"සොණා" හි සංශෝධන අතර වෙනස්කම්
Senasinghe (කතාබහ | දායකත්ව) ('ගෞතම බුද්ධ ශාසනයෙහි ආරබ්ධ විරිය ඇති භික්ෂුණී...' යොදමින් නව පිටුවක් තනන ලදි) |
(වෙනසක් නොමැත)
|
09:54, 11 ජනවාරි 2024 වන විට නවතම සංශෝධනය
ගෞතම බුද්ධ ශාසනයෙහි ආරබ්ධ විරිය ඇති භික්ෂුණීන් අතර අග තැන්පත් අසූමහ ශ්‍රාවකයන් පිරිසට අයත් රහත් මෙහෙණියකි (එතදග්ගං භික්ඛවෙ මම සාවිකානං භික්ඛුනීනං ආරද්ධවිරියානං යදිදං සොණා, අ.නි.1, එතදග්ගපාළි).
සැවත් නුවර කාන්තාවක් වූ මෝතොමෝ බොහෝ දරුදැරියන් (දූපුතුන් දසදෙනෙක්) ඇති ව සිටි බැවින් ‘බහුපුත්තිකා’ නමින් ප්‍රසිද්ධ වූවා ය. සිය සැමියාගේ වියෝවයෙන් පසු ඈ ස්වකීය වස්තුව කිසිවක් ඉතිර කර නොගෙන ම සියල්ල දරුවන් අතර බෙදා දුන්නා ය. නොබෝ කලකින් දූදරුවෝ සියලු දෙනා වෘද්ධ වූ සිය මව නොසළකා හැරියහ. ඉන්පසු ඕ තොමෝ ගිහි ගෙයි ඵලක් නැතියි සිතා පැවිදි වූවා ය.
මෙසේ පැවිදි වූ සොණා මෙහෙණිය දිවා කලයෙහි භික්ෂුණීන්ට උවටැන් කොට රාත්‍රී භාගයෙහි බණ දහම් ඉගෙනීමටත් භාවනාවටත් යොමු වූවා ය. ඇතැම් භික්ෂුණීහු නිතර ම ඇගේ වැරදි සෙවූහ. බොහෝ විට ඇගේ සිත් රිදවූහ. මෙයින් සංවේගයට පත් ඈ මහත් උද්යෝගයෙන් භාවනා වැඩීමට පටන් ගත්තා ය. භාවනා කිරීමෙහිලා ඇය දැරූ වීර්ය කෙතරම් ද යන්නෙන් ‘බහු පුත්තිකසෝණා’ යන නමින් හඳුන්වනු ලැබූ ඕ එතැන් පටන් ‘ආරද්ධ විරිය සෝණා’ නමින් ප්‍රසිද්ධ වූවා ය. ඇගේ නුවණ මුහුකුරා ගිය බව දත් බුදු රජාණන් වහන්සේ ඇය වෙත රැස් කළඹක් යවා ගාථාවක් දේශනා කළහ. එය අසා ඕ රහත් වූවා ය.
රහත් වීමෙන් පසු, භික්ෂුණින් ඇය උසස් මගඵල ලැබු බැව් නොදැන, පෙර මෙන් ගරුසරු නැති ව කතා කොට පව්සිදු කර ගනිතැ’යි සිතා තමා රහත් වූ බව ඔවුනට හැඟවීමට අදහස් කළ ඕ දිය බඳුනක් ලිප තබා ගිනි නොමෙළවා ඍද්ධි බලයෙන් ම එය උණුසුම් කළා ය. ඒ දුටු භික්ෂුණීහු එතුමියගේ රහත් බව පිළිගෙන ඔවුන්ගෙන් සිදු වූ වැරදිවලට සමාව ද ඉල්ලා සිටියහ.
(කර්තෘ: ජයන්ත විමලසේන: 1957)
(සංස්කරණය නොකළ)