"ඉයොසිනොෆිලියාව" හි සංශෝධන අතර වෙනස්කම්

සිංහල විශ්වකෝෂය වෙතින්
වෙත පනින්න: සංචලනය, සොයන්න
('ඉයොසිනොෆිලියාව යනු රුධිරයේ ඉයොසිනොෆිල් සෛල ස...' යොදමින් නව පිටුවක් තනන ලදි)
 
(වෙනසක් නොමැත)

10:14, 2 ජූනි 2025 වන විට නවතම සංශෝධනය

ඉයොසිනොෆිලියාව යනු රුධිරයේ ඉයොසිනොෆිල් සෛල සංඛ්‍යාව වැඩි වී තිබෙන තත්වයකි. ඒ වූකලි රෝග කීපයක ලක්ෂණයකි. ඝර්මකලාපික ඉයොසිනොෆිලියාව එම රෝගවලින් එකකි. ලංකාවේ සාමාන්‍යයෙන් ඉයොසිනොෆිලියාව යයි කියනු ලබන්නේ මේ රෝගයටයි. එහි ලක්ෂණ නම් කැස්ස, හතිය, පපුවේ ශබ්දය, පපුවේ කැක්කුම සහ ඉඳහිට උණ යනාදියයි. රෝගියාගේ රුධිරය අන්වීක්‍ෂයක මාර්ගයෙන් පරීක්ෂා කළහොත් එහි ඉයොසිනොෆිල් සෛල වැඩි බව පෙනේ. නිරෝගී අයකුගේ ලේ ඝන මිලිමීටරයක ඉයොසිනොෆිල් සෛල දෙසියයක් හෝ මුළු ස්වේතානු සංඛ්‍යාවෙන් සියයට තුනක් පමණ ඇති වේ. ඝර්මකලාපික ඉයොසිනොෆිලියාවෙන් පෙළෙන රෝගියකුගේ රුධිරයෙන් ඝන මිලිමීටරයක ඉයොසිනොෆිල් සෛල දෙදහකට වැඩි ගණනක් ඇති වන්නට පුළුවන. සමහර රෝගීන්ගේ රුධිරයෙහි ඉයොසිනොෆිල් සෛල විසිතිස්දාහක් තිබෙන්නට පුළුවන. මෙම රෝගීන්ගේ පෙණහැලි X-කිරණ පරීක්ෂණයකට භාජන කළ හොත් කුඩා ඡායා සැමතැන ම පාහේ දැක්වෙන්නට පුළුවන.

මේ රෝගයෙහි හේතුව තව ම නියම වශයෙන් සොයාගෙන නැතත් ජීවීන් කීප දෙනකුන් ගැන සැක පහළ කර තිබේ. එනම් කීඩෑවෝ ස්පයිරෝකීට, මයික්‍රොපෛලේරියා වයිරස යනාදියයි. රෝගයට හේතුව මින් එක් ජීවියෙක් ද නැතහොත් කීප දෙනෙක් ද යනු අවිනිශ්චිතය. වාර්තාගත රෝගීන්ගෙන් 85%ක් පමණ වාර්තා වී ඇත්තේ ඉන්දියාවෙන් සහ ලංකාවෙන්ය. (රුධිරය ද බ.)

(කර්තෘ: ඊ.ඇම්. විජේරාම)

(සංස්කරණය: 1970)

"http://encyclopedia.gov.lk/si_encyclopedia/index.php?title=ඉයොසිනොෆිලියාව&oldid=8144" වෙතින් සම්ප්‍රවේශනය කෙරිණි