීක හා බෞද්ධ කලා සම්ප්‍රදායයන්ගේ සංකලනයක් වන සුප්‍රසිද්ධ ගාන්ධාර කලාව බිහිවිය. එහෙත් මෙයට වෙනස් මතයක් ඉදිරිපත් කරන මෝටිමර් වීලර් ගාන්ධාර කලාව ඉන්දු-රෝම කලාවන්ගේ සංකලනයකැයි කියයි (ඉන්දු-ග්‍රීකයෝ බ.).

කුෂාණ යුගය උදා වන විට ඇෆ්ඝනිස්ථානයේ බොහෝ පෙදෙස්වල ඉන්දු-ග්‍රීක කැටයම් ශිල්පය හා ගෘහනිර්මාණ ශිල්පය පැතිර ගොස් තිබිණි. එසේ වුව ද ඉන්දු-ග්‍රීක කලා සම්ප්‍රදායට වෙනස් වූ වෙන ම කලා සම්ප්‍රදායක් පාලක ජාතීන් අතර ප්‍රචලිතව තිබුණේ යයි ද එය කුෂාණ කලා සම්ප්‍රදායක් ලෙස හැඳින්විය හැකි යයි ද සමහරු විශ්වාස කරත්. ඇෆ්ඝනිස්ථානයේ ප්‍රාදේශික ප්‍රතිමා ආදියෙහි ග්‍රීක ලක්ෂණ මෙන් ම කුෂාණ ලක්ෂණ ද ඇතැයි විශ්වාස කරනු ලැබේ. ගාන්ධාර සම්ප්‍රදාය බිහි කිරීමෙහි ලා කුෂාණ කලාවෙන් සැලසුණු සේවය මථුරා නගරයේ දක්නා ඇතැම් පිළිමවලින් වටහා ගත හැකිය.

බෙග්‍රම්හි කැණීම්වල දී රෝම-මිසර හා රෝම-සිරියානු වීදුරු බඩු ද ග්‍රීක ලෝකඩ කෘති (bronzes) හා ඇලෙක්සැන්ඩ්රියානු ලෝහ කෘති ද ඉන්දියානු හා චීන කෘතීන් අතර දක්නට ලැබිණ. මේ සා විවිධත්වයක් ඇති වීමට හේතුව මෙම ප්‍රදේශය ගමනාගමන මධ්‍යස්ථානයක් වීම යයි සිතිය හැකිය. මේවා එක ම කාලපරිච්ඡේදයකට අයත් කෘතීන් ලෙස සලකනු නොලැබේ. ඇෆ්ඝන් ප්‍රදේශය හා රෝම-ග්‍රීක සංස්කෘතීන් අතර වූ සම්බන්ධය මෙම කෘතීන්ගෙන් මොනවට පැහැදිලි වේ. කුෂාණ හා රෝම-ග්‍රීක රාජ්‍යයන් අතර වූ ගමනාගමනය හේතු කොටගෙන ගාන්ධාර කලාව පෝෂණය වූ බව පැහැදිලිය. තවද පැරණි ඉන්දියානු හා චීන සම්ප්‍රදායයන්ගෙන් ද එය පෝෂිත විය.

ගාන්ධාර සම්ප්‍රදායට අයත් ගෘහනිර්මාණ ශිල්පය ඇෆ්ඝනිස්ථානයේ දී ප්‍රාදේශික ලක්ෂණයන්ගෙන් නොසැදී මුල් ස්වරූපයෙන් ම පැවති බව පෙනේ. ස්තූපය හා වට ටැම් නිදසුන් වශයෙන් දක්විය හැකිය.

කුෂාණවරුන්ගේ බලය මඬිමින් ආ සැසේනියානු ආක්‍රමණයන්ගෙන් පසුව එම ජාතිකයන්ට අයත් සම්ප්‍රදායයන් භාවිත වූ බවට ලකුණු ඇත. අටපට්ටම් සැලැස්මකට අනුව මන්දිර ඉදි කිරීම පිළිබඳ රෝම-බයිසැන්ටයින් ගෘහ නිර්මාණ ශිල්පක්‍රමය ද සැසේනියන් බලපෑම අනුව සිදු වූවකි.

සැසේනියන් යුගයේ ඇෆ්ඝන් කලා අතර මූර්ති ලක්ෂණ හා ශෛලීන් අතින් තක්ෂශිලාවෙහි සුධාලේප (stucco) සැරසිලිවලට අනුරූප වූ සුධාලේප සැරසිලි දක්නට ලැබේ. මෙම සැරසිලි බෞද්ධ-ඉරාන සම්ප්‍රදායන්ට අයත් යයි කිව හැක. බෞද්ධ සිතුවම් ඇඳීමෙහි දී නියම සැසේනියානු මෝස්තර හා සංකේත වරදවා යොදා තිබේ. බාමියන් නගරයෙහි සමහර පිළිම ඇතැම් කුෂාණ පිළිම සිහියට නංවයි. එහි ඇති අඩි 175ක් උස් සුප්‍රසිද්ධ බුදු පිළිමයෙහි භාරතීය බලපෑම පිළිබිඹු වේ.

