"උක්" හි සංශෝධන අතර වෙනස්කම්
Senasinghe (කතාබහ | දායකත්ව) ('(සක්කරුම් ඔපිසිනාරුම් Sachcharum officinarum L.). නිරන්තරයෙන්...' යොදමින් නව පිටුවක් තනන ලදි) |
Senasinghe (කතාබහ | දායකත්ව) |
||
| 40 පේළිය: | 40 පේළිය: | ||
ලෝකයේ සීනි නිෂ්පාදනයන් අතුරෙන් සියයට 60-65ක් පමණ උක් සීනිය. උක් වැවීමට සුදුසු ස්වාභාවික අවශ්‍යතාවන් සහිත බොහෝ නිවර්තන ප්‍රදේශවල උක් කර්මාන්තය දියුණු වී ඇත. | ලෝකයේ සීනි නිෂ්පාදනයන් අතුරෙන් සියයට 60-65ක් පමණ උක් සීනිය. උක් වැවීමට සුදුසු ස්වාභාවික අවශ්‍යතාවන් සහිත බොහෝ නිවර්තන ප්‍රදේශවල උක් කර්මාන්තය දියුණු වී ඇත. | ||
| − | 1965-66 සංඛ්‍යා වාර්තා අනුව උක් වගාව හා කේන්ද්‍රාපසාරී සීනි (centrifugal sugar) (සීනි බ.) නිෂ්පාදනය පිළිබඳ සංඛ්‍යා විස්තර පහත පළ වේ. | + | 1965-66 සංඛ්‍යා වාර්තා අනුව උක් වගාව හා කේන්ද්‍රාපසාරී සීනි (centrifugal sugar) ([[සීනි]] බ.) නිෂ්පාදනය පිළිබඳ සංඛ්‍යා විස්තර පහත පළ වේ. |
අවශ්‍යයෙන් ම උක් වගාවන්ට ආසන්නව පැවතිය යුත්තේ උක් දඬුවලින් යුෂ මිරිකා එම යුෂ නරක් නොවන පමණට පදම් කරන කර්මාන්ත ස්ථානයි. ශුද්ධ නොකළ සීනි හෝ හකුරු, සක්කරා ආදිය නිපදවීම හෝ අර්ධ වශයෙන් නිෂ්පාදනය වූ සීනි, සම්පූර්ණ වශයෙන් නිෂ්පාදනය කිරීම හෝ සීනි පිරිසිදු කිරීම හෝ උක් වගා කෙරෙන පෙදෙස්වලින් දුර බැහැර වුව ද දියුණු කළ හැකි වේ. | අවශ්‍යයෙන් ම උක් වගාවන්ට ආසන්නව පැවතිය යුත්තේ උක් දඬුවලින් යුෂ මිරිකා එම යුෂ නරක් නොවන පමණට පදම් කරන කර්මාන්ත ස්ථානයි. ශුද්ධ නොකළ සීනි හෝ හකුරු, සක්කරා ආදිය නිපදවීම හෝ අර්ධ වශයෙන් නිෂ්පාදනය වූ සීනි, සම්පූර්ණ වශයෙන් නිෂ්පාදනය කිරීම හෝ සීනි පිරිසිදු කිරීම හෝ උක් වගා කෙරෙන පෙදෙස්වලින් දුර බැහැර වුව ද දියුණු කළ හැකි වේ. | ||
15:59, 23 ජූනි 2025 වන විට නවතම සංශෝධනය
(සක්කරුම් ඔපිසිනාරුම් Sachcharum officinarum L.). නිරන්තරයෙන් ම උණුසුම් දේශගුණයක් හා අධික තෙතමන ඇති ප්‍රදේශවල වැවෙන බහුවාර්ෂික ශාකයකි. තෘණ කුලයට අයත් වෙනත් ශාකවලට මෙන් උක් ගසට ද දිග පුරුක් සහිත දණ්ඩක් හෙවත් කඳක් ඇත. ශාකයේ මුල් ඇදෙන්නේ මේ කඳෙන් පොළොව යට තිබෙන රෛසෝමය නම් වූ කුඩා කොටසෙනි. පොළොවට ඉහළින් තිබෙන කඳේ කොටසෙහි කොළ, අංකුර, වෙනත් වර්ධක අවයව හා ප්‍රජනක අවයව විකසනය වේ. කඳේ යම් යම් ලක්ෂණ විවිධ උක් ප්‍රභේද අනුව එකිනෙකට බෙහෙවින් වෙනස් වේ. සාමාන්‍යයෙන් උක් දඬු අඩි 4 සිට 12 දක්වා දිගය. මීට වඩා දිග දඬු ද දුර්ලභ නැත. දණ්ඩේ විෂ්කම්භය අඟල් 1 සිට 4ක් පමණ දක්වා වෙනස් වේ. දඬු නොයෙක් වර්ණයෙන් යුක්තය. ඒවා ළා කොළපාට, කහපාට, රතුපාට හෝ දම්පාට විය හැකිය. දණ්ඩේ මතුපිට, විශේෂයෙන් ගැටය ළඟ, අළු හෙවත් උඩුමණ්ඩි යයි කියනු ලබන සුදට හුරු තුනී වැස්මක් සාමාන්‍යයෙන් දක්නට ලැබේ. මේ අළුවල ඉටි ගතියක් ඇත. ඇතැම් උක් ප්රභේදවල දණ්ඩේ මේ අළු ඉතා පැහැදිලිව ම දක්නට ඇති නමුත් අනික් ඒවායේ එය එතරම් ප්රකටව නොපෙනේ.
