"ඊතර" හි සංශෝධන අතර වෙනස්කම්

සිංහල විශ්වකෝෂය වෙතින්
වෙත පනින්න: සංචලනය, සොයන්න
('(Ether). රසායන විද්‍යාවේ ද භෞතික විද්‍යාවේ ද ඊතර යන...' යොදමින් නව පිටුවක් තනන ලදි)
 
(වෙනසක් නොමැත)

14:23, 25 ජූනි 2025 වන විට නවතම සංශෝධනය

(Ether). රසායන විද්‍යාවේ ද භෞතික විද්‍යාවේ ද ඊතර යන්න භාවිත කරනු ලබන්නේ එකිනෙකට සම්පූර්ණයෙන් වෙනස් අර්ථ සහිතවය.

රසායන විද්‍යාවෙහි ලා එය භාවිත වනුයේ CnH2n+2O යන පොදු සූත්‍රයෙන් යුත් කාබනික සංයෝග ශ්‍රෙණියක් නම් කිරීමටය. එම සංයෝගවල සාමාන්‍ය ව්‍යූහය R—O—R´ වන බැවින් ඒවා ඇල්කිල් ඔක්සයිඩ ලෙස සැලකිය හැකිය. ඇල්කොහොලවල ජලය ඉවත් කිරීමෙන් ඊතර සාදා ගත හැකි බැවින් ඇල්කොහොලවල ඇන්හයිඩ්රයිඩ ලෙසත් ඊතර සැලකිය හැකිය.

එක සමාන ඇල්කිල් කාණ්ඩ දෙකකින් සමන්විත ඊතරවලට සරල හෙවත් සමමිතික ඊතර යයි කියනු ලැබේ. නි. ඩයිඑතිල් ඊතර C2H5-O-C2H5. එක සමාන නොවන ඇල්කිල් කාණ්ඩ දෙකකින් සමන්විත ඊතරවලට මිශ්‍ර හෙවත් අසමමිතික ඊතර යයි කියනු ලැබේ. නි. මෙතිල් එතිල් ඊතර CH3-O-C2H5. එක් නාමකරණ ක්‍රමයක ඊතර නම් කරනු ලබන්නේ ඔක්සිජන් පරමාණුවකට සවි වී ඇති ඇල්කිල් කාණ්ඩ අනුවය. නි. CH3—O—CH3 ඩයිමෙතිල් ඊතර; C2H5-O-CH(CH3)2 එතිල් අයිසොප්‍රොපයිල් ඊතර. අයි.යූ.සී. (I.U.C.) ක්‍රමය අනුව ඊතර සලකනු ලබන්නේ —OR යන ඇල්කොක්සිල් පරමාණුවක් විස්ථාපනය කරන ලද හයිඩ්‍රොකාබන වශයෙනි. වඩා ලොකු ඛණ්ඩකය (radical) ඇල්කේනය වශයෙන් තෝරා ගනු ලැබේ. නි. CH3—O—C2H5 මෙතොක්සිඊතෙන්. ඩයිපෙනිල් ඊතර (C6H5-O-C6-H5) හා එතොක්සි බෙන්සීන් (C6H5–O–C2H5) ඇරොමැටික ඊතරවලට නිදසුනි.

පහත සඳහන් සාමාන්‍ය ක්‍රම මගින් ඊතර නිෂ්පාදනය කළ හැකිය:

(1) වැඩිමනත් ඇල්කොහොල ප්‍රමාණයක් සාන්ද්‍ර සල්පියුරික් අම්ලයත් සමඟ රත් කිරීමෙන් ඊතර ලබාගත හැකිය. මෙහිදී ඇල්කොහොල අණු දෙකකින් ජල අණුවක් ඉවත් වේ. H2SO4 2ROH → R.O.R. -H2O

(2) සෝඩියම් හෝ පොටෑසියම් ඇල්කොක්සයිඩයක් ඇල්කිල් හේලයිඩයක් සමග ප්‍රතික්‍රියා කිරීමෙන් ඊතර ලැබේ. RONa+R´X → R.O.R' + NaH

