"ඉන්ද්‍ර" හි සංශෝධන අතර වෙනස්කම්
Senasinghe (කතාබහ | දායකත්ව) ('වෛදික ග්‍රන්ථයන්හි හා පුරාණයන්හි ‘ඉන්ද්‍ර’ ය...' යොදමින් නව පිටුවක් තනන ලදි) |
(වෙනසක් නොමැත)
|
14:33, 28 මැයි 2025 තෙක් සංශෝධනය
වෛදික ග්‍රන්ථයන්හි හා පුරාණයන්හි ‘ඉන්ද්‍ර’ යන නාමයෙන් ද බෞද්ධ ග්‍රන්ථයන්හි ‘සක්ක’ (සං. ශක්‍ර) යන නාමයෙන් ද හඳුන්වනු ලැබෙන මේ දෙවියා චිරන්තන භාරතීය දේව සමාගමයෙහි මුඛ්‍ය ස්ථානයක් ගත්තෙකි. ඔහුගේ පූජාර්හත්වය යුගයෙන් යුගය වෙනස් වූ බව පෙනේ. ඈත අතීතයේ අතිපූජ්‍ය වූ ඔහුට අද දවසේ භාරතවර්ෂයෙහි හෝ එම සංස්කෘතිය පවත්නා අන් රටක හෝ කිසි ම වෙසෙසි පුද පෙරහරක් නොපැවැත්වේ. ඔහුට තුබුණු තැන හින්දු සමාජයේ ශිව, විෂ්ණු, ගණේශ ආදීන් විසින් ද ලංකා බෞද්ධ සමාජයෙහි විභීෂණ, ස්කන්ද කුමාර, සමන් බොක්සල්, කිහිරැළි උපුල්වන් ආදීන් විසින් ද පැහැර ගෙන තිබේ. ඒ කෙසේ වෙතත් සාහිත්‍ය ග්‍රන්ථාදියෙහි අද පවා ඉන්ද්‍ර තෙමේ දෙවියන්ගේ රජු ලෙස සැලැකේ.
වේදයෙහි ඉන්ද්‍රට ලැබෙනුයේ ප්‍රමුඛ ස්ථානයකි. එහි හේ ආකාශස්ථ දෙවියන් කෙරෙන් ප්‍රධාන වේ. ඍග්වේදයෙහි ලැබෙන සූක්තයන් කෙරෙන් හතරින් එකක් පමණ ම ඉන්ද්‍රස්තෝත්‍ර වේ. සිය තෙදින් හා බලයෙන් සුරන් රැක්ම ඔහු ඇරඹුවේ උපන් කෙණෙහි මය. එම ඍග්වේදයෙහි -
යො ජාත එව ප්‍රථමො මනස්වාන්
දෙවො දෙවාන් ක්‍රතුනා පර්‍යභූෂත්
යස්‍ය ශුෂ්මාද් රොදසී අභ්‍යසෙතාම්
නෘමණස්‍ය මහනා ස ජනාස ඉන්ද්‍රඃ.
(ii.12.1) (යම් නුවණැති පළමු - දෙවියෙක් උපන් කෙණෙහි මැ
අවසෙසි අනෙක් දෙවියන් - රැක්කේ ද සිය සවියෙන්
යමකුගෙ මහත් වූ - විකුමේ තෙද'ග හමුවේ
දෙලොව මැ තදින් සැලිණි ද - එ තමා, දනෙනි, ඉඳුරා)
යනුවෙන් ඉඳුරා පැවැසේ.
ඉන්ද්‍ර ස්වයම්භූ දෙවියෙක් නොවේ. ඔහුගේ ජන්මය ඍග්වේදයෙහි කිහිප තැනක සඳහන් වේ. ඔහුගේ පියා ආකාශ මූර්තිය වන ‘ද්‍යෞස්’ යන නමින් හැඳින්වෙන ආදිකල්පික ආර්ය දෙවියා යැයි ඇතැම් කියමන් අනුවැ ගත හැකි වුව ද අන්‍ය බලතර සාක්ෂ්‍ය අනුව සලකත් හොත් ඔහු ත්වෂ්ටෘ දිව්‍යපුත්‍රයා බව පෙනේ. ඉන්ද්‍රගේ ශරීරය ද නොයෙක් තැන කවිවර්ණනයට පාත්‍ර වේ. පැහැයෙන් ඉන්ද්‍ර හරිත වර්ණ වේ. ඔහුගේ හිස කෙස් ද දැළි රවුලු ද හරිත වර්ණ ම වේ. ප්‍රමාණයෙන් ඉන්ද්‍ර අතිවිශාලය. පෘථිවිය මෙන් දශගුණයකට ද අධිකය. ඔහුගේ උදරය ද අතිවිශාලය. බාහු ද ඉතා දිගුය.
