"ඉපිකැකුඇනා" හි සංශෝධන අතර වෙනස්කම්

සිංහල විශ්වකෝෂය වෙතින්
වෙත පනින්න: සංචලනය, සොයන්න
('දකුණු ඇමෙරිකාවේ වැවෙන, රුබියාසේ කුලයට අයත් කෙ...' යොදමින් නව පිටුවක් තනන ලදි)
 
(වෙනසක් නොමැත)

09:12, 29 මැයි 2025 වන විට නවතම සංශෝධනය

දකුණු ඇමෙරිකාවේ වැවෙන, රුබියාසේ කුලයට අයත් කෙපයිලිස් ඉපිකැකුඇනා (Cephaelis ipecacuanha) ශාකයෙහි වියළි රෛසෝමවලින් හා මුල්වලින් ලබාගන්නා ඖෂධයකි. බ්රැසීලයේ මේ ශාකය සුලභය. කොලොම්බියාවේ වැවෙන කෙපයිලිස් අකුමිනාටා (C. acuminata) ශාකයෙනුත් ඉපිකැකුඇනා වර්ගයක් ලැබේ. එය කාතජීනා ඉපිකැක් නමින් හැඳින්වේ. ඉපිකැකුඇනා ඖෂධය කුඩක් වශයෙන් ද ද්‍රව නිස්සාරණයක් වශයෙන් ද පැණියක් වශයෙන් ද පාවිච්චි කරනු ලැබේ.

බ්රැසීලයෙන් ලැබෙන ඉපිකැකුඇනාවල 2.5%ක් පමණ ඇල්කලොයිඩ (බ.) තිබේ. එහි ඇල්කලොයිඩ වර්ග පහක් ඇත. ඉන් ඉතා වැදගත් ඇල්කලොයිඩය එමටින් (C29 H40 N2 O4) ය. ඉපිකැකුඇනාවල තිබෙන මුළු ඇල්කලොයිඩ ප්‍රමාණයෙන් 50%ක් පමණ එමටින්ය. කෙපලින් (cephaeline - C28 H38 N2 O4), සෛකොට්‍රින් (psychotrine - C28 H36 N2 O4 4H2 O), ඕ-මෙතිල් සෛකොට්‍රින් (o-methylpsychotrine - C29 H8 N2 O4) හා එමටමින් (Emetamine - C29 H3 N2 O4) අනික් ඇල්කලොයිඩ සතර වේ.

අපරදිග වෛද්‍ය කර්මයට ඉපිකැකුඇනා පළමුවෙන් හඳුන්වා දෙන ලද්දේ ලුවී XIV රජු විසිනි. කඵෝත්සාරකයක් (expectorant) ලෙස ද ඡර්දකයක් (emetic) ලෙස ද ඉපිකැකුඇනා බෙහෙවින් යොදනු ලැබේ. කඵෝත්සාරකයක් වශයෙන් එයින් ශ්ලේෂ්මලය ස්‍රාවය කිරීම පොලඹවනු ලැබේ. ශ්ලේෂ්මලය ඉවත් කිරීමටත් එය උපකාරී වේ. ඡර්දකයක් ලෙස ඉපිකැකුඇනා ඇපොමෝපීන්වලට වඩා හෙමින් ක්‍රියා කරයි. එහෙත් ඉපිකැකුඇනාවලින් වැඩි අවපීඩනයක් ඇති නොවේ. එය ක්‍රියා කිරීමට ප්‍රමාද වන බැවින් වසට දෙන ඡර්දකයක් වශයෙන් එය නුසුදුසුය. ඉපිකැකුඇනාවල තිබෙන ප්‍රධාන ඇල්කලොයිඩය වන එමටින් වෛද්‍ය කර්මයෙහි ඡර්දකයක් වශයෙන් ද ඇතැම් විට කඵෝත්සාරකයක් වශයෙන් ද යොදනු ලැබේ. ඇමීබා රෝගයට (බ.) විශිෂ්ට ඖෂධයක් වශයෙනුත් එය යොදනු ලැබේ.

(සංස්කරණය: 1970)

"http://encyclopedia.gov.lk/si_encyclopedia/index.php?title=ඉපිකැකුඇනා&oldid=8123" වෙතින් සම්ප්‍රවේශනය කෙරිණි