"මළගම සිරිත්" හි සංශෝධන අතර වෙනස්කම්

සිංහල විශ්වකෝෂය වෙතින්
වෙත පනින්න: සංචලනය, සොයන්න
('මෘත ශරීරයක් වැළැලීම් කිරීමේ දී ආදාහනය කිරීමේ...' යොදමින් නව පිටුවක් තනන ලදි)
 
(වෙනසක් නොමැත)

13:23, 27 ජූනි 2024 වන විට නවතම සංශෝධනය

මෘත ශරීරයක් වැළැලීම් කිරීමේ දී ආදාහනය කිරීමේ දී හෝ වෙනත් ක්‍රමයකින් ඉවත් කිරීමේ දී අනුගමනය කරන සිරිත් මෙයින් අදහස් කරනු ලැබේ. මානව සංස්කෘතියේ ආරම්භයත් සමඟ ඇති වී යයි සැලකිය හැකි මේ සිරිත් ලෝකයේ හැම සමාජයකට ම අයත් අංගයක් වේ.

එහෙත් මළගම චාරිත්‍ර සමාජයෙන් සමාජයට වෙනස්වීම විශේෂ ලක්‍ෂණයකි. එම චාරිත්‍ර ඇති වීමෙහිලා සාධක කීපයක් ම බලපා තිබීම එවැනි වෙනස්කම් ඇති වීමට හේතු වී ඇත. එහි දී සංස්කෘතිය, වෙසෙසින් ම ආගම ප්‍රමුඛ සාධකය වී තිබේ. මරණින් පසු ජීවිතය පිළිබඳවත් මළවුන් හා ජීවත්වන්නන් අතර පැවතිය යුතු සම්බන්ධය පිළිබඳවත් ඇති අදහස් මඟින් මළගම පිළිබඳ චාරිත්‍ර බොහෝමයක් තීරණය වී ඇත. එක් අතකින් මරණයට ඇති බිය හා අනිත් අතින් මළවුන් සමඟ දිගට ම සම්බන්ධකම් පවත්වා ගෙන යෑමේ අවශ්‍යතාව මළගම චාරිත්‍රවල පිළිබිඹු වන බව පැහැදිලිව පෙනේ. මළ තැනැත්තාට ඊළඟ ජීවිතය යහතින් ගත කිරීමට ආධාර වන පිළිවෙත් හා ඔහුගේ ආත්මය නැවත ඥාතීන් අතරට පැමිණීම වළක්වනු සඳහා ඇතැම් සමාජවල කරන චාරිත්‍ර රැසක් ම තේරුම් කළ හැකි වන්නේ පූර්වෝක්ත ආගමික සංකල්ප ඇසුරිනි. මේ හැරුණු විට භූගෝලීය සාධක ද මළගම චාරිත්‍ර ඇතිවීමෙහි ලා බලපා ඇති බව කිව හැකි ය. ඊජිප්තුව වැනි වියළි දේශගුණ ඇති ප්‍රදේශවලත් ලුනු විල් සහිත ටිබෙට් රටෙහිත් කලේබරාරක්‍ෂණය ඇති වීම මෙයට නිදසුනකි. ධ්‍රැවීය ප්‍රදේශවල ශීත දේශගුණයට ගැළපෙන ආකාරයට මළගම චාරිත්‍ර හැඩගැසී ඇත.

එමෙන් ම ඇතැම් විට එක ම සමාජයක් තුළ සිරිත් රැසක් ම අනුගමනය කරනු දැකිය හැකි ය. කුඩා මැලනීසියා දූපතෙක මෘතශරීර ඉවත් කිරීමේ දී අනුගමනය කරන විවිධ ක්‍රම 21ක් පමණ තිබීම මීට නිදසුනකි.

