"ඌව පළාත" හි සංශෝධන අතර වෙනස්කම්

සිංහල විශ්වකෝෂය වෙතින්
වෙත පනින්න: සංචලනය, සොයන්න
('මෙය 1886 පෙබරවාරි මස 1 දින සර් ආතර් ගෝඩන් ලංකාණ්ඩු...' යොදමින් නව පිටුවක් තනන ලදි)
 
 
46 පේළිය: 46 පේළිය:
 
නවීන කර්මාන්තයක් වශයෙන් ඌවේ පිහිටා ඇත්තේ මහියංගණ උළු ගඩොල් කර්මාන්තය පමණි. මෑතක දී අරඹා ඇත්තා වූ ප්‍රදේශීය සංවර්ධන මණ්ඩල මගින් ඌවේ ගෘහකර්මාන්ත වශයෙන් කඩදාසි නිපදවීම ආදි සුළු කර්මාන්ත දියුණු කෙරෙනු ඇතැයි බලාපොරොත්තු විය හැකිය.
 
නවීන කර්මාන්තයක් වශයෙන් ඌවේ පිහිටා ඇත්තේ මහියංගණ උළු ගඩොල් කර්මාන්තය පමණි. මෑතක දී අරඹා ඇත්තා වූ ප්‍රදේශීය සංවර්ධන මණ්ඩල මගින් ඌවේ ගෘහකර්මාන්ත වශයෙන් කඩදාසි නිපදවීම ආදි සුළු කර්මාන්ත දියුණු කෙරෙනු ඇතැයි බලාපොරොත්තු විය හැකිය.
  
(කර්තෘ: [[ඇස්.කේ. මැන්ඩිස්]])
+
(කර්තෘ: [[සෝමා කුමරි මැන්ඩිස්]])
  
 
== ඉතිහාසය ==
 
== ඉතිහාසය ==

10:28, 7 අප්‍රේල් 2026 වන විට නවතම සංශෝධනය

මෙය 1886 පෙබරවාරි මස 1 දින සර් ආතර් ගෝඩන් ලංකාණ්ඩුකාරතුමාගේ ප්‍රකාශ පත්‍රයෙන් ලංකාවේ වෙන ම පළාතක් වශයෙන් නම් කොට වෙන් කරනු ලැබීය. කෝල්බ්රුක්ගේ පළාත් බෙදීම් අනුව නැගෙනහිර පළාතට අසු වූ බින්තැන්න ද දකුණු පළාතට අසු වූ වෙල්ලස්ස, වැල්ලවාය හා බුත්තල ද මධ්‍යම පළාතට අසු වූ බදුල්ල දිස්ත්‍රික්කය ද ඒ ඒ පළාත්වලින් වෙන් කොට ඌව පළාතට එක් කරනු ලැබීය. මෙසේ එතෙක් පැවති පළාත් හත වෙනුවට අටක් ඇති විය. ඌව පළාතේ නිරිත දිගට මායිම් වන්නා වූ සබරගමු පළාත පිහිටුවන ලද්දේ මීට තුන් අවුරුද්දකට පසුවය.

විශාලත්වය හා පාලන කොට්ඨාස

නැගෙනහිර, මධ්‍යම, සබරගමු හා දකුණු යන පළාත්වලින් වට වූ මෙය ව.සැ. 3,277, 1/8ක් විශාලය. මෙයින් ව.සැ. 32ක් පමණ වැව් ආදි අභ්‍යන්තර ජලාශයන් සඳහා වෙන් වී ඇත. විශාලත්වය අතින් මෙය ලංකාවේ පළාත් අතුරෙන් තෙවැන්නයි. 1957 වන තුරු මුළු ඌව පළාතට ම පාලන දිස්ත්‍රික්කයක් වශයෙන් තිබුණේ බදුලු දිස්ත්‍රික්කය පමණි. එහෙයින් ඇතැම් විට මෙය බදුලු පළාත නමින් ද හඳුන්වනු ලැබීය. 1957 දී ඌව පළාත බදුලු හා මොනරාගල යන දිස්ත්‍රික්ක දෙකකට බෙදන ලදි. ඌව පළාතේ අගනුවර බදුල්ලය.

මෙහි එක ම මහ නගර සභා ප්‍රදේශය ද බදුල්ල පමණි. බණ්ඩාරවෙල හා හපුතලේ යන ප්‍රදේශ නගර සභා පෙදෙස්ය. පස්සර, වැලිමඩ, ලුනුගල හා මොනරාගල මෙම පළාතේ පිහිටි සුළු නගර සභා ප්‍රදේශයෝයි. මහියංගණය, බදුල්ල, සොරණාතොට, ඌව-පරණගම, වැලිමඩ, බණ්ඩාරවෙල, හපුතලේ හා මොණරාගල යයි ඌව පළාතේ ඡන්ද කොට්ඨාස අටක් තිබේ.

