"හාන්ස් ක්‍රිස්ටියන් අ'ස්ටෙඩ්" හි සංශෝධන අතර වෙනස්කම්

සිංහල විශ්වකෝෂය වෙතින්
වෙත පනින්න: සංචලනය, සොයන්න
('(Ourstead, Hans Christian) (ක්‍රි.ව. 1777–1851). ඩෙන්මාක් ජාතික විද්‍...' යොදමින් නව පිටුවක් තනන ලදි)
(වෙනසක් නොමැත)

11:49, 9 නොවැම්බර් 2023 තෙක් සංශෝධනය

(Ourstead, Hans Christian) (ක්‍රි.ව. 1777–1851). ඩෙන්මාක් ජාතික විද්‍යාඥයකු වූ මෙතෙම කෝපන්හේගන් විශ්වවිද්‍යාලයේ මහාචාර්යවරයෙක් විය. 1819 දී ඔහු කළ ශ්‍රේෂ්ඨ පරීක්ෂණයෙන් විද්‍යුතය හා චුම්බකත්වය අතර ඇතැයි බොහෝ කලක් අනුමාන කළ සම්බන්ධය නිශ්චය වශයෙන් ඔප්පු විය. විද්‍යුත් චුම්බකත්ව විද්‍යාව (Electromagnetism) ඇති කරන ලද්දේ ඔහු විසිනි.

දිනක් ඔහුගේ මේසය උඩ චුම්බක සූචියක් හරහට වැටී තිබුණේය. ඒ වේලාවේ දී අ'ස්ටෙඩ් සිටියේ බැටරි පරීක්ෂණයක් කරමින්ය. බැටරියේ කම්බිය හා චුම්බක සූචිය සමාන්තර ලෙස සිටින සේ චුම්බක සූචිය බැටරිය දෙසට ඔහු අහම්බෙන් ඇද්දේය. එතෙක් චුම්බක අක්ෂයෙහි තිබුණු චුම්බක සූචිය පැද්දී ගොස් කලින් තිබුණු දිසාවට සෘජු කෝණාකාරව පිහිටනු දැක ඔහු විස්මයට පත් විය. විද්‍යුත් ධාරාවේ දිශාව පෙරළූ විට සූචිය යළිත් උත්ක්‍රමණය (deflection) විය. මේ වර එසේ වූයේ ඊට විරුද්ධ දිශාවටය. මෙය පුදුමාකාර අනාවරණයක් විය. ඉන් පෙනී ගියේ විද්‍යුතය හා චුම්බකත්වය අතර ඇති අභ්‍යන්තර සම්බන්ධයයි. විද්‍යුත් චුම්බකත්ව විද්‍යාවට ඔහු මෙසේ මුල පිරුවේය.

අ'ස්ටෙඩ්ට ඊට වඩා දුරට එම පරීක්ෂණය පවත්වා ගෙන යෑමට ඉඩ නොලැබිණ. එහෙත් එය අලුත් පර්යේෂණයන්ට මඟ පෙන්වීය. ඔහුගේ අනුගාමිකයන්ගෙන් ඉතාමත් ම විශිෂ්ට යයි කිව හැක්කේ ආංද්‍රො මාරී ඇම්පියර්ය. (බ.)