"ඇතන්ස්" හි සංශෝධන අතර වෙනස්කම්

සිංහල විශ්වකෝෂය වෙතින්
වෙත පනින්න: සංචලනය, සොයන්න
('ග්‍රීක සමූහාණ්ඩුවේ වර්තමාන අගනුවරයි. පුරාණ ග...' යොදමින් නව පිටුවක් තනන ලදි)
 
(වෙනසක් නොමැත)

10:15, 9 මැයි 2025 වන විට නවතම සංශෝධනය

ග්‍රීක සමූහාණ්ඩුවේ වර්තමාන අගනුවරයි. පුරාණ ග්‍රීසියේ ඉතා ම වැදගත් පුරය වූයේ ද මෙයයි. සරොනික් බොක්ක අවට වූ ඇටිකා තැන්නෙහි පිහිටි මෙය හයිමෙටස්, ඉංගේලියොස්, පාර්නිස් සහ පෙන්ටෙලිකොන් යන කඳුවලින් වට රමණීය නගරයකි. සිෆිසුස් ගඟ ඊට බටහිරින් ද ඉලියුස් ගඟ නැගෙනහිරින් ද ගලා යයි. මෙහි දේශගුණය වියළිය. ග්‍රීෂ්ම ඍතුවේ උෂ්ණත්වය පැ. 990කි. වර්ෂාව අඩු හෙයින් නිතරම් නියං ඇති වේ. ගංගාවන් නිසා ජල පහසුව ඇති ඇටිකා තැන්න සාරවත්ය.

උදාර ඉතිහාසයකින් යුත් ඇතන්ස් නුවර අද වුවත් සංස්කෘතික මධ්‍යස්ථානයක් වශයෙන් ඉතා වැදගත්ය. ජනගහනය (1961) 565,084කි.

1834 දී වර්තමාන ග්‍රීසියේ අගනුවර බවට පත් වූ ඇතන්ස් නවීන නගරයක් වශයෙන් විශේෂයෙන් දියුණු වූයේ පළමුවැනි ලෝක සංග්‍රාමියෙන් පසුවය. 1912 දී තුර්කිය බිඳවැටීමෙන් සහ 1923 ලෝසාන් ගිවිසුමෙන් පසු බෝල්කන් රටවල් අතර ග්‍රීසිය මධ්‍යස්ථානයක් වූයෙන් ඇතන්ස් වඩාත් දියුණු විය. නගරයට සේවය කරන පයිරීයස් වරාය ප්‍රධාන මධ්‍යධරණී වරායක් බවට පත්ව තිබේ. පිහිටීම සහ ස්වාභාවික සම්පත් හීනබව නගරයේ නව කර්මාන්ත දියුණුවට බාධාවන් සේ පෙනෙතත් නිෂ්පාදන කර්මාන්ත අතින් අඩුවක් එහි නැත්තේ ය. පිටි ඇඹරීම, මද්‍යසාර පෙරීම, සබන් සහ සුවඳ විලවුන් නිෂ්පාදනය, රෙදිපිළී සහ බුමුතුරුණු විවීම යන මේවා මෙහි ප්‍රධාන කර්මාන්තයි. සිගරැට්, රසායන ද්‍රව්‍ය, සම්බඩු සහ ලෝහ භාජන ද මෙහි නිපදවනු ලැබේ. ඔලිව්තෙල්, වයින්, දුම්කොළ, සම්, බුමුතුරුණු සහ කිරිගරුඬ ඇතන්ස් නුවරින් පිටරට යවන ප්‍රධාන ද්‍රව්‍ය වේ. දැව, ආහාර ද්‍රව්‍ය, ලෝහ ද්‍රව්‍ය, කඩදාසි සහ යන්ත්‍ර සූත්‍ර විශාල වශයෙන් පිටරටවලින් ගෙන්වාගනු ලැබේ.

දෙවැනි ලෝක යුද්ධයේ දී සටන් බිමක් වූ ඇතන්ස් නගරයේ කර්මාන්තශාලා සහ නවීන ගොඩනැගිලි රාශියක් විනාශ වූ නමුත් එහි ඵෙතිහාසික කොටසට හා කෞතුක වස්තුවලට හානියක් නොවීය.

