"උකස" හි සංශෝධන අතර වෙනස්කම්
Senasinghe (කතාබහ | දායකත්ව) ('උකස (උගස) යනු කෙනකු යමක් ඇපයට තබා අනෙකකුගෙන් මු...' යොදමින් නව පිටුවක් තනන ලදි) |
(වෙනසක් නොමැත)
|
15:09, 23 ජූනි 2025 වන විට නවතම සංශෝධනය
උකස (උගස) යනු කෙනකු යමක් ඇපයට තබා අනෙකකුගෙන් මුදලක් ණයට ගැනීමේ ගිවිසුමකි. චංචල දේපළක් උකසට තැබිය හැකි අතර ඉඩකඩම් වැනි නිශ්චල දේපළ ද උකසට බැන්ද හැකිය. උකස් නීතිය ගැන මුල් රෝම සිවිල් නීතියෙහි සඳහන්ව නැති බවත් එය මධ්‍ය යුගයන්හි ඇති වුණු නීතියක් බවත් බෙරික් නමැති නීතිවේදියා රෝම නීති පරිවර්තන ග්‍රන්ථයක සඳහන් කර ඇත.
ලංකාවේ උකස් පිළිබඳ නීතිය මහත් පටලැවිලි තත්ත්වයක පැවැති නමුදු එම නීතිය බල පැවැත්වෙන ආකාරය 1949 දී පනවන ලද උකස් පනතින් පසු තහවුරු වී ඇත.
යමකුට තමා සතු ඕනෑ ම දෙයක් උකස්කළ හැකිය. කෙනකුට යම් දෙයක් කෙරෙහි තමන්ට ඇති සීමාසහිත අයිතියක් වුව ද උකස් කළ හැකි අතර, තමන් සතු නොවන දෙයක් උකස් නොකළ හැකිය. එමෙන් ම නීතිවිරෝධී කාර්යයක් සඳහා කැරෙන උකස් ද නීතියෙන් වලංගු නොවේ. කිසිවකු විසින් තමන් වෙත උකස් කරන ලද දෙයක් වුව ද, ඒ උකස හිමි තැනැත්තා විසින් නැවත උකස් කිරීමට පුළුවන. එවැනි උකසක් හැඳින්වෙන්නේ අතුරු උකසක් යනුවෙනි.
සාමාන්‍යයෙන් නිශ්චල දේපළක් උකස් කළ හැක්කේ ඒ පිළිබඳව නීත්‍යනුකූල ලේඛනයක් ලියා අත්සන් කිරිමෙන් හා ඒ දේපළෙහි ඔප්පු උකස් හිමියා වෙත තැන්පත් කිරීමෙනි. උකස් හිමියා දේපළෙහි අයිතිකරු බවට පත් නොවෙතත්, ඔහු විසින් උකස්කරුට ණයට දෙන ලද මුදල සුරක්ෂිත වීමට එම දේපළ ඇපයක් වේ. තම මුදල ආපසු ලබාගැනීමට එම දේපළ විකිණීම සඳහා ඔහු විසින් අධිකරණයක් ඉදිරියෙහි නඩු පැවරිය හැකිය.
දේපළක් උකස් කළ පමණකින් ම පොළියක් ගෙවීමට නියම නොවෙතත්, සාමාන්‍ය සිරිත වනුයේ ණයට දුන් මුදල සඳහා යම් පොළියක් ගෙවීමට නියම කර ගැනීමය. පොළියක් නැතිව ද ණය දෙනු ලබන අවස්ථා ඇත. එවිට පොළිය වෙනුවට උකසට බඳින ලද දේපළ භුක්ති විඳීමේ අයිතිය උකස් හිමියාට පැවරේ. දේපළෙහි අයිතිය උකස්කරු වෙත ම රැඳී පවත්නා අතර ඒ දේපළ භුක්ති විඳීමේ අයිතිය පමණක් උකස් හිමියාට ලැබේ. පොළීමරා උකස් කිරීම (usufructuary mortgage) නමින් හැඳින්වෙන්නේ මේ ක්‍රමයේ උකස් කිරීම්ය. මේ ක්‍රමය අනුව දේපළක් භුක්ති විඳීම් වශයෙන් ලැබෙන මුදල පොළිය වශයෙන් ලැබිය යුතු මුදලට වැඩි වේ නම්, ඒ වැඩි මුදල මුල් ණය මුදලින් ප්‍රමාණයක් ගෙවීමට යෙදවීම ව්‍යවහාරෝචිත නීතියයි.