උක් දණ්ඩක පුරුක් කිහිපයක් තිබේ. පුරුකක් දිගින් අඟල් 4 සිට 10 දක්වා විය හැකිය. රෛසෝමයේ පුරුක් මීට වඩා කෙටිය. එක පුරුකක් ගැටය හා පර්වය නමැති පැහැදිලි කොටස් දෙකකින් යුක්තය. ගැටය දැඩි තන්තුමය පටකවලින් යුක්තය. මූල පටිය, අඞ්කුරය, වර්ධන වලය, පත්‍ර කොපුව සවි වීමට ආධාර වන කර යනාදිය ගැටයෙහි, නැත්නම් ඊට ඉතා කිට්ටුවෙන්, දක්නට ලැබේ. සාමාන්‍යයෙන් පර්වයේ ඉතිරි කොටසට වඩා මූල පටිය වර්ණයෙන් තරමක් වෙනස්ය. පේළි වශයෙන් පිහිටා තිබෙන කුඩා තිත් විශාල සංඛ්‍යාවක් මූල පටියේ දක්නට ලැබේ. තෙතමන තත්වය හිතකර වූ විට මේ එක් එක් තිතකින් මුලක් විකසනය වන්නට පුළුවන. දණ්ඩේ වයසින් වැඩි කොටස්වල එක් එක් ගැටයේ පත්‍ර කොපු කැළලක් දක්නට ලැබේ.
උක් කඳේ ව්‍යූහය නියම ඒකබීජපත්‍රික ශාකයක කඳේ ව්‍යූහයට සමානය. පිටතින් තිබෙන ඝන, තද ස්තරය පොත්තයි. මීට ඇතුළතින් වූ මොළොක්, ළාපාට පටකය බඩය හෙවත් මජ්ජාවය. තන්තුමය සනාල කලාප එහි ගිල් වී තිබේ. මජ්ජාව තුනී බිත්තිවලින් යුත් මෘදුස්තර සෛලවලින් සමන්විතය. උක් දණ්ඩෙහි සංචිත සීනි (සුක්රෝස්) සියල්ල ම තිබෙන්නේ ද්‍රාවණයක් වශයෙන් මජ්ජා සෛලවලය.