භූලක්ෂණ

භූගෝලීය වශයෙන් ඌව පළාතේ බටහිර දිග උස් කඳුකරය ඉහළ ඌව නමින් ද ඒ අවට දකුණු, නැගෙනහිර හා උතුරුදිග ප්‍රදේශය පහළ ඌව නමින් ද හඳුන්වනු ලැබේ. ඉහළ ඌව ප්‍රදේශය මුහුදු මට්ටමේ සිට අඩි 1,000කට වඩා උසය. ඌව පළාතේ බටහිර සීමාව ඔස්සේ පිහිටි හෝටන් තැන්න, විල්සන් තැන්න, හපුතලේ කඳු ආදි පෙදෙස් සාමාන්‍යයෙන් මුහුදු මට්ටමේ සිට අඩි 3,000-6,000 දක්වා උසය. හපුතලේ කඳුවලට දකුණින් වූ කොස්ලන්ද ප්‍රදේශය ද නැගෙනහිරින් වූ නැගෙනහිර වේදිකාව නමින් වෙන් කර දක්වන ප්‍රදේශය ද මුහුදු මට්ටමේ සිට උසින් අඩි 1,000-3,000 අතර වූ සානු ප්‍රදේශයෝයි. මීට උතුරු දිගින් වූ නමුණුකුළ (6,679'), ලුණුගල (4,438') හා දොරපොතගල (4,964') කඳු ද මුහුදු මට්ටමේ සිට අඩි 4,000කට වඩා උස් වූ කඳු ප්‍රදේශයෝයි. මේ අනුව බටහිර දිගින් උස් තැනිබිම්වලින් හා දකුණු දිගින් හපුතලේ කඳුවලින් වට වූත් මුහුදු මට්ටමේ සිට සාමාන්‍යයෙන් අඩි 3,000ක් පමණ උස් වූත් ප්‍රදේශයක් ඇත. ඒ ඌව ද්‍රෝණිය නමි. පළින් පළ පිහිටි රවුම් මුදුන් සහිත කඳුගැට ඌව ද්‍රෝණියේ විශේෂ භූලක්ෂණයයි. මෙහි නිරිතදිග කොටස වැලිමඩ සානුව නමින් ද බදුල්ල අවට ප්‍රදේශය බදුලු ද්‍රෝණිය නමින් ද කොටස් කර දැක්වේ. මහාචාර්ය කුලරත්නම් මහතාගේ මතය අනුව මෙම ප්‍රදේශයේ භූවිෂමතාව භූවිද්‍යානුකූලව අවිදූර අතීතයේ දී ඇති වූ සංකීර්ණ විභේද පද්ධතියක ප්‍රතිඵලයකි.

ඌව පළාතේ ඌව ද්‍රෝණියේ සිට බින්තැන්න ඔස්සේ උතුරු දිග සීමාව දෙසටත් නමුණුකුළ කඳුකරයේ සිට බුත්තල ඔස්සේ අග්නිදිග සීමාව දෙසටත් හපුතලේ කඳු හා දක්ෂිණ වේදිකාවේ සිට දකුණු සීමාව දෙසටත් පහළ ඌව නමින් හැඳින්වෙන තැනිතලා බිම් විහිදේ. ඉහළ ඌවේ සිට කොස්ලන්ද සානුව ඔස්සේ දකුණු දෙසටත් නැගෙනහිර වේදිකාව ඔස්සේ ගිනිකොනටත් බැස්ම ඉතා ශීඝ්‍රය. එහෙයින් උස් තැනිබිම්වල සිට ලුණුගල දක්වා විහිදෙන කඳු පංතියෙහි කපොලු පිහිටි ස්ථාන වශයෙන් හපුතලේ හා ඇල්ල වැදගත්ය. මෙපමණක් නොව සමනළ කන්දේ සිට නැගෙනහිර දෙසට විහිදි කඳු ප්‍රාකාරය හරහා යාමට මෙතෙක් මහාමාර්ගයක් හා දුම්රිය මාර්ගයක් වූයේ හපුතලේ කපොල්ල ඔස්සේ පමණි. ස්වභාව සෞන්දර්යය නිසා ම නම් දැරූ ඇල්ල කපොල්ල ඒ ඔස්සේ 1969 දී ඉදිකරන ලද ඇල්ල-වැල්ලවාය මාර්ගය නිසා ප්‍රවාහණ මාර්ගයක් වශයෙන් ද වැදගත් වී ඇත.