මෙම යුගයෙහි බෞද්ධ ඉරාන සම්ප්‍රදාය හැර තවත් සම්ප්‍රදායයෝ දක්නට ලැබෙත්. සැසේනියන්-ගුප්ත සම්ප්‍රදාය යනුවෙන් කිසිවිටෙක හැඳින්වෙන සම්ප්‍රදාය මීට නිදසුනකි. බාමියන් නගරය අසල ෆොන්ඩුකිස්ථාන්හි සිතුවම් හා අගනා කැටයම් මෙම සම්ප්‍රදායට අයත් වේ.

ෆොන්ඩුකිස්ථානයේ ස්වර්ණමය යුගයට අනතුරුව ඇති වූ අරාබි ආක්‍රමණයන් හේතු කොටගෙන ඇෆ්ඝනිස්ථාන කලාවේ ඉස්ලාම් යුගයක් බිහි විය. චන්ද්‍රාපීඩ හා ලලිතාදිත්‍ය යන අධිරාජයන්ගේ කාශ්මීර අධිරාජ්‍ය සමයෙහි පශ්චාත්කාලීන ගුප්ත සම්ප්‍රදායයෝ ද ඇෆ්ඝනිස්ථානයට ඇතුළු වූහ. මහිෂමර්දිනී නමින් හැඳින්වෙන කිරිගරුඬ පිළිමය මෙම බලපෑම අනුව නිර්මාණය වූවකි. ඉන්දු- ඉරාන කලාව හා මිශ්‍ර වූ ඉස්ලාම් කලාව අතිශයින් ජීවමාන කලාවක් විය.

ඝස්නෙවිඩ් රාජවංශයේ නැඟීමත් සමඟ බෞද්ධ වස්තු විෂය කොටගත් මධ්‍ය ආසියා සම්ප්‍රදායට අයත් කලා ඇෆ්ඝනිස්ථානයේ ඇති වන්නට විය. ලෂ්කාරි බසාර්හි ඝස්නෙවිඩ් මාළිගයෙහි භිත්තිවල අඳින ලද මුර භට පේළිවලින් මෙය සනාථ වේ. මෙම යුගයේ දී ඉන්දියානු බලපෑම බෙහෙවින් දක්නට ලැබුණේ ගෘහනිර්මාණ ශිල්ප විෂයයෙහිය. එ ද උපයෝගී කොටගන්නා ලද ද්‍රව්‍ය, වස්තූන්ගේ ප්‍රමාණය හා ලක්ෂණ ආදියෙහිය. ඉන්දියානු ලක්ෂණ මුලින් ම දක්නට ලැබුණේ ඝස්නිහි මහමුද්ගේ සොහොනෙහි යයි කියනු ලැබේ. ඝස්නෙවිඩ් සම්ප්‍රදායයන් සෙල්ජුක් (බ.) කලාව කෙරෙහි බලපෑවේය. ළඟ දී සොයාගන්නා ලද ඇතැම් ඝස්නෙවිඩ් කිරි ගරුඬ පිළිමවල සැසේනියන් ලක්ෂණ ද දක්නට ලැබේ.

සෙල්ජුක් කලා පිළිබඳ ව්‍යාපාරයන් හේතු කොටගෙන ප්‍රසිද්ධියට පත් නැගෙනහිර ඉරානය මෙන් ම ඒ අවට ඇෆ්ඝන් පළාත් ද යථෝක්ත කලාවේ බලපෑමට උදක් ම යටත් විය. එහෙත් ඇෆ්ඝනිස්ථානයේ ඉස්ලාම් කලාව නිවහල් කලාවක් නොවේ යයි කිව නොහැක.

හිරාත්හි රෙදි මෝස්තර, ගෘහ නිර්මාණ ශිල්පය හා වෙනත් කලාත්මක නිදසුන්වලින් දැක්වෙන්නේ ඉරාන සම්ප්‍රදායට අයත් ලක්ෂණය.

විසිවන ශතවර්ෂයේ මුල හරියේ දී ඉදි කැරුණු ඇෆ්ඝන් මැදුරු හැරුණු විට වර්තමාන නාගරික ශිෂ්ටාචාරය හා සම්බන්ධ බටහිර ක්‍රමයේ මැදුරු ද වර්තමාන ඇෆ්ඝනිස්ථානයේ දක්නා ලැබේ. මෙම ක්‍රමය ස්වදේශීය ක්‍රම හා මිශ්‍රව ස්වදේශීය ස්වරූපයක් ගැනීමට තව කලක් ගතවනු ඇත.

පොත්පත්

The Cambridge History of India, Vol. VI

Sykes, Sir P. M. - History of Afghanistan

Fraser-Tytler, Sir W. K. - Afghanistan

"http://encyclopedia.gov.lk/si_encyclopedia/index.php?title=ඇෆ්ඝනිස්ථානය&oldid=10952" වෙතින් සම්ප්‍රවේශනය කෙරිණි