පත්‍ර කොපුව හා පත්‍ර තලය යන පැහැදිලි කොටස් දෙකකින් උක් පත්‍රය සමන්විතය. පත්‍ර තලය දිගය; පටුය. එහි දිග අඩි 5 සිට 6 දක්වා විය හැකිය. පළල අඟල් 1 සිට 3 දක්වා විය හැකිය. උක් ගසේ මුල් පද්ධතිය, බෙදී යන මුල් විශාල සංඛ්‍යාවකින් සමන්විතය. ප්‍රාථමික මුල් ආරම්භ වන්නේ දණ්ඩේ ගැටවල තිබෙන මූල පටි ප්‍රදේශවලිනි. එක් එක් මූල පටි ප්‍රදේශයක මුල්වල මූලාකෘති කිහිපයක් ඇත. මේ ඕනෑ ම එකකින් මුලක් විකසනය විය හැකිය. සුදුසු උත්තේජකයක් ලත් විට මූලාකෘතිය විකසනය වේ. මුල් විකසනය වීම සඳහා වැඩියක් ම අවශ්‍ය උත්තේජකය තෙතමනයි. සාමාන්‍ය තත්ව යටතේ පොළොව යට පිහිටි කඳේ කොටසෙන් මුල් විකසනය වේ. දඬු කැබෙල්ලක් පස් යට හිට වූ විට සෑම ගැටයකින් ම මුල් විකසනය වේ. එහෙත් පළමුවෙන් මුල් විකසනය වන්නේ පාදස්ථ ගැටවලිනි. මුල්වල මූලාකෘතියකින් විකසනය වන ප්‍රාථමික මුල පසුව ශාඛනය වී එයින් ද්විතීයික, තෘතීයික හා කුඩා මුල් විශාල සංඛ්‍යාවක් සෑදේ. ප්‍රාථමික මුල පසේ යටට වර්ධනය වන අතර අනික් මුල් පසේ ඉහළ ස්තරවල සෑම දෙස ම විහිදී යයි. මෙසේ උක් ගසේ මූල පද්ධතිය ඉතා පෘථුල වේ.
නිවර්තන ප්‍රදේශවල පමණක් උක් ගස්වල මල් ඇති වේ. එහෙත් ඇට සෑදෙන්නේ කලාතුරකිනි. උක් ගසේ පුෂ්ප මංජරිය අඟල් 18ක් පමණ දිග පිහාටුවක් වැනි සංයුක්ත ඒකාක්ෂයකි. මෙය විකසනය වන්නේ කඳේ අග්රයෙහිය. ශූකිකාවල (spikelets) මල් පිපේ. එක් එක් ශූකිකාවක ආවශ්‍යක කොටස් වන ඡායාංගයක් ද රේණු 3ක් ද තිබේ. එක පිට එක පිහිටා තිබෙන තුෂ කිහිපයකින් ද උපතුෂයකින් ද කුඩා තුෂිකා දෙකකින් ද මේවා වට කොට තිබේ. එක් එක් ශූකිකාවක පාදයෙහි සේද වැනි කේශර වලයක් තිබේ. බොහෝ උක් ගස් ප්රභේදවල සෑදෙන පරාගවලට ප්‍රරෝහණය වන්නට නුපුළුවන. සංසේචනය සිදු වුවත් සෑදෙන ඇට ඉතා කුඩාය. අහිතකර තත්වයක් ඇති ප්‍රදේශවල ඒවා ප්‍රරෝහණය වන්නේ කලාතුරකිනි. එබැවින් උක් වතුවල සාමාන්‍යයෙන් උක් වගා කරනු ලබන්නේ වර්ධක ප්රචාරණයෙනි.
වගාව
නිවර්තන ප්‍රදේශවල අඞ්කුර 2ක් හෝ 3ක් පමණ ඇති දඬු කැබෙලි හීවිටිවල තබා පස්වලින් වසනු ලැබේ. හිතකර තත්ව යටතේ ඕනෑ ම අඞ්කුරයකට අලුත් උක් ගසක් සේ විකසනය විය හැකිය. සුමාන දෙකක් පමණ ගත වූ විට මෙසේ හිටවන ලද දඬු කැබෙලිවලින් වායව ප්‍රරෝහ විකසනය වේ. මාස 12 සිට 15 පමණ ගතවූවාට පසු උක් දඬු කැපීමට සුදුසුය. දඬු කපාගත්තාට පසු පොළොව යට තිබෙන ශාක කොටස්වලින් අලුත් උක් ගස් පැළ වේ. මෙසේ එක් වගාවකින් අවුරුදු කිහිපයක් ගතවන තුරු අවුරුද්දක් පාසා දඬු කපාගත හැකිය.