පහළ ඌව මුහුදු මට්ටමේ සිට අඩි 1,000කට වඩා උස් නොවූ ප්‍රදේශයකි. පළාත් මායිමේ උතුරු, නැගෙනහිර හා දකුණු සීමාවන් ඇතුළත සැතැපුම් 10-30 අතර පළලින් අඩු වැඩි වන ප්‍රදේශයක් මුහුදු මට්ටමේ සිට උසින් අඩි 500කටත් අඩුය. එසේ වුව ද පහළ ඌවේ තැනින් තැන උසින් අඩි 1,000-2,000 අතර වූ කඳුගැට දක්නට ලැබේ. අඩි 2000කට වඩා උස් වූ මොනරාගල මෙවැන්නකි. භූවිද්‍යානුකූලව දීර්ඝ කාලයක් තිස්සේ ඛාදනයට ඔරොත්තු දීමට තරම් දැඩි වූ පාෂාණ සහිත පෙදෙස් මෙවැනි උස්බිම් වශයෙන් ශේෂව තිබිය දී ඒ අවට ප්‍රදේශය ඛාදිත තලාවක් බවට පත්ව ඇති බව සිතිය හැකිය.

ජලසම්පාදනය

මධ්‍යම කඳුකරයෙන් පටන්ගන්නා ගංහෝ කීපයක් ම ඌව පළාත හරහා ගලා බසී. වැලිමඩ සානුව හා බදුලු ද්‍රෝණිය ඔස්සේ විත් උතුරට ගලන උමා ඔය (බ.), බදුලු ඔය හා ලොග්ගල් ඔය මහවැලි ගඟේ අතුගංගාය. බින්තැන්න ඔස්සේ ගලන උල්හිටි ඔය ද මහවැලි ගඟේ ශාඛාවකි. ඌව පළාත ඔස්සේ ගලා බස්නා අනෙක් ප්‍රධාන ගංහෝ වනුයේ ගල්ඔය, කරඳඔය, හැඩඔය, විල්ඔය, කුඹුක්කන්ඔය, දර්ගෙආර, මැණික් ගඟ, කිරිඳිඔය, මලලඔය හා වලවේගඟේ වම් ඉවුරේ අතුගංගා වන මවුආර ආදියයි. ඌව පළාතේ නිරිතදිග පළාත් සීමාව වළවේ ගඟ ඔස්සේ වැටී ඇත. මෙම ගංගා කීපයක් ම උස් කඳුකරයේ සිට පහළ තැන්නට ඇද හැළෙන හෙයින් ලංකාවේ සුප්‍රසිද්ධ දිය ඇලි කීපයක් ම ඌවේ පිහිටියේ වේ. බදුලුඔයේ දුන්හිඳ ඇල්ල, උමාඔයේ ශාඛාවක පිහිටි කුරුඳුඔය ඇල්ල, කිරිඳිඔයේ ඉහත්තාවේ පිහිටි රාවණා ඇල්ල හා දියලුම ඇල්ල ද මින් සමහරකි.

වර්ෂාපතනය

දේශගුණය අනුව සලකා බලන කල ඌව පළාත ලංකාවේ වියළි කලාපයෙහි කොටසක් ලෙස ගැනේ. පිදුරුතලාගල කඳුවැටිය ප්‍රමුඛ මධ්‍ය කඳුකරය නිසා මෙම ප්‍රදේශය නිරිතදිග මෝසම් සුළඟින් මුවා වී ඇත. ඉන් මඳ වශයෙන් හෝ වැසි පල ලබනුයේ ලුණුගල හා මඩොල්සිම උස් බිම් පමණි. මැයි, ජූනි, ජූලි යන මාසවල දී ඌවේ සමහර පෙදෙස්වලට අඟල් 2-3ක වර්ෂාපතනයක් ලැබුණත් බොහෝ පෙදෙස්වලට වැසි ඇත්තේ ම නැත. මධ්‍ය කඳුකරය උඩින් හමා එන නිරිතදිග මෝසම් සුළඟ ඌව ඔස්සේ හමා යනුයේ වියළි දැඩි සුළඟක් ලෙසිනි. ඌව එසේ නම් වූයේත් මෙම සුළං හඬ අනුව යැයි මතයක් ද ඇත. මෙම කාලයේ දී දැඩි නියඟයෙන් මෙන් ම වියළි සුළඟින් පීඩාවට පත්වන ඌවට සැප්තැම්බර පමණ වන විට විශේෂයෙන් සංවහන වර්ෂා ලැබේ. බොහෝ විට ඔක්තෝබර, නොවැම්බර මාසවල දී වාසුළිවලින් ද මෙම ප්‍රදේශයට අධික වර්ෂාව ලැබේ. වැඩි වශයෙන් ම වර්ෂාව ලැබෙනුයේ නොවැම්බරයේ සිට ජනවාරි, පෙබරවාරි දක්වා හමන ඊසාන දිග මෝසම් සුළඟිනි.

