"ආබ්‍රහම්" හි සංශෝධන අතර වෙනස්කම්
Senasinghe (කතාබහ | දායකත්ව) ('බයිබලයේ පරණ තෙස්තමේන්තුවේ සඳහන් ප්‍රථම හෙබ්...' යොදමින් නව පිටුවක් තනන ලදි) |
(වෙනසක් නොමැත)
|
08:47, 10 ජූලි 2024 වන විට නවතම සංශෝධනය
බයිබලයේ පරණ තෙස්තමේන්තුවේ සඳහන් ප්‍රථම හෙබ්‍රෙව් කුල දෙටුවාය. යුදෙව් වර්ගයාගේ හා එම ආගමේ ආදිකර්තෘ වශයෙන් සැලකෙන මොහුට ඉස්ලාම් සාහිත්‍යයෙහි ද වැදගත් ස්ථානයක් ලැබේ. පළමුවෙන් ම චර්මච්ඡේදනය කෙළේ ආබ්‍රහම් යයි උත්පත්ති කථාවෙන් කියැවේ.
උත්පත්ති කථාවේ 17 වැනි පරිච්ඡේදයෙහි සඳහන් වන හැටියට මොහුගේ මුල් නම 'ආබ්‍රම්' යන්නයි. මෙය දෙවියන් වහන්සේ විසින් 'බොහෝ ජාතීන්ගේ පියා' යන අර්ථවත් 'ආබ්‍රහම්' යන්නට පරිවර්තනය කරන ලදැයි එහි කියැවේ. සිය මහලු වියෙහි දී ලත් පුත්‍රයා දෙවියන් වහන්සේට දවන පූජාවක් කොට දීමට සුදානම්ව සිටීමෙන් පෙනී යන පරිදි ආබ්‍රහම් වූකලි දෙවියන් වහන්සේ කෙරෙහි වූ අචල භක්තිය පිළිබඳ මූර්තියක් බඳු වේ 'අදහන්නා වූ සියල්ලන්ගේ පියා' (රෝම iv, 11), 'දෙවියන් වහන්සේගේ මිත්‍රයා' (යාකොබ් ii, 23) යනාදි වශයෙන් බයිබලයේ නොයෙක් තන්හි මොහු හඳුන්වා ඇත. ස්වර්ගය හැඳින්වෙන පර්‍ය්‍යාය නාමයක් සේ ක්‍රිස්තුභක්තිකයන් විසින් සලකනු ලබන 'ආබ්‍රහම්ගේ ළය' (ලූක් xvi, 22) යන්න යුදෙව් ජාතිකයන් අතර ද එම අර්ථයෙන් ම ව්‍යවහාර වනු පෙනේ.
ආබ්‍රහම් ක්‍රි.පූ. 2000 පමණේ දී මෙසපොටේමියාවේ පැරණිතම නගරයක් වූ 'කල්දියයන්ගේ ඌර්' (අර්)හි දී ජන්මය ලැබී යයි සලකනු ලැබේ. මොහුගේ භාර්යාව සාරා නම් වූවාය. ඇයගෙන් ඔහුට ලැබුණු ඊසාක් නම් පුත්‍රයා ඊශ්‍රායෙල් ජාතිකයන්ගේ ආදිකර්තෘ හැටියට සැලකේ. හාගර් නමැති අනියම් භාර්යාවගෙන් ඔහු ලත් ඉස්මායෙල් නම් පුත්‍රයා අරාබි ජාතියේ ආදි කර්තෘ වශයෙන් හැඳින්වේ. සාරාගේ මරණින් පසු විවාහ කරගත් කෙතුරා නම් භාර්යාවගෙන් ඔහුට පුත්‍රයෝ සදෙනෙක් වූහ. ආබ්‍රහම් අවුරුදු 175ක් ජීවත් වූයේල. කානාන්හි දී දිවංගත වූ මොහුගේ මෘත ශරීරය හේබ්රොන් අසල වූ මක්පේලා ගුහාවෙහි භූමදාන කරන ලදි.
ආබ්‍රහම්ගේ ජීවිතය පිළිබඳව උත්පත්ති කථාවෙහි එන පුවත් පුරාවිද්‍යාත්මක සොයාගැනීම් අනුව සාමාන්‍යයෙන් නිවැරැදි යැයි පිළිගනු ලැබේ. එම කථා බැබිලෝනියන් ආක්‍රමණයන්ගෙන් පසු (ක්‍රි.පූ. 597-586) ශේෂ වූ අය අතර ප්‍රචලිතව පැවති බව අනාගතවක්තෘ එශෙකියෙල්ගේ පොතෙන් (xxxiii, 24) පෙනී යන නමුත් ආබ්‍රහම් නමින් ශ්‍රෙෂ්ඨ පුද්ගලයකු ඊශ්‍රායෙල් දේශයේ විසූ බවක් එම පොතේ හෝ අනාගතවක්තෘ යෙරෙමියාගේ පොතේ හෝ සඳහන් නොවේ.
(සංස්කරණය: 1965)