"අලොංපායා" හි සංශෝධන අතර වෙනස්කම්

සිංහල විශ්වකෝෂය වෙතින්
වෙත පනින්න: සංචලනය, සොයන්න
('(1714–1760). බුරුමයේ රජකළ අවසාන බුරුම රාජ වංශයේ ආදික...' යොදමින් නව පිටුවක් තනන ලදි)
 
(වෙනසක් නොමැත)

10:02, 13 ජූනි 2024 වන විට නවතම සංශෝධනය

(1714–1760). බුරුමයේ රජකළ අවසාන බුරුම රාජ වංශයේ ආදිකර්තෘවරයාය. ක්‍රි.ව. 1752 දී පමණ මොහුගෙන් ඇරඹුණු බුරුම රාජවංශයට භාවිත වූයේ ද අලොංපායා යන නාමයයි (අලොංපායා රාජ වංශය බ.) මේ රාජ වංශයට අයත් රජවරුන් ක්‍රි.ව. 1885 දක්වා ම බුරුමය පාලනය කළ බව පෙනේ (බුරුම ඉතිහාසය බ.)

අලොංපායා ක්‍රි.ව. 1714 දී පමණ ඉහළ බුරුමයේ මණ්ඩලේ නගරයට සැතපුම් පනසක් පමණ වයඹ දෙසින් පිහිටා තුබුණු බෝ නමැති ග්‍රාමයේ දී උපන් බව කියති. රජවීමට පෙර ඔහු මේ ගමේ ගම්පති පදවිය දැරීය. රජවීමෙන් පසුව ඔහු බුරුම රාජ්‍යයේ අගනුවර බවට පෙරළා ගත්තේ ද මේ ග්‍රාමයයි. එකල බුරුමය පාලනය වූයේ තලේවරුන්ට (මොන්වරුන්ට) අයත්ව තුබුණු පේගු රාජ්‍යය මගිනි. ශත වර්ෂ කිහිපයක් තිස්සේ පැවති අදක්ෂ පාලනයෙන් ප්‍රයෝජන ගත් අලොංපායා ජාතික විමුක්තිය හා රටේ නිදහස පතා පේගු රාජ්‍යයට විරුද්ධව සටනක් ඇරඹුයේය. තමා උපන් ප්‍රදේශය මුලින් ම නිදහස් කොට ගත් අලොංපායා 1753 දී ආවා ප්‍රදේශය යටත් කොට ගත්තේය. ක්‍රි.ව. 1755 දීපමණ ප්‍රෝම් ප්‍රදේශයට විරුද්ධව කරන ලද සටනකින් ද ජයගත් ඔහු දකුණෙන් රැන්ගුන් ප්‍රදේශය දක්වා වූ භූමි ප්‍රදේශය තමාගේ රාජ්‍යයට ඈඳා ගති. ඊළඟ අවුරුද්දේ ජූලි මාසයේ දී පමණ රැන්ගුන් ගඟබඩ පිහිටි සිරියම් ප්‍රදේශය ද අලොංපායාට යටත් විය. මින්පසු රැන්ගුන් වරාය බුරුමයේ නැව්තොට බවට හැරවූ අලොංපායා රැන්ගූන් නගරය ද විශාල කරවාපියා එහි පාලනය සඳහා ජ්‍යෙෂ්ඨ ආණ්ඩුකාරයකු ද පත් කෙළේය. ක්‍රි.ව. 1757 දී පේගු රාජ්‍යයේ අගනුවර ද අලොංපායාගේ ආක්‍රමණයට ලක්වූයෙන් පේගු රාජ්‍යය තවත් නොනැඟිටින පරිද්දෙන් ඇද වැටුණි. අලොංපායා හා පේගු රාජ්‍යයෙහි තලේවරුන් අතර සිදු වූ සෑම යුද්ධයක දී ම, එකල ඉන්දියාවේ වෙළෙඳ මධ්‍යස්ථාන පිහිටුවා ගෙන සිටි බ්‍රිතාන්‍ය ජාතිකයන්ගේත් ප්‍රංස ජාතිකයන්ගේත් ආධාරය දෙපක්ෂයට ලැබිණි. බ්‍රිතාන්‍ය ජාතිකයන් අලොංපාවරුන්ට ආධාර කෙළේත්‚ ප්‍රංස ජාතිකයන් තලේවරුන්ටත් ආධාර කෙළේත් බුරුමයේ වෙළෙඳාම කෙරෙහි ඔවුන් නෙත් යොමා සිටි නිසාය. පේගු රාජ්‍යය පැරදවීමෙන් පසුව බුරුමය එක ම පාලනයක් යටතට ගැනීමට අලොංපායාට හැකි විය. රට එක්සත් කිරීමෙන් පසු මෙතෙම බුරුමයට යාබදව පිහිටි රටවල් ද ආක්‍රමණය කිරිමට ඉටා ගත්තේය. මේ අදහස ඇතිව අලොංපායා ක්‍රි.ව. 1758 දී මනිපූර් රාජ්‍යය ආක්‍රමණය කළ නමුත් ඒ රාජ්‍යය සම්පූර්ණයෙන් ම යටත් කර ගැනීමට ඔහුට නොහැකි විය. 1760 දී සියම් රාජ්‍යය ආක්‍රමණය කිරීමට ද සේනා යැවූ නමුත් ඒ අවුරුද් දේ ම ඔහු මිය ගියෙන් ඒ අදහස සාර්ථක නොවීය.

(සංස්කරණය: 1965)

"http://encyclopedia.gov.lk/si_encyclopedia/index.php?title=අලොංපායා&oldid=5641" වෙතින් සම්ප්‍රවේශනය කෙරිණි