උක් නිවර්තන ශාකයක් බැවින් එය ඉතා හොඳින් වැවෙන්නේ සෑහෙන තරම් ජලය තිබෙන උණුසුම් නිවර්තන ප්රදේශවලය. වර්ෂාපතනය වර්ෂයකට අඟල් 50කට වඩා අඩු ප්‍රදේශවල අතිරේක ජලසම්පාදනය අවශ්‍යය. මාරුවෙන් මාරුවට තෙත් හා වියළි ඍතු ඇත්නම් ඒ තත්වය උක් ශාකයට ඉතා හිතකරය. උක් වගාව පරිණත වන විට වියළි ඍතුවක් අවශ්‍යය. සීනි සෑදෙන්නේ මේ කාලයේ දීය. මේ කරුණුවලින් දැක්වෙන්නේ ලංකාවේ වියළි කලාපය උක් වගාවට ඉතා සුදුසු බවය. නොයෙක් පස් වර්ග උක් වගාවට තරමක් සුදුසු වුවත් එයට ඉතා සුදුසු වනුයේ දියළු (alluvial) ලෝම් පසය.
උක් ගසට වැලඳෙන රෝග 60ක් පමණ වේ. මේ රෝග ඇති කිරීමට හේතු වන්නේ වයිරස, බැක්ටීරියා හා දිලීරය. උක්වලට හානි කරන බොහෝ කෘමීහු ද වෙති. පර්යේෂණ ප්‍රතිඵල පිහිට කොට ගෙන මේ රෝගවලින් බොහොමයක් දැන් මර්දනය කළ හැකිය. මේ රෝගවලට ප්‍රතිරෝධය දක්වන උක් ප්රභේදයන් විකසනය කර ගැනීමෙන් රෝග බොහොමයක් දැන් මැඩ පවත්වාගෙන තිබේ.
උක් ගස ග්රමිනේ කුලයට අයත් ඒකබීජපත්‍රික ශාකයකි. එය නිවර්තන හා උපනිවර්තන ප්‍රදේශවලට සීමා වේ. දැන් වගා කරනු ලබන උක් නම් දෙමුහුන් ශාකයෝය. වල් ශාක වන සක්කරුම් රොබුස්ටුම් (S. robustum) හා ස. ස්පොන්ටෙනෙයුම් (S. spontaneum) වගා කරනු ලබන උක් ශාකයන්ගේ මුත්තණු ශාක විය හැකිය. උක් ශාක ප්‍රධාන වශයෙන් මේ විශේෂ තුනෙන් එකක් හෝ ඊට වැඩි ගණනක් හෝ දෙමුහුන් කිරීමෙන් ලබාගත් ශාකයෝය. ස. ඔපිසිනාරුම්වල වර්ණදේහ සංඛ්‍යාව (2N) =80. ස. රොබුස්ටුම්වල වර්ණදේහ සංඛ්‍යාව 60 සිට 148 දක්වා වෙනස් වේ. පිළිගත් තවත් විශේෂ දෙකක් නම් ස. සිනෙන්ස් (S. sinens) හා ස. බාර්බෙරි (S. barberi) ය.
ව්‍යාප්තිය
දේශීය උක් විශේෂ ඉන්දියාව, චීනය හා නිරිතදිග ශාන්තිකර දූපත් යනාදි ප්‍රදේශවල තවමත් දක්නට ලැබේ. බටහිර භූගෝලාර්ධයට දේශීය වූ උක් විශේෂ නැත. දැන් එහි වගා කරනු ලබන උක් විශේෂ කවදා හෝ පිටරටවලින් ගෙනෙන ලද ඒවායි. ඉන්දියාවේ ද චීනයේ ද අවුරුදු 2,500ක් පමණ කාලයක් තුළ උක් වගා කළ බවට සාක්ෂ්‍ය පැරණි වාර්තාවලින් ලැබේ. මෙම ශාකය උතුරු ඉන්දියාව නිජබිම් කොට ඇති වූවක් යයි සාමාන්‍යයෙන් සැලකේ. ඉන්දියාවෙන් උක් චීනයට ගෙන යන්නට ඇතැයි සිතිය හැකිය. චීනයෙන් එය පෝර්මෝසා, පිලිපීනය හා ජාවා යන දූපත්වලට ගෙන යනු ලැබීය. ක්‍රි.ව. 1148ට කලින් වැනීසියානුන් ඉන්දියාවෙන් උක් ගෙනා බව වාර්තා වී තිබේ. සැරසන් ජාතීහු වැනීසියෙන් මේ උක් ගස් සිසිලිය, ක්‍රීටය, රෝඩ්ස් හා සයිප්‍රස් වැනි දූපත්වලට ගෙන ගියහ. ඊට පසුව 1492 දී ස්පාඤ්ඤවරු බටහිර ඉන්දියා කොදෙව්වලට උක් ගෙන ගියහ. 1497 දී පමණ පෘතුගීසීහු බ්රැසීලයට උක් ගෙන ගියහ.
