"අනේපිඬු (අනාථපිණ්ඩික)" හි සංශෝධන අතර වෙනස්කම්

සිංහල විශ්වකෝෂය වෙතින්
වෙත පනින්න: සංචලනය, සොයන්න
('බුදුරජාණන් වහන්සේ විසින් අග්‍ර උපාසක තන්හි ත...' යොදමින් නව පිටුවක් තනන ලදි)
 
 
27 පේළිය: 27 පේළිය:
  
 
ආවුත්ථං ධම්මරාජෙන පීතිසංජනනං මම" යනාදි ගාථා ප්‍රකාශ කෙළේ දිව්‍යපුත්‍රව උපන් තමා තුළ අනේපිඬු සිටු කළ මෙන් ම බුදුපාමොක් මහසගන කෙරෙහි පවත්නා ප්‍රසාදය පළ කරනු සඳහාය.
 
ආවුත්ථං ධම්මරාජෙන පීතිසංජනනං මම" යනාදි ගාථා ප්‍රකාශ කෙළේ දිව්‍යපුත්‍රව උපන් තමා තුළ අනේපිඬු සිටු කළ මෙන් ම බුදුපාමොක් මහසගන කෙරෙහි පවත්නා ප්‍රසාදය පළ කරනු සඳහාය.
 +
 +
(සංස්කරණය:1963)
 +
[[ප්‍රවර්ගය:අ]]

09:20, 20 ජූනි 2023 වන විට නවතම සංශෝධනය

බුදුරජාණන් වහන්සේ විසින් අග්‍ර උපාසක තන්හි තබනු ලැබූ මොහු සැවැත්නුවර විසූ කීර්තිධර ත්‍යාගශීලි සිටුවරයෙකි. මොහු පිළිබඳ ප්‍රවෘත්ති පෙළ අටුවා පොත්හි පළවෙයි. ඒ අනුව පියමතුරා බුදුරජාණන් වහන්සේගේ කාලයෙහි හංසවතී නුවර කුල ගෙයක උපන් මෙතෙම උන්වහන්සේ විසින් එක්තරා උපසකයකු දායකයන් අතර අගතන්හි තබනු දැක තෙමේත් අනාගත බුදුවරයකුගේ ශාසනයෙහි ඒ තනතුර ලබනු සඳහා ප්‍රාර්ථනා කළේය. එතැන් පටන් පින්දහම් කරමින් සසර සැරිසැරූ හෙතෙම ගෞතම බුදුරජාණන්වහන්සේ වැඩ සිටිය දී සැවැත්නුවර සුමන සිටුවරයාගේ පුත්‍රව උපන. දෙමව්පියන් විසින් මොහුට "සුදත්ත" යයි නම් කරන ලද නමුත් ඔහු වැඩිවිය පැමිණ ගිහිගෙයි වෙසෙමින් නිතර දෙවේලේ අනාථයන්ට ආහාරපානාදියෙන් සංග්‍රහ කිරීමෙහි තත්පර වූ හෙයින් අනාථපිණ්ඩික (අනේපිඬු) නොහොත් අනාථවඩ්ඨක (අනේවඩු) යන ගුණ නාමයෙන් ලෝකයා මොහු හඳුන්වන්නට විය (මනෝරථපුරණි, පපංචසුදනී). අනේපිඬු සිටුතුමා සහ රජගහ නුවර සිටුවරයා දෙමස්සිනෝය. අනේපිඬුහුගේ භාර්යා ව වූ පුණ්ණලක්ඛණා සිටුදේවිය රජගහනුවර සිටුතුමාගේ සොහොයුරියකි (සුලසා ජාතක).