භූමියේ උස්බව නිසා ඉහළ ඌව පහළ ඌවට වඩා වර්ෂාව ලබයි. මුළු ඌව පළාතේ ම සාමාන්‍ය වාර්ෂික වර්ෂාපනතය අඟල් 75ක් පමණ වන නමුදු විශේෂයෙන් ම ඉහළ ඌවේ නිරිතදිග මෝසම් සුළං මූණතෙහි පිහිටි උස්බිම්වල අඟල් 100-125ක් පමණ වේ. මාර්තු-අප්‍රේල් සංවහන වර්ෂා කාලයේ දී ඌව ප්‍රදේශයට අඟල් 4ක 5ක සාමාන්‍ය මාසික වර්ෂාපතනයක් ලැබේ.

භූමියේ උස්බව නිසා ම ඉහළ ඌව පහළ ඌවට වඩා සිසිල්ය. පහළ ඌවේ සාමාන්‍ය වාර්ෂික උෂ්ණත්වය ෆැ. 70°ක් පමණ වන අතර ඉහළ ඌවේ සාමාන්‍ය වාර්ෂික උෂ්ණත්වය ෆැ. 60°ක් පමණ වේ. වැසි අඩු වූ ද උෂ්ණ වියළි සුළං වූ ද මැයි අගෝස්තු මාස ඌවේ ඉතා උෂ්ණ මාස වේ. මෙම කාලයේ දී ඉහළ ඌවේ සාමාන්‍ය උෂ්ණත්වය ෆැ. 65°ක් පමණ වන අතර පහළ ඌවේ සාමාන්‍ය උෂ්ණත්වය ෆැ. 80ක් පමණ වේ. වැසි බහුල ඊසානදිග මෝසම් කාලයේ දී හැර සෙසු කාලවල දී ඌව ප්‍රදේශයේ වාතයෙහි සාපේක්ෂ ආර්ද්‍රතාවෙහි හීනත්වය දේශගුණයේ විශේෂ ලක්ෂණයකි.

වෘක්ෂලතා

ඌව පළාතේ ස්වාභාවික වෘක්ෂලතාදියේ ව්‍යාප්තිය භූමිලක්ෂණ විෂමතාවන්ට හා දේශගුණ රටාවට අනුකූලත්වයක් දක්වයි. ඉහළ ඌවේ වර්ෂාව බහුල වූ කඳු බෑවුම්හි උප-කඳුකර (sub-montane) වෘක්ෂලතාවෝ ස්වාභාවිකව වැඩෙත්. වර්ෂාව අඩුවෙන් ලබන වැලිමඩ සානුවේ හා බදුලු ද්‍රෝණියේ බොහෝ පෙදෙස් හුදෙක් ඉලුක්, මානා ආදි තණබිම්වලින් ම වැසී ඇත්තේය. අප රට එක යායට විහිදි ඉතා ම විශාල තණබිම් වන මේවා පතන් නමින් හැඳින්වේ. මෙම පතන් ඇති වීමට ප්‍රධාන හේතුව ආර්ද්‍රතාවෙන් හීන වූ දේශගුණයය. මෙම පෙදෙස දවමින් ඒ ඔස්සේ හමායන වියළි සුළංවල සැඩබව මැඩීම උදෙසා සුළංබාධක ශාකතීර වගා කිරීම සඳහා මෙන් ම ශාකවර්ධනයට අදාළ වන පරිද්දෙන් භූමියෙහි ආර්ද්‍රතාව ආරක්ෂා කර ගැනීම පිණිස ද ශාක ආවරණ ඇති කිරීම සඳහා විශාල වන රෝපණ ව්‍යාපාර අරඹා තිබේ. යූකලිප්ටස් මේ සඳහා වගා කරන ප්‍රධාන ශාක විශේෂය වේ.

