"උගන්ඩාව" හි සංශෝධන අතර වෙනස්කම්

සිංහල විශ්වකෝෂය වෙතින්
වෙත පනින්න: සංචලනය, සොයන්න
('පොදුරාජ්‍ය මණ්ඩලය තුළ වූ නිදහස් රාජ්‍යයක් වන...' යොදමින් නව පිටුවක් තනන ලදි)
 
(වෙනසක් නොමැත)

16:05, 23 ජූනි 2025 වන විට නවතම සංශෝධනය

පොදුරාජ්‍ය මණ්ඩලය තුළ වූ නිදහස් රාජ්‍යයක් වන උගන්ඩාව නැගෙනහිර අප්‍රිකාවේ සමක ප්‍රදේශයෙහි පිහිටා ඇත. අතීතයේ දී මෙහි බුගන්ඩා නම් බන්ටු රාජ්‍යයක් විය. පසුව එහි පැමිණි ස්වාහීලි වර්ගයා බුගන්ඩා යන්න උගන්ඩා යනුවෙන් වරදවා කරන ලද උච්චාරණය දිගට ම ව්‍යවහාර විය. එහෙත් දැනුදු බුගන්ඩා නමින් හැඳින්වෙන පළාතක් උගන්ඩාවෙහි ඇත.

සමකය හා උ.අ. 5°ත් නැ.දේ. 30° හා 35°ත් අතර පිහිටි උගන්ඩාව ව.සැ. 93,981ක් විශාලය. මින් ව.සැ. 13,680ක් ම වගුරු හා ජල ප්‍රදේශය. නැගෙනහිරින් කීනියාවෙන් ද දකුණින් ටැන්ගනීකාවෙන් ද බටහිරින් කොංගෝවෙන් ද උතුරින් සුඩානයෙන් ද වට වූ උගන්ඩාවට මුහුදු වෙරළක් නැත.

1862 දී ජෝන් හැනිං ස්පීක් (Speke) විසින් වික්ටෝරියා විලෙහි වයඹදිග වෙරළාසන්න පෙදෙස් සොයාගත් පසු එම කුඩා පෙදෙස් පමණක් ඒ කාලයේ දී උගන්ඩා නමින් හැඳින්විණි. එහෙත් විටින් විට ඒ කුඩා ප්‍රදේශයට අවටින් තව තවත් ප්‍රදේශ ඈඳනු ලැබූ හෙයින් එහි දේශසීමා ද ඒ අනුව වෙනස් විය. බටහිරින් රුවන්සෝරි කඳුවැටියත්, ඇල්බ'ටා නියන්සා හා එඩ්වඩ් නියන්සා විලුත්, දකුණින් වික්ටෝරියා විලත් වර්තමාන උගන්ඩා දේශසීමාවෙහි ස්වාභාවික සලකුණු වේ. මෙහි බටහිර දේශසීමාව ලකුණු කරද්දී සිතියම්වල නැගෙනහිර දේශාංශ 30° රේඛාව නියම ස්ථානයට සැ. 25ක් පමණ බටහිරින් ලකුණු කර තිබුණු නිසා 1912 දී එය නිරාකරණය කරගැන්මේ දී මහත් ගැටලු ඇති විය. 1922 දී ඩිඩිංගා දිස්ත්‍රික්කය සුඩානයටත් 1926 දී රුඩොල්ෆ් පළාත කීනියාවටත් පැවරුණු නිසා උගන්ඩා දේශසීමාව ඒ කාලයේ දී ද මඳ වශයෙන් වෙනස් විය. වර්තමාන උගන්ඩාව පාලන කටයුතු උදෙසා නැගෙනහිර පළාත, බටහිර පළාත, බුගන්ඩා පළාත හා උතුරු පළාත යන වශයෙන් බෙදා ඇත. බුගන්ඩා පළාතේ හා බටහිර පළාතේ බුන්යෝරෝ, ආංකෝලේ හා ටෝරෝ දිස්ත්‍රික්කයන්හි පාලනය පාරම්පරික උරුමයෙන් පාලනය හිමි වන නායකයන් වෙත පැවරී ඇත.