මරණාසන්න අවස්ථාව

මරණාසන්න පුද්ගලයකු මරණයට බිය නැතිව මුහුණ දීමට සූදානම් කිරීම විවිධ සමාජයන්හි විවිධාකාරයට සිදු කෙරේ. මරණාසන්න වැඩිහිටියකුට ආසන්න බණ කියවීම හෝ සතිපට්ඨාන සූත්‍රයෙන් කොටසක් කියවීම ලංකාවේ පහතරට ප්‍රදේශවල බොහෝවිට කරන සිරිතකි. උඩරට ප්‍රදේශවල ග්‍රහ තොවිලයක් හෝ යක් නැටුමක් පවත්වනු ලැබේ. භික්‍ෂුනමකට හෝ දානයක් දීම ඇතැම් විට කෙරේ. මරණාසන්න පුද්ගලයා විසින් කිවයුතු සියල්ල කියවා ඊට පිළිතුරු දී පව් අරවා ගැනීම ලංකාවේ උතුරු මැද පළාත්වල දක්නා චාරිත්‍රයක් වේ. ක්‍රිස්තු භක්තිකයකු මරණාසන්න වූ විට වහාම පූජප්‍රසාදිතුමකු කැඳවා ආත්ම ශුද්ධියන් ශාන්තිය සලසා දෙනු ලැබේ. චීන ජාතිකයෝ මරණාසන්න පුද්ගලයාගේ හිස මුඩුකර, ඇඟ සෝදවා, නිය කපා, ආත්මයට පහසුවෙන් ශරීරයෙන් මිදී යා හැකි පරිදි ඔහු හිඳුවා තබති.

හින්දු භක්තිකයෝ ඥාතීන් හා බ්‍රාහ්මණයන් කැඳවා මන්ත්‍ර හා ශුද්ධ ග්‍රන්ථ කියවීම කරති. තවද මරණාසන්න තැනැත්තා ලවා ගොනකු ස්පර්ශ කරවා පසුව ඌ බ්‍රාහ්මණයකුට පූජා කිරීම ද හින්දු චාරිත්‍රයකි. ඉස්ලාම් ආගමික චාරිත්‍රය නම් මක්කම දෙසට හිස හැරෙන සේ මරණාසන්න අය තබා කෝරානය කියවීමයි. මරණාසන්න තැනැත්තා විසින් කරන ලද වැරදි පිළිබඳ පාපෝච්චාරණය කරවීම යුදෙව් භක්තිකයන් අනුගමනය කරන චාරිත්‍රයයි. ඔරලෝසු නවත්වා තැබීම, කැඩපත හා පින්තූර වසා දැමීම හෝ ඒවා අනිත් පැත්ත හැරවීම, උදුනේ ගිනි නිවා දැමීම ආදිය සිරිත් ද ඇතැම් සමාජවල දක්නට ලැබේ. මරණය සිදු වූ පසු මෘතශරීරයේ අත්දෙකේ ද පාදවල ද මහපටඇඟිලි එකතු කර බැඳ, ඇස් විවෘතව ඇත්නම් ඒවා වැසීම හෝ ඒ මත සතයේ කාසි දෙකක් තැබීම ලංකාවේ සාමාන්‍යයෙන් දක්නා ලැබෙන සිරිතකි. මළකඳ නෑවීම ඇතැම් ගෙවල සිදු කෙරේ. බටහිර දිශාවට හිස හැරෙන පරිදි මෘතශරීරය සතපවා පොත්තෙල් පහන් දෙපසින් දැල්වීම ද සාමාන්‍ය සිරිතකි. උඩ ඇස්ස ගසා දැමූ කුරුම්බාවක් මිනිය ලඟ තැබීම, බුලත් කණපිට ලා ඉලත්තට්ටුවල තැබීම, බත් බුලත් වට්ටියක් එළිමහනේ උඩකින් තැබීම පහතරට ඇතැම් ප්‍රදේශවල දක්නට ලැබෙන චාරිත්‍ර වේ. එමෙන්ම මෘතශරීරය තනි නොකිරීම, දින කීපයක් යනතුරු රාත්‍රියට වෙස්සන්තර ජාතකය වැනි පොතක් හඬනගා කීම, මිනිය ගෙනගිය පසු එය තිබූ ස්ථානය තනි නොකර පහනක් දැල්වීම යන චාරිත්‍ර ද දක්නට ලැබේ. ලංකාවේ උතුරුමැද ප්‍රදේශයේ අනුගමනය කරන සිරිත් මීට ස්වල්ප වශයෙන් වෙනස් වේ. භාජනයකට වතුර ස්වල්පයක් ගෙන ගාථාවක් කියා මළ තැනැත්තාගේ කටට වත් කිරීම එම ප්‍රදේශයේ දක්නට ලැබෙන විශේෂ චාරිත්‍රයකි. එය ‘කට දිය වැක්කිරීම’ නම් වේ. අත්වල හා පයේ මහපට ඇඟිලි එකට බැඳීම කෙරෙන්නේ ඉන් අනතුරුවයි. ඒ ‘අතපය දන් කිරීමයි’. පසුව බස්නාහිරට හිස හැරෙන සේ මෘතශරීරය තබා හිස සිට දෙපතුල් දක්වා රෙද්දකින් ආවරණය කිරීම සිදු කෙරේ. එය ‘ඉද්දර පාමුල් කිරීම’ නම් වේ. ඉන්පසු ගෙය තුළ පහනක් දල්වා දොරවසා සියල්ලෝම එළියට යති. ගමේ හේනයාට හා නෑයන්ට දැන්වීම මරණය සිදු වූ පසු කෙරෙන අනෙක් වැදගත් චාරිත්‍රයකි. ඔවුන් පැමිණි පසු නිවසේ අගුවක මැස්සක් සාදනු ලැබේ. මළ තැනැත්තාගේ ඇවැස්ස බෑනා හෝ අනෙක් කිට්ටු ඥාතියකු නිවසේ දොර හැර මිනියට අත ගැසූ පසු සෙස්සෝ එකතුව එය ඔසවා මැස්සෙ තබා හිස හා දෙපය දෙසින් පන්දම් දල්වති. වියන් බැඳීම ද සිදු කෙරේ. ඉක්බිති වතුර කළයක් ගෙන තුන්වරක් මිනියට වක්කර පිඟානකට පොල් කිරි හා කහ හඳුන් ගෙන මුහුණේ ගා, බුලත් කොළයක්, පුවක් පෙති කීපයක්, හාල් ඇට කීපයක් හා රිදී කාසියක් කට ලඟ තබනු ලැබේ. එය ‘කටහාල් දැමීම’ නම් වේ. අවසාන කෘත්‍යය සඳහා මෘතශරීරය ගෙන යෑමේ දී සුදු වස්ත්‍රයකින් වසා බාල සහෝදර දූ දරුවන් ලවා වන්දවා, මැස්සක හෝ පෙට්ටියක තබා ගෙදරට බටහිරින් සාදන ලද අලුත් කඩුල්ලකින් එය ගෙනයනු ලැබේ.