පහළ ඌවේ වියළි තණ බිම් වැඩි වශයෙන් හඳුන්වනු ලබන්නේ 'දමන' හා 'තලාව' යන නම්වලිනි. පහළ ඌවේ වියළි කලාපීය වනාන්තර ද බොහෝය. රණවරා, එරමිණියා, දිවුල්, සියඹලා, පලු, වීර, බුරුත, කළුවර, අරළු, බුළු ආදිය මෙම වනාන්තරයන්හි බහුල ශාකවර්ගයෝය.

ජනගහනය හා අධ්‍යාපනය

විසිවන ශතවර්ෂය ආරම්භයේ දී ඌව පළාතේ මුළු ජනගහනය (1901) 186,700ක් පමණ වී යයි ගණන් බලා ඇත. 1953 වන විට 466,896 දක්වා වැඩි වූ එකී ජන සංඛ්‍යාව 1964 වන විට බදුලු දිස්ත්‍රික්කයේ 533,100ක් ද වන විට මොනරාගල දිස්ත්‍රික්කයේ 132,400ක් ද වශයෙන් 665,500 දක්වා වැඩි විය.

1953 ජනසංගණනය අනුව ඌව පළාතේ ජනගහනයෙන් 48.9%ක් උඩරට සිංහලයෝ වූහ. 35.6%ක් ඉන්දියානු ද්‍රවිඩයෝ වූහ. 8.2%ක් පහතරට සිංහලයන් ද 2.9%ක් ලංකා ඉන්දියානුන් ද 2.9%ක් ලංකා මරක්කලයන් ද 0·5%ක් ඉන්දියානු මරක්කලයන් ද 0.3%ක් ලසිං-යුරේසියානුවන් ද 0.2%ක් මැලේ ජාතිකයන් ද 0.1% යුරෝපීයයන් ද වශයෙන් ගණන් බලා ඇති අතර 0.1%ක් වැදි ජනයා ද 0.3%ක් වෙනත් ජාතීහු ද වූහ.

1964 වන විට මොනරාගල දිස්ත්‍රික්කයේ පාසැල් 153ක ශිෂ්‍ය පිරිස 26,416ක් ද ආචාර්ය පිරිස 829ක් ද වූ අතර බදුලු දිස්ත්‍රික්කයේ පාඨශාලා 456ක ශිෂ්‍ය පිරිස 109,325ක් ද ආචාර්ය පිරිස 3,491ක් ද වූහ. මුළු ඌව පළාතේ ම පිහිටි පාසැල් 609 අතුරින් 332ක් ප්‍රාථමික හා කනිෂ්ඨ වර්ගයට අයත් වූ අතර විද්‍යාලයීය තත්වයේ පාසැල් වූයේ 49ක් පමණි. කලකට පෙර අධ්‍යාපනය අතින් ඉතා නොදියුණු තත්වයක පැවති ඌව පළාත මෑතක සිට දියුණුව කරා යමින් සිටී.

ආර්ථික කටයුතු

ඌව පළාතේ ආර්ථීක කටයුතු ද එහි භූභෞතික විෂමතාවන් අනුව විවිධ ලක්ෂණ දක්වයි. සෞම්‍ය දේශගුණයෙන් යුත් ඉහළ ඌවෙහි 19 වැනි සියවස අග භාගයේ සිට ව්‍යාපාරික වතු කෘෂිකර්මය වැදගත් විය. පළමුවෙන් මෙහි ව්‍යාපාරික වතු බෝගයක් වශයෙන් කෝපි වගා කරන ලද නමුත් වැඩිකල් නොගොස් ම තේ ප්‍රධාන ව්‍යාපාරික වතු බෝගය වශයෙන් දියුණු විය. බදුල්ල, මඩුල්සිම, ලුණුගල, දෙමෝදර, නමුණුකුළ, පස්සර ආදි ප්‍රදේශයන්හි තේ වගාව ඉතා දියුණු වී ඇත. 1971 දී ඌව පළාතේ ලියාපදිංචි කළ තේ අක්කර 93,117ක් විය. කොස්ලන්ද, බෙරගල, පස්සර ආදිය රබර් වගා කරන ප්‍රදේශයෝය. ඉහළ ඌවේ සෙසු ව්‍යාපාරික වැවිලි වන කොකෝවා සහ දුම්කොළ තේ හෝ රබර් තරම් වැදගත් නොවේ. කොකෝවා වැඩි වශයෙන් වවනුයේ රබර් ඉඩම්වල අතුරු බෝගයක් වශයෙන්ය. වැලිමඩ කොකෝවා වගා කරන ප්‍රධාන ප්‍රදේශයයි. ඉහළ ඌවෙහි සෞම්‍ය කලාපීය එළවළු, මල්, පලතුරු වර්ග හා අර්තාපල් වගාව ද කෘෂිකාර්මික ක්‍රමයට දියුණු වී ඇත. බෝංචි, ලීක්ස්, කැරට්, ගෝවා, බීට් ආදි එළවළු වර්ග ද බාබටන් හා ඔක්ස්අයි ඩේසි, කානේෂන්, ඇන්තූරියම් ආදි මල් වර්ග ද පෙයාර්, අලිගැටපේර, ස්ට්‍රෝබෙරි ආදි පලතුරු වර්ග ද වෙළඳාම පිණිස මෙම පෙදෙස්වල වවනු ලැබේ. මෙහි කුඩා කොරටුවල හා ගෙවතුවල ද රට එළවළු වගාව දියුණුය. 1968 දී නිම කරන ලද අඹේවෙල ජල සම්පාදන ව්‍යාපාරය මගින් වැලිමඩ සානුවේ එළවළු වගා කරන්නා වූ ද, කළ හැකි වූ ද, විශාල ප්‍රදේශයකට ජල පහසුකම් සැපයිණ. ඉහළ ඌවෙහි වුව ද පාරිභෝගික බෝග අතුරෙන් වී ප්‍රධාන වේ. ගංගාශ්‍රිත පටු නිම්නවල හා කඳු බෑවුම්වල හෙල්මළු ක්‍රමයට සාදාගත් ලියැදිවල ගැමියන් විසින් වී ගොවිතැන් කරනු ලැබේ.