මොහු බුදුන් ලොවට පහළ වූ බව පළමු වරට දැනගත්තේ රජගහනුවර සිටුවරයාගේ නිවෙසෙහි දී ය. ඇසූවන ම ඔහුට බුදුන් දක්නා අදහස ඇති වුව ද රෑ බෝ වූයෙන් පසුදින උදෑසන යාමට ඉටා ගත්තේය. එහෙත් එළිවෙලාය යන හැගීමෙන් රාත්‍රියෙහි තුන්විටක් ම අවදි වූ හෙතෙම තුන්වැනි වර රෑ පාන්දර ම සිටුගෙදරින් පිටත්වූයේ ය. ඔහුට අමුසොහොනක් මැදින් යන්නට වූයෙන් එහි දී භය ඇති වුව ද සීවක නම් යක්ෂයකු විසින් උත්සාහවත් කරන ලදුව ඉදිරියට ගිය ඔහුට සීතවනයෙහි වැඩහුන් බුදුන් දක්නට හැකි විය. උන්වහන්සේ තමාට "සුදත්ත" යයි ආමන්ත්‍රණය කළ හෙයින් මහත් ප්‍රසාදයට පත් වූ අනේපිඬුසිටුවරයා බුදුන් දෙසූ ධර්මය අසා සෝවාන් වී බුදුපාමොක් සඟනට පසුදින දානයට ආරාධනා කළේය, එපවත් ඇසූ රජගහ සිටුවරයා ද බිම්සර රජු ද නියම්ගම් දෙටුවා ද නගරයට අමුතුව ආ ඔහු වෙනුවෙන් තමන් දානය පිළියෙල කරන බව වෙන වෙන ම කියූ නමුදු තමා ගෙන ආ ද්‍රව්‍ය සම්භාරය ඒ සඳහා ප්‍රමාණ යයි කියා ඒ ඉල්ලීම් ප්‍රතික්ෂේප කළේය. පසුදින මහදන් පිරිනමා අවසානයෙහි සැවැත් නුවරට වඩිනු සඳහා බුදුන්ට ආරාධනා කළේය. සිටුවරයා සැවැත්නුවරට වඩින භාග්‍යවතුන්වහන්සේට අතරමග ලැගුම් ගත හැකි වන පරිදි තන්හි තන්හි ආරාම තැනවීමට ස්වකීය යාළුමිත්‍රයන්ට නියම කොට තෙමේ සැවැත් නුවරට ගොස් ජේත කුමාරයාගේ රමණීය මල් උයන මිලට ගැනීමට අටළොස් කෙළක් ද සෙනසුන් කරවීමට අටළොස් කෙළක් ද ධනය විසඳා ජේතවනාරාමය නමින් රමණීය ආරාමයක් කැරැවිය. ආරාම පූජෝත්සවයට ද අටළොස්කෙළක් ධනය විසඳූ සිටුතුමා බුදුරජාණන්වහන්සේ සැවැත්නුවරට වැඩි අවස්ථාවේ උන්වහන්සේ වදාළ පරිදි ජේතවනාරාමය සතර දිගින් ආ නොආ මහ සඟනට පිරි නැමුවේය (චූළවග්ග - සෙනාසනක්ඛන්ධක.)

බුදුරජාණන්වහන්සේ ජේතවනාරාමයෙහි වස් දහනවයක් ම විසූ සේත. උන්වහන්සේගේ ධර්ම දේශනා වැඩි හරියක් වාගේ ජේතවනාරාමයේ දී ම පවත්වන ලද බව ත්‍රිපිටකයෙන් හෙළි වෙයි. තථාගතයන් වහන්සේගේ මේ විශේෂ අනුග්‍රහයට හේතු වූයේ අනේපිඬු සිටුවරයාගේ ගුණගරුකත්වයයි. දිනපතා දෙතුන් වරක් බුද්ධොපස්ථානය සඳහා යෑම ඔහුගේ සිරිත විය. එසේ ගිය ද බුදුන්ට වෙහෙසකැයි සිතා අමුතුව ප්‍රශ්න ඇසීම ආදියට හෙතෙම කැමති නොවීය. ඒ බව දැනගත් තථාගතයන්වහන්සේ "මොහු මා නොරැක්ක යුතු තැන රකිති"යි සලකා ඔහු ගිය හැම විටක ම අමුතු බණක් වදාරන සේක්මය (ධම්මපදට්ඨකථා - අනාථපිණ්ඩික වත්ථු). අංගුත්තර නිකාය චතුක්කනිපාතයෙහි පෙනෙන ගිහිසාමීචි පටිපදා, භෝගාදි මනාප ධම්ම හතර, අත්ථි සුඛාදි සුඛ හතර යනාදි ධර්ම දේශනා එසේ මොහුට වදාළ ධර්මයි. එහෙත් සිටුතුමා බුදුන්ගෙන් ප්‍රශ්න ඇසූ අවස්ථා ද ත්‍රිපිටකයෙහි සඳහන් වෙයි. (අංගුත්තරනිකාය 2 නිපාත). මොහුගේ නිවසෙහි නිබඳ භික්ෂූන් පන්සිය නමකට අසුන් පනවා දන් දෙනු සිරිත විය (ධම්මපදට්ඨකථා - චක්ඛුපාලවත්ථු, ඛදිරංගාරජාතක).