(3) අධික පීඩනයක් යටතේ සෙ. 250° දී පමණ ඇලුමිනා වැනි උත්ප්‍රේරකයක් මතුපිට ඇල්කොහොල වාෂ්ප යැවීමෙන් ඊතර ලබාගත හැකිය. 2 ROH → R.O.R + H2O

(4) ඇල්කිල් හේලයිඩ වියළි සිල්වර් ඔක්සයිඩයක් සමඟ රත් කිරීමෙන් ඊතර ලැබේ. 2RX + Ag2O → R.O.R + 2AgX.

ශ්‍රේණියට අයත් වඩා පහත් ඊතර සාමාන්‍යයෙන් වායු හෝ වාෂ්පශීල ද්‍රව හෝ වේ. ඒවායේ වාෂ්ප තදින් ම දැල්වෙනසුලුය. ඊතර සියල්ල ම ජලයට වඩා සැහැල්ලුය. ඊතරවල කාබන් පරමාණු සංඛ්‍යාවලට සමාන කාබන් පරමාණු සංඛ්‍යාවලින් යුත් ඇල්කොහොලවල තාපාංකවලට වඩා ඊතරවල තාපාංක අඩුය. ජලයෙහි ඊතර මන්ද ද්‍රාව්‍යය. ඇල්කොහොල කුඩා ප්‍රමාණයක් ජලයේ තිබෙන විට ඒවායේ ද්‍රාව්‍යතාව බෙහෙවින් වැඩි වේ. තරමක උෂ්ණත්වයන්හි දී නිෂ්ක්‍රිය වීම සන්තෘප්ත ඇල්කිල් ඊතරවල විශිෂ්ට රසායන ලක්ෂණයකි. එබැවින් ඒවා ප්‍රතික්‍රියා මාධ්‍යයන් වශයෙන් බෙහෙවින් යොදනු ලැබේ. ග්‍රිනාඩ් ප්‍රතිකාරකය (RMgX) යනුවෙන් හැඳින්වෙන කාබනික මැග්නීසියම් සංයෝග සෑම විට ම වාගේ ඊතර ද්‍රාවණවල සාදනු ලැබේ. රසායනික ප්‍රතික්‍රියා සදහා ඊතරවල ක්ෂාරීය ලෝහ අවලම්බන බොහෝ විට පාවිච්චි කරනු ලැබේ. ඊතර සියල්ල ම නිෂ්ක්‍රිය නොවේ. අසන්තෘප්ත ඊතර ද්විත්ව බන්ධන (double bond) ආශ්‍රිත ප්‍රතික්‍රියාවන්ට භාජන වේ. බොහෝ වේලාවක් තිබෙන විට වාතයේ ඔක්සිජන් සමඟ ඊතර ප්‍රතික්‍රියා වීමෙන් පෙරොක්සයිඩ සෑදේ. සාන්ද්‍ර අකාබනික අම්ලත් සමග ඊතර ප්‍රතික්‍රියා වීමෙන් ස්ථායී ලවණ සෑදේ. ඊතර සාන්ද්‍ර සල්පියුරික් අම්ලයත් සමග රත් කළ විට ඇල්කිල් හයිඩ්රජන් සල්පේට සෑදේ.

R2O + H2SO4 → RHSO4 + RHSO4+ RHO RHO + H2SO4 → RHSO4 + H2O

පීඩනය යටතේ තනුක සල්පියුරික් අම්ලයත් සමග ඊතර රත් කළ විට ඒවාට අනුරූප වන ඇල්කොහොල සෑදේ.

R2O + H2O → 2 ROH

සාන්ද්‍ර HBr හෝ සාන්ද්‍ර HI හෝ සමග ඊතර පහසුවෙන් ක්‍රියා කරයි.