සිංහල චාරිත්‍ර අනුව කුජ දින හා කිවි දින අවසාන කෘත්‍ය ඉටු නෙකෙරේ. මෘතශරීරය සුසාන භූමියට ගෙන යාමට ස්වල්ප වේලාවකට පෙර හෝ ගෙනගිය පසු පාංසුකූලය දීම බෞද්ධ චාරිත්‍රයයි. පැන් වැඩීම, මළ තැනැත්තාට පින් අනුමෝදන් කොට නිවන් සැප පැතීම සුසාන භූමියේ දී දැනට කෙරෙන අනෙක් චාරිත්‍ර වේ.

ක්‍රිස්තු භක්තිකයන් මිනියේ හිස බටහිරට හැරෙනා සේ පෙට්ටියක තබා හිස පැත්තෙන් කුරුසියක් ද දෙපසින් දැල්වූ ඉටිපන්දම් හෝ පහන් ද තබමින් මෘතශරීරයට සුවඳ ඉසීමත්, ගෙදර සුවඳ දුම් දැවීමත් ඔවුන් විසින් කරනු ලබන අනෙක් චාරිත්‍ර වේ. තවද ගුරුවසමට මරණය පිළිබඳ දැනුම් දීම සඳහා පල්ලියේ සීනුව කීපවරක් නාද කරනු ලැබේ. මළ අය අයත් සමාගමේ සාමාජිකයන් වරින් වර පැමිණ යාච්ඤාරාධනා ඔප්පු කිරීම අනෙක් වැදගත් චාරිත්‍රයකි. මිනිය ඔසවන විට පුජාප්‍රසාදිතුමකු හෝ ඇත්තාවි මහතකුගේ මෙහෙයවීමෙන් තේවාවක් පවත්වනු ලැබේ. ක්‍රිස්තියානි චාරිත්‍රානුකූලව අවමංගල්‍ය පෙරහැරේ ඉදිරියෙන් ගමන් කරන්නෝ කුරුසිය, ඉටිපන්නදම් රුක් පල්ලියේ හා ධර්ම සමාගම්වල කොඩි ගත් අයයි. පෙරහැර ගමන් කරද්දී යාච්ඤා කිරීම ද කෙරේ. බෑන්ඩ් කණ්ඩායම්, පාවඩ ආදිය ද ඇතැම් විට දක්නට ලැබේ. සුසාන භූමියේ දී අවසාන යාච්ඤාව ඔප්පු කෙරේ.

