"සෙයිද් ඛාන් බහදූර් අහමද් ඛාන්" හි සංශෝධන අතර වෙනස්කම්

සිංහල විශ්වකෝෂය වෙතින්
වෙත පනින්න: සංචලනය, සොයන්න
('(1817– 1898). මොහු ඉමහත් ප්‍රසිද්ධියක් ලැබූ ඉන්දියාන...' යොදමින් නව පිටුවක් තනන ලදි)
 
(වෙනසක් නොමැත)

18:23, 11 ජූනි 2024 වන විට නවතම සංශෝධනය

(1817– 1898). මොහු ඉමහත් ප්‍රසිද්ධියක් ලැබූ ඉන්දියානු සමාජ සංශෝධකයෙකි. යටත් විජිත සමයේ ඉන්දියාවේ මුස්ලිම් ජනතාවගේ තත්වය දියුණු කිරිමෙහිත් ඔවුනට අධ්‍යාපන පහසුකම් ඇතිකිරීමෙහිත් හෙතෙම උත්සුක වූයේය.

ඔහුගේ මුතුන්මිත්තෝ මධ්‍යම ආසියාවෙන් පැමිණ ඉන්දියාවෙහි පදිංචි වී මෝගල් අධිරාජයන් යටතේ උසස් තනතුරු දැරුවෝය. දිල්ලියෙහි උපන් අහමද් හොඳ අධ්‍යාපනයක් ලැබ 1837 දී රජයේ සේවයට බැඳුණේය. 1850 දී බිජ්නෝර්හි උපවිනිශ්චයකාර තැන වශයෙන් පත්ව ගියේය. ඉන්දියානු කැරැල්ල ඇති වූයේ මොහු එහි සිටියදීය. එකල බ්‍රිතාන්‍යයන්ට පක්ෂව සේවය කෙළෙන් මොහුට බ්‍රිතාන්‍යයන්ගේ සැලකිල්ල හා විශ්වාසය දිනාගැනීමට හැකිවිය. එම කැරැල්ලට මුල් වූ හේතූන් පිළිබඳව මොහු කළ පරීක්ෂණයෙහි ප්‍රතිඵල උර්දු බසින් ලියා මොහු විසින් ප්‍රසිද්ධ කරන ලදි. මුස්ලිම් ජනතාව බ්‍රිතාන්‍යයන්ට පක්ෂපාතව සිටි බවත් ඔවුනට ඇදහීමේ නිදහස තිබෙනතාක් එම තත්වයෙහි වෙනසක් නොවන බවත් ඔහු පළ කෙළේය.

පුරාවිද්‍යාත්මක පර්යේෂණයන් ගැන මහත් උනන්දුවක් දැක්වූ හෙතෙමේ ඉන්දියානු ජනයාට ඉංග්‍රීසි සාහිත්‍යයෙහි රස විඳීමට ද මං සලසාලීමට උත්සාහ ගත්තේය. 1864 දී ගසිපූර්හි ග්‍රන්ථ පරිවර්තනය සඳහා සමාගමක් ආරම්භ කළේ එම අදහස ඇතිවය. එමගින් වැදගත් ඉංග්‍රීසි පොත් කිහිපයක් ම උර්දු බසට පෙරළන ලදි. මේතෙමේ රාජකීය ආසියාතික සංගමයේ ද සාමාජිකයෙක් විය.

1869 දී එංගලන්තයට ගිය අවස්ථාවේ සුප්‍රසිද්ධ ඔක්ස්ෆර්ඩ් කේම්බ්‍රිජ් වැනි අධ්‍යාපන ආයතනයන් දුටු මොහු ආපසු ඉන්දියාවට පැමිණියේ සියලු මුස්ලිම් ආගමික නිකායන් සඳහා ආණ්ඩුවේ පාලනයෙන් තොර වූ ද ආගමික අධ්‍යාපනයක් දෙන්නාවූ ද එවැනි ආයතනයක් පිහිටුවීමේ අදහස ඇතිවය. අපරදිග විද්‍යාවන් ඉගැන්වීම ආගමට තර්ජනයක් වේය යන තර්කය උඩ මුස්ලිම්වරුන් දැක්වූ විරෝධය ද නොතකා අහමද් ඛාන් අධ්‍යාපනය සඳහා අරමුදල් එක්කොට 1875 දී අලීගර්හි මහමදීය ඇංග්ලෝ-ඔරියන්ටල් විද්‍යාලය පිහිටුවිය. 1920 දී අලීගර් මුස්ලිම් විශ්වවිද්‍යාලය බවට පත් වූයේ මෙයයි. මේ අනුව ඉන්දියාවෙහි මුස්ලිම් ජනතාවගේ තත්වය බෙහෙවින්ම දියුණු කිරීමෙහි ලා මොහුගෙන් සිදු වූ සේවය ඉමහත්ය.

1876 දී මේතෙම රජයේ සේවයෙන් විශ්‍රාම ගත්තේය. එතෙක් මොහු සිය කාලය වැඩි වශයෙන් යෙදුවේ තමාගේ ප්‍රධානත්වයෙන් පිහිටුවන ලද විද්‍යාලයේ දියුණුව සඳහා ය. අනතුරුව 1878 සිට 1882 දක්වා ප්‍රතිරාජවරයාගේ කවුන්සලයේ සාමාජිකයකු වශයෙන් ද 1882 දී අධ්‍යාපන කොමිෂන් සභාවේ සාමාජිකයකු වශයෙන් ද කටයුතු කෙළේය. ආගමික සාමාජික හා ඓතිහාසික විෂයයන් ගැන මොහු දැක්වූ මහත් උද්‍යෝගය හා සැලකිල්ල මොහු විසින් ලියා ප්‍රසිද්ධ කරන ලද පොත්පත්වලින් මනාව හෙළිවේ. පුරාණ දිල්ලිය පිළිබඳ විස්තර සපයන පුරාවිද්‍යා ග්‍රන්ථයක් ද මොහු විසින් කරන ලදි.

(සංස්කරණය: 1965)