ඉන්ද්‍ර සෝමපානයෙහි අතිලෝලයෙකි. එහෙයින් ‘සෝමපා’ යනු ඔහුගේ විරුද නාමයකි. අතිපානයෙන් මත්ව ඇතැම් විට හේ පුරසාරම් කියයි. සෝමප්‍රිය වූ ඉන්ද්‍ර තෙමේ භක්තප්‍රියයෙක් ද වේ. එහෙයින් භක්තයා ද බොහෝ විට ඔහු අමතනුයේ යහළුවකු මෙනි —
ඉන්ද්‍ර සොමං සොමපතෙ පිබෙමං
(සෘග්. iii. 32.1)
(ඉඳුර, සෝම යැ මේ - බොව එය සෝමපතියෙනි)
ඉන්ද්‍ර මහත් වූ සම්පත් ඇත්තෙකි. එසේ ම තිළිණෙන් අගපත් වූවෙකි. හේ ස්වභක්තයන්ගේ මනදොළ පූරණය කරන්නේ නොමසුරු දානයෙනි. එහෙයින් ‘මඝවත්’ නම් විරුදයක් ඔහුට වේ. පුරාතන ආර්යයා ශක්තිමත් පුත්‍රයන් හා පුෂ්ටිමත් ගවයන් ආදි සම්පත් පැතුයේ ඉන්ද්‍රගෙනි. යුද්ධයෙහි දී ශෞර්යය හා වීර්යය පැතුයේත් ඔහුගෙනි. ඇතැම් විට ස්වභක්තයනට වහල් වනු පිණිස ඉන්ද්‍ර ස්වමූර්තියෙන් ම නරලොවට පිවිසේ. සුදාස රජුට පිහිට වනු සඳහා එසේ ඊමේ පුවත සුප්‍රකටය.
ඉන්ද්‍රට අසුරයන් හා නිතර නිතර සටන් කරන්නට සිදු වේ. මේ සටන්වලින් හැම විට ම ජය ඔහුට නොලැබේ; ඇතැම් විටක පැරැදී පලා යන්නට ද සිදු වේ; එහෙත් එසේ වනුයේ කලාතුරකිනි; බොහෝ විට ම ජය ඔහු අතෙහිය. ඔහු අසුර යුද්ධයට යනුයේ සෝමපානයෙන් ඔද වඩාගෙනය, දිරි වඩා ගෙනය, සිත දැඩි කැරගෙනය. එසේ යන ඔහුට සහාය වනු පිණිස අග්නි, විෂ්ණු යන දෙදෙවියෝ ද ඇතැම් විටක ඔහු හා සමඟ යෙති. එහෙත් බොහෝ විට ඔහු සටනට යන්නේ චණ්ඩ මාරුතයේ මූර්ති වන ‘මරුත්’ යන නමින් හැඳින්වෙන දේවගණයා පිරිවරා ගෙනය. අන්තරීක්ෂයෙහි කැරෙන මේ යුද්ධ අතිභයංකරය; මේඝගර්ජනයත් අශනිප්‍රහාරයත් එහි නර කනට ඇසෙන නර ඇසට පෙනෙන ලකුණුය. මේ සටන්හි ඉන්ද්‍ර මෙහෙයවන ප්‍රධාන ආයුධය වජ්‍රය වේ. එහෙයින් හේ ‘වජ්‍රභෘත්’, ‘වජ්‍රබාහු’ ආදි නම් ඇත්තේ වේ. කාලමේඝයෝ අසුර පුරයෝ වෙති. ඉන්ද්‍ර වජ්‍රයෙන් පහර දී ඒ පුරයන්ගේ ප්‍රාකාර බිඳ හෙළයි. එහෙයින් ඔහුට ‘පුරභිද්’ යන විරුදයක් වේ. පෘථිවියට වර්ෂාපතනය ඇති වනුයේ මේ සටන්වල ඉෂ්ට ඵල වශයෙනි.
‘වෘත්‍ර’ යන නමින් හැඳින්වෙන අසුරයකු හා සමඟය ඉන්ද්‍රගේ භීෂණතම යුද්ධ ඇති වනුයේ. මේ වෘත්‍ර ඇතැම් තැනක ‘අහි’ යන නමින් ද හඳුන්වනු ලැබේ. නියඟෙහි මූර්තිය වන මොහුට, සටනින් මැරී වැටුණත්, යළිත් පණ ලැබ සටනට ඊමේ ශක්තියක් තුබුණු බව පෙනේ. වෘත්‍ර මරුමුවට පත්කරන හෙයින් ඉන්ද්‍රට ‘වෘත්‍රහන්’ යන විරුදනාමය ලැබේ. ඔහුගේ විරුදාවලියේ ඇති පුරාණතම වූත් ප්‍රකටතම වූත් නාමය එය වේ.