නැගෙනහිර අප්‍රිකානු උස්බිම් පෙදෙසෙහි ඉතා ම වැදගත් භූ ලක්ෂණය වූ මහා දැදුරු නිම්නයෙහි නැගෙනහිර හා බටහිර ශාඛාද්වයට මැදිව පිහිටි උගන්ඩා දේශය දළ වශයෙන් මුහුදු මට්ටමේ සිට අඩි 4,000ක් උස් වූ සානු ප්‍රදේශයකි. මෙම සානු මධ්‍යයෙහි මහා වළතැන්නක මුළු අප්‍රිකා මහාද්වීපයෙහි ම වූ ඉතා ම විශාල අභ්‍යන්තර ජලප්‍රදේශය වන වික්ටෝරියා විල පිහිටා ඇත. වික්ටෝරියා විලෙහි උතුරු දිග පෙදෙසේ සිට ඊට වයඹ දිගින් වූ ඇල්බට් විල දක්වා වූ ප්‍රදේශය ද අවට භූමියට වඩා පහත්ය. කුඩා විල් සමූහයකින් හා වගුරු බිම්වලින් යුත් මෙම පෙදෙස කියෝගා විල් පෙදෙස නමින් හඳුන්වනු ලැබේ. කියෝගා පෙදෙසට උතුරු දිගින් වූ උතුරු උගන්ඩා පෙදෙස දකුණු උගන්ඩාවට වඩා වියළි වූ ද විශාල වූ ද තැනිබිම් සහිත ප්‍රදේශයකි. උගන්ඩාවෙහි වයඹ දිග කෙළවරෙහි වූ බහ්ර්-එල්-ජෙබල් (Bahr-el-jebel) නිම්නයේ නැගෙනහිර ඉවුරේ සිට නැගෙනහිර දැදුරු නිම්නයෙහි බටහිර ඉවුර දක්වා භූමිය ක්‍රමයෙන් උස් වේ. මෙම ප්‍රදේශය සාමාන්‍යයෙන් අඩි 2,000-5,000ක් පමණ උසැති නමුදු තන්හි තන්හි උසින් අඩි 10,000ක් පමණ වූ කඳු ද ඇත. උගන්ඩා දේශසීමාව බොහෝ තන්හි උස් කඳුවැටි ඔස්සේ වැටී ඇති හෙයින් උගන්ඩාවේ මහා කඳු රට වටා පිහිටියේ වේ. මෙහි මහා කඳු අතරින් ඉතා ම තේජාන්විත කඳුවැටිය ලෙස සැලකෙනුයේ මාගරීටා (16,763´), ඇලෙක්සැන්ඩ්‍රා (16.70´) ආදි ශිඛර සහිත රුවන්සෝරි කඳුවැටියය. නිරිතදිග උගන්ඩාවේ වූ ම්ෆූම්බිරෝ (Mfumbiro) කඳු උසින් අඩි 14,500ක් පමණ වූ ශිඛර කීපයකින් ම සැදි අතර විටින් විට විදාරණය වන යමහල්වලින් ද යුත් කඳු වැටියකි. උගන්ඩාවේ නැගෙනහිර දේශසීමාවෙහි එල්ගොන් ශිඛරය (14,140´) සහිත මහා කඳු වැටිය පිහිටා ඇත.

උගන්ඩාවේ ජලවහන රටාව වික්ටෝරියා ආදි විල් පද්ධතියත් නයිල් ගංගාවත් මුල් වූවක් වේ. ඕවන් ඇල්ල ඔස්සේ වික්ටෝරියා විලෙන් පිට වන නයිල් ගංගාව කියෝගා විල් හරහා ඇල්බට් විල දක්වා ගලා බසී. ඇත්ත වශයෙන් මෙම කොටසේ දී එය හඳුන්වනුයේ වික්ටෝරියා නයිල් නමිනි. ඇල්බට් විලේ සිට සුඩානයේ නෝ විල දක්වා එය බහ්ර්-එල්-ජෙබල් හෙවත් ඇල්බට් නයිල් නමින් හැඳින්වේ. උගන්ඩාව ඔස්සේ ගලා බසිනුයේ ඇල්බට් නයිල්හි මුල් කොටස පමණි. උගන්ඩාවේ නමසාගාලිහි සිට අටුරා දක්වාත් ඇල්බට් විලේ සිට නිමුලේ දක්වාත් නයිල් ගඟේ නැව්වලට යාත්‍රා කළ හැකි වේ. දකුණු දිග දේශසීමාව ඔස්සේ වික්ටෝරියා විලට ගලා බස්නා කගේරා ගඟින් උගන්ඩාවේ නිරිත දිග පෙදෙස්වලට නාවික පහසුකම් සැලසේ. උතුරු උගන්ඩාවේ ගඟ සුඩාන් දේශසීමාව අසල දී ඇල්බට් නයිල් ගඟට එක් වන අස්වා ගඟය.