පහළ ඌව ප්‍රධාන වශයෙන් බින්තැන්න, වෙල්ලස්ස, වියළුව, බුත්තල, වැල්ලවාය යන ප්‍රදේශයන්ගෙන් යුක්ත වේ. ශතවර්ෂ කීපයක් තිස්සේ මෙරට පාලන මධ්‍යස්ථානයන්ගෙන් ඈත්ව පිහිටි නිසා දෝ මෙම පෙදෙසෙහි උතුරුමැද පළාතේ මෙන් කෘෂිකර්මාන්තාදිය ඉතා දියුණුව පැවති බවට සාක්ෂ්‍ය එළවන වාරිමාර්ග පද්ධති ආදිය දුලබය. මෙහි ඇති පෞරාණික වැව් කර්මාන්ත නියං සමයේ දී පළාත්වාසීන්ගේ සාමාන්‍ය ගොවිතැන් ආදි කටයුතු සඳහා මිස විශාල ගොවිබිම් පෝෂණය කිරීම සඳහා ඉදි නොවූ බව සිතිය හැකිය. මෙහි පෞරාණික විශාල වැව් ගණයේ ලා සැලකිය හැකි එක ම වැව සොරබොරය. මෙය බින්තැන්නේ පිහිටියේය. මහා පරාක්‍රමබාහු රජතුමන් විසින් හම්බෙගමු වැව ආදි වැව් කරවා ඌව ප්‍රදේශය දියුණු කළ බව ඉතිහාසයෙහි සඳහන් වේ. දඹදෙණි, කුරුණෑගල, ගම්පොළ ආදි රාජධානි සමයන්හි දී ප්‍රදේශීය පාලකාදින්ගේ තොරතුරු විනා ඌවේ ආර්ථීක කටයුතු සම්බන්ධයෙන් ඉතිහාසයෙහි සඳහන් නොවේ. කෙසේ නමුදු ඌව මෑතක් වන තුරු ම වනගතව පැවැත්තේය. බින්තැන්න, වෙල්ලස්ස ආදි ප්‍රදේශ නොකඩවා ම වැද්දන්ගේ වාසභූමිව පැවැත්තේ ද මේ හෙයිනි.