සුරනර දෙගොල්ලගේ යහපත සඳහා සටන් කොට පැරැදවිය යුතු තවත් බිහිසුණු අසුරයෙක් වේ. හේ ‘වල’ නම් වේ. ‘පණි’ යනු ඔහුගේ තවත් නමකි. මේ වල නපුරු හරක් හොරෙකි. හේ සුර ගවයන් සොරකම් කරගෙන ගොස් අඳුරු ගල්ලෙනක හිර කොට තබයි. සරමා නමැති සුර බැල්ලගේ සහායයෙන් එම ගල්ලෙනට පැමිණ, ඉන්ද්‍ර එහි දොර වජ්‍රායුධ ප්‍රහාරයෙන් බිඳ සුර ගවයන් මුදා හරී. මේ සුර ගවයෝ කාල මේඝමූර්තීහු වෙති. ඒ ගවයන් මුදා හැරීම වර්ෂාපතනය ඇති කිරීමයි. වෛදික ආර්යයන් ඉන්ද්‍රයා වර්ෂාපතනයත් කාලගුණයත් දෙක පාලනය කළ අධිදේවයා හැටියට ද සැලකූ වග මේ දෙපවතින් හෙළි වෙතැයි යනු වත්මන් විදුමතුන්ගේ මතයයි. ඉන්ද්‍රපත්නිය ඉන්ද්‍රාණි නමි.
ඇත්ත වශයෙන් ඉන්ද්‍ර යනු කවරේ දැයි යන්න පිළිබඳව වේදයෙහි හසළ ප්‍රාචීන පඬිවරුන් අතර පවා මතභේද පවතී. වේදයෙහි ඇත්තේ ආදිත්‍යරූපී වූ එක ම දේවතාවකුගේ වර්ණනයකැයි පිළිගන්නා උගත්තු ඉන්ද්‍ර වූකලි ආදිත්‍යයාගේ ම නිමිත්ත විශේෂ වශයෙන් ගනු ලබන රූපාන්තරයකැයි කියත්. ඇතැම් වියත්හු අස්තංගත වෙමින් පවත්නා ආදිත්‍ය තෙමේ ඉන්ද්‍රයා යයි ද තවත් අය විෂුව දින සම්බන්ධී වූ ආදිත්‍ය තෙමේ ඉන්ද්‍රයා යයි ද පවසත්. නිරුක්තකාර යාස්කාචාරීන්ගේ මතය පිළිගන්නා අය ඉන්ද්‍ර වූකලි මධ්‍යමස්ථාන වාසී වූ දේවතාවෙකැයි කියත්.
පුරාණ ග්‍රන්ථයන්හි හා මහාභාරතාදියෙහි ඉන්ද්‍රට වේදයෙහි ලැබෙන මුඛ්‍යස්ථානය නොලැබේ. එහි ඔහුට ලැබෙනුයේ බ්‍රහ්ම විෂ්ණු ශිව යන ත්‍රිමූර්තියට ද්විතීය වන තැනකි. එහෙත් එදවස ද හේ දේවරාජය, පූර්වදිශාධිපතිය. ඔහුගේ ආධිපත්‍යයට වශග වන දෙවියෝ තෙතිස් දෙනෙකි.
එහෙයින් ඔවුන් වසන දෙව්ලොව ත්‍රයස්ත්‍රිංශත් (පා. තාවතිංස) නම් වේ. ඉන්ද්‍රගේ භවන වනුයේත් එහිය. එහෙයින් ඒ ඉන්ද්‍රලෝක යන නමින් ද හැඳින්වේ. යුද්ධ භුමියෙහි ද ශෞර්යය දක්වමින් සතුරන් මැදට වැද සටන් කොට මිය යන වීරයනට ද වාසස්ථානය වනුයේ ඒ ඉන්ද්‍ර ලෝකය මයි. එසේ මිය යන වීරයෝ ඉන්ද්‍රගේ වෙසෙසි සැලැකිල්ලට පාත්‍ර වන අතිථිහු වෙති. මෙයින් ඉන්ද්‍රගේ පුරාණ රණප්‍රියත්වය එදවස ද නොනැසී පැවැති බව පෙනේ. හේ එදවස ද රණකාමී වීරයෙකි. මිනිස් ලොව සටන් ඇවිළීම ඔහුගේ අමන්දානන්දයට කරුණක් විය. එසේ ම මෙලොව සටන් නැතිවීම ඔහුගේ දුකටත් බියටත් කරුණු විය.
ඉන්ද්‍රට අසුරයන් හා නිතර නිතර සටන් කරන්නට වන බව පැවැසේ. ඒ යුද්ධයන්ගෙන් වැඩියක් ම වෘත්‍ර හා සමඟ කැරෙන සටන්ය. පුරාණයන්හි ද ඉන්ද්‍රගේ පරම සතුරා වෘත්‍රය. වෘත්‍ර ජන්මයෙන් බ්‍රාහ්මණයෙකි. ඔහු මැරීම නිසා ඉන්ද්‍ර බ්‍රහ්මඝාතක නමැති මහාපාතක පාපකර්මයට හසු වේ.