උකස්කරුවා විසින් ඕනෑ ම විටක මුල් ණය මුදල ගෙවා තම දේපළ උකසින් බේරා ගත හැකි වුව ද පොළීමරා උකස් කරන ලද දේපළක් සම්බන්ධයෙන්, උකස් හිමියා දේපළෙහි පලදාවක් ලබා ගැනීමට ආසන්නව සිටිය දී එසේ මුල් මුදල පමණක් ගෙවා උකස් නිදහස් කර ගැනීමට ඉඩක් නැත. ඉඩමක් සම්බන්ධයෙන් වූ විට එහි පලදාව ලබා ගැනීම සඳහා උකස හිමියා වියදම් කරන ලද මුදලත් පොළී වශයෙන් මුදලුත් නොගෙවා උකස නිදහස් කර ගැනීම අපහසුය. මෙවැනි උකසක දී උකස් හිමියාට ඉඩමෙහි පලදාව ගැනීමට නොදී උකස්කරු ඊට විරුද්ධකම් කළහොත්, ඊට විරුද්ධව උකස් හිමියා විසින් අලාභ ඉල්ලා නඩු පැවරිය හැකිය.
නිශ්චල දේපළ උකස් කිරීම පිළිබඳව මෙන් ම චංචල දේපළ උකස් කිරීම පිළිබඳව ද උකස් ආඥා පනතෙහි විධිවිධාන දැක්වේ. රන්රිදී ආභරණ වැනි බඩු උකසට ගෙන මුදල් ණයට දීම ව්‍යාපාරයක් වශයෙන් කැරෙන හෙයින් එවැනි උකස් ගැනීම් පාලනය කැරෙන්නේ උකස් බඩු ගන්නන්ගේ ආඥාපනතේ විධිවිධාන මගිනි.
නීතිය පරිදි ඇති කර ගන්නා ලද උකසක් කීප ක්‍රමයකින් ම කෙළවර වන්නේය. වැඩි වශයෙන් ම උකසක් කෙළවර වන්නේ මුල් ණය මුදල ආපසු ගෙවීමෙන් උකස නිදහස් කර ගැනීමෙනි. උකස් හිමියා උකස අත් හැරීමෙන් ද, උකස් කරන ලද දේපළෙහි අයිතිය වෙනයම් ක්‍රමයකින් උකස් හිමියාට ලැබීමෙන් ද, උකස් දේපළ අහම්බෙන් විනාශ වී යාමෙන් ද, උකස්කරුගේ ප්‍රාණ භුක්තියක් වශයෙන් පැවැති දේපළක් උකස් කිරීමෙන් පසු ඒ උකස්කරු මිය යාමෙන් ද, කාලයාගේ ඇවෑමෙන් ද, අධිකරණයෙහි ආඥාවකින් ද, උකස පිළිබඳ වූ යම් කොන්දේසි කඩ වී යාමෙන් ද ආදි වශයෙන් නොයෙකුත් ක්‍රමයන්ගෙන් උකසක් කෙළවර විය හැකිය. ඇතැම් අවස්ථාවන්හි කෙනකුගේ නැති බැරිකම නිසා උකසට විකුණුණු දේපළ ආපසු ඔහුට ම ලබා දීම සඳහා විධිවිධාන ද ඇතැම් ආඥාපනත් යටතේ සලස්වා ඇත.
(කර්තෘ: කේ.ඩී.පී. වික්‍රමසිංහ)
(සංස්කරණය: 1970)