ඉංග්‍රීසීන්ගේ පාලන සමයේ දී තේ ආදි වතු වගාවන්ට යෝග්‍ය ස්වාභාවික සාධකයන්ගෙන් යුත් වූ ඉහළ ඌව ශීඝ්‍රයෙන් දියුණු විය. 19 වැනි සියවස අග භාගයේ දී සොරබොර, හම්බෙගමුව ආදි ඌවේ පැරණි වාරිකර්මාන්ත කීපයක් ප්‍රතිසංස්කරණය කරන ලද නමුත් එය ද පළාතේ කෘෂිකර්මය නඟාලීමට ප්‍රමාණවත් නොවීය. සුඛදායක නොවූ දේශගුණයක් සහිත පහළ ඌව ප්‍රදේශයෙහි මැලේරියාව, මන්දපෝෂණය ආදියෙන් පෙළුණ ගැමි ජනයාට කෘෂිකාර්මික කටයුතු දියුණු කරගැන්මට ශරීර ශක්තිය ද නොතිබිණ. වැඩි වශයෙන් වැසි කාලය බලා හේන් ගොවිතැන් කිරීමට හා සුළු වශයෙන් වී ගොවිතැන් කිරීමට පමණක් මෙහි ගොවිතැන් කටයුතු මෑතක් වනතුරු ම සීමා වී තිබිණ. ඇත්ත වශයෙන් ජනපද හා සංවර්ධන ව්‍යාපාරයන් යටතේ ගොවිතැන් කෙරෙන පෙදෙස්වල හැර සෙසු හුදකලා ගම්මානයන්හි තවමත් පැරණි හේන් ගොවිතැන් ක්‍රමයට ම ඉරිඟු, කුරක්කන්, මෙනේරි, තල ආදි ධාන්‍ය වර්ග හා වියළි කලාපීය, එළවළු වර්ග පමණක් ගොවිතැන් කරනු ලැබේ. පහළ ඌවේ විශේෂයෙන් ම බිබිල, මොනරාගල ආදි පෙදෙස් දොඩම් වගාවට ප්‍රසිද්ධියක් උසුලයි. සෑම තැන ම පාහේ දෙහි බහුලව ඇත. කැළෑවට වැවී ඇති ගස්වලින් සියඹලා, දිවුල් ආදිය ද අරළු, බුළු, කොහොඹ ඇට, මී ඇට, රණවරා ආදි ඖෂධ වර්ග ද මීපැණි ද රැස් කර අලෙවි කිරීමෙන් මෙම පළාත්වල ගම්මු සුළු ආදායමක් උපයා ගනිති. ‍‍

හෙම්බරව, නාගදීප-මහවැව ඌවේ ම පිහිටි ප්‍රධාන සංවර්ධන ව්‍යාපාර වේ. සේනානායක සමුද්‍රය ඌව මායිම තුළ පිහිටිය ද ඉන් පල ලබන ගොවි බිම් සියල්ල නැගෙනහිර පළාතට අයත්ය. උඩවලවේ ජලාශයෙහි වම් ඉවුරු සංවර්ධන ප්‍රදේශයෙන් කොටසක් ඌවේ පිහිටා ඇත. ලංකාවේ දකුණු දෙසට ගලන ගංගා සියල්ල සාමූහිකව ප්‍රයෝජනයට ගැන්ම උදෙසා යෝජිත දකුණු ප්‍රදේශ සංවර්ධන සැලැස්ම යම් දිනක ක්‍රියාත්මක කළ හොත් ඌවේ විශාල ප්‍රදේශයකට, විශේෂයෙන් ම ගොවිතැන් සඳහා, අවුරුද්ද මුළුල්ලේ ම ජල පහසුකම් සැපයීමට හැකි වනු ඇත.

නවීන කර්මාන්තයක් වශයෙන් ඌවේ පිහිටා ඇත්තේ මහියංගණ උළු ගඩොල් කර්මාන්තය පමණි. මෑතක දී අරඹා ඇත්තා වූ ප්‍රදේශීය සංවර්ධන මණ්ඩල මගින් ඌවේ ගෘහකර්මාන්ත වශයෙන් කඩදාසි නිපදවීම ආදි සුළු කර්මාන්ත දියුණු කෙරෙනු ඇතැයි බලාපොරොත්තු විය හැකිය.

(කර්තෘ: සෝමා කුමරි මැන්ඩිස්)

ඉතිහාසය

පුරාතනයෙහි දී රුහුණු රටෙහි කොටසක් ලෙස සැලකුණු ඌව ඉංග්‍රීසීන්ගේ පාලන කාලයෙහි දී වෙන ම පළාතක් ලෙස බෙදන ලදි. එය ක්‍රි.ව. පළමුවන සියවසෙහි දී 'හුවාචකණ්ණික' ලෙසත් එකොළොස් වැනි සියවසෙහි දී 'හූව' ලෙසත් හැඳින්විණ.

කඩයිම් පොත්වල සඳහන් වන පරිදි නම්, ඌවේ ඉතිහාසය රාවණ රජු දවස දක්වා දිවෙන්නකි. රාවණ රජුගේ අගනුවර වූයේ වත්මන් ඌවේ අගනුවර වූ බදුල්ලය. එහෙත් පුරාවිද්‍යාත්මක සාධක මගින් තහවුරු වන තෙක් අපට මෙම කරුණු ස්ඵුට නොකළ හැකිය.