ඉන්ද්‍ර ලෝකය සකලෛශ්වර්යයෙන් පිරි ස්ථානයකි. එහි පාරිජාත නමැති කල්පවෘක්ෂයක් වේ. ඒ වනාහි ක්ෂීර සමුද්‍රයෙන් පහළ වූ මංගල වස්තු තුදුසින් එකකි.
ස්වර්ගය භෝග සම්පත්තියෙන් කොපමණ ආඪ්‍ය වුණ ද ඉන්ද්‍රගේ කාමාශාවන් ඉන් පූරණය වන බවක් නොපෙනේ. ස්වකීය ලෝකයෙහි කොපමණ දිව්‍යාප්සරාවන් සිටිය ද ඉන්ද්‍ර රූපවත් නරස්ත්‍රීන් කෙරෙහි ද ඇලේ. වරක් ගෞතම නම් මුනිවරයාගේ ධර්මපත්නිය වූ අහල්‍යාව පතා අවුත් ඔහුට මහ අතවර විඳින්නට විය. ඔහු කෙරෙහි කිපුණු මුනිවරයා ඔහුට ශාප කෙළේය. එම ශාපයෙන් ඔහුගේ ශරීරයේ යෝනි දහසක් පහළ විය. එයින් ඉමහත් ලජ්ජාවට පත් වූ ඔහු කෙරෙහි අනුකම්පා කළ මුනිවරයා ඒ යෝනි නේත්‍ර බවට පරිවර්තනය කෙළේය. එවක් පටන් ඉන්ද්‍රට නේත්‍රයෝනි, සහස්‍රනේත්‍ර, සහස්‍රාක්ෂ ආදි නම් ව්‍යවහාර විය.
වරක් ඉන්ද්‍රට ලංකාධිපති රාවණ හා භීෂණ යුද්ධයක් කරන්නට සිදු විය. එම යුද්ධයෙහි දී රාවණ රාජයාගේ පුත්‍ර මේඝනාද විසින් ඉන්ද්‍ර කුදලා බැඳ ලංකාපුරයට ගෙන එනු ලැබිණි. පසුව මහාබ්‍රහ්මයාගේ ආයාචනයට කන් දුන් මේඝනාද ඉන්ද්‍ර මුදා හළේය. ඉන්ද්‍රට මේ ගහට විඳින්නට වුණේ අහල්‍යාට කළ ඒ අපරාධයේ දුෂ්ට විපාක විසිනැයි යෙති.
ශ්‍රී කෘෂ්ණ හා සමඟ ද ඉන්ද්‍ර දෙවරක් සටන් කෙළේය. ඒ දෙසටනින් ම ඉන්ද්‍ර පැරැදිණි. ව්‍රජදේශවාසී ගොපල්ලෝ ඉන්ද්‍රහක්තයෝ වූහ. ශ්‍රී කෘෂ්ණ ඔවුනට ඉන්ද්‍රෝපාසනයෙන් වළකින්නට කීය. ගොපල්ලෝ ද එසේ කළහ. ඉන් කිපුණු ඉන්ද්‍ර ඒ ගොපලු ගම ජලයෙන් නසාලන අටියෙන් සත් දවසක් මුළුල්ලේ ධාරානිපාතයෙන් වැසි වැස්වීය. ශ්‍රී කෘෂ්ණ ද ගෝවර්ධන ගිර ඔසොවා, ඡත්‍රයක් මෙන් එය සුළැඟිල්ල මත රඳවා, ගම්වාසී හැමදෙනා ම එම පර්වතච්ඡත්‍රය යටට ගෙන වැස්සෙන් කිසිදු හානියක් වන්නට ඉඩ නොදී ඔවුන් රැක්කේය. එම වීරක්‍රියාවෙහි පහන් වූ ඉන්ද්‍ර තෙමේ ශ්‍රී කෘෂ්ණට හරසර දක්වා සටන අත්හැර ගියේය. වරක් ශ්‍රී කෘෂ්ණ සිය පත්නියක වූ සත්‍යභාමා හා සමඟ ඉන්ද්‍රලෝකයට ගියේය. එහි දී සත්‍යභාමාට පාරිජාත වෘක්ෂය ඕනෑ විය. එවිට එම වෘක්ෂය උදුරාගෙන මිනිස් ලොවට ගෙන එන්නට තැත් කළ ශ්‍රී කෘෂ්ණ හා සමඟ සටනට ඉන්ද්‍ර එළඹියේය. එහෙත් පාරිජාතය මිනිස් ලොවට ගෙන ඒම වළක්වන්නට ඔහුට බැරි විය.