උගන්ඩාව සමක ප්‍රදේශයෙහි පිහිටි නමුදු භූමිය උස් හෙයින් දේශගුණය බෙහෙවින් හිතකරය. දකුණු උගන්ඩාවේ සා.වා. උෂ්ණත්වය පැ. 60°ක් පමණ වන අතර උතුරු උගන්ඩාවේ සා.වා. උෂ්ණත්වය පැ. 85°ක් පමණ වේ. ඉතා වියළි වූ අග්නිදිග පෙදෙස්හි සා.වා. වර්ෂාපතනය අඟල් 20ක් පමණ වේ. උගන්ඩාවේ බොහෝ පෙදෙස්හි සා.වා.ව. අඟල් 40ක් පමණ වන නමුදු වික්ටෝරියා විලට වයඹදිග පෙදෙස්හි සා.වා.ව. අඟල් 100ක් පමණ වේ. මාර්තු සිට මැයි දක්වාත් සැප්තැම්බර් සිට නොවැම්බර් දක්වාත් වැසිකාලයයි. ඒ අතරතුර මාස වියළිය.

උගන්ඩාවේ වියළි උතුරු හා අග්නිදිග පෙදෙස්හි මිටි තණ හා කටුපඳුරු ද මධ්‍යම හා දකුණු දිග පෙදෙස්හි ලඳු කැළෑ හා සැවනා තණබිම් ද දක්නට ලැබේ. වික්ටෝරියා විල අවට හා කඳු බෑවුමෙහි උසින් අඩි 10ක් පමණ වූ තණබිම් ද ඇත. සැවනා පෙදෙස්හි වැඩෙන වෘක්ෂ අතුරෙන් මුවුලේ හා ඉරෝකෝ නම් දෙවර්ගය ප්‍රධාන වේ. වර්ෂාව නොඅඩුව ලැබෙන දකුණු හා බටහිර උගන්ඩා පෙදෙස්හි බටහිර අප්‍රිකානු ඝන වනාන්තරයන්ට සමාන වූ වනාන්තර ඇත. මහොගනි, නා, තේක්ක ආදි වෘක්ෂ මෙම වනාන්තරයන්හි බහුලය. මෙම ප්‍රදේශයෙහි වගුරුබිම්හි පැපයිරස් හා වෙනත් පන් වර්ග බහුලව වැඩේ.

සත්ව වර්ග

සෙසු නැගෙනහිර අප්‍රිකානු රටවල මෙන් උගන්ඩාවෙහි ද දක්නට ලැබෙනුයේ ඉතියෝපියානු ප්‍රදේශයන්හි බහුල සත්ව වර්ගයන්ය. එහෙත් බටහිර උගන්ඩාවෙහි බටහිර අප්‍රිකාවේ බහුල සත්වවර්ගයෝ ද දක්නට ලැබෙත්. සිංහ, ඇත්, දිවි, මී, ගව හා ඇන්ටිලෝප් ආදි සත්තු බහුල වෙත්. රූවන්සෝරි ප්‍රදේශය චිම්පන්සි හා වෙනත් වඳුරු වර්ගයේ සතුන් ද වල් ඌරන් ද බහුල ප්‍රදේශයකි. බටහිර උගන්ඩාවේ විල් අවට හා නයිල් ගඟ අසල හිපපොටේමස්, රයිනොසිරස් ආදි සත්තු සිටිති. ඉතා වර්ණවත් ගිරා වර්ග රාශියක් ද නොයෙකුත් වර්ගවල කොක්කු ද පැස්බරු ද මෙහි සිටිත්. විල්වල හා ගංගාවල කිඹුල්ලු සිටිත්.