ඉන්දියාව, චීනය, හවායි දූපත්, ජාවා, සුමාත්‍රා, අප්‍රිකාව, උතුරු හා දකුණු ඇමෙරිකාව යන ප්‍රදේශවල දැන් උක් වගා කරනු ලැබේ. ලංකාවේ ද උක් වගා කිරීම දියුණු කිරීමට දැන් බොහෝ උත්සාහ ගනු ලැබේ. ඕලන්ද යුගයට කලිනුත් ලංකාවේ උක් වගා කරන්නට ඇතැයි ඇතැමෙක් සිතති. ඊට පසු 1826 පමණ කාලයේ දී උක් වගාව ගැන සැලකිල්ලක් ඇති වුණු හෙයින් දකුණු පළාතේ බද්දේගම ද නැගෙනහිර පළාතේ අල්ලේ ප්‍රදේශයෙහි ද උතුරු පළාතේ යාපනයේ ද උතුරු මැද පළාතේ අනුරාධපුරයෙහි ද උක් වගා කිරීමට උත්සාහ ගන්නා ලදි. එහෙත් මේ වගාවන් සාර්ථක නොවූ බව පෙනේ. මේ ප්‍රදේශවලින් උක් වගාව තරමක් වත් සාර්ථක වූයේ බද්දේගම-නාගොඩ ප්‍රදේශයේ පමණි. දැනුත් එහි උක් අක්කර 500ක් පමණ වගා කරනු ලැබේ. ලංකාවට නිදහස ලැබීමෙන් පසු 1950 දී පමණ නැවත උක් වගාව ගැන සැලකිල්ලක් දක්වන්නට වූ රජය ගල්ඔය නිම්නයේ, කන්තලේ හා උඩ වලවේ ද උක් වගාව දියුණු කර ඇත.
ආයුර්වේද මතය
සංස්කෘත භාෂාවෙහි ඉක්ෂු ආදි නම් කීපයකින් උක් හඳුන්වා තිබේ. නානා වර්ණයෙන් හා ගුණයෙන් යුත් උක් ප්‍රභේද දොළසක් සුශ්‍රැතයෙහි සඳහන් වේ. සිත, පුණ්ඩ්‍ර, කරඞ්ග (කරඞ්ක), කෘෂ්ණ, රක්ත (ලෝහිත) යයි උක් ප්‍රභේද පසක් ගැන රාජනිඝණ්ටුවෙහි පැවැසේ. සිත (සුදු) උක් කඨිනය; රුචිකරය; ගුරුය; සෙම් හා මූත්‍ර වඩයි; අග්නිදීපනය කෙරෙයි; පිත්දාහ නසයි; පැසවීමෙහි මඳක් උණුසුම්ය. පුණ්ඩ්‍ර නමින් හැඳින්වෙන උක් අතිශයින් මධුරය; ශීතලය; සෙම් වඩන්නේ ද පිත් නසන්නේ ද වෙයි; රුචිකරය; දාහශ්රම පහ කර සන්තර්පණය කෙරෙයි. කරඞ්ග (කරඞ්ක) නම් උක් විශේෂය මධුරය; ශීතලය; මෘදුය; රුචි වඩයි; පිත්දාහ නසයි; ධාතු පෝෂණය කෙරෙයි; අග්නිබල වඩයි. කෘෂ්ණ නම් වූ උක් විශේෂය කළුපැහැය ඇත්තේය; මධුරය; දිව පිනවයි; හෘදයට හිතය; කටුකය; රසාඪ්යය; තුන් දොස් පහ කරයි; බල වීර්‍ය්‍ය ගෙන දෙන්නේ වෙයි. රක්ත (ලෝහිත) නම් වූ උක් විශේෂය මධුරය; පැසවීමෙහි ශීතලය; මෘදුය; පිත් දාහ නසයි; ධාතු පෝෂණය කෙරෙයි; අග්නි බල වඩයි.