ඍෂීන්ගේ තපෝබලය ඉන්ද්‍රට බිය එළවයි. එහෙයින් ඔවුන්ගේ ශීලභේද කොට එම බලය නසන්නට හේ නොයෙක් උපාය යොදයි. ඇතැම් විටක ඒ සඳහා ස්වකීය පරිවාර අප්සරාවන් කෙරෙන් එකක එවයි. වරක් විශ්වාමිත්‍ර මුනිවරයාගේ ශීලය භේද කරන්නට මේනකා නමැති අප්සරාව එවීය. ශකුන්තලා නමින් පසු කලක ප්‍රසිද්ධ වූ කුමාරිකාව ඒ මේනකා විශ්වාමිත්‍ර සමාගමයෙන් උපන්නියකි. වරක් දුර්වාසස් මුනිවරයාගේ ක්‍රෝධාග්නියට ඉන්ද්‍ර ගොදුරු විය. එවර එම මුනිවරයාගේ ශාපයෙන් අසුරයනට පැරැදී ස්වර්ගාධිපත්‍යයෙන් ද හේ පිරිහිණි. අතිදාරිද්‍යයට පත් ඉන්ද්‍රට යඥය සඳහා ඝෘතමාත්‍රය පවා හිඟන්නට සිදු විය. එහෙත් ඔහුගේ ඒ දුඃඛිත තත්වය වැඩි කලක් නොපැවැතිණි. බලයෙන් මත් වූ අසුරයෝ ද ඉතා ඉක්මනින් ස්වධර්මයෙන් පිරිහී ගියෙන් දිනාගත් ලාභය රැකගැන්මෙහි නොපොහොසත් වූහ. එහෙයින් ඔවුන් පලවා හැර ස්වකීය රාජ්‍යය යළි දිනාගැන්මෙහි ඉන්ද්‍ර සමත් විය.
පර්වතයන් දමනය කිරීම පුරාණයන්හි දැක්වෙන ඉන්ද්‍රගේ වීරක්‍රියා කෙරෙන් එකකි. කල්පාරම්භයේ පර්වතයනට පක්ෂපත්‍ර තිබිණි. එහෙයින් පියා හැඹීමෙහි වත් වූ ඔහු අහසේ ඔබ මොබ සැරිසරමින් අවශේෂ ලෝකයාගේ වැඩට නැතක් බාධා ඇති කළහ. එය දුටු ඉන්ද්‍ර චජ්‍රායුධයෙන් පහර දී ඔවුන්ගේ පක්ෂපත්‍ර සිඳ ඔවුන්ගේ ගමන් බිමන් සදහට ම නැති කෙළේය.
ඉන්ද්‍රගේ පත්නිය වන ඉන්ද්‍රාණි අසුර කන්‍යාවකි. ඇයගේ පියා ‘පුලෝමන්’ නමැති අසුරයෙකි. ඉන්ද්‍ර වෙස්වළාගෙන අසුර ලොවට ගොසින්ය ඇය පැහැරගෙන ආයේ. මේ යුවළට ජයන්ත නමැති පුතෙක් වේ. ස්වකීය කාමාශාවන් පූරණය කර ගැනීමට නොයෙක් විට නර ලොවට එන ඉන්ද්‍රට මෙහි ද පුත්තු වූහ. අර්ජුන නමැති පාණ්ඩව කුමාරයා ඉන්ද්‍රගේ පුත්‍රයෙකැයි යෙති. එහෙයිනි කර්ණගේ ස්වර්ණකවචය ඔහු රවටා පැහැරගෙන එය අර්ජුනට දුන්නේ.
ඉන්ද්‍රට බොහෝ නම් පුරාණයන්හි ද එයි. ඉන් සමහරක් වේදයෙහි එන නාමයෝ මය. සමහරක් නවතර විරුදයෝය. අර්ඝ, ඝෘභුක්ෂ, මඝවත්, වාසව ආදිහු චිරන්තන නාමයෝ වෙති. උග්‍රධන්වන්, ජිෂ්ණු, දේවේන්ද්‍ර, පාකශාසන, පුරන්දර, මේඝවාහන, වෘත්‍රහන්, සුරේන්ද්‍ර ආදීහු ඔහු ගුණ ආශ්‍රයෙන් හෝ වීරක්‍රියා ආශ්‍රයෙන් ඇති වූ විරුදයෝ වෙති.