ඉතිහාසය

ඇතන්ස් නගරය වූකලි ග්‍රීසියේ ඉපැරැණි නගරයකි. මෙහි වූ රාජාණ්ඩු ගැන සඳහන් වනුයේ අල්ප වශයෙනි. ජනප්‍රවාදයට අනුව ඇතන්ස්හි පළමු වන රජ සීක්‍රොප්ස් නමැත්තෙකි. ඇටිකාවේ කුඩා රාජ්‍යයන් එක්සේසත් කොට ඇතන්ස් ඒ මුළු පෙදෙසේ ම අගනුවර බවට පත් කිරීමේ ගෞරවය ජනශ්‍රැතියෙහි ම එන තීසියස් නම් වීර රජු කෙරෙහි පැවරේ. ඇතන්ස්හි රදල ආණ්ඩු ක්‍රමය ඇති වූයේ කෝඩ්‍රස් නම් රජකුගෙන් පසුව යයි කියනු ලැබේ. ඇතන්ස් පිළිබඳ ඉතිහාස ගත කාලපරිච්ඡේදය ආරම්භ වන්නේ සෝලන් (බ.) නම් සුප්‍රකට නීතිදායකයාගෙනි. ක්‍රි.පූ. 594 දී මොහුගේ මෙහෙයීමෙන් පළමුවැනි වරට ඇතන්ස්හි ප්‍රජාතන්ත්‍රවාදී ආණ්ඩු ක්‍රමයක් පහළවිය. එහෙත් කලකට පසු රදලවරුන් අතර පැනනැඟි නොයෙක් අරගළ හේතුකොටගෙන ඇතන්ස් රාජ්‍යය පිසිස්ට්‍රේටස් නම් ප්‍රජාපීඩකයා අතට පත් විය. මේ ප්‍රජාපීඩක පාලන ක්‍රමය ක්‍රි.පූ. 510 වන තුරු ම පැවැතිණි. මෙහි පෞරරාජ්‍ය ක්‍රමය පහළ වූයේ පර්සියන් යුද්ධය (ක්‍රි.පූ. 500-449) ඇති වූ කාලයේය. ග්‍රීක රාජ්‍යයන්ගේ නායකත්වය ගෙන ඇතන්ස් රාජ්‍යය බලසම්පන්න පර්සියන් අධිරාජ ඩේරියස් සමඟ යුද වැදී ක්‍රි.පූ. 490 දී මැරතන්හි දී ලත් විශිෂ්ට ජයග්‍රහණයෙන් සිය රණශූරත්වය මොනවට ප්‍රකට කෙළේය. මේ අවධියේ වූ ඉතා සැලකිය යුතු සිද්ධිය නම් ග්‍රීක පෞරරාජ්‍යයන් අතර (තෙමිස්ටොක්ලීස් යටතේ) ඇතන්ස් නාවික බලය අතින් ප්‍රමුඛ ස්ථානයට පත් වීමයි. ක්‍රි.පූ. 480 දී සලාමිස්හි දී පර්සියානු අධිරාජ ස'ක්සිස් පරදවා ලත් සමුද්‍ර ජයග්‍රහණයෙන් ඇතන්ස්හි කීර්තිය තවත් වැඩි විය. ඇතන්ස් රාජ්‍යයට ඩීලියන් සංගමයේ හෙවත් පෞරරාජ්‍ය සන්ධානයේ (ක්‍රි.පූ. 478) ආධිපත්‍යය ලැබීමට මෙය ප්‍රබල හේතුවක් විය.

පැරැණි ග්‍රීසියේ විශේෂ දේශපාලන අංගය වූ කුඩා රාජ්‍යයන් නිතර නිතර යුද වැදීම මේ කාලයේ දී ද නොඅඩුව පැවැතිණි. එහෙත් ක්‍රි.පූ. 449 දී පර්සියාව සමඟ ද ක්‍රි.පූ. 445 දී ඇතන්ස්හි බලවත් ම සතුරා වූ ස්පාටාව සමඟ ද සාම සාකච්ඡා ඇති විය.

ඇතන්ස් නගරය සමෘද්ධියෙන් උච්චස්ථානයට පැමිණියේ පෙරික්ලීස්ගේ පාලන සෙමෙහිය. සොක්‍රටීස් වැනි දාර්ශනිකයන් හා සොෆොක්ලීස්, යුරිපිඩීස් වැනි දෘශ්‍යකාව්‍ය රචකයන් පහළ වූයේ ද පාර්තිනොන් වැනි විශාල ආගමික ගොඩනැගිලි ඉදි වූයේ ද මේ වකවානුවේ දීය. මූර්ති කලාව, චිත්‍ර කලාව ආදි ලලිත කලා උසස් අන්දමින් සමෘද්ධ විය. කොටින් කියතොත් බටහිර ඉතිහාසයේ කවර කලෙකවත් මේසා විශාල බුද්ධිප්‍රභාවක් එක්තැන් වී යැයි කිය නොහැකි තරම්ය. එහෙත් අභාග්‍යයකට මෙන් ක්‍රි.පූ. 431 දී පෙලොපොනීසියන් යුද්ධය ආරම්භවීමත් සමඟ ස්පාර්ටාව හා පැවති එදිරිවාදුකම් නැවතත් මතු විය. ඇතන්ස් රාජ්‍යයේ මිත්‍ර පිරිස එය හැරපියා ගියහ. ක්‍රි.පූ. 429 දී පෙරික්ලීස් මරුමුවට පත් වන්නට ප්‍රථමයෙන් ම ඔහු ගොඩනැංවීමට සිතා සිටි මහා අධිරාජ්‍යය පිළිබඳ සැලැස්ම සුන්බුන් වී ගියේය. ඇතන්ස් තීරණාත්මක ලෙස පරාජය වීමෙන් යුද්ධය අවසන් වූයේ ක්‍රි.පූ. 404 දීය.