උගන්ඩාවේ ම'විසන් ෆෝල්ස් ජාතික උද්‍යානය හා ක්වීන් එලිසබත් ජාතික උද්‍යානය ලෝක ප්‍රසිද්ධය. ගොරිල්ලා, සුදු රයිනොසිරස්, අලි ඇතුන් හා පක්ෂීන් සඳහා වෙන් වෙන් වශයෙන් වූ අභයභූමි කීපයක් ද උගන්ඩාවේ ඇත.

ආර්ථික කටයුතු

උගන්ඩාව ප්‍රධාන වශයෙන් කෘෂිකාර්මික රටකි. මිලට් ප්‍රමුඛ වෙනත් ධාන්‍ය වර්ග ද කෙසෙල්, දුම්කොළ, උක් හා අල වර්ග ද උගන්ඩාවාසීන් විසින් වගා කරනු ලබන ප්‍රධාන බෝගය. වගා කර ඇති බිම් ප්‍රමාණයෙන් අඩකටත් වැඩි කොටසක් ආහාර බෝග සඳහා ම කැප වී ඇත. කෘෂිකාර්මික ක්‍රම එතරම් දියුණු නැත. එහෙත් මෑතක සිට යන්ත්‍ර සූත්‍ර භාවිත කිරීමට පටන් ගෙන තිබේ. ටෙස්ට්සි උවදුර ආදි බාධක බහුල වූ බොහෝ පෙදෙස්හි ගොවිතැන් කටයුතු සඳහා ගව ආදි සතුන් ඇති කරගැන්ම ඉතා දුෂ්කර හෙයින් ට්රැක්ටර් වැනි යන්ත්‍ර භාවිතය කෙරෙහි උගන්ඩා ගොවියා මහත් උනන්දුවක් දක්වයි. කපු, කෝපි, දුම්කොළ, මිලට් හා රටකජු මෙහි ප්‍රධාන වෙළෙඳ බෝගය. මෙහි තේ වතු ද ඇත. උගන්ඩාවේ ග්‍රාමීය කෘෂිකර්මය උදෙසා ජලසම්පාදන කටයුතු දියුණු කරගෙන යනු ලැබේ.

ව.සැ. 13,600ක් පමණ වසා සිටින විල් හා වෙනත් ජල ප්‍රදේශ සහිත මෙහි මිරිදිය ධීවර කර්මාන්තය දියුණුය. ආදායම වැඩිකර ගැන්ම උදෙසා තෙලපි ආදි මසුන් උගන්ඩාවේ විල්වල බෝකිරීම කෙරෙහි ද මහත් උද්‍යෝගයකින් කටයුතු කෙරීගෙන යේ.

ඛනිජ හා නිෂ්පාදන

රන්, තඹ, බෙලෙක්, නිකල්, කොබෝල්ට්, ටංග්ස්ටන්, තලාතු මිනිරන්, මැංගනීස්, ගැලීනා, පොස්පේට් ආදි ඛනිජ වර්ග රාශියක් උගන්ඩාවේ ඇතැයි භූ විද්‍යාඥයන් විසින් නිගමනය කර ඇත. 1956 දී ආරම්භ කරන ලද කිලෙම්බේ (Kilembe) තඹ ආකරවලින් විශාල ආදායමක් ලබාගත හැකි වී තිබේ. තඹ උගන්ඩාවේ ප්‍රධාන නිර්යාත ද්‍රව්‍යයක් වී ඇත. බෙලෙක් හා සිමෙන්ති ද මෙහි වැදගත් ඛනිජ ද්‍රව්‍යය. ඇල්බට් විල අසල කිබිරෝ උණුදිය උල්පත් ආශ්‍රිතව ලුණු සිඳීමේ කර්මාන්තයක් ද ඇත. 1961 දී එක්සත් ජාතීන්ගේ සංවිධානය මගින් උගන්ඩාවේ ඛනිජ සම්පත් පිළිබඳ ගවේෂණයක් කරන ලදි. මෙහි ප්‍රතිඵල අනුව මෙරට ආකර කර්මාන්තය තව බොහෝදුරට දියුණු කරගැනීමට අවස්ථාවක් සැලසේ යැයි සිතිය හැකිය.

ඕවන් ඇල්ලේ ජලවිදුලිබල මධ්‍යස්ථානයෙන් මෙම කර්මාන්ත බොහොමයකට බලය සපයනු ලැබේ. ජලවිදුලිබල මධ්‍යස්ථානය සම්පූර්ණ වශයෙන් නිමවූ විට කි.වො. 150,000ක පමණ බලය නිපදවාගත හැකි වේ යැයි ගණන් බලා ඇත.

