"අහේතුවාදය" හි සංශෝධන අතර වෙනස්කම්

සිංහල විශ්වකෝෂය වෙතින්
වෙත පනින්න: සංචලනය, සොයන්න
('මජ්ඣිමනිකායයේ අපණ්ණක සූත්‍රයෙහි නත්ථිකවාදය,...' යොදමින් නව පිටුවක් තනන ලදි)
 
(වෙනසක් නොමැත)

00:09, 13 ජූනි 2024 වන විට නවතම සංශෝධනය

මජ්ඣිමනිකායයේ අපණ්ණක සූත්‍රයෙහි නත්ථිකවාදය, අකිරියවාදය, අහේතුවාදය යයි මිථ්‍යාදෘෂ්ටික වාද තුනක් දක්වා තිබේ. සමහර මහණ බමුණන් (එකෙ සමණ බ්‍රාහ්මණා) අදහන මේ දෘෂ්ටිය විස්තර කර ඇත්තේ මෙසේයි: "සත්ත්වයින් කෙලෙසීමට හේතුවක් ප්‍රත්‍යයයක් නැත; හේතුවක් ප්‍රත්‍යයයක් නොමැතිව සත්ත්වයෝ කෙලෙසෙති. සත්වයින්ගේ විශුද්ධියට හේතුවක් ප්‍රත්‍යයයක් නැත; හේතුවක් ප්‍රත්‍යයයක් නොමැතිව සත්ත්වයෝ විශුද්ධියට පැමිණෙති. (සත්තවයින්ට) බලයක් වීර්ය්‍යයක් පුරුෂස්ථාමයක් පුරුෂ ප්‍රාපරාක්‍රමයක් නැත. සියලු සත්ත්වයෝ, සියලු ප්‍රාණීහු, සියලු භූතයෝ, සියලු ජීවයෝ වශීභාවයක් බලයක් වීර්යයක් නැතිව, නියති සංගති ස්වභාවයන්ගෙන් පරිණාමයට පත්ව අභිජාති හයේ ම සුවදුක් විඳිති." කෙලෙසීමට හා විශුද්ධියට හේතුවක් ඇතැයි පවසන තවත් මහණ බමුණන් කොටසක් (යෙ තෙ සමණ බ්‍රාහ්මණා) සිටින බව ද මෙහි කියනු ලැබේ. මේ මතය හේතුවාදී රහතන්ගේ (යෙ තෙ අරහන්තො හෙතුවාදා) මතයට විරුද්ධ නොවන බවද සඳහන් කර තිබේ. මෙහි හේතු වාදයක් ලෙසින් කෙලින් ම දැක්වෙන්නේ බෞද්ධ දර්ශනයයි. එහෙයින් අහේතුවාදය සම්‍යග්දෘෂ්ටියට පටහැණි වූ දර්ශනයක් බව පෙනේ.

සාමඤ්ඤඵල සූත්‍රයේ යථෝක්ත අහේතුවාදී මතය දරන ශාස්තෘවරයා ලෙස දැක්වෙන්නේ මක්ඛලිගෝසාලය. එහෙත් මේ දර්ශනය නම් කිරීමේ දී අහේතුවාදය වෙනුවට මෙහි යොදා ඇත්තේ 'සංසාර ශුද්ධිය' (සංසාර සුද්ධි) යන නාමයයි. මක්ඛලිගේ සංසාර ශුද්ධිවාදයට අනුව චේතනාමය හේතුවක් නොමැතිව සංසාර ගමනේ කෙළවර දී විශුද්ධිය ලැබෙන හෙයින් එය අහේතුවාදී දෘෂ්ටීන් අතර එකක් ලෙස සලකා ඇත. අහේතුවාදීන් සංසාර ශුද්ධි දහම දෙසූ බව මහාබෝධි ජාතකයේ කියා තිබේ (අහේතුවාදී... සත්තා සංසාරසුද්ධිකාති... උග්ගණ්හාපෙසි). එහෙත් මහාබෝධි ජාතකයේ මක්ඛලිගෝසාල හඳුන්වා දී තිබෙන්නේ ඊශ්වරවාදියකු (ඉස්සරකාරණවාදී) ලෙසය. ඊශ්වර වාදයට අනුව ද සාමාන්‍යයෙන් විශුද්ධිය ලැබෙන්නේ ඊශ්වර ප්‍රසාදයෙන් බැවින් ඊශ්වර වාදය ද අහේතුවාදයක් ලෙස සැලකිය හැකිය.