ශිව විෂ්ණු ආදි දෙවියනට තැන දී ඉන්ද්‍ර පූජා සත්කාරයෙන් අනුක්‍රමයෙන් පිරිහී ගිය සැටි මහාභාරතය, රාමායණය, භගවත් පුරාණය ආදි පශ්චාද්වෛදික ග්‍රන්ථයන්හි එන වෘත්තාන්ත සමාවලෝකනයෙහි දී පැහැදිලිව පෙනී යන කරුණකි. එදා ශ්‍රී කෘෂ්ණගේ නියෝගයෙන් ව්‍රජවාසී ගොපලු ජනයා ඉන්ද්‍රෝපාසනයෙන් වැළැකුණු සැටිත් ඉන්ද්‍රට පවා ඔවුන් යළිත් එහි පිහිටුවාලන්නට බැරි වූ සැටිත් පවසන ඒ හරිවංශ වෘත්තාන්තය ඉන්ද්‍රගේ තැන විෂ්ණු අවතාරයක් වූ ශ්‍රී කෘෂ්ණහට ලැබුණු සැටි විදහා දක්වයි. ආරම්භයෙහි දී රණකාමී ආර්යයන්ගේ ජාතික දෙවියා වූ රණප්‍රිය රණශූර සෝමපති ඉන්ද්‍ර භෝගසම්පත්තියෙන් ආඪ්‍යව, හුදෙක් කාමභෝගීව සකල පූජෝපහාරයෙන් පිරිහී කීර්තිශේෂභාවයට පත් වීම ඔහු ඇදැහූ තත්සමාජයෙහි ම ඇති වූ මහා විපර්යාසයේ මූර්තියකි. අද ඉන්ද්‍ර, නාමයෙන් පමණක් දේව රාජය.
බෞද්ධ සාහිත්‍යයෙහි ඉන්ද්‍ර හඳුන්වනු ලැබෙන්නේ ශක්‍ර (පා. සක්ක) යන නමිනි. වේදයෙහි හා පුරාණයන්හි ශක්‍ර යනු ඉන්ද්‍රගේ විරුද නාමයකි. එහෙත් බෞද්ධ ග්‍රන්ථයන්හි ඒ ඉන්ද්‍රගේ සාමාන්‍ය නාමයයි. රීස් ඩේවිඩ්ස් පඬිතුමා ආදි ඇතැම් වත්මන් විදුමත්හු ශක්‍ර, ඉන්ද්‍ර (පා. ඉන්ද) යනු බෞද්ධ සාහිත්‍යයෙහි දෙවියන් දෙදෙනකු කොට සැලකෙතැයි යෙති. එහෙත් “සක්කො ති ඉන්දො” යන නිර්වචනයෙන් සක්ක, ඉන්ද යනු එක ම දෙවියා වග ප්‍රස්ඵුට වේ. බෞද්ධ සූත්‍රයන්හි බොහෝ විට ශක්‍ර හඳුන්වනු ලැබෙන්නේ හුදෙක් "සක්කො" යන පදයෙන් පමණක් නොවේ; "සක්කො දෙවානමින්දො" යනුවෙනි. ඔහුට පාලි ග්‍රන්ථයන්හි තවත් නම් කිහිපයකි. සංයුත්ත නිකායයෙහි ශක්‍රනාමාවලියක් එයි. පූර්ව ජන්මයක මඝ නම් බ්‍රාහ්මණ මාණවකව ඉපැද කළ කුශල කර්මයන් නිසා වර්තමාන ජන්මයෙහි ශක්‍රපදවිය ලත් හෙයින් ශක්‍ර තෙමේ මඝවා නම් වේ; බොහෝ වස්තු දනට දුන් හෙයින් පුරින්දද නම් වේ; නොමසුරුව දුන් හෙයින් සක්ක නම් වේ; දිළින්දන්හට වාසස්ථාන දුන් හෙයින් වාසව නම් වේ; එක්වර දහසක් විෂයයන් ගැන සිතා බැලිය හැකි හෙයින් සහස්සක්ඛ නම් වේ; සුජා නමැති අසුර කන්‍යාවගේ හිමියා වන හෙයින් සුජම්පති නම් වේ; තාවතිංසයේ දෙවියනට අධිපති වන හෙයින් දේවානමින්ද නම් වේ. මඝවා, පුරින්දද, වාසව, සක්ක, සහස්සක්ඛ ආදි මේ අභිධානයන් මඝවත්, පුරන්දර, වාසව, ශක්‍ර, සහස්‍රාක්ෂ ආදි චිරන්තන සංස්කෘත අභිධානයන්ගේ මාගධී ඡායාමාත්‍ර බව පෙනේ. එහෙත් එයට දී ඇති නිර්වචන එසේ නොවේ. ඒ පුරාණාදියෙහි එන නිර්වචනයනට ඉඳුරා ම වෙනස් වේ.