අවසාන කෘත්‍ය විධි

භූමිදානය

මෙය ඉතා පැරණි ක්‍රමයකි. මධ්‍යම පූර්‍වශිලා යුගය තරම් අතීතයේ සිට මෙම ක්‍රමය පැවති බවට සාක්‍ෂි තිබේ. භූමිදානයේ දී මෘතශරීරය පැදුරක් හෝ එවැනි යමකින් එතීම, විශාල භාජනයක්, මිනී පෙට්ටියන් වැනි යමක තැබීම හෝ එවැනි කිසිඳු ආවරණයකින් තොරව පස්යට කිරීම කෙරිණි. වල, ගඩොලින් බැදීම ද ඇතැම් සමාජවල කෙරෙන්නකි. භූමිදානයේ දී මිනිය තබනුයේ සමාජීය හා ආගමික වශයෙන් පිළිගත් සම්ප්‍රදායානුකූලවය. මිනිය මක්කම නගරය දෙසට මුහුණු හැරෙන සේ දකුණු ඇළයට තැන්පත් කිරීම මුස්ලිම් සම්ප්‍රදායයි. බෞද්ධයෝ මිනියේ හිස උතුරට හැරෙන සේ උඩුකුරුව තබති. පා නැගෙනහිර දෙසට හැරෙන සේ තැබීම ක්‍රිස්තුභක්තිකයෝ අතර පවත්නා චාරිත්‍රයයි.

සමහර රටවල ගුහා තුළ මිනී තැන්පත් කිරීම සිදු කෙරේ. මෙය ප්‍රාග්ඓතිහාසික යුගයේ සිට පැවතෙන්නකි.

ආදාහනය

ලෝකයේ හැම රටකම බෙහෙවින් දක්නට ලැබෙන්නකි. නවශිලා යුගයේ අවසාන කාලයේ දී පමණ යුරෝපයේ ඇරඹුනු මෙය ලෝකඩ යුගයේ දී මිනී වළදැමීමේ චාරිත්‍රය අභිබවා දියුණු විය. පසු කාලයේ දී ආදාහන ක්‍රමය ක්‍රිස්තියානි ආගම මඟින් තහනම් කරනු ලැබුවද වර්‍තමාන ලෝකයේ දියුණු තත්‍වයකින් දක්නට ලැබේ. මෙය ඇතැම් සමාජවල තත්‍වයෙන් උසස් අය සඳහා සීමා වූවක් වන අතර තවත් සමාජවල අපරාධකරුවන් වහලුන් වැනි පහත් සමාජ තත්‍වයක් ඇති අයට සීමා වේ. උසස් කුලවල හින්දු භක්තිකයන් සාමාන්‍යයෙන් අනුගමනය කරන ක්‍රමය වන්නේ ආදාහනයයි. බෞද්ධයන් අතර ද මෙය බහුල වශයෙන් දක්නට ලැබේ. ආදාහනය සිදු කරන ස්ථානය, වේලාව ආදිය සමාජීය සිරිත් හා සෞඛ්‍යාරක්ෂාව පිළිබඳ නීති අනුව තීරණය වේ. සිංහල බෞද්ධයන් චිතකයට ගිනි දැල්වීම කරනුයේ සන්ධ්‍යා කාලයේ දීය. මියගිය අයගේ බෑණාවරු දෙදෙනෙක් ගිනි පන්දම් ගෙන චිතකය වටා පැදකුණු කොට එයට ගිනි තබා පසුපස නොබලා ගොස් මුව දෝවනය කිරීම සාමාන්‍ය සිරිත වේ.

සංරක්‍ෂණ ක්‍රමය

මෙය විශේෂයෙන්ම ඊජිප්තුවේ දක්නට ලැබුණකි. ඔස්ටේ්‍රලියාවේ හා ටොරෝස් සමුද්‍රසන්ධිය අසබඩ දූපත් ජනයා වැනි නොදියුණු ගෝත්‍රිකයන් අතර ද මෙය ව්‍යාප්තව පැවතුණි. මෘතශරීර කල්තබා ගැනීම සඳහා අතීතයේ භාවිත වූයේ දුම් ගැසීම, ශරීරභ්‍යන්තරය ශුද්ධ කිරීම හා ඛනිජ හෝ වෘක්‍ෂලතාදියෙන් ලබාගත් සංරක්‍ෂණ රසායනික ද්‍රව්‍ය ගැල්වීමත් ය. වර්තමානයේ මේ සඳහා දියුණු කලේබණරාරක්‍ෂණ ක්‍රම භාවිත කරනු ලැබේ.