නිතිපතා දන්දීම නිසා ද අනාථ සංග්‍රහ කිරීම නිසා ද තමා දුන් ණය ආපසු නොලැබීම නිසා ද නිදන්ගත වස්තු ජලයෙන් විපතට පත්වීම් ආදියෙන් ද දිළිදු තත්ත්වයට පත් වුව ද මේ සිටුතුමා තුනුරුවන්ට ශක්ති ප්‍රමාණයෙන් පවත්නා දානාමානාදිය නොනවත්වා ම ගෙන ගියේ ය. එය වළක්වන්නට සිටුගෙයට අරක්ගත් එක්තරා මිසදිටු දෙවියකු ද උත්සාහ කොට මොහුට ඒ ගැන කරුණු කී විට හෙතෙම ඔහුට තර්ජනය කොට පලවා හැරියේය. සක්දෙව්රජුගේ උපදෙස් පරිදි ක්‍රියා කළ ඒ දෙවතාවාට සිටුතුමාගේ නැති වූ ධනය ලබාදීමෙන් පසුව ඔහුගෙන් ද බුදුරජුන්ගෙන් ද සමාව ලද හැකි විය. (ඛදිරංගාරජාතකය). දිළිදු වුව ද සත්පුරුෂයන් පින් දහම් අත් නොහරින බව පැහැදිලි කිරීමට බුදුරජාණන්වහන්සේ වේලාම සූත්‍රය (අ.නි.9 නිපාත. ධ.ක. අනාථපිණ්ඩික වත්ථු) හා විසය්හ ජාතකය වදාළ සේක.

ජේතවනාරාමයට බුදුන් වඳින්නට එන බොහෝ දෙනාට උන්වහන්සේ චාරිකාවේ වැඩි අවස්ථාවල දී වැඳ පිදිය හැකි වස්තුවක් නැතිවීමේ පාඩුව වටහා ගත් සිටුවරයා ඒ බව බුදුන්ට සැලකරන මෙන් ආනන්ද තෙරුන්වහන්සේට පැවසූ විට එතෙරුන් එය බුදුන්ට සැල කෙළෙන් බුදුරජාණන්වහන්සේ එය ශ්‍රී මහා බෝධිවෘක්ෂයෙන් බීජයක් ගෙනවුත් එහි රෝපණය කරවීමට අනුදැන වදාළ සේක. අනද තෙරණුවන් මුගලන් මහරහතන්වහන්සේ ලවා ගෙන්වා ගත් බෝ පැළය රෝපණය කරවන ලෙස බිම්සර රජුගෙන් ඉල්ලා සිටි නමුත් රජතුමා එය අනේපිඬු සිටුතුමා අතින් සිදු කරවීය (කාලිංග බෝධි ජාතක). මොහුගේ භාර්‍ය්‍යාව වූ පුණ්ණලක්ඛණා නම් සිටුදේවිය ද දූදරු පිරිස ද දැසිදස්සන් ද කම්කරුවන් ද නිති පතා පන්සිල් රක්නට හා පොහෝදින පෙහෙවස් රක්නට පුරුදුව සිටි බව පෙනෙයි (ධ.ක. කුම්භඝෝසකවත්ථු, සිරිකාලකණ්ණි ජාතක). මොහුට මහාසුභද්දා, චූළසුභද්දා, සුමනා යයි දියණියෝ තිදෙනෙක් (ධ.ක. සුමනාදෙවියා වත්ථු) ද කාළ නම් පුතෙක් (ධ.ක. කාළමාමස්ස වත්ථු) ද වූහ. සිටුදේවිය සේවක සේවිකාවන්ට පවා කාරුණිකව ක්‍රියා කළ බව දාසියක් ඇගෙන් ඉල්ලා ගත් වටිනා මාලයක් පැලඳගෙන ගොස් සොරකු අතට හසුව ඔහු විසින් ආභරණයෙහි ලෝභයෙන් මරන්නට තැත් කළ විට ඇය උපාය නුවණින් ඔහු ළිඳකට තල්ලුකර දමා දිවි රැකගෙන සිටුදේවිය වෙත ගොස් මේ "පලදනාව නිසා මරණයට පත් වූ මා යන්තමින් ගැළවී ආවා" යයි කළ ප්‍රකාශයෙන් එළිවෙයි (සුලසා ජාතක). මහා සුභද්දා චූළ සුභද්දා යන දූවරු දෙදෙන ධර්මාවබෝධ කළ සැදැහැවත් කාන්තාවෝය. අනේපිඬු සිටුවරයා සමග වැලිකෙළියේ පටත් මිත්‍ර වූ ද ඉගෙනනීම කළාවූ ද උග්ගනුවර උග්ග නම් සිටුවරයාගේ පුත්‍රයාට මහා සුභද්දාව පාවා දුන් බවත් ඇය බුදුපාමොක් මහසඟුන සත්‍යක්‍රියා බලෙන් පතිකුලයට පමුණුවා මහදන් දුන් බවත් මනෝරථපූරණී ඒකක නිපාතයේ කුණ්ඩධානථෙරවත්ථුවෙහි සඳහන් වෙයි. උග්ග සිටුහුගේ පුත්‍රයාට පාවා දෙනු ලැබූ චූළසුභද්දා ව යයි ධම්මපදට්ඨකථාවේ චූළසුභද්දා වත්ථුවේ (සද්ධර්මරත්නාවලියේ කුඩාසුභද්‍රාවන්ගේ වතෙහි) සඳහන් වෙයි. එහෙත් මනොරථපුරණි චතුක්කනිපාතයේ චූලසුභද්දාට පාවා දුන්නේ සාකේත නගරයෙහි කාලක සිටුපුත්‍රයාට බවත් ඇය සැමිකුලයට යද්දී ම බුදුන් වෙත එළඹ තමාගේ ආරාධනාවක් ලැබුණොත් එය අනුකම්පාවෙන් පිළිගන්නා ලෙස බුදුන්ට අයැද ගිය බවත් සඳහන් වෙයි.

