"ඉබ්‍රාහිම් පාෂා" හි සංශෝධන අතර වෙනස්කම්

සිංහල විශ්වකෝෂය වෙතින්
වෙත පනින්න: සංචලනය, සොයන්න
('(1789-1848). මිසරයේ පාෂා (ප්‍රතිරාජ) පදවිය දැරූ රණශූර...' යොදමින් නව පිටුවක් තනන ලදි)
 
(වෙනසක් නොමැත)

09:30, 29 මැයි 2025 වන විට නවතම සංශෝධනය

(1789-1848). මිසරයේ පාෂා (ප්‍රතිරාජ) පදවිය දැරූ රණශූර සේනාපතියෙකි. ඔහු එරට ප්‍රථම පාෂා වූ මහමත් අලිගේ පුත්‍රයෙකි; නැතහොත් ඔහුගේ පුත්‍රස්ථානයෙහි වැඩුණෙකි.

ඔටෝමන් අධිරාජ්‍යයේ නායක සුල්තාන් යටතේ මහමත් අලි මිසරයේ පාෂා ධුරය දරද්දී ඔහුගේ සේනාපතියා හැටියට ඉබ්‍රාහිම් විදෙස්හි ලත් ජයග්‍රහණ නිසා මහමත් අලිගේ කීර්තිය යුරෝපීය රටවල ද පැතිරිණ. පාෂා පදවිය පිය උරුමයට අනුව හිමි වන්නක් බවට පමුණුවාගැනීමට මහමත් අලිට ඉඩ සැලසුණේ ද සිය සෙනෙවි වූ ඉබ්‍රාහිම්ගේ ජයග්‍රහණ නිසාය.

සිය පියා වෙනුවෙන් පළමු කොට (1816-19) අරාබියේ වහාබි අධිරාජ්‍යය බිඳහෙළූ ඉබ්‍රාහිම් ඔවුන්ගේ මධ්‍යස්ථානය වූ දෙරයියා නගරය මුළුමනින් ම වැනසීය. 1825 දී ග්‍රීක නිදහස් යුද්ධයේ දී ඔටෝමන් අධිරාජ සුල්තාන්වරයා වෙනුවෙන් සටන් කළ මෙම සෙනෙවියා පහසුවෙන් ම ග්‍රීකයන් පැරදවීය. ග්‍රීසියේ මොරියා දේශයේ පාෂා හැටියට සුල්තාන් විසින් පත් කරනු ලැබූ හෙතෙම 1828 දක්වා එහි විසුවේය. ඔහු ග්‍රීකයන් වහලුන් සේ මිසරයට එවීමත් ග්‍රීසියේ විනාශයට කටයුතු කිරීමත් නිසා යුරෝපීය ජාතීහු ඔහුට විරුද්ධව ඉදිරිපත් වූහ. 1828 දී රුසියන්, ඉංග්‍රීසි හා ප්‍රංස යන ජාතීන් විසින් තුර්කි-මිසර නාවුක හමුදාව පරදවන ලදි. මේ හේතූන් නිසා ඔහුට එරටින් සිය සේනා ඉවත් කරගෙන ආපසු මිසරයට යාමට සිදු විය.

මහමත් අලි ඔටෝමන් අධිරාජ්‍යයට විරුද්ධ වූ පසු ඔහු වෙනුවෙන් 1832 දී ඒකර් ප්‍රදේශය අල්ලා ගත් මෙතෙම ඔටෝමන් තුර්කීන් පරදවා සිරියාව හා සුළු ආසියාවේ අර්ධයක් පමණ ද යටත් කර ගත්තේය. 1833-39 කාලයේ දී ඔහු සිලිසියාවෙහි ආණ්ඩුකාර පදවිය දරමින් ම මහමත් අලිගේ නියෝජිතයා හැටියට සිරියාවේ පාලන බලය ද දැරීය. 1839 දී ඔටෝමන්වරුන් නැවතත් පැරදවූ මොහුට විරුද්ධව ඉංග්‍රීසි හා ඕස්ට්‍රියන් යන දෙවර්ගයා ඉදිරිපත් වූහ. ඒ සමඟ ම සිරියන්වරුන් ද මොහුගේ පාලනයට විරුද්ධව කැරලි ගැසීම නිසා ඉබ්‍රාහිම් සිය හමුදා සමග 1841 දී මිසරයට ආපසු පැමිණියේය.

1847 දී මහමත් අලිගේ සිහිය විකල වීම නිසා මිසරයේ පාලනය සියතට ගත් ඉබ්‍රාහිම්ට ඊළඟ වර්ෂයේ දී ස්ථිර වශයෙන් ම මිසරයේ පාලක පදවිය අයත් විය. ඉබ්‍රාහිම් 1848 නොවැම්බර් මාසයේ දී පරලෝ සැපත් විය.

අරාබි ජාතීන් අතර ජාතික හැඟීම උද්දීපනය කොට මිසර නායකත්වය යටතේ අරාබි අධිරාජ්‍යය නැවත ගොඩනැගීමේ අදහසින් ක්‍රියා කළ අයකු හැටියට ඇතැමුන් විසින් ඔහු සලකනු ලැබේ.

(සංස්කරණය: 1970)

"http://encyclopedia.gov.lk/si_encyclopedia/index.php?title=ඉබ්‍රාහිම්_පාෂා&oldid=8126" වෙතින් සම්ප්‍රවේශනය කෙරිණි