R2O + HI → RI + ROH (අඩු උෂ්ණත්වයන්හි දී) R2O + 2 HI → 2 RI + H2O (රත් කළ විට)

පැරපිනවලින් හෝ ඇල්කිල් හේලයිඩවලින් හෝ ඊතර වෙන් කොට අඳුනා ගැනීමට මේ ලක්ෂණ උපයෝගි කොට ගනු ලැබේ. ක්ලෝරීන් හෝ බ්රෝමින් හෝ සමඟ ඊතර ප්‍රතික්‍රියා වූ විට ඒවා ආදේශයට භාජන වේ. ආදේශ වන ප්‍රමාණය ඒ ඒ තත්වයන් මත රඳා පවතී.

රසායන විද්‍යාවෙහි ඊතර යන පදය සාමාන්‍යයෙන් භාවිත වනුයේ ඩයිඑතිල් ඊතරය (C2H5.O.C2H5) සඳහාය. මේ ඊතර සල්පියුරික් ඊතර හා එතොක්සි ඊතේන් යන නාමවලින් ද හැඳින්වේ. පරීක්ෂණාගාරයේ ද කාර්මික ලෙස ද ඩයිඑතිල් ඊතර නිෂ්පාදනය කරනු ලබන්නේ වැඩිමනත් එතිල් ඇල්කොහොල් සාන්ද්‍ර සල්පියුරික් අම්ලයත් සමග රත් කිරීමෙනි. මෙය අවිච්ඡින්න ඊතරීකරණ කාර්යාවලිය ලෙස හැඳින්වේ. ඊතේන් (එතේන්) හා සල්පියුරික් අම්ලයෙන් එතිල් ඇල්කොහොල නිෂ්පාදනයේ දී ඩයිඑතිල් ඊතර අතුරු ඵලයක් වශයෙන් ලැබේ.

ප්‍රතිකාරකයක් වශයෙන් ද මේද, රෙසින හා ඇල්කලොයිඩ යන මේවායේ ද්‍රාවකයක් (solvent) වශයෙන් ද ඊතර යොදනු ලැබේ. වෛද්‍ය විද්‍යාවෙහි එය නිර්වින්දකයක් (anaesthetic) වශයෙන් ප්‍රයෝජනයට ගනු ලැබේ. නිර්වින්දකයක් සේ යෙදීමට ගන්නා ඊතර සුපරීක්ෂ්‍යකාරීව ද ඉතා පිරිසිදු ලෙස ද නිෂ්පාදනය කළ යුතුය.

භෞතික විද්‍යාවේ ඊතර යන පදය භාවිත කරනු ලබන්නේ සාමාන්‍ය පදාර්ථයන්ගෙන් පිරුණු පරිමාවන් ද ඇතුළුව මුළු අවකාශය පුරා පවත්නා කල්පිත (hypothetical) ද්‍රව්‍යයටයි. ගුරුත්වාකර්ෂණය, ආලෝකය, තාපය හා විද්‍යුතය සම්ප්‍රේෂණය කරන මාධ්‍යය ලෙස එය සලකනු ලැබේ. ආලෝකය තරංග සංසිද්ධියක් යයි ප්‍රත්‍යක්ෂ වූ විට ම ඊට උචිත මාධ්‍යයක් සොයා බැලීම අවශ්‍ය විය. ධ්වනි තරංග වාතය මැදින් ගමන් කරන බවත් රික්තයක (vacuum) මෙන් වාතයෙන් තොර වූ ස්ථානයක ධ්වනි තරංග ගමන් නොකරන බවත් දැනගෙන තිබිණි. එහෙත් ආලෝකය රික්තයක් මැදින් කිසි බාධාවක් නොමැතිව ගමන් කරයි. අතරෙහි පවතින වාතය ඉවත් කිරීමෙන් විද්‍යුත් චුම්බක හා ගුරුත්ව ආකර්ෂණයන්ට බාධා නොකෙරෙන බව දැනගන්නට ලැබිණ.