වැඩිමහලු දියණියන් දෙදෙන විවාහ වූ පසු භික්ෂූන්ට උපස්ථාන කිරීමේ කටයුතු භාර වූ සුමනා කුමරිය සකදාගාමි උපාසිකාවකි. ඇය ළදරු වියෙහි ම මිය යෑම සිටුවරයාට ඉවසිය නොහැකි පාඩුවක් විය (ධ.ක. සුමනාදේවියවත්ථු). ස්වකීය එක ම පුත්‍රයා වූ කාළ බුද්ධෝපස්ථානයෙහි හා ධර්ම ශ්‍රවණයෙහි නොයෙදෙනු දැක ළතැවිල්ලට පත් වූ සිටුතුමා උපායයෙන් ඔහු දමනය කැරැවීය. පළමුව පෙහෙවස් රැක බණ අසා ආවොත් කහවණු සියයක් දෙමියි ඔහුට කීය. කාළ සිටුපුත්‍රයා මුදල් ආශාවෙන් පෙහෙවස් සමාදන්ව බණ අසනු වෙනුවට ආරාමයෙහි මුල්ලක නිදා සිට පසුදින ගෙදර ගියේය. ඔහුට පොරොන්දු මුදල දුන් සිටුතුමා බණපදයක් අසා ආ විට නැවත මුදල් දෙන බව කීය. හේ පසුදින බණ අසා සෝවාන්ව ආවේ බුදුපාමොක් මහසඟන සමගය. (ධ. ක. කාළනාමස්ස අනාථපිණ්ඩිකපුතස්ස වත්ථු). අනේපිඬු සිටුවරයාගේ බෑනා වූ ඛේම සිටුපුත්‍රයා රූපශෝභාවෙන් අනුපම විය. ඔහු පරදාරාවන් කෙරෙහි ඇලීමෙන් මහත් අපකීර්තියට පත්විය. සිටුතුමා විසින් බුදුන් වෙත පමුණුවනු ලැබූ ඛේම සෝවාන් වූයෙන් ඒ විපතින් මිදුණේය (ධ.ක. ඛෙමවත්ථු). සිටුතුමාගේ තවත් බෑනෙක් දූකෙළියෙහි යෙදී මව්පියන් සතු ධනය පවා නැති කෙළේය. සිටුතුමා ඔහුට දුන් අවවාද නිශ්ඵල විය. ඔහුට දුන් ධනය ද විනාශ විය. නැවත නැවතත් පිහිට සොයා තමා වෙත ආ ඔහු දුටු සිටුවරයා ඔහු පන්නා දැම්මේය. හේ අනාථව සිට මිය ගියේ ය. (භද්‍රඝට ජාතක). සාකේත නුවර ධනංජය සිටුවරයාගේ දූ වූ ද විසාඛා මහා උපාසිකාවගේ නැගණියන් වූ ද සුජාතාතොමෝ අනේපිඬු සිටුවරයාගේ පුත්‍රයාට පාවා දෙනු ලැබුවාය. ඕතොමෝ ධන මදයෙන් මත්ව සැඩපරුසව ක්‍රියා කළාය. දිනක් දානයට වැඩි බුදුරජාණන්වහන්සේට ද ඇගේ අඬදබර අසන්නට දක්නට ලැබිණ. උන්වහන්සේ ඇයට යහපත් අයහපත් භාර්යාවන් ගැන ධර්ම දේශනා කළ විට ඕ සෝවාන් වූවාය. ඇය කෙබඳු භාර්යාවක් වනු කැමති දැයි ඇසූ විට මම යහපත් භාර්යාවක් වෙමි" යි ප්‍රතිඥා දුන් සුජාතා තොමෝ එතැන් සිට සුවච ආදර්ශවත් කුලකතක් වූවාය (අංගුත්තර නිකාය 8 නිපාත; සුජාතා ජාතක).