මහාවංසයෙහි සඳහන් වන පරිදි බුදුන් වහන්සේ ක්‍රි.පූ. 6 වන සියවසෙහි දී ඌව පළාතේ මහියංගණයට වැඩම කළහ. ක්‍රි.පූ. යුගයට අයත් බ්‍රාහ්මී ලෙන් ලිපියක සඳහන් වන පරිදි එකල ඌව රටියකුගේ හෙවත් ප්‍රදේශීය පාලකයකුගේ පාලනය යටතෙහි පැවැතිණ.

වික්‍රමබාහු (ක්‍රි.ව. 1111-1132) රජු සංඝයා කෙරෙහි උරණ වී බෞද්ධ විරෝධී ක්‍රියා කළ හෙයින් භික්ෂුහු දළදා වහන්සේ හා පාත්‍ර ධාතුව ඌවට වැඩම කරවූ බව වංසකථාවල සඳහන් වේ. මහා විජයබාහු, මහා පරාක්‍රමබාහු හා කීර්ති නිශ්ශංක මල්ල වැනි රජුන් ඌවේ ආගමික හා ආර්ථික දියුණුවට කටයුතු කළ බවට සාධක ඇත.

මහනුවර යුගයේ දී කලෙක ඌව ප්‍රදේශයෙහි පාලන කටයුතු කරන ලද්දේ පළමුවන අදිකාරම් විසිනි. එහෙත් 16 වන සියවසේ අග කොටසේ දී හා 17 වන සියවසේ දී ඌව අර්ධ ස්වාධීන රාජධානියක්ව පැවති බව පෙනේ. 1557 දී ඌව පාලනය කළ අධිපතියා කේරෝෂ් හඳුන්වන්නේ 'කුමාරයා' යනුවෙනි. 1613 සෙනරත් රාජ සභාවට සහභාගි වුණු යුවරජ ඈපා මාපා කුමාරාදීන් අතර ඌවේ පාලක 'කුරුවිට රාල' බාල්දෙයස් විසින් හඳුන්වා ඇත්තේ 'ඌවේ කුමාරයා' හැටියටය. ඌව දිසාවක් වූයේ නම් එහි පාලනය භාර නිලධාරියා හැඳින්වෙන්නේ 'දිසාව' හැටියටය. මේ අනුව මෙසමයේ දී ඌව අර්ධ ස්වාධීන නැතහොත් ප්‍රධාන රාජධානියට යටත් වෙන ම රාජධානියක් වූ බව පෙනේ.

ඌව රාජධානිය ශ්‍රීපාද කන්දේ සිට මඩකලපුව හා මහනුවර මායිම් දක්වා විහිද පැවති බව රිබේරු දක්වා ඇත. පෘතුගීසි ආක්‍රමණවලට බියව පලා ගිය සෙනරත් රජු රක්ෂාවරණය සෙවුයේ ද ඔහුගේ බාල පුත් II වැනි රාජසිංහයන් උපන්නේ ද ඌව ප්‍රදේශයෙහිය. 1629 දී සෙනරත් රජ කුමාරසිංහ කුමරාට ඌව ප්‍රදේශයේ රජ පදවිය පැවරීය. අනතුරුව එහි භාරය ලත් විජයපාල හා රාජසිංහ II යන දෙසොහොයුරන් අතර වූ මතභේදයක ප්‍රතිඵලය වූයේ ඌවේ විජයපාල පෘතුගීසින් වෙත පලායාමත්, ඌව රාජධානිය රාජසිංහ යටතේ මහනුවර රාජ්‍යයට අයත් වීමත්ය.

ඌව ඉංග්‍රීසින්හට අයත් වූයේ 1815 දීය. ඉංග්‍රීසීන් යටතේ ඌවේ ප්‍රථම දිසාපති වූයේ මොණරවිල කැප්පෙටිපොළය (බ.) 1833 දී විල්මට් හෝටන් ආණ්ඩුකාරතුමා ලංකාව කොටස් පහකට බෙදීමේ දී ඌව ප්‍රදේශය ද මධ්‍යම පළාතට ඇතුළත්වන සේ බෙදාලීය. 1886 දී සර් ආතර් ගෝඩන් ආණ්ඩුකාරයා විසින් ඌව පළාත මධ්‍යම පළාතෙන් කඩා වෙන් කොට බින්තැන්න, වෙල්ලස්ස යන දෙපළාත ද එයට ඇතුළත් කරන ලදි.

(සංස්කරණය: 1974)

"http://encyclopedia.gov.lk/si_encyclopedia/index.php?title=ඌව_පළාත&oldid=10733" වෙතින් සම්ප්‍රවේශනය කෙරිණි