ඉන් පසු නැවතත් ඇතන්ස් නගරය ක්‍රෑර ප්‍රජා පීඩකයනට යටත් වූ නමුත් පසුව ත්‍රැසිබ්‍යුලස් නමැත්තා විසින් ඔවුහු යටපත් කරනු ලැබූහ. ක්‍රි.පූ. 376 වන විට ස්පාර්ටාව මැඩපැවැත්වීමට තරම් පොහොසත් නාවික හමුදාවක් නැවතත් ඇතන්ස්හි ඇති විය. එසේම ක්‍රි.පූ. 371 ලියුක්ට්‍රා යුද්ධයේ දී ස්පාර්ටාවේ බලය පිරිහී ගියේය. නැවතත් ඇතන්ස් රාජ්‍යයට සමෘද්ධිමත් කාලපරිච්ඡේදයක් උදාවූයේය. මීළඟට පහළ වූයේ මැයිඩෝනියානු පාලන යුගයයි. ඇලෙක්සැන්ඩර්ගෙන් පසු මැසිඩෝනියානු ආධිපත්‍යයෙන් මිදීමට ඇතන්ස් පුරය මූලිකව ක්‍රියා කළ නමුත් මැසිඩෝනියානුන් අතින් පරාජයට පත් වීමෙන් ඇතන්ස්හි යුද්ධ ශක්තිය ඉන් පසු පිරිහිණ. සතුරු පීඩා මධ්‍යයෙහි වුව ද ඇතන්ස්හි දර්ශනය, සාහිත්‍යය, කලාව ආදි විෂයයන්ගේ දියුණුව ශීඝ්‍ර ලෙස වැඩි වන්නට විය. එහි එවක විසූ ප්ලේටෝ, ඇරිස්ටෝටල්, ඇරිස්ටොෆනීස් ආදීන්ගේ නම් පමණක් මෙහි ලා සඳහන් කිරීම ප්‍රමාණවත්ය. අනතුරුව එළඹි යවන හා රෝම යුගයන්හි දී ද ඇතන්ස් නුවර සංස්කෘතික මධ්‍යස්ථානයක් වශයෙන් බැබළෙන්නට විය. පර්ගමම් හා මිසරය වැනි රාජ්‍යවල යවන රජවරු ද රෝම අධිරාජවරු ද ඊට මහත් හරසර දැක්වූහ. ඔව්හු එහි විශාල මන්දිර තැනවූහ. රෝමයේ ධනපති පවුල්වල බොහෝ දෙන අධ්‍යාපනය ලැබුයේ ද එහිය. ඇතන්ස් නගරය රෝම ඉතිහාසයේ විශේෂ තැනක් ගත්තේය.

පසු කලෙක ගොත්වරුනටත් ලතින් අධිරාජ්‍යයට හා ඔටොමන් අධිරාජ්‍යයටත් ඉන් පසු ඉතාලියට හෝ තුර්කියටත් වරින් වර යටත් වෙමින් පැවැති මේ නගරය 1458 දී ස්ථිර වශයෙන් ම තුර්කි පාලනය යටතට පත් විය. නව ඇතන්ස් නගරය ගොඩනඟන ලද්දේ 1834 දී, එනම් නිදහස් ග්‍රීසියේ අගනුවර වශයෙන් එය තෝරාගනු ලැබීමෙන් පසුය. දෙවැනි ලෝක සංග්‍රාම සමයේ දී ඊට තදබල හානි සිදු විය.