සිටුතුමාගේ දැසිදස්සන් කම්කරුවන් අතර ද ආදර්ශවත් අය වූහ. වරක් චාරිකාවෙහි වඩිනට සූදානම් වූ බුදුරජාණන්වහන්සේගේ ගමන කොසොල් රජුට, අනේපිඬු සිටුහට, විසාඛා උපාසිකාවට පවා නතර කළ නොහැකි විය. එයින් ඒ අය දුක් වූහ. එවිට ඒ බව දැනගත් අනේපිඬු සිටුහුගේ පුණ්ණා නම් දාසියක් බුදුන් වෙත ගොස් වැද තමා පස්සිල් රක්නට පොරොන්දු වන බව පවසා චාරිකා ගමන නතර කරන සේ ආරාධනා කළාය. බුදුහු එය පිළිගත් සේක. සිටුතුමා ඇයට පැහැදී ඇය දාසකමින් නිදහස් කොට සිය දියණි කෙනෙකුගේ තත්ත්වයට පමුණුවාලීය. මෝ තොමෝ පසුව භික්ෂුණියක් ව රහත් වූවාය. (පපංචසුදනී).

සිටුගෙදර කුඩාදරුවන් කම්කරුවන් පවා පොහෝ දින අටසිල් සමාදන් වනු සිරිතක් විය. කම්කරුවන් එදින වැඩ නොකළ ද ඔවුනට බත් වැටුප් දෙනු ලැබීය (මනෝරථපූරණී 1, 234). ඒ බව නොදත් අලුත් කම්කරුවෙක් පොහොදිනක වෙනදා මෙන් වැඩපොළෙහි යෙදුණේය. එදින සිටුනිවසෙහි රාත්‍රි කෑම පිළියෙළ වූයේ ඔහුට පමණි. එයට හේතුව දැනගත් සේවකයා ආහාර නොකා අඩ පෙහෙවස් රැක කුසගින්න නිසා රාත්‍රියෙහි හටගත් රෝගයකින් මියගොස් දෙව්ලොව උපන. (ධ.ක. කුම්භඝොසක වත්ථු).