දතින් විකීමෙන් පානය කරන උක් රසය අවිදාහීය (නොදවන්නේය); සෙම් වඩයි; වාපිත් නසයි. යතින් මිරිකූ උක් රසය ගුරුය; විදාහීය (දවන්නේය); බඩ පිපුම ඇති කරන්නේය. ආහාර අනුභවයට පෙර උක් අනුභවයෙන් පිත නැසීම ද ආහාරයෙන් පසුව වැළඳීමෙන් වාතය කිපීම ද සිදු වේ.
මූත්රජනනය සඳහා ද රත්පිත, නාසයෙන් ලේ ගැලීම, ග්‍රහණිය, ප්‍රමේහ, පාණ්ඩු, කාසාදි රෝගයන්ට ප්‍රතිකාර වශයෙන් ද වෙනත් ඖෂධ වර්ග සමඟ උක් යොදනු ලැබේ.
උක් කර්මාන්තය
උක් ගසේ යුෂය පැණි හා හකුරු ආදිය සාදාගැනීම සඳහා වෛදික යුගයේ සිට ම ඉන්දියාවේ භාවිත වූ බවට ඓතිහාසික සාක්ෂි තිබේ. බෞද්ධ භික්ෂූන්ට කැප විකාල පානයක් වූ චතුමධුරයට උක්යුෂ ඇතුළත් වීමෙන් ද එහි පෞරාණිකත්වය සලකාගත හැකිය. ක්‍රි.පූ. 325 දී මහා ඇලෙක්සැන්ඩර් රජුගේ හමුදාවෝ ඉන්දියාවේ උක් සකුරු කර්මාන්තය ගැන වාර්තා කළහ. ක්‍රි.ව. 500 පමණ වන විට ටයිග්‍රිස්-යුප්‍රටීස් නිම්නයේ ද උක් වැවීම හා උක් පැණි කර්මාන්තය දියුණු වීල. පර්සියාවෙන් අරාබියටත්, අරාබි වෙළෙඳුන් මඟින් මධ්‍යධරණී මුහුදේ දූපත්වලට හා වෙරළබඩ ප්‍රදේශයන්ටත් උක් වැවීම බෝ විය. පසු කාලයක දී මෙම පෙදෙස්වලින් බටහිර යුරෝපීය රටවලට උක් සීනි විකුණන ලදැයි ද කියනු ලැබේ.
දහසය වැනි සියවසේ දී ම පෘතුගීසීහු බ්රැසීලයේ උක් කර්මාන්තය කොතරම් දියුණු කළාහු ද යත් දහහත්වැනි සියවස පමණ වන තෙක් ම බටහිර හා උතුරු දිග යුරෝපයට උක් සීනි සපයන ලද්දේ බ්‍රැසීලය විසිනි. 1641 දී ක'නල් හෝල්ඩිප් (Holdip) විසින් බාර්බේඩෝස්හි උක් සීනි කම්හලක් විවෘත කරන ලදි. මීට තිස් වසකට පමණ පසුව ලීව’ඩ් දූපත්හි උක් කර්මාන්තය දියුණු විය. දහහත්වැනි සියවස අවසන් වන විට ප්රංස ආණ්ඩුව මගින් මාටිනීක්, ග්වාඩ්ලූප් හා ග්රැනඩා ප්‍රදේශවල ද උක්වගාව අරඹා තිබිණ. 1661 දී ලන්දේසීහු ගියානාහි උක් කම්හලක් විවෘත කළහ. 1700 පමණේ දී ප්රංස ජාතිකයන් විසින් ඩොමිනිකා දූපතෙහි උක් වගාව දියුණු කරන ලදි. නැපෝලියානු යුද්ධවලින් පසුව බ්‍රිතාන්‍ය ගියානාව, මුරිසිය, ට්‍රිනිඩෑඩ් ආදි පෙදෙස්හි උක් සීනි කර්මාන්තය සම්බන්ධයෙන් බ්‍රිතාන්‍යයෝ වෙහෙසුණාහ. දහනවවැනි සියවසේ දී වහල් මෙහෙය නැති කිරීම ආදිය ඇමෙරිකාවේ හා ඊ අවට දූපත්වල උක් කර්මාන්තයේ දියුණුවට බාධාවක් විය. එහෙත් විසිවන සියවසේ මුල භාගයේ දී උක් සීනි කර්මාන්තය ක්‍යුබා, ජාවා, පිලිපීනය, ප්වෙර්ට රීකෝ, හවායි, ෆෝමෝසා, ඉන්දියාව, පීරූ, ආජන්ටිනා, ක්වීන්ස්ලන්තය, නාතාල් ආදි පෙදෙස්හි ශීඝ්‍රයෙන් දියුණු විය.