පුරාවිද්‍යාත්මක නෂ්ටාවශේෂ

පැරණි ඇතන්ස් නගරයේ ශ්‍රී විභූතියට දෙස් දෙන නෂ්ටාවශේෂ ඇක්රොපොලිස් (බ.), ඇරියොපැගස් යන ස්ථානයන්හි හා ඒ අවට වූ කුඩා කඳුවැටි මත දක්නට තිබේ. මේවා අතුරෙහි ප්‍රධාන තැන ගන්නා ඇක්රොපොලිස්හි නෂ්ටාවශේෂ නව පාෂාණ යුගයට අයත්ය. පුරාවිද්‍යා කැණීම්වල දී මතු වූ ලෝකඩ යුගයට අයත් ගොඩනැඟිලි අතර මයිසීනියන් ගුහා සොහොන් ද නිවාස හා මාළිගයක් ද කඳු මුදුන වටා වූ මහා ප්‍රාකාරයක් ද විය. පසු කාලයේ දී නගරය වට කොට තැන වූ දොරටු නවයකින් යුක්ත අනෙක් ප්‍රාකාරයක් ද විය. නගරයට පිවිසෙන ප්‍රධාන දොරටුව ඩිපිලොන් (Dipylon) නමින් හැඳින්විණි. ඒ දොරටුවෙන් ඔබ්බෙහි ක්‍රි.පූ. දොළොස්වැනි සියවසේ සිට රෝම යුගය දක්වා වූ කාල පරිච්ඡේදයට අයත් වටිනා කෞතුක වස්තු සහිත සොහොන් ගැබ් රාශියක් සොයාගෙන තිබේ. ලෝකඩ යුගය ඉක්මීමට පූර්වයෙහි ම ඇක්රොපොලිසය ආගමික ගොඩනැගිලිවලට පමණක් සීමා විය. ක්‍රි.පූ. 600 වන විට ගලින් නිම වූ දෙව් මැදුරු කිහිපයක් ම එහි ගොඩ නැඟී තිබිණ. ක්‍රි.පූ. 480 දී ඇති වූ පර්සියන් යුද්ධයේ දී ඇක්රොපොලිස්හි ගොඩනැඟිලි සියල්ලක් ම පාහේ විනාශ වී ගියේය. පසුව තෙමිස්ටොක්ලීස්, පෙරික්ලීස් ආදි රාජ්‍යපාලකයන් විසින් ඒවා යළිත් මුළුමනින් ම ගොඩනංවනු ලැබීය.

ඇක්රොපොලිස් කඳු මුදුනෙහි පිහිටි පාර්තිනොන් (බ.) මන්දිරය පැරණි ඇතන්ස් නගරයේ උසස් ම නිර්මාණය ලෙස සලකනු ලැබේ. මීට උතුරින් පිහිටි එරෙක්තීයම් (Erectheum) මන්දිරය (ක්‍රි.පූ. 407 පමණ) පැරණි දෙව් මැදුරු කිහිපයක් එක් කොට ඉදි කරන ලද්දකි. අයෝනික සම්ප්‍රදායට අයත් මෙම දේවමන්දිරය එරෙක්තියුස් රජුට හා ඇතීනී දෙව්දුවට කැප කොට ඇත. මෙහි බිත්ති, ආලින්ද ආදිය විසිතුරු ගල් කැටයම්වලින් අලංකාර විය. දකුණු ආලින්දයෙහි කුලුනු වෙනුවට යොදා තුබුණු කිරිගරුඬ නාරිරූප උසස් කලා කෘති වශයෙන් සලකනු ලැබේ. නිරිත දිග කොටු තාප්ප කොත මත පිහිටි ‘ජයග්‍රාහී ඇතීනී’ දෙව්දුවට කැප වූ දෙව් මැදුර අතිමනහර ගොඩනැඟිල්ලකි. ක්‍රි.පූ. 450න් පසුව තැනීමට පටන් ගත් මෙම කුඩා මන්දිරය සම්පුර්ණයෙන් ම කිරිගරුඬින් ඉදි කොට තිබේ. එහි ප්‍රතිමා ගෘහය දෙපස කුලුනුවලින් සැදි බරාඳ දෙකකින් යුක්ත විය. නැගෙනහිරින් අල්තාරය පිහිටියේය. දෙව් මැදුර තුළ ග්‍රීක-පර්සියානු යුද්ධ ප්‍රවෘත්ති නිරූපණය කෙරෙන දර්ශනීය කැටයම් රාශියකි. මන්දිරය වටා ඇති මිටි තාප්පය ‘ජයග්‍රහණය’ පිළිබිඹු කරන පියාපත් සහිත දේව ප්‍රතිමාවලින් යුක්ත වූයේය.