ජලයට දැමීමේ ක්‍රමය

මෘතශරීරයෙහි ගලක් වැනි බරැති දෙයක් ගැට ගසා ජලයට දැමීම මෙහිදී අනුගමනය කෙරෙන ක්‍රමයයි. වහලුන්, විදේශීන් හා සමාජයේ වැදගත් නොවන පුද්ගලයන් සම්බන්ධයෙන් අතීතයේ මෙම විරිත අනුගමනය කරන ලදී. යාත්‍රා කරන නැවක් තුළ මිය යන්නවුන් ජලයට දැමීම ද ඇතැම් විට සිදු කෙරේ. සමහර දූපත්වල මුහුදු වෙරළේ කොටස් සුසානභූමි වශයෙන් ද වෙන් කර තිබේ. මෘතශරීරය ඔරුවක බහා ජලයේ පා කර හැරීම මෙම ක්‍රමයේ තවත් ප්‍රභේදයකි. විශේෂයෙන්ම යම් රටකට ආගමනය වූ ගෝත්‍ර අතර දක්නට ලැබෙන මෙම චාරිත්‍රයේ අරමුණ වනුයේ මළවුන් ඔවුන්ගේ මුතුන්මිත්තන්ගේ දේශයටම ආපසු යැවීමයි.

අමුසොහොනේ දැමීම

මෘතශරීරය ගසක්, ගලක් හෝ විශේෂ වේදිකාවක් මත නැතහොත් බිම නිරාවරණව හෝ රෙදිකඩකින් වසා තැබීම මෙම ක්‍රමයයි. එහි දී මළකඳ දිරාපත් වීම හෝ සතුන්ට ගොදුරු වීම සිදු වේ. මීට සමාන සේ සැලකිය හැකි ගල්ගුහාවල මෘතශරීර තබා කොළ අතුවලින් වැසීමේ ක්‍රමය ලංකාවේ වැද්දන් හා චීනයේ ආදිජනයා අතර දක්නට ලැබුණි. පොළව හිමෙන් වැසී ඇති ධ්‍රැව ප්‍රදේශවල ද මෙම ක්‍රමය අනුගමනය කෙරේ.

මෘතශරීරය අනුභව කිරීම

මෙම ක්‍රමයේ අරමුණ මළ තැනැත්තා සමඟ ඉතා කිට්ටු සබඳතාවක් තබා ගැනීමයි. මෙය ඕස්ටේ්‍රලියාවේත්, දකුණු ඇමරිකාවේ හා අප්‍රිකාවේ ඇතැම් ගෝත්‍රිකයන් අතර දක්නට ලැබේ.

මෘතශරීර ජලයට දැමීම හැර අන් සියලුම ක්‍රම අනුගමනයෙන්, සිරුරෙන් යම් යම් කොටස් ඉතිරිවීම සිදු වේ. විශේෂයෙන්ම ආදාහනයේ දී එය දක්නට ලැබෙන්නකි. එම කොටස් නැවත සොහොන් කිරීම ද්විතියික ඉවත් කිරීම නමි.

මළගමකදී අනුගමනය කෙරෙන චාරිත්‍ර සමාජ විiාත්මකව මෙන්ම මනෝවිiාත්මකව ද පැහැදිලි කළ හැකි ය. සමාජ විiාත්මකව බලන විට මරණයක් නිසා සමාජ සම්බන්ධතාවන්ගේ හා පුද්ගල සම්බන්ධතාවන්ගේ විනාශ වී යාමක් ඇති වන බව පෙනේ. මේ හෙයින් මරණය නිසා සමාජයේ සංස්කෘතික රටාවට සාරධර්මයන්ට හා සමාජ සංස්ථාවන්ට හානියක් නොවන සේ නැවත හැඩගැසීමක් අවශ්‍ය වේ. මළගම සම්බන්ධයෙන් විවිධ සමාජවල අනුගමනය කෙරෙන සිරිත් මෙම කාර්‍ය්‍ය ඉටුකිරීම අරමුණු කරගත් සේ හඳුන්වා දිය හැක. මෙවැනි අවස්ථාවන්ට යෝග්‍ය ආකල්ප ඇති කරගැනීමට හා එම ආකල්ප චර්යා මඟින් විදහා දැක්වීමට පුද්ගලයා හැඩගස්වනු ලබන්නේ මෙම චාරිත්‍රයි. මෙය මළගම චාරිත්‍ර පිළිබඳ මනෝවිiාත්මක පැහැදිලි කිරීමයි.

(කර්තෘ: ඩී.පී. ද සිල්වා)

(සංස්කරණය නොකළ)

"http://encyclopedia.gov.lk/si_encyclopedia/index.php?title=මළගම_සිරිත්&oldid=5662" වෙතින් සම්ප්‍රවේශනය කෙරිණි