ටෝරෝරෝහි සිමෙන්ති කම්හල, ජින්ජාහි පේශකර්මාන්තශාලා, පෝට්බෙල්හි ඉනැමල් කම්හල ආදිය උගන්ඩාවේ ප්‍රධාන නිෂ්පාදන මධ්‍යස්ථානයෝය. සබන්, සීනි, රසකැවිලි, තුනීලෑලි, බීර ආදිය නිපදවන කම්හල් කීපයක් ද මෙහි ඇත.

අධ්‍යාපනය

උගන්ඩාවේ රාජ්‍ය භාෂාව ඉංග්‍රීසිය. ප්‍රාථමික හා කනිෂ්ඨ අධ්‍යාපනය තවමත් බෙහෙවින් ම ආගමික ආයතනයන් අත පවතී. 1964 දී උගන්ඩාවේ ආධාර ලබන ප්‍රාථමික පාඨශාලා 3,050ක් පමණ ද ද්විතීයික ජ්‍යෙෂ්ඨ විද්‍යාල 41ක් ද විය. ප්‍රාථමික ශිෂ්‍ය සංඛ්‍යාව 12,652ක් ද වූහ. කාම්පාලාහි මකෙරේරේහි වූ නැගෙනහිර අප්‍රිකා විශ්වවිද්‍යාල කොලීජියෙහි ශිෂ්‍ය සංඛ්‍යාව 477ක් වූහ.

ජනගහනය

උගන්ඩාවේ ජනගහනය (1964) 7,189,600කි. අප්‍රිකානු ස්වදේශිකයන් හැර ඉන්දියානු, අරාබි හා යුරෝපීය ජාතීහු ද මෙහි වෙසෙත්. බන්ටු, නයිලොටික හා අර්ධ හැමිටික වර්‍ගයා මෙහි ප්‍රධාන දේශීය ජනයාය. බගන්ඩා, බන්යෝරෝ, බටෝරෝ, බන්යාන්කෝලේ, බුසෝගා, බචිගා හා බගිෂු උගන්ඩාවේ ප්‍රධාන බන්ටු ගෝත්‍රිකයෝය. මොවුන් අතුරෙන් ද උගන්ඩාවෙහි වඩාත් බහුල වනුයේ බගන්ඩා ගෝත්‍රිකයෝය. බන්ටු ජනයා වැඩි වශයෙන් බටහිර හා මධ්‍යම උගන්ඩාවෙහි වෙසෙත්. වැඩි කොට ම ලන්ගෝ, අවෝලි, ලුග්බාරා, මාඩි හා අලුර් ගෝත්‍රවලින් සැදි නයිලොටික වර්ගයා ප්‍රධාන වශයෙන් නයිල් නිම්නය ආශ්‍රිතව උතුරු හා බටහිර පෙදෙස්හි වෙසෙත්. වැඩි වශයෙන් නැගෙනහිර පළාත්හි වෙසෙන හැමිටික වර්ගයා අතුරෙහි ඉටෙසෝ ගෝත්‍රිකයෝ වඩාත් බහුල වෙත්.

අගනුවර කාම්පාලාය. එරට විශාලතම නගරය ද වූ එහි ජනගහනය (1965) 76,557කි.

ප්‍රවාහණය

කාම්පාලාහි සිට සෙසු පාලන ප්‍රදේශ කරා විහිදි මහා මාර්ග සැ. 3,000ක් පමණ ඇත. නැගෙනහිර අප්‍රිකානු පොදු සේවා සංවිධානය මගින් පාලනය වන දුම්රිය සේවයක් ද විල් හා ගංගා යාත්‍රා සේවයක් ද උගන්ඩාවේ තිබේ. කාම්පාලාහි සිට කාසේසේ, පෝට්බෙල් හා ටෝරෝරෝ යන ස්ථාන දක්වා දුම්රිය මාර්ග ඇත. කාසේසේහි සිට මොම්බාසා දක්වා දුම්රිය සේවයක් ද වේ.

උගන්ඩාහි ප්‍රධාන ගුවන් තොටුපළ වන එන්ටෙබ (Entebbe) ජාත්‍යන්තර ගුවන් තොටුපොළකි. අභ්‍යන්තර ගුවන් සේවා සඳහා වූ රජයේ ගුවන් තොටුපළවල් 11ක් උගන්ඩාවේ තිබේ.