ප්‍රොපිලීයා (Propylaea) නමින් හඳුන්වනු ලැබූ ද්වාර මණ්ඩපය පෙරික්ලීස් විසින් ක්‍රි.පූ. 437 දී ගොඩනංවන්නට පටන් ගන්නා ලදි. එහෙත් යුද්ධ හේතූන් නිසා එය නිම කළ නොහැකි විය. සතරැස් ශාලාවකින් ද ඩොරික් හා අයෝනික් කුලුනු පේළිවලින් ද සැදි මෙහි උතුරුපස ඇතුළු කාමරයක් චිත්‍රාගාරය පිණිස යොදවන ලදි.

රෝමන් යුගයට අයත් ශ්‍රෙෂ්ඨ නිර්මාණය වනුයේ සියුස් දෙව් මැදුරයි. මෙය ඇක්‍රොපොලිසයට ගිනිකොනින් පිහිටියේය; කිරිගරුඬින් ඉදිකරන ලද්දේය; අඩි 318ක් දිගය; 132ක් පළලය. මෙහි වූ කොරින්තියන් කුලුනු 104න් දැනට අවිනෂ්ටව පවතින්නේ පසළොසක් පමණකි. මන්දිරයෙහි පිහිටා තුබුණු සියුස් ප්‍රතිමාව හේඩ්රියන් අධිරාජයා විසින් කරවන ලද්දකි.

ඕඩියම් (Odeum) නම් වූ පැරණි සංගීත ශාලාව ඇක්‍රොපොලිසය පාමුල පිහිටියේය. පන් දහසකට පමණ අසුන් ගත හැකි එහි දැනටත් විවිධ ප්‍රසංග පවත්වනු ලැබේ. මීට නුදුරින් පිහිටි ඩයොනීසස් නෘත්‍ය මණ්ඩපය ග්‍රීක නෘත්‍ය කලාවේ කේන්ද්‍රස්ථානයක් විය.

ක්‍රි.ව. 143 දී හෙරෝඩීස් ඇටිකස් විසින් තනවන ලද එළිමහන් ක්‍රීඩා මණ්ඩපය ඇතන්ස්හි විශාල ගොඩනැඟිලි අතුරෙන් එකකි. ක්‍රීඩා භූමිය අඩි 670ක් දිගය; 109ක් පළලය. රඟ මඬලක මෙන් එකිනෙකට උස්ව පිහිටි ආසන පේළි කිරිගරුඬින් නිමවා ඇත. මෙහි නරඹන්නන් 44,000කට පමණ අසුන්ගත හැකි විය.

ඇරියොපැගස්හි නටබුන් අතර ඇතන්ස්වාසීන්ගේ මන්ත්‍රණ සභාශාලා ද අලංකාර ඇතීනී අල්තාරය හා එරිනීස් දෙව්මැදුර ද වූයේය. පැරණි ජනාවාසයන්ගේ තතු හෙළි කරන අන්තර් ගෘහ, පියගැටපේළි, ජලාශ, සොහොන් ගැබ් ආදියෙහි නටබුන් රාශියක් ඒ ඒ තන්හි දක්නා ලැබේ.

ඇතන්ස්හි රාජ්‍ය පාලන කටයුතු පිළිබඳ ගොඩනැඟිලි පිහිටියේ ඇගෝරා නම් චතුරස්‍රයෙහිය. පර්සියානු යුද්ධවලට අනතුරුව ඇගෝරාහි උතුරු කොටස වාණිජ කටයුතු සඳහාත් දකුණු කොටස රාජ්‍ය හා ආගමික කටයුතු සඳහාත් වෙන් විය. මෙහි පිහිටි පැරණි ම මන්ත්‍රණ සභාශාලාව වශයෙන් සැලකෙන්නේ බුලෙවුටේරියෙන් (Bouleuterion) නම් වූ ගොඩනැඟිල්ලයි. තෝලොස් (Tholos) නමින් හැඳින්වෙන කවාකාර මන්දිරය රජයේ උසස් නිලධාරීන්ගේ රැස්වීම් ශාලාව විය. ඇපොලෝ දෙව් මැදුර ආදි ආගමික ගොඩනැගිලි රාශියක නෂ්ටාවශේෂ ද දැනට සොයා ගෙන ඇත. ක්‍රි.පූ. 520 පමණේ දී ඉදිකරන ලද ධාරාගෘහය ග්‍රීකයන්ගේ විසිතුරු නිර්මාණයකි.

(සංස්කරණය: 1967)

"http://encyclopedia.gov.lk/si_encyclopedia/index.php?title=ඇතන්ස්&oldid=8079" වෙතින් සම්ප්‍රවේශනය කෙරිණි