"ආයිත්තාලියද්දේ මුහන්දිරම්" හි සංශෝධන අතර වෙනස්කම්

සිංහල විශ්වකෝෂය වෙතින්
වෙත පනින්න: සංචලනය, සොයන්න
('ලක්දිව උපසම්පදාව පිහිටුවනු සඳහා සියම් දේශයෙන...' යොදමින් නව පිටුවක් තනන ලදි)
 
(වෙනසක් නොමැත)

15:29, 22 ඔක්තෝබර් 2024 වන විට නවතම සංශෝධනය

ලක්දිව උපසම්පදාව පිහිටුවනු සඳහා සියම් දේශයෙන් භික්ෂූන් වැඩමවා ගෙන ඊමට දූතමෙහෙවරෙහි යෙදුණු රාජ්‍ය නිලධාරීන් පස්දෙනා අතුරෙන් කෙනෙකි. “මාහැඟි පඬුරු ශ්‍රී සන්නස් හා පූජා භාණ්ඩයන් සම්පාදනය කොට පට්ටපොළ මොහොට්ටි නිලමේ ද ඇල්ලෙපොළ මොහොට්ටි නිලමේ ද යටිනුවර ඊරියගම නිලමේ ද විල්බාගෙදර නිලමේ ද ආයිත්තා ලියද්දේ නිලමේ ද යන මේ නිලමක්කාර පස්දෙනා ප්‍රධාන කොට ඇති” යන ස්‍යාමෝපසම්පදාවත් පාඨයෙහි පස්වැන්නා ලෙස ආයිත්තාලියද්දේ සඳහන් වෙයි. ඔහු විසින් ම ලියන ලද සංඝරාජ සාධුචරියාවෙහි: “නැවත තුන්වැනි වාරෙත් එම විල්බාගෙදර මුහන්දිරම් රාළත්” යනාදි වශයෙන් දක්වා ඇත. “ආයිත්තාලියද්දේ” යනු එම නිලධරයා ග්‍රාම නාමයෙන් හඳුන්වාලූ සැටිය. ඔහු "වෙඩික්කාර ලේකමේ දුම්බර නිලය" දැරූ බව සඳහන් වන හෙයින් දුම්බර වාසය කළ බව සිතා ගත හැකිය.

ආයිත්තාලියද්දේ නිලමේ සියම්රට දූත ගමනෙහි යෙදීමෙන් ශාසන සංග්‍රහයක් ද "සංඝරාජ සාධුචරියා" (බ.) නම් වූ සරණංකර සංඝරාජයන් වහන්සේගේ චරිතාවදානය සංග්‍රහ කළ ග්‍රන්ථය සම්පාදනය කිරීමෙන් සිංහල සාහිත්‍යයට හා තත්කාලීන ශාසනික වූත් දේශීය වූත් ප්‍රවෘත්ති දක්වාලීමෙන් ඉතිහාසයට මහඟු සේවයක් ද කෙළේය. සංඝරාජ සාධුචරියාවෙහි කතුවරයා පිළිබඳ සටහනක් නැත ද ඊරිමින්නේ විපස්සී තෙරුන් විසින් එකල ම ලියන ලද “ආදාහන වත” නම් ග්‍රන්ථයෙහි එය “ආයිත්තාලියද්දේ මුහන්දිරම්ගේ කෘතියකැ”යි සඳහන් කොට ඇත. ලියන ලද්දේ ශ.ව. 1701 දී සඟරජ හිමියන් අපවත් වී වර්ෂයකින් පසුවය.

(සංස්කරණය: 1965)