ඉතිහාසය

උගන්ඩාවේ ආදිතම ඉතිහාසය පිළිබඳව මූලාශ්‍ර කොටගත හැක්කේ විවිධ ගෝත්‍ර මගින් මුඛපරම්පරාගතව පවත්වාගෙන ආ වංශකථාවන්ය. සිය ගෝත්‍රයේ ශ්‍රේෂ්ඨත්වය හුවා දැක්වීම අරමුණු කොට ගැනීම නිසා උගන්ඩාවේ මුල් අවස්ථාව පිළිබඳ කථාව විවිධාකාර ස්වරූප ගනී.

දැනට උගන්ඩාව සමන්විත වී ඇති ප්‍රදේශවල ජනයා බන්ටු, නයිලොටික හා අර්ධ හැමිටික ගෝත්‍රයන්ගෙන් යුක්තය. මෙම ගෝත්‍ර ආසියාවෙන් පැමිණි මුල් ම නීග්‍රෝවරුන්ගේ ද පසු කාලයක සංක්‍රමණය වන්නට ඇති හැමිටික කොකේසියානු ගණයේ ද මිශ්‍රණයෝයි. හැමිටික සාංක්‍රමිකයන්ගේ අරමුණ වූයේ තම ගවයන් සඳහා ගොදුරු බිම් සෙවීමයි. මෙවැනි සංක්‍රමණ 16 වැනි සියවස පමණ වන තෙක් ම පැවතිණි. සංක්‍රමණය වූ ගෝත්‍රයෝ මෙම පෙදෙස්වල මුල් පදිංචිකාරයන් ස්වකීය ආධිපත්‍යය යටතට ගත්තාහු තම භාෂාව හා සිරිත් විරිත් මෙන් ම පාලන ක්‍රම ද පතුරුවාලූහ.

17 වන සියවස තුළ උගන්ඩාවට අයත් රාජ්‍ය එක්තරා අන්දමක ඒකීයතාවක් කරා පා නඟන්නට විය. ප්‍රථමයෙන් ම බුන්යෝරෝව වඩා බලවත් විය. ඇගේ රණකාමීහු දකුණින් ආංකෝලේ හා රුන්ද්‍ර කරා ද නැගෙනහිරින් බුගන්ඩාව සහ බුසෝගාව කරා ද ආක්‍රමණ මෙහෙයවූහ. 18 වන සියවස තුළ දී බුගන්ඩාව අන් රාජ්‍යයන් අබිබවා නැඟී සිටි අතර එය බුසෝගා රාජ්‍යය ද ආක්‍රමණය කළේය. 18 වන සියවස අවසානයේ දී බුගන්ඩාව බුන්යෝරෝවට පහරදීම අරඹා බුඩ්ඩා ප්‍රදේශය ද බුගන්ඩාවේ කොටසක් බවට පත් කොටගති. තවද බුගන්ඩාව මේ සමය තුළ කෝකි සහ කිසිබා රාජ්‍යවල ස්වාමිත්වය ද හිමි කර ගති.

වර්තමාන උගන්ඩාවට අයත් ප්‍රදේශ ප්‍රථමවරට යුරෝපීයයන්ගේ අවධානයට ලක් වූයේ 1862 දී, මුබ්සා නම් කබාකාගේ (රජුගේ) පාලන සමයේදී ඉංග්‍රීසි ජාතික ගවේෂකයන් වූ ජෝන් හැනිං ස්පීක් සහ ජේ. ඔගස්ටස් ග්‍රාන්ට්, බුගන්ඩාවේ අගනුවර කරා පැමිණීමෙන් පසුවය. එහෙත් අරාබි වෙළෙඳුන් මෙහි පැමිණෙන්නට වූයේ 1844 තරම් කාලයේ සිටය. ඇත්දත් හා වහලුන් සොයා පැමිණි මොවුනට බුගන්ඩාහි කබාකා සුනාගේ අනුබලය ලැබිණි. 1875 දී බ්‍රිතාන්‍ය දේශගවේෂක හෙන්රි මෝටන් ස්ටැන්ලි උගන්ඩාවෙහි සංචාරය කළේය. ඔහු උගන්ඩාව පිළිබඳව කරන ලද විස්තර නිසා 1877 දී ‘ච'ච් මිෂනාරි සමිතිය’ ද 1879 දී රෝමානු කතෝලිකයෝ ද මිෂනාරි ව්‍යාපාරය ආරම්භ කළෝය.

