"ඉහගම (-උන්නාන්සේ)" හි සංශෝධන අතර වෙනස්කම්

සිංහල විශ්වකෝෂය වෙතින්
වෙත පනින්න: සංචලනය, සොයන්න
('1815 දී උඩරට රාජ්‍යය ඉංග්‍රීසින්ට අයත් වූ දා සිට...' යොදමින් නව පිටුවක් තනන ලදි)
 
(වෙනසක් නොමැත)

14:08, 25 ජූනි 2025 වන විට නවතම සංශෝධනය

1815 දී උඩරට රාජ්‍යය ඉංග්‍රීසින්ට අයත් වූ දා සිට ඔවුන් පලවා හැර රට මුදාගනු වස් අප්‍රතිහත ධෛර්යයෙන් කටයුතු කොට 1818 කැරැල්ලේ දී මුල් තැනක් ගෙන ක්‍රියා කිරීම නිසා ඉංග්‍රීසීන් විසින් සිරභාරයට ගනු ලැබ ඔවුන් විසින් ජීවිතාන්තය දක්වා මුරිසියට පිටුවහල් කරනු ලැබූ වීර සඟ නමකි.

1790 පමණේ දී හාරිස්පත්තුවේ මැදසිය පත්තුවට අයත් ඉහගම නම් ගමෙහි උපත ලැබූ මොහු සත්හැවිරිදි වියෙහි දී මල්වතු විහාරයට පමුණුවනු ලැබ එක්විසි හැවිරිදි වියෙහි දී පැවිදි බව ලැබීය. මහනුවර සිංහාසනයට සුදුසු කුමාරයකු සොයා ගැනීමේ පරමාර්ථයෙන් ව්‍යාජ කරුණක් පිට සියමට යෑමේ අදහසින් කොළඹට පැමිණි මෙම භික්ෂුවට ශ්‍රී වික්‍රම රාජසිංහ රජු මැරීමට පිළිමතලව්වේ අදිකාරම හා සමග කුමන්ත්‍රණය කොට කොළඹට පෙරළා විත් සිටි අසන නම් ජා කපිතන් තැන මුණ ගැසීමට හැකි විය. ජා කපිතන්ගේ අදහස් අනුව සියමට යෑමේ අදහස අත්හළ ඔහුට එකල මීගමුවේ සිරභාරයේ සිටි රාජාධිරාජසිංහ රජුගේ බිසවගේ සොහොයුරකු සිහසුන සඳහා තෝරාගැනීමට හැකි විය. ඊට බ්‍රිතාන්‍යයන් යටතේ සේවය කළ ජා සේවා භටයන්ගේ කැමැත්ත ද ලබාගැනීමට අසන නම් කපිතන්ට හැකි විය. එහෙත් කුමන්ත්‍රණය ඉංග්‍රීසින්ට දැනගන්නට ලැබී අසන සිරභාරයට ගත් අතර කුමන්ත්‍රණයේ ඉතිරි කටයුතු සඳහා මහනුවරට ගිය ඉහගම උන්නාන්සේ ද එක්නැලිගොඩ කී ගතු අනුව 1816 ජූලි මස 31 වැනි දින සිරභාරයට ගනු ලැබීය. අනතුරුව, කුමන්ත්‍රණයට සම්බන්ධ වූ තවත් භික්ෂූන් දෙදෙනකු ද සමඟ කුමන්ත්‍රණ නායක ඉහගම උන්නාන්සේ කොළඹට සිරභාරයේ ගෙනයනු ලැබීය. මහඔය ගලා තිබුණු හෙයින් මෙම පිරිසට රාත්‍රිය ගතකිරීමට සිදුවූයේ අට්ටාපිටියේය. මෙහි දී සිරකරුවන්ට ගැලවී යාමට අවස්ථාව ලැබිණි. පසුව පොද්දල්ගොඩ සහ කපුලියද්දේ නම් වූ අනෙක් භික්ෂූන් දෙදෙනා අල්ලාගත්ත ද ඉහගම හිමි අසු නොවීය. සිවුරු හැරදමා රැවුළ හා හිසකෙස් වැඩෙන තෙක් ගල්ලෙනක සැඟවී සිට සත් කෝරළයට පැනගිය ඔහු එහි සියඹලාගමුව නම් ගමේ කලක් සාමාන්‍ය ගැමියකු ලෙස ජීවත් විය.

1818 කැරැල්ල ඇති වූ කල්හි ඔහු ද කැරලිකරුවන්ට එක් විය. මෙම කැරැල්ලේ දී රාජප්‍රතිරූපකයා වූ දොරේසාමි යටතේ වලපනේ දිසාවේ තනතුර ද බස්නායක නිලමේ තනතුරක් ද ලත් ඔහු තුප්පිටිය අවට ක්‍රියාකාරීව විසීය. කැරැල්ල අසාර්ථක වීමෙන් පසුව සිරභාරයට ගනු ලැබ ඔහුට විරුද්ධව හේවාහැට ප්‍රදේශයේ කැරලි ගැසීම ගැන චෝදනා කොට පැවරී තිබුණු නඩුවේ දී මුලින් මරණීය දණ්ඩනය නියම කර තිබුණ ද පසුව එය වෙනස්කොට ඔහු මුරිසියට පිටුවහල් කර යවන ලදි.

මොහු සිවුරේ සිටිය දී ජෝන් ඩොයිලි හොඳින් දැනසිටි බවත් ඔහු සමඟ ආගම පිළිබඳව සාකච්ඡා පැවැත්වූ බවත් සඳහන් වේ. ඉහගම වෛද්‍ය කර්මය ද මැනවින් දත්තකු බවත් සත්කෝරළේ සිටිය දී එම වෘත්තියෙහි යෙදී සිටි බවත් වාර්තා වේ. මුරිසියෙහි දී තමාට හමු වූ කන්ද උඩරට රාජ්‍ය සිරකරුවන් ගැන විස්තරයක් කරන ජේම්ස් හෝල්මන් නමැත්තා සිරකරුවන් අතර සිටි ඉතාමත් බුද්ධිමත් පුද්ගලයා ඉහගම බව සඳහන් කොට ඇත.

(සංස්කරණය: 1970)

"http://encyclopedia.gov.lk/si_encyclopedia/index.php?title=ඉහගම_(-උන්නාන්සේ)&oldid=8246" වෙතින් සම්ප්‍රවේශනය කෙරිණි