උක් කපාගැනීමෙන් පසු ඉක්මනින් යුෂ මිරිකා ගත යුතු වේ. එහෙයින් උක් වගාව සමඟ ම උක් පැණි, උක් හකුරු වැනි ද්‍රව්‍ය නිපදවන සුළු කර්මාන්ත හෝ නවීන ක්‍රමානුකූලව සීනි නිෂ්පාදනය කිරීමේ කර්මාන්තය හෝ දියුණු වේ. ඉන්දියාවේ ‘ගූර්’ හා ‘සක්කර’ ද ලතින් ඇමෙරිකානු රටවල ‘පැනිලා’ ද පිලිපීන දූපත්හි ‘පැනෝවා’ ද උක් පැණියෙන් සාදාගන්නා ශුද්ධ නොකළ සීනි විශේෂයෝය. උක් වවන සමහර රටවලින් ශුද්ධ නොකළ සීනි ද සමහර රටවලින් ශුද්ධ කළ සීනි ද සමහරකින් දෙවර්ගය ම ද පිටරටවලට යවනු ලැබේ.
ලෝකයේ සීනි නිෂ්පාදනයන් අතුරෙන් සියයට 60-65ක් පමණ උක් සීනිය. උක් වැවීමට සුදුසු ස්වාභාවික අවශ්‍යතාවන් සහිත බොහෝ නිවර්තන ප්‍රදේශවල උක් කර්මාන්තය දියුණු වී ඇත.
1965-66 සංඛ්‍යා වාර්තා අනුව උක් වගාව හා කේන්ද්‍රාපසාරී සීනි (centrifugal sugar) (සීනි බ.) නිෂ්පාදනය පිළිබඳ සංඛ්‍යා විස්තර පහත පළ වේ.
අවශ්‍යයෙන් ම උක් වගාවන්ට ආසන්නව පැවතිය යුත්තේ උක් දඬුවලින් යුෂ මිරිකා එම යුෂ නරක් නොවන පමණට පදම් කරන කර්මාන්ත ස්ථානයි. ශුද්ධ නොකළ සීනි හෝ හකුරු, සක්කරා ආදිය නිපදවීම හෝ අර්ධ වශයෙන් නිෂ්පාදනය වූ සීනි, සම්පූර්ණ වශයෙන් නිෂ්පාදනය කිරීම හෝ සීනි පිරිසිදු කිරීම හෝ උක් වගා කෙරෙන පෙදෙස්වලින් දුර බැහැර වුව ද දියුණු කළ හැකි වේ.
1965-66 වර්ෂයේ කේන්ද්‍රාපසාරී සීනි මෙ.ටො. 4,852,000ක් බ්‍රැසීලය විසින් නිපදවන ලදි. මීට ප්‍රථම වර්ෂයේ දී බ්රැසීලයට වඩා මෙ.ටො. 2,224,000ක් නොහොත් මෙ.ටො. 6,051,000ක් සීනි නිපදවූ ක්යුබාවෙහි 1965–66 වර්ෂයේ දී සීනි නිෂ්පාදනය අඩු වීමට හේතුව එම වකවානුවේ දී ක්යුබාවෙහි පැවති දේශපාලන කැළඹිලි යයි සිතිය හැකිය. පසුගිය විසිවර්ෂය තුළ සංඛ්‍යා පිරික්සීමෙන් හෙළි වනුයේ උක් වගාව හා උක් සීනි කර්මාන්තය අතින් ක්යුබාවට ප්රමුඛ ස්ථානයක් හිමි වන බවය. ක්යුබාවෙහි වගා කළ හැකි බිම් ප්‍රමාණය වූ හෙක්ටෙයාර් 1,970,000න් 1,500,000ක් ම උක් වගාව සඳහා යොදවා ඇත. මෙහි මුළු ආර්ථික ක්‍රමය ම සීනි නිෂ්පාදනය කෙරෙහි රැඳී ඇති හෙයින් ලෝක වෙළෙඳ පොළේ සීනි මිල අඩුවැඩි වීම ක්‍යුබාවේ ආර්ථික ක්‍රමය කෙරෙහි බෙහෙවින් බලපාන්නකි. ක්‍යුබාවේ නිර්යාත ද්‍රව්‍යයන්ගෙන් සියයට 90ක් පමණ සීනි හා උක් කර්මාන්තයේ අතුරු නිෂ්පාදනයන්ගෙන් යුක්ත වේ. ඉන්දියාවේ බොහෝ පෙදෙස්වල උක් වගා කරනු ලැබේ. එහෙත් වඩාත් වැදගත් වනුයේ ගංගා නිම්න ප්‍රදේශය හා මදුරාසිය අවට ප්රදේශයි. ඉන්දියාවේ නිපදවන සීනිවලින් සියයට 70ක් නවීන කම්හල්වල නොව ගෘහ හා සුළු කර්මාන්ත ස්ථානවල නිපදවනු ලැබේ. ලෝකයේ ශුද්ධ නොකළ උක් සීනිවලින් සියයට 75ක් පමණ නිපදවනුයේ ඉන්දියාවේ හා පකිස්ථානයෙහිය.
