"ඉළනාග" හි සංශෝධන අතර වෙනස්කම්
Senasinghe (කතාබහ | දායකත්ව) ('(රාජ්‍ය සමය ක්‍රි.ව. 35-44 පමණ). අනුරාධපුරයේ ප්‍රථම...' යොදමින් නව පිටුවක් තනන ලදි) |
(වෙනසක් නොමැත)
|
14:14, 25 ජූනි 2025 වන විට නවතම සංශෝධනය
(රාජ්‍ය සමය ක්‍රි.ව. 35-44 පමණ). අනුරාධපුරයේ ප්‍රථම රාජ වංශයට අයත් රජ කෙනෙකි. ඉළනාග රාජ්‍යයට පත් වූයේ ආමණ්ඩ ගාමණී රජතුමාගේ දියණියන් වූ සිවලී කුමරිය සිහසුනෙන් පහ කිරීමෙන් පසුවය. ඉළනාගට රාජ්‍ය උරුමකම් ඇති වූයේ ඔහු ආමණ්ඩගාමණී රජුගේ සොහොයුරියකගේ පුත්‍රයා වූ හෙයිනි.
සීවලී කුමරිය සිහසුනෙන් නෙරපා දැමීම ඉළනාගට ඉතා පහසු වුව ද රාජ්‍යයේ බලය ස්ථාවර ගැනීමේ දී ඔහුට බලවත් කණ්ඩායමක් හා ගැටීමට සිදු විය. අභිෂේකයෙන් පසුව රාජකීය සිරිත් පරිදි තිසා වැවේ ස්නානය සඳහා ගිය ඉළනාගට එම උත්සවයට ලම්බකණ්ණයන් සහභාගි නොවූ බව පැහැදිලිව ම දක්නට ලැබිණි. ලම්බකණ්ණයන් පිළිබඳව ඉතිහාසයේ ප්‍රථම වරට සඳහන් වන්නේ මෙකලය. ලේකම්වරුන් වශයෙන් ලම්බකණ්ණයන්ට මේ වන විට පාලන තන්ත්‍රයේ වැදගත් තැනක් අයත්ව තිබිණි. තිසා වැවේ ජල ක්‍රීඩා උත්සවයට ඔවුන් සහභාගි නොවීම රාජපාක්ෂිකභාවය නොදැක්වීමක් ලෙස සැලකූ ඉළනාග රජතුමා එයට දඬුවම් වශයෙන් මහා ස්තූපය දක්වා අලුතෙන් තනන ලද පාරෙහි වැඩ කිරීමට ඔවුන් යෙදවීය. ඔවුන්ගේ වැඩ පරීක්ෂා කිරීම සදහා යොදවන ලද්දේ චණ්ඩාල ජනයාය. මෙයින් උදහසට පත් ලම්බකණ්ණයෝ ඉළනාග රජු මාළිගාවේ සිර කොට රටේ පාලනය තුමූ ම ගෙනගියහ. දුර්වල රජුන් පහළවීම නිසා රාජ්‍ය පාලනයෙහි බලවත් තැනක් ගෙන සිටි ලම්බකණ්ණයන් රාජ්‍ය බලය ලබා ගැනීමේ බලාපොරොත්තුවෙන් සිටි බව මෙයින් පැහැදිලි වේ.
මහාවංශ විස්තරයේ රජුගේ මඟුලැතු විසින් ඉළනාග සිරභාරයෙන් මුදා මහාතිත්ථ දක්වා ගෙන යනු ලැබූ බව දැක්වේ. මෙම පුවත සත්‍ය වුවත් නොවූවත් ඉළනාග කෙසේ හෝ සිරෙන් මිදී මහාතිත්ථයෙන් දකුණු ඉන්දියාව බලා ගිය බව පිළිගත හැකිය. තමාට අහිමි වූ රාජ්‍යය ලබා ගනු වස් යුද්ධාධාර පතා ඉන්දියාවට පලා ගිය ප්‍රථම සිංහල කුමාරයා වශයෙන් ගණන් ගනු ලැබෙන්නේ ඉළනාගය. ඉන්දියාවෙන් යුද්ධ සේනාවක් රැස් කරගත් ඔහු නැගෙනහිර වෙරළින් ගොඩබැස එම සේනාවන්ට අමතරව තවත් සේනාවක් රුහුණෙන් රැස් කර ගත් බව දැක්වේ. රුහුණේ ගත කළ කාලයේ දී හේ මාගම නාගමහාවිහාරය ප්‍රතිසංස්කරණය කළා පමණක් නොව එය විශාල ද කෙළේය. ඉළනාගට අයත් යයි සැලකිය හැකි එක ම ශිලා ලිපිය ද හමු වී ඇත්තේ මෙම ස්ථානයෙන්ය. එයින් ද කියැවෙන්නේ නාගමහා විහාරය අලුත්වැඩියා කරන ලද බවයි. ඉළනාග රුහුණ හා කිට්ටු සම්බන්ධකම් ඇත්තකු බව මේ සියල්ලෙන් ම පැහැදිලි වේ. මහාවංශ විස්තරයේ ඉළනාගගේ පියා කවරෙක් දැයි දක්වා නැතත් ශිලාලිපියේ ලිපියේ ඔහු මහානාග ලෙසින් හඳුන්වා ඇත. මහරජ යන නාමය ශිලාලිපියේ දක්වා නැති හෙයින් මහානාග ප්‍රදේශීය රජ කෙනකු වන්නට ඇතැයි නිගමනය කිරීමට පුළුවන.
කපල්ල ඛණ්ඩ නම් ස්ථානයේ කරන ලද සටනකින් පසුව ලම්බකණ්ණ බලය විනාශ කොට නැවත අනුරාධපුරයෙහි රාජ්‍යය ලබා ගැනීමට ඉළනාගට හැකි විය. ඉක්බිති පුරා අවුරුදු හයක් ඔහු අනුරාධපුරයෙහි රජ කෙළේය. ඔහුගෙන් පසුව රජ පැමිණි ඔහුගේ පුත්‍රයා වූ චන්දමුඛසිවගේ බිසව වූයේ දෙමළ කුමාරිකාවකි. දකුණු ඉන්දියාව සමඟ පැවති දේශපාලන සම්බන්ධකම් වඩා තහවුරු කර ගැනීමට ඉළනාග මෙලෙස විවාහ සම්බන්ධතාවක් ඇති කර ගත්තේ යයි සිතීමට පුළුවන.
(සංස්කරණය: 1970)