1894 දී එතෙක් ඉංග්‍රීසි සමාගමට අයත්ව පැවති ප්‍රදේශ බ්‍රිතාන්‍ය ආරක්ෂිත රාජ්‍යයක් බවට ප්‍රකාශ කෙරිණ. ඉන් පසුව 1896 දී බුන්යෝරෝව ද ආරක්ෂිත ප්‍රදේශයට ඇතුළත් කරන ලදි. 1896-1914 අතර කාලය තුළ දී දේශසීමා රාජ්‍ය හා ගෝත්‍ර ප්‍රදේශ ඈඳා ගන්නා ලදි. වික්ටෝරියා නියන්සා (විල) සහ රඩ්ලොෆ් විල අතර ප්‍රදේශය මුල දී උගන්ඩාවට අයත් ලෙස සැලකුණු අතර පරිපාලන කටයුතු කාර්‍ය්‍යක්ෂමව පවත්වාගැනීම සඳහා එය කීනියාවට යා කරන ලදි. 1962 ඔක්තෝබර් මස 9 වන දින උගන්ඩාවට නිදහස ලැබිණ. එක්සත් ජාතීන්ගේ සංවිධානයේ සාමාජිකත්වය ද ඊට හිමි විය.

1962 අප්‍රේල් මස 25 වන දින පැවති උගන්ඩාවේ ප්‍රථම නිදහස් මැතිවරණයෙන් පසු බුගන්ඩාවේ පාලක කබාකා මුටෙසාගේ නායකත්වයෙන් යුක්ත වූ ‘කබාකා යෙකා’ පක්ෂයේ ද සහාය ඇතිව උගන්ඩා මහජන කොංග්‍රෙ‍ස් පක්ෂයේ නායක ඔබේටෝ විසින් ආණ්ඩුවක් පිහිටුවන ලදි. උගන්ඩාවේ ප්‍රථම පෙඩරල් ජනාධිපති පදවියට කබාකා මුටෙසා පත් විය. 1964 කබාකායෙකා පක්ෂය ආණ්ඩුවෙන් ඉවත් වී විරුද්ධ පක්ෂයට බැඳුණෙන් උගන්ඩාවේ දේශපාලන අරගළ පැනනැඟිණි. 1966 අප්‍රේල් මස ප්‍රකාශනයක් මගින් 1962 සිට පැවති ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාව අහෝසි කළ ඔබේටෝ නව ව්‍යවස්ථාවක් ප්‍රකාශයට පත් කළේය. ඒ අනුව කබාකා මුටෙසා මෙතෙක් දැරූ පෙඩරල් ජනාධිපති පදවිය වෙනුවට අලුතෙන් ඇති කළ විධායක ජනාධිපති පදවියට ඔබේටෝ පත් විය. මධ්‍යම ආණ්ඩුවේ බලය ද වැඩි කරන ලදි. ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාව පිළිබඳ ප්‍රශ්න සම්බන්ධයෙන් ප්‍රිවි කවුන්සලයට අභියාචනා කිරීමට පැවති අයිතිය ද අවලංගු කෙරිණ. ඒ පිළිබඳ අවසාන බලය උගන්ඩාවේ ශ්‍රෙෂ්ඨාධිකරණයට පැවරිණ.

1967 ජූනි 22 වන දින උගන්ඩාව ජනරජයක් බවට පත් විය. ආංකෝලේ, බුන්යෝරෝ සහ ටෝරෝ යන ප්‍රාදේශික රාජ්‍ය අහෝසි කරමින් ඒ නම් පරිපාලන දිස්ත්‍රික්ක නම් වශයෙන් භාවිතා කිරීමටත් බුගන්ඩා නම සම්පූර්ණයෙන් ම අහෝසි කිරීමටත් තීරණය විය.

(සංස්කරණය: 1970)

"http://encyclopedia.gov.lk/si_encyclopedia/index.php?title=උගන්ඩාව&oldid=8242" වෙතින් සම්ප්‍රවේශනය කෙරිණි