අවකාශය කිසියම් මාධ්‍යයකින් පිරි ඇතැයි යන මතය ප්‍රථම වරට (1638) ඉදිරිපත් කරන ලද්දේ ඩේකාට් (Descartes) නම් ප්‍රංස දාර්ශනිකයා විසින් යයි සිතිය හැකිය. ශූන්‍ය අවකාශයෙහි තරංග චලනයන්ට ප්‍රචාරණය විය හැකි යයි 19 වැනි ශතවර්ෂයේ දී ජේම්ස් ක්ලාක් මැක්ස්වෙල්ට හා ඔහුගේ සමකාලිකයන්ට සිතන්නට පවා නුපුළුවන් විය. එබැවින් ඔව්හු මූල සත්‍යයක් වශයෙන් මාධ්‍යයක් නියම කර ගත්හ. මේ මාධ්‍යයට ඊතර යන නාමය දෙන ලදි. මේ මාධ්‍යයෙන් අවකාශය සම්පූර්ණයෙන් ම පිරි ඇති බවත් එය විද්‍යුත් චුම්බක කම්පනයන් සම්ප්‍රේෂණය කරන බවත් ඔව්හු විශ්වාස කළහ. 19 වැනි ශතවර්ෂය තුළ දී භෞතික විද්‍යාඥයන් සියලු දෙනා ම පාහේ ඊතර කල්පිතය පිළිගත්හ. එහෙත් එහි ලක්ෂණ පිළිබඳව නොයෙක් වාද විවාද ඇති විය. 20 වැනි ශතවර්ෂය මුල දී මේ කල්පිතයට විරුද්ධව කරුණු ඉදිරිපත් කෙරිණි. නිරීක්ෂණයට භාජන වූ නොයෙක් සංසිද්ධීන් විස්තර කිරීම සඳහා මේ කල්පිතය අනවශ්‍යය යනු ඇතැම් විද්‍යාඥයන්ගේ විශ්වාසය විය. මැක්ස්වෙල්ගේ සමීකරණවලට ගැළපෙන්නා වූ ද ආලෝකයේ ප්‍රවේගය c හෙවත් පරීක්ෂණවලින් ලැබෙන අගයන්ට සමාන විය හැකි වූ ද නිරපේක්ෂ ඊතර සැකිල්ලක පැවැත්ම ඔප්පු කිරීම සඳහා පරීක්ෂණ මගින් දැරූ ප්‍රයත්න නිෂ්ඵල වී ඇත. ඊතරයට සාපේක්ෂව පෘථිවියේ ප්‍රවේගය මැනීම සඳහා මයිකල්සන් හා මෝලි විසින් කරන ලද සුප්‍රකට පරීක්ෂණයෙන් දැනගන්නට ලැබුණේ ඊතර වැනි මාධ්‍යයක් නොමැති බවය. ඊතර සංකල්පයත් සමග එකඟ වන බව පෙන්වීමට ප්‍රබන්ධ කරන ලද ඊතර රෝධය (ether drag), ලෝරෙන්ට්ස් සංකෝචනය (Lorentz contraction) යනාදි සෑම කල්පිතයක් ම වෙනත් පරීක්ෂණයකින් වැරදි බව ඔප්පු කරන ලදි. අයින්ස්ටයින් (බ.) විසින් ඔහුගේ සාපේක්ෂතාවාදයෙහි (Theory of Relativity) ඊතර මාධ්‍යයක් අනවශ්‍ය සේ සලකන ලදි. ඊතර පිළිබඳ මතයෙහි බලවත් වෙනස්කම් අයින්ස්ටයින්ගේ පර්යේෂණයන්ගෙන් සැලසිණි. කලින් ඊතර පිට ආරෝපණය කරන ලද බොහෝ ලක්ෂණ එපරිද්දෙන් ම අවකාශය හා කාලය (space and time) පිට ද ආරෝපණය කළ හැකි යයි අයින්ස්ටයින් පැවසීය.

(සංස්කරණය: 1970)

"http://encyclopedia.gov.lk/si_encyclopedia/index.php?title=ඊතර&oldid=8260" වෙතින් සම්ප්‍රවේශනය කෙරිණි