ශක්‍ර තාවතිංසයේ (සං. ත්‍රයස්ත්‍රිංශත්) අධිදෙවියා වේ. ඔහුගේ වාසභවනය වනුයේ එහිය. ඒ වේජයන්ත (සං. වෛජයන්ත) නමි. ඔහුගේ රථය ද එනමින් මැ පළයැ. ඔහුගේ පිරිවර දිව්‍ය ස්ත්‍රීහු දෙකෝටි පනස් ලක්ෂයකි; පිරිවර දෙවියෝ දෙතිස්දෙනෙකි. ඔහුගේ පත්නිය සුජා නමි. ඕ වේපචිත්ති නම් අසුරයාගේ දුවය. ඔහු පිරිවර දෙවියන් හා සමඟ සැසැඳිලි කරන්නේ සුධම්මා (සං. සුධර්මා) නමැති සභා මණ්ඩපයෙහිය. එහි ඔහුගේ පරිභෝගයට පමණක් ඇරුණු විස්මයජනක ආසනයකි. පණ්ඩුකම්බලසිලාසන (සං. පාණ්ඩුකම්බලශෛලාසන) නම් ඒ ගල් අස්න ශක්‍රට මනාප පරිදි සුවපහසු එළවන්නකි; එහෙත් මිනිස් ලොව යම්කිසි සිල්වත් මහණ බමුණකුට හෝ දැහැමි ගිහියකුට හෝ විපතක් ළං වූ විට ඒ හුණු වෙයි; ශක්‍ර නොකැමැති පරිද්දෙන් ම හුණු වෙයි. එසේ වූ කල ශක්‍ර දිවැසින් බලා විපතට පත් වූ අයට පිළිසරණ වේ. ධතරට්ඨ (සං. ධෘතරාෂ්ට්‍ර), විරූළ්හ (සං. විරූඪ), විරූපක්ඛ (සං. විරූපාක්ෂ), වෙස්සවණ (සං. වෛශ්‍රවණ) යැයි ඔහුට සෙනෙවියෝ සිවු දෙනෙකි. ඒ සෙනෙවියන්ගේ දෙව්ලොව චාතුම්මහාරාජික (සං. චාතුර්මහාරාජික) නමි. සුරයන් අසුරයන් හා සමඟ සටනට යන්නේ ශක්‍රගේ ප්‍රධානත්වයෙනි. පජාපති, වරුණ, ඊසාන නමැති දෙවියෝ ද මේ සටන්වල දී ශක්‍රට සහාය වෙති. ශක්‍ර ස්වකීය පරිවාර දෙවියනට වඩා ආයු වර්ණ සැප බල ආදි දස කරුණකින් ශ්‍රේෂ්ඨ වේ.
ශක්‍ර පරමබෞද්ධොපාසකයෙකි; එසේ ම බුදුන්ගෙන් බණ අසා මාර්ගස්ථ වූ ආර්ය පුද්ගලයෙකි. බුද්ධශාසනයාගේ චිරස්ථිතිය සඳහා වෙහෙසුණවුන් කෙරෙන් ද ශක්‍ර අග්‍රේසර වේ.
බෝසතුන් මහභිනික්මන් කරන දා ඔවුන් කපා හළ කෙස්වැටිය රන් කරඬුවකින් පිළිගෙන එය තැන්පත් කොට සිළුමිණි සෑය නම් චෛත්‍යයක් ශක්‍ර සිය දෙලොව තැනීය. එදා පටන් පිරිනිවන් පානා තෙක් ම බුදුන්ගේ සුවපහසුව සඳහා වෙහෙසුණු උපස්ථායකයන් අතුරෙහි ශක්‍ර ගත්තේ අද්විතීය ස්ථානයකි. ජීවිතාවසානයේ දී ලෝහිතපක්ඛන්දිකා නමැති අසාධ්‍ය රෝගය බුදුන්ට වැලඳුණු විට මලපාත්‍රය බැහැර කිරීම ආදි කෘත්‍යයෙහි පවා ඉතා ඕනෑකමින් යෙදෙමින් තමාගේ අවංක ආදරය ශක්‍ර දැක්වීය. පිරිනිවන් පෑ වේලේ —
අනිච්චාවත සංඛාරා - උප්පාදවයධම්මිනො
උප්පජ්ජිත්වා නිරුජ්ඣන්ති - තෙසං වූපසමො සුඛො
යන සරලතම ගාථාවකිනි ශක්‍ර ස්වකීය ශෝකය පළ කෙළේ.
සෑම ආපදාවක දී ම බුදුනට ආධාරෝපකාරයට සිටියෙකි ශක්‍ර. චිංචා බොරු ගොතා නින්දා අපහාස කරන්නට පැමිණි වර ද සච්චක වාදයෙන් වෙහෙසවන්නට පැමිණි වර ද උන්ගේ දුෂ්ට ප්‍රයත්න භංග කරන්නට ශක්‍ර ඉදිරිපත් වූයේය. චූල්ල සුභද්‍රාවට දහම් දෙසනු සඳහා උග්‍රපුරයට ගිය ගමනට බුදුන්ට හා ශ්‍රාවක ගණයාට අහසින් යන කූටාගාර මවා දුන්නේත් ශක්‍රය. මෙසේ ස්වකීය ශාස්තෘවරයන් ජීවමාන කාලයෙහි අප්‍රමාදශීලව උන්වහන්සේට උපස්ථාන කිරීමෙන් ද උන්වහන්සේගේ අභාවයෙන් පසු එම ශාස්තෘෘන්ගේ ශාසනය රැකීමෙන් ද ශක්‍ර දක්වන්නේ තමාගේ පරමෝපාසකභාවයයි.