ඇමෙරිකානු එක්සත් ජනපදයට සීනි සැපයිය හැකි වීම ප්වෙර්ට රීකෝහි උක් කර්මාන්තය එහි ප්‍රධාන ආර්ථික ව්‍යාපාරය වශයෙන් දියුණු වීමට හේතු වී ඇත. ඇමෙරිකානු වෙළෙඳපොළ නිසා සීනි කර්මාන්තය දියුණු කරගත් අනෙක් රටවල් අතර පිලිපීන් දූපත්, පීරූ හා බ්‍රැසීලය වැදගත් වේ. ඉන්දුනීසියානු රටවල් අතුරෙන් උක් වගාව වඩාත් වැදගත් වනුයේ ජාවා දූපතෙහිය (සීනි බ.).
ලංකාවේ උක් සීනි කර්මාන්තය
රුහුණු මාගම් නුවර කාවන්තිස් රජුගේ රාජ්‍ය සමයෙහි මාගම විසූ දාරුභණ්ඩ තිස්ස නම් මිනිසකු උක් මිරිකන කම්හලක කම්කරුවකු ලෙස වැඩ කළ බව ද ඔහුට සමසක කුලිය වශයෙන් කහවණු දොළසක් ලැබුණු බව ද මනොරථපූරණී අංගුත්තර අටුවායෙහි එන පුවතකින් දැක්වෙයි. එහි එකී කම්හල සඳහන් වනුයේ ‘උච්ඡුයන්ත’, ‘යන්තසාලා’ යන නම්වලිනි. එය සීනි, උක්සකුරු ආදි ඉක්ෂු විකෘතීන් සම්පාදනය සඳහා පැරණි සිංහලයන් විසින් නිපදවාගත් කර්මාන්තශාලාවක් බව පෙනේ. මහසිලුමහතිස් රජතුමා ද රන්ගල නම් ස්ථානයක පිහිටුවා තුබූ උක්යන්ත්රයක කුලියට වැඩ කළ පුවතක් මහාවංශයෙහි (34/4) එයි. මේ ප්රවෘත්ති ආශ්රයෙන්, ඈත අතීතයෙහි සිට ලක්දිව උක් වගාව දියුණුව තුබූ බව ද යන්ත්‍රානුසාරයෙන් ඉක්ෂු විකෘතීන් නිපදවාගත් බව ද කිව හැකිය. දැනට උක් සීනි නිෂ්පාදනය කන්තලේ හා ගල්ඔය පිහිටි කම්හල්වලට පමණක් සීමා වී ඇත. කුඩා යන්ත්‍ර මගින් සීනි නිෂ්පාදනය කිරීමේ කම්හලක් උඩවලවේහි තනාගෙන යනු ලැබේ.
උක් යුෂයෙන් සීනි නිපදවීම ප්‍රධාන කර්මාන්තය වුව ද පැණි මණ්ඩියෙන් ඉක්ෂුපාක අරක්කු, රම්, බ්‍රැන්ඩි, ආදි මත්පැන් වර්ග රාශියක් ද මද්‍යසාරයෙන් සුවඳ විලවුන් ආදිය ද නිපදවනු ලැබේ. උක්රොඩු වැඩි වශයෙන් ඉන්ධන සඳහා යොදාගනු ලැබේ.
(සංස්කරණය: 1970)