"ඊලාම්" හි සංශෝධන අතර වෙනස්කම්
Senasinghe (කතාබහ | දායකත්ව) ('(Elam). අති පුරාණ ශිෂ්ටාචාරයක් පැවති ආසියානු රාජ්...' යොදමින් නව පිටුවක් තනන ලදි) |
(වෙනසක් නොමැත)
|
14:40, 25 ජූනි 2025 වන විට නවතම සංශෝධනය
(Elam). අති පුරාණ ශිෂ්ටාචාරයක් පැවති ආසියානු රාජ්‍යයකි. බටහිර පර්සියාවේ කොටසක් වූ මේ රාජ්‍යය බයිබලයේ ඊලාම් යන නමින් හැඳින්වෙන අතර හෙරොඩෝටස් ‘සිසියා’ නමින් හඳුන්වයි. එහි ‘සූසා’ නැතහොත් ‘ෂූෂාන්’ යන ප්‍රධාන නගර නාමය අනුව පැරණි භූගෝල විද්‍යාඥයෝ ‘සුසියාන’ යන නමින් එපෙදෙස හැඳින්වූහ. ‘නුම්මා’ හෙවත් කඳුකර රාජ්‍යය යනුවෙන් බැබිලෝනියාවේ සුමේරියානු ග්‍රන්ථවල සඳහන් ව ඇත්තේ ද ඊලාම් රාජ්‍යය ගැනය. ඊලාමු (ඊලාම්) යන්න නුම්මා යන්නෙහි සෙමිටික් පරිවර්තනයයි.
අවුරුදු 6000ක් පැරණි ඉතිහාසයක් ඇති රටක් හැටියට සලකනු ලබන ඊලාම් රාජ්‍යය එහි මෑත දී සොයාගන්නා ලද පාෂාණීභූත මනුෂ්‍ය ඇටකටු ආදිය අනුව අවුරුදු 15,000කට ඉහත දී ද ජනාවාසයක් ව පැවති බව සිතනු ලැබේ. සුමේරියානු, බැබිලෝනියානු, මිසර, ඇසිරියානු, පර්සියානු, ග්‍රීක හා රෝම අධිරාජ්‍යයන් ඊලාම් රාජ්‍යය අවට ඇතිවෙමින් නැතිවෙද්දී එම රාජ්‍යය ආක්‍රමණවලට මුහුණ පා වරෙක යටත්වෙමින්, යළි හිස ඔසවා ගනිමින් දිගට ම පැවැත්තේය. ක්‍රි.පූ. 3500 පමණ කාලයේ දී සූසා නගරය වටා ප්‍රාකාරයක් ගොඩනඟා තිබුණු බව ද පෙනේ. කුඹල්සක හා රථරෝදය මුලින් ම භාවිත වූයේ ඊලාම්හි යයි ද බැබිලෝනියාවේ සහ මිසරයේ ඒවා ඇති වූයේ ඉන්පසුව යයි ද සලකනු ලැබේ. ඔවුන් විසින් ලියන ලද විශාල සාහිත්‍යයක් ද ශේෂව ඇත.
ක්‍රි.පූ. 38 වන ශතවර්ෂයේ දී සිරියානු අධිරාජ සාර්ගොන් ඊලාම් රාජ්‍යය යටපත් කරගත් නමුත් එරට කල්නොයවා ම නිදහස ලබාගත්තේය. ක්‍රි.පූ. 12 වන ශතවර්ෂයේ සුත්රුක් නඛ්ඛුන්තෙ නම් බලසම්පන්න ඊලාම් රජ බැබිලෝනියාව ආක්‍රමණය කොට යටත් කෙළේය. ඔහුගෙන් පසු රජ පැමිණි ඊලාම් පාලකයන් කීපදෙනකුන්ගේ කාලයේ දී ද ඊලාම් බලසම්පන්න අධිරාජ්‍යයක්ව පැවතිණ.
ක්‍රි.පූ. 8 වන ශතවර්ෂයේ දී එරට කලක් ම බැබිලෝනියාව සමග එක්ව ඇසිරියානු තර්ජනයට මුහුණ පා සටන් කෙළේය. සේනාකෙරිබ්, එසාර් හැඩන් ආදි ඇසිරියානු රජවරුන්ට එරට යටත් කරගත නොහැකි වුව ද ක්‍රි.පූ. 645 දී අසූර්බානිපාල් සූසා නගරයට ඇතුළු වී එය ගිනි තබා ඊලාම් රාජ්‍යය යටත් කොට හැකි තරම් ධනය පැහැර ගත්තේය. ඉක්බිති ඇසිරියානු අධිරාජ්‍යයේ වැටීමෙන් පසු පර්සියානුන් (සයිරස්) යටතට පත් වූ ඊලාම්හි ජනයා ක්‍රමයෙන් ආර්‍ය්‍යයන් හා මිශ්‍රව ආර්‍ය්‍ය භාෂා කථා කරන ජාතියක් බවට පත් වූහ. ක්‍රි.පූ. 331දී සූසා ආක්‍රමණය කළ මහා ඇලෙක්සැන්ඩර් රජු එරට වාසීන් විසින් පිළි ගන්නා ලද්දේ පර්සියානුන්ගෙන් ඊලාම් රාජ්‍යය මුදාගැනීමට පැමිණි වීරයකු ලෙසය.
(සංස්කරණය: 1970)