බෞද්ධ සාහිත්‍යයෙහි එන ශක්‍ර කවදත් සාධුජන සංග්‍රහයෙහි ප්‍රීත වූවෙකි. අම්බචෝර, අයකූට, උදය, කච්චානී, කාම, කාමනීත, කුම්භ, කේළිසීල, කෝසිය, මණිචෝර, මහාකණ්හ, වක, සරභංග, සරභමිග, සුධාභෝජන ආදි ජාතක ශක්‍රගේ ඒ සද්ගුණයට ප්‍රමාණවත් නිදර්ශන සපයයි.
ලංකාවේ සම්බුද්ධ ශාසනය නිරුපද්‍රැතව පවත්නා පරිද්දෙන් සංරක්ෂණය කිරීම බුදුන්ගෙන් ශක්‍රට පැවැරුණු කාර්‍ය්‍යභාරයකි. එය ශක්‍ර විසින් උපුල්වන් නමැති දෙවියකුට පැවැරිණැයි මහාවංශයෙහි කියැවේ. ඒ එසේ වුව ද අවශ්‍ය අවස්ථාවන්හි දී ශක්‍ර ද ස්වකාර්‍ය්‍යය ඉටු කරන්නට ඉදිරිපත් වීමට නොපැකිලෙයි. හේ ථූපාරාමයෙහි නිදහන් කරන්නට බුදුන්ගේ දකුණු අකුධාතුව දෙවනපෑතිස් රජුට ද ජේතවන දාගැබෙහි නිදහන් කරන්නට පටී ධාතුවෙන් අඩක් මහසෙන් රජුට ද දුන්නේය. මහාථූපය තැනවීමට දුටුගැමුණු රජුට උළුගඩොල් ආදිය සැපයීය; එහි නිදහන් කරන්නට සෝණුත්තර සාමණේරයන් නාලොවින් ගෙනා ධාතු තැන්පත් කළ කරඬුවත් එය තැබූ ස්වර්ණ පර්‍ය්‍යංකයත් සැපයීය.
සංයුක්ත නිකායෙහි සූත්‍ර පස්විස්සකින් යුත් සංයුක්තයක් උදක් ශක්‍ර භාෂිතයට ම ඇරුණේය. ශක්‍රට පුරාතන බෞද්ධ ජන සමාජයෙහි විශිෂ්ට ස්ථානයක් ලැබුණු බවට මෙයට වඩා බලතර සාක්ෂ්‍යයක් වුවමනා නොවේ. පුරාතන දේව සමාගමයෙහි මහේශාක්‍යභාවයෙන් අල්පේශාක්‍යභාවයට වැටුණු ඉන්ද්‍රට නූතන බෞද්ධ දේව සමාගමයෙහි උපරිම ස්ථානය ලැබුණු බව මෙයින් පෙනේ. එහෙත් ඒ හරසර ලැබුණේ ශක්‍ර යන චිරන්තන විරුද නාමයෙන් හැඳින්වෙන ඉන්ද්‍ර මූර්තියටය. පුරාතන ඉන්ද්‍ර කෙරෙහි පැවැති ඇතැම් චණ්ඩ ගුණ බෞද්ධ ශක්‍ර කෙරෙහි නැත. සනාතන ඉන්ද්‍ර බඩ පුරා සෝම රසය බී ඉන් මත්ව මැත දොඩවන සුරාශෞණ්ඩයෙකි; විළිබිය නැති ස්ත්‍රී ශෞණ්ඩයෙකි. එහෙත් සසීම ආයු ඇති බෞද්ධ ශක්‍ර පංචශීලයෙහි පිහිටියෙකි; ශ්‍රෝතාපන්න මාර්ගස්ථ ආර්‍ය්‍ය පුද්ගලයෙකි; රහසිනුදු පව් නොකරන්නෙකි; සිය රියසකින් මිරිකෙන ගුරුළු පිළවුන් දැක දිවියෙහි ආශා පියා පෙරැළා අසුර සමර වන් මහා කාරුණික දෙවියෙකි. ඔහු කෙරෙහිදු පැරැණි දුගුණ තුබුණු බවට අනල්ප සාක්ෂ්‍ය බෞද්ධ ග්‍රන්ථාන්තරයෙන් ගෙන හැර දක්වනු බැරි නැත. එහෙත් තෙරුවන් සරණ ගොස් බෞද්ධ වූවාට පසු පැරණි අසද්ගුණ අහෝසි වුණු සැටියකි පෙනෙන්නේ. එහෙත් ශක්‍ර නාමයෙන් හෝ ඉන්ද්‍රගේ ප්‍රමුඛත්වය බෞද්ධ සමාජයෙහි වුව ද පැවැත්තේ දීර්ඝකාලයක් නොවේ. එහි තත්ස්ථානය විෂ්ණුට (උත්පලවර්ණට) ලැබෙන්නට වන.
(සංස්කරණය: 1970)