අනේපිඬු සිටුවරයා යාළුවන්ට ඉතා හිතවත් විය. දිළිඳුකම් නිසා බැහැර නොකෙළේය. ඔහුගේ එක මිත්‍රයෙක් කාලකණ්ණි නම් විය. හේ වැලි කෙළියේ පටත් මිත්‍ර වූයේ ද එකට ඉගෙනීම කෙළේ ද විය. ධනවත්ව සිට දිළිඳු වූ ඔහු සිටුවරයාගේ පිළිසරණ සොයා ආ විට ඔහුට රැකවරණ සැලැස්විය. හේ ඔහුට හිතවත් සහකාරයෙක් විය. එහෙත් ඔහුගේ නම නිසා ඔහුට අප්‍රිය කළ බොහෝ දෙනා ඔහු අස්කරන ලෙසට කරුණු කී නමුත් සිටුතුමා එය ගණනටවත් නොගත්තේය. දිනක් අනේපිඬු සිටුහු නැති විටක සිටු ගෙය බිදින්ට ආ සොරුන් පලා ගියේ ගෙයි ආරක්ෂාවට තබා ගිය කාලකණ්ණි නම් ඒ මිත්‍රයාගේ ස්ථානෝචිත ප්‍රඥාව නිසා ය (කාලකණ්ණි ජාතක). සුළු පුද්ගලයන් ඇසුරු නොකළ යුතු බව යම් යම් අය කී විටත් සිටුතුමා කිසිවකට ඇහුම්කන් නොදී එවැන්නකු සමග ගෙන ගිය දැඩි මිත්‍රත්වය දිගට ම ගෙන ගිය බව කියැවේ. සිටුතුමා බැහැර යන විට ගෙයි ආරක්ෂාවට ඔහු ම තබා ගියේ ලු (කුසනාළිජාතක). ස්වකීය හිතමිතුරන්ගේ ගුණනුවණ දියුණු කරලීමට ද සිටුතුමා මහත් උත්සාහයක් ගෙන තිබේ. තීර්ථක මත ගරු කළ යාළුවන් පන්සියයක් බුදුන් වෙත පමුණුවා බණ අසන්නට සැලැස්වූ මොහු ඔවුන් යළිත් තීර්ථාගම ම අදහන බව දැන ඔවුන්ට බුදුන් ලවා ධර්ම දේශනා කරවූයෙන් ඔවුහු සෝවාන් වූහ (අපණ්ණක ජාතක).

මෙතුමා දිනක් ජේතවනාරාමයට යෑමට පිටත්ව බුදුරජාණන්වහන්සේ විවේකීව වැඩ සිටින වේලාවට එහි යෑම නුසුදුසු හෙයින් අසල පිහිටි පරිව්‍රාජකාරාමයට ගොස් පරිව්‍රාජකයන් හා සාකච්ඡාවේ යෙදුණේය. එහි දී ඔවුන් විසින් බුදුන්ගේ දෘෂ්ටිය කුමක්ද භික්ෂූන්ගේ දෘෂ්ටිය කුමක්දැයි විචාළ විට මොහු කීමේ ඒ පිළිබඳ සම්පූර්ණ දැනීමක් තමා තුළ නැති බවයි. එවිට ඔවුන් සිටුහුගේ දෘෂ්ටිය කුමක්දැයි ඇසූ කළ මොහු කීවේ එය ප්‍රකාශ කිරීම අපහසු නැතත් පළමු ඔවුන්ගේ දෘෂ්ටි ගැන කරුණු කී විට තමාගේ දෘෂ්ටිය පළ කරන බවයි. එවිට පිරිවැජියෝ ලෝකය ශාශ්වතය යනාදීන් තම තමන්ගේ දෘෂ්ටි කියා පෑහ. එවිට ඒ මත විවේචනය කළ පමණක් නොව ඒවා අයෝනිසෝමනසිකාරාදීන් ඇති වූ වැරදි බවත් සිටුතුමා පැවසීය. ඉක්බිති ඔවුන් "ඔබගේ දෘෂ්ටිය පහදා දෙන්නැයි" කී විට ත්‍රිලක්ෂණය පිළිබඳව ලුහුඩින් කරුණු කියා සිය මතය පෑවේය. ‍ඔවුහු එය විවේචනය කරනු බැරිව කරබාගෙන සිටියහ. සිටුතුමා දෙව්රමට අවුත් ඒ බව බුදුන්ට සැලකළ විට උන්වහන්සේ ධර්ම තත්ත්වය නොදත් මෝඝපුරුෂයන්ට සහේතුකව ධර්මය කියා දී වරින් වර හොදින් නිග්‍රහ කළ යුතු බව (සාධු සාධු ගහපති එවං ඛො ගහපති මොඝපුරිසා කාලෙන කාලං සුනිග්ගභීතං නිග්ගහෙතබ්බා) වදාරා, ඔහු වැද අවසර ගෙන ගියායින් පසුව භික්ෂූන් අමතා මේ බුද්ධශාසනයෙහි උපසපන්ව වස් සියක් ගොවූ භික්ෂුවක් නමුත් අන්‍යතීර්ථක පරිව්‍රාජකයන්ට සහේතුකව ධර්මය කියා දී නිග්‍රහ කරන්නේ මේ අනාථපිණ්ඩික සිටුවරයා නිග්‍රහ කළ පරිද්දෙන් ම යයි වදාළ සේක (යොපි සො භික්ඛවෙ භික්ඛු වස්සසතූපපන්නො ඉමස්මිං ධම්මවිනයෙ සොපි එවමෙවං අඤ්ඤ තිත්ථියෙ පරිබ්බාජකෙ සහධම්මෙන සුනිග්ගහීතං නිග්ගණ්හෙය්‍ය යථා තං අනාථපිණ්ඩිකෙන ගහපතිනා නිග්ගහීතානි - අ.නි.10 නිපාත.) සිටුවරයාගේ කාරුණික ත්‍යාගශීලත්වයෙන් අයුතු ප්‍රයෝජන ගන්නට සැරසුණු අයුරු අකතඤ්ඤු ජාතකයෙහි පළ වෙයි.

