"ඊශානවර්මන්" හි සංශෝධන අතර වෙනස්කම්
Senasinghe (කතාබහ | දායකත්ව) ('(රා.ස. 550-576). සවන සියවසේ දී උතුරු ඉන්දියාවේ බලයට පත...' යොදමින් නව පිටුවක් තනන ලදි) |
(වෙනසක් නොමැත)
|
14:52, 25 ජූනි 2025 වන විට නවතම සංශෝධනය
(රා.ස. 550-576). සවන සියවසේ දී උතුරු ඉන්දියාවේ බලයට පත් මෞඛරී රාජවංශයේ ප්‍රථම ශ්‍රෙෂ්ඨ රජතුමාය. මෞඛරී රාජවංශයේ මුද්‍රාවලින් පැහැදිලි වන අන්දමට ඊශානවර්මන්ට පෙර රජ කළ රජවරුන් තිදෙන මහාරාජ යන නාමයෙන් හැඳින් වුණු අතර මෙම රාජවංශයෙහි මහාරාජාධිරාජ යන නාමය දැරූ ප්‍රථම රජතුමා මොහුය. ඔහුට පෙර රජකළවුන් ගුප්ත අධිරාජ්‍යයේ අවනත රජවරුන් වන්නට ඇතැයි ද සවන සියවස මැදහරියේ දී ගුප්ත අධිරාජ්‍යය බිඳ වැටීමෙන් පසුව ඊශානවර්මන් ප්‍රථම වරට ස්වාධීන රාජ්‍යයක් ගොඩනඟන්නට ඇතැයි ද මෙයින් නිගමනය කළ හැකිය.
රාජකීය මුද්‍රා අනුව ඊශානවර්මන්ගේ පියා වූයේ ඊශ්වරවර්මන්ය. මව පශ්චාත් ගුප්තවංශික කුමරියකැයි සිතිය හැකි උපගුප්තාය. ක්‍රි.ව. 554ට අයත් යැයි සැලකෙන හරහ පුරාලිපියෙන් ඊශානවර්මන්ගේ ජයග්‍රහණයන් පිළිබඳව වැදගත් තොරතුරු ලැබේ. එම ලිපියේ දැක්වෙන අන්දමට ආන්ධ්‍ර, ශූලික හා ගෞඩ යන පිරිස් ඔහු විසින් පරාජය කරන ලද බව පෙනේ. මෙහි ආන්ධ්‍ර යනුවෙන් හැඳින්වෙන්නේ ඩෙකානයේ විෂ්ණුකුණ්ඩින් වංශය වන්නට ඇතැයි යනු ඉතිහාසඥයන්ගේ පිළිගැනීමයි. ශූලික යනුවෙන් හැඳින්වෙන්නේ චාලුක්‍ය රාජ්‍යය ද එසේ නැතහොත් ඔරිස්සාවේ සුල්කි රාජ්‍යය දැයි මතභේදයක් පවතී. ගෞඩ යනුවෙන් සඳහන් වන්නේ බෙංගාලයේ රාජවංශයකි. ඊශානවර්මන් හූනයන් ද පලවා හැරි බව පශ්චාත් ගුප්ත රාජවංශයේ ශිලාලිපිවලින් පෙනේ. පසුකාලයේ දී මෞඛරි වංශය හා පශ්චාත් ගුප්ත වංශය අතර ආධිපත්‍යය සඳහා තරඟයක් ඇති විය. මෙහි ප්‍රතිඵලයක් වශයෙන් ඊශානවර්මන් පශ්චාත් ගුප්තවංශික කුමාරගුප්ත අතින් පරාජයට පත් විය. ඊශානවර්මන්ගේ ශිලාලිපිවල හා මුද්‍රාවල සටහන් දිනයන් පරීක්ෂා කිරීමෙන් මොහුගේ රාජ්‍ය කාලය ක්‍රි.ව. 550 සිට 576 දක්වා වන්නට ඇතැයි ඉතිහාසඥයන් නිගමනය කර ඇත.
(සංස්කරණය: 1970)