"හෙල්ල" හි සංශෝධන අතර වෙනස්කම්

සිංහල විශ්වකෝෂය වෙතින්
වෙත පනින්න: සංචලනය, සොයන්න
 
6 පේළිය: 6 පේළිය:
  
 
මහාවංස: 25; 1,70, 207
 
මහාවංස: 25; 1,70, 207
 +
 
අත්තන..: 27
 
අත්තන..: 27
 +
 
පඤ්චිකා ප්‍ර.: 115
 
පඤ්චිකා ප්‍ර.: 115
 +
 
සද්ධර්මා...: 57, 134, 423, 473
 
සද්ධර්මා...: 57, 134, 423, 473
  

16:32, 25 ජනවාරි 2024 වන විට නවතම සංශෝධනය

දිග මිටක් හා දිග උල් තලයක් ඇති අවියකි. මෙය සටනේ දී සතුරා වෙත පැන ඇනීමට සුදුසු ලෙස සාදන ලද්දකි. දිගු කලක් තිස්සේ විවිධ ලක්ෂණ හා ආකෘති ගෙන විකාශයට පැමිණි මෙය සිහලුන්ගේ අත ලෙලදුන් විශිෂ්ට අවියකි. සතුරෙකුට ඇන ඔහු ඔසවාගෙන යන තරමට ශක්තිමත් ලෙස සෑදූ හෙල්ල අවි පැවැති බව ඉතිහාසයෙන් පෙනේ. දුටුගැමුණු කාලයේ සිට මහනුවර කාලය වන තුරු ම කලින් කළ හැඩය ආකෘතිය වෙනස් වෙමින් පැවත ආ මේ අවිය මහනුවර සමය වන විට විජාතීන්ගේ හෙල්ලායුධවලින් ගත් උපදේශානුකූලව ද අමුතු දියුණුවක් ලබා තිබෙන බව පැරැණි චිත්‍රවලින් හා කෞතුකාගාරවල දක්නට තබා ඇති මෝස්තරවලින් දත හැකි ය.

උල්, පැතලි, දික්, කොට, මහත, හීන්, වක් තලවලින් හා දෙපසට නෙරා ගිය කුඩා උල්වලිනුත් යුක්ත නන්වැදෑරුම් හෙල්ලායුධ මෙරට භාවිත කර තිබේ. හෙල්ල වනාහි පැරණි ත්‍රිශූලයේ නොහොත් කුන්තායුධයේ ම විකාශයක් බව ද සිතිය හැකි ය. සමහර හෙල්ල තලවල මුවා’ත සහිත දාර දෙකක් හෝ 4ක් ද වෙති. හෙල්ලවල තුඩු ඉතා සියුම් ලෙස ද සමහරක මූණ බෝපතක ආකාරයට ද සමහර හෙල්ලයක තලය මුලින් පළලට හා උඩු අතට සිටි කුඩා උල් තලවලින් ද යුක්ත වේ. ඇතැම් හෙල්ලවල ඇත්තේ දික් තලය පමණකි. තටු හෙල්ල නමින් හැඳින්වෙන්නේ තලේ මුල දෑතට පිහිටි උල් තල දෙකකින් යුක්ත හෙල්ල වර්ගය වේ. සමහර හෙල්ලවල තලේ මුල ඇති උල් උඩු අතටත් සමහරක යටි අතටත් නැඹුරු වූ ලෙස තනා ඇත්තේ ය. සමහර හෙල්ලවල තලය අඩි දෙකක් පමණ දිග ය. තවද අඟල් 2 1/2ක් හෝ 3ක් පුළුල් ය. තිස්සමහාරාමය, උතුරුමැද පළාත, බස්නාහිර පළාත යන ප්‍රදේශවල පොළොව කැණීමේ දී ද හෙල්ල කිහිපයක් සොයාගෙන ඇත. සීගිරියේ පොළොව කැණීමේ දීත් කොළේ හැඩය තලේ ඇති හෙල්ලා අවි සොයාගෙන තිබේ. සබරගමුවේ මැණික් පතල් කැණීමේ දී ද මෙම අවුධය සම්බන්ධ වී තිබේ. මුල්ගිරිගල හා දඹුලු විහාර සිතුවම්වල හෙල්ලවල තල කිහිපාකාරයකට ම ඇඳ තිබේ.

පුළුල් තල ඇති සාමාන්‍ය හෙල්ලවලට පටිස්තාන යයි කියති. එහි තලය ලොකු ය. මිට අඩි හතක් පමණ දිග ය. විසි හෙල්ල අනින්නට මෙන් ම සතුරා වෙත දමා ගසන්නට ද පාවිච්චි කරති. සැත යනු ද ඊට ම නමකි. අලින්ට අනින හෙල්ලට කුරු ඊතලයයි ව්‍යවහාර වේ. එහි තලය අඟල් 6 සිට 48 දක්වා දිග ය. චිත්‍ර හා කැටයම් වැඩ නොකළ ඊඉටිය හෙවත් ඊටිකෝල් යනුවෙන් ව්‍යවහාර වන්නේ හෙල්ල විශේෂයකි. සමහර හෙල්ල තලවල මුල රන්, රිදී ආදියෙන් කැටයම් වැඩ කර මැණික් ඔබ්බවා ඇති අතර මිටත් ලාකිරියෙන් සැරසිලි කර තිබේ. අසුන් පිට හා ඇතුන් පිට නැඟී සටනට යන්නෝ ද හෙල්ල පාවිච්චි කරති. සටන්වල දී හෙල්ල පාවිච්චි කිරීමත් යුද හරඹ උගන්වන ශිල්පාලයවල උගන්වති. හෙල්ල සරමේ දී ඇනීම, ඇද ගැනීම, පහර වැළැක්වීම, උගන්වන අතර චංචල - නිශ්චල පඹරූප උපයෝගී කරගෙන ද පුහුණු කරවන බව කියා තිබේ. සපුමල් කුමරා යාපනයේ සටනේ දී සතුරෙකුට හෙල්ලෙන් ඇන ඔහුත් සමඟ හෙල්ලය ඔසවාගෙන ගිය බව සඳහන් වේ. හෙල්ල ගණයට අයත් අවි රාශියකි. ඉළුක්කෝලය, සොටිය, තෝමරය, ඊටිකෝලය, කුන්තය, කනය, කනවිය, ලංසය, සත්තිය, පටිස්තානය, කම්පනය, ඉට්ටිය යන මේ අවි ආයුධ වර්ගයෝ ද හෙල්ලේ ප්‍රභේද වෙති. ඉළුක්කෝළය හෙල්ලේම විකෘතියක් ලෙස ද ගැනේ. (හෙල්ල, බ.)

මහාවංස: 25; 1,70, 207

අත්තන..: 27

පඤ්චිකා ප්‍ර.: 115

සද්ධර්මා...: 57, 134, 423, 473

(කර්තෘ: ධර්මබන්ධු අමරසේකර: 1961)

(සංස්කරණය නොකළ)

"http://encyclopedia.gov.lk/si_encyclopedia/index.php?title=හෙල්ල&oldid=4531" වෙතින් සම්ප්‍රවේශනය කෙරිණි