සිටුතුමාගේ ගුණගරුකත්වය අගසව්වන් පවා ඉතා අගය කළ අතර බුදුරජාණන් වහන්සේ ඔහු දායකයන් අතර අගතන්හි තබා වදාළ සේත (අ.නි. 1 නිපාත). තමා දැඩි ගිලන්ව සිටිනා බව බුදුන්ට දන්වා සාරිපුත්ත මහතෙරුන්ට වඩිනට කළ ආරාධනාව පරිදි එහි වැඩි අග්‍රශාවකයන්වහන්සේ ඔහුට අනාථපිණ්ඩිකෝවාද සූත්‍රය වදාළ සේක. ඒ අසා හෙතෙම හැඬුවේය. අනද තෙරුන් ඇඬීමට හේතුව විමසූ විට මෙබදු ගැඹුරු දහමක් තමාට පෙර අහන්නට නොලැබුණු බව සිටුතුමා කීය. ගිහිකම්කටොලෙන් ගහනව වෙසෙන සුදුවත් අදින අයට ගැඹුරු ධර්ම දේශනා කිරීම සිරිතක් නොවන බව තෙරුන් වදාළ විට එසේ ගැඹුරු ධර්ම අහන්නට තරම් නුවණ මේරුණු ගිහියනුත් සිටින බව කියා එසේ කරන හැටියට ආයාචනා කළේය. (මජ්ඣිම නිකාය 143 සූත්‍රය).

බුදුරජාණන්වහන්සේ මොහු උදෙසා වදාළ ජාතක හා සූත්‍ර කීපයකි. සිටුතුමා මියගොස් තුසිත දෙව්ලොව උපන. (සංයුක්ත නිකාය: දේවතාසංයුක්ත). උපන් විගස තමා කෙබඳු පිනකින් දෙව්ලොව උපන්නේදැයි විමසා බලා තුනුරුවන් කෙරෙහි නිරතුරු පැවැත්වූ ගරුකාර සත්කාර හේතුකොටගෙන යයි දැන බුදුන් වෙත එළඹ බුදුන් කෙරෙහිත් ආර්‍ය්‍යමාර්ගය කෙරෙහිත් පුත්ත මහරහතන් කෙරෙහිත් තමා තුළ පවත්නා අචල භක්තිය පළකරමින් -

"ඉදං හි තං ජෙතවනං ඉසිසංඝනිසෙවිතං

ආවුත්ථං ධම්මරාජෙන පීතිසංජනනං මම" යනාදි ගාථා ප්‍රකාශ කෙළේ දිව්‍යපුත්‍රව උපන් තමා තුළ අනේපිඬු සිටු කළ මෙන් ම බුදුපාමොක් මහසගන කෙරෙහි පවත්නා ප්‍රසාදය පළ කරනු සඳහාය.

(සංස්කරණය:1963)