කිසිම හේතු ඵල නියාමයක් නොමැතිව ලොව සියලු ම සිදුවීම් ඉබේ සිදුවන බව දෙසූ අධිච්ච සමුප්පන්නවාද (දී.නි. 1.29) අහේතුවාදී ගණයට වැටෙන බව සිතන්නට ඉඩ තිබේ. අධිච්චසමුප්පන්නවාදය බෞද්ධ හේතුඵලවාදය වන පටිච්ච සමුප්පාදයට විරුද්ධ දෙසුමකි. මෙය සියලු දේ අහම්බෙන් හටගන්නා බව දෙසූ, පළමුවරට ශ්වේතාශ්වතර උපනිෂදයේ දක්නට තිබෙන යදෘච් ඡාවාදය (ශ්වෙත. 1.2) යැයි සිතිය හැක. යථෝක්ත සංකල්පන දෙකේ සාම්‍යය දුටු ධම්මපාල අටුවාචාරීන් අධිච්චසමුප්පන්න යන වචනය තේරුම් කර ඇත්තේ යදෘච්ඡාවෙන් හටගත් යනු වශයෙනි (අධිච්චසමුප්පන්නොති යදිච්ඡාය සමුප්පන්නො, තෙන චි කාරණෙන විනා උප්පන්නො ති අධිච්චසමුප්පන්නවාදො දස්සිතොඋදාන අ. 345). එසේ තේරුම් කොට මෙහි අයිච්චසමුප්පන්න දෙය කාරණයක් හෙවත් හේතුවක් නැතිව හටගත් බවත් අහේතුවාදය අධිච්චසමුප්පන්නවාදය යටතේ ගණන් ගැනෙන බවත් (තෙන අහේතුකවාදොපි සංගහිතො හොති) පවසයි. බුද්ධඝෝෂාචාරීන් පවා අධිච්චසමුප්පන්න යන වචනය තේරුම් කර ඇත්තේ 'අකාරණසමුප්පන්නං' කියායි (දී.නි.අ. I.118).

මක්ඛලිගේ සංසාර ශුද්ධිවාදයට නියති සංකල්පය ද ඇතුළත් වී තිබේ (නියති සංගති භාව පරිණතා). සංසාරශුද්ධිය ද නියත වශයෙන් ලැබෙන්නකි. මහාබෝධි ජාතිකයේ මේ සංසාර ශුද්ධිවාදය දක්වා තිබෙන්නේ පූරණකස්සපගේ වාදය ලෙසයි. තර්කරහස්‍යදීපිකාවේ පූරණකස්සප නියතිවාදියකු බව කියනු ලැබේ (පූරණො නියති ජනිතම්) ඇතැම් විට නියතිවාදය අහේතුවාදයක් ලෙස සැලකූ බව සිතන්නට ඉඩ තිබේ. මීට හේතුව බෞද්ධ හේතුවාදය හෙවත් ප්‍රතීත්‍යසමුත්පාදය නියති වාදයක් නොවීම විය හැක. (නියතිවාදය ද බලන්න.)

(සංස්කරණය: 1965)

"http://encyclopedia.gov.lk/si_encyclopedia/index.php?title=අහේතුවාදය&oldid=5627" වෙතින් සම්ප්‍රවේශනය කෙරිණි