"උගුඩුවා" හි සංශෝධන අතර වෙනස්කම්
Senasinghe (කතාබහ | දායකත්ව) ('(කලවැද්දා) (පරඩොක්සුරුස් හෙර්මප්රොඩිටුස් හෙර...' යොදමින් නව පිටුවක් තනන ලදි) |
(වෙනසක් නොමැත)
|
12:19, 2 ජූලි 2025 වන විට නවතම සංශෝධනය
(කලවැද්දා) (පරඩොක්සුරුස් හෙර්මප්රොඩිටුස් හෙර්මප්රොඩිටුස්-Paradoxurus hermaphroditus hermaphroditus Schveber). මාංසභක්ෂක ක්ෂීරපායි සතෙකි. උගේ ශරීරය තරමක් දිගය; පාද කෙටිය; හිස පළල්ය; හොම්බ උල්ය; ඇස් තරමක් ලොකුය; වලිගය ලොකුය, තද කළුපාටය; කන් වටකුරුය, මයිල් විරහිතය. උගේ ශරීරය දිග මයිල්වලින් ගහනය. බෙල්ලේ සහ උරඉසෙහි තිබෙන කේශර වඩා දිගය. සාමාන්‍යයෙන් උගුඩුවා අළුපාටට හුරු කළුපාටය. පැටවුන්ගේ පාට මෙපමණ තද නොවේ. පිරිමි සතා ගැහැනු සතාට වඩා අඟල් ස්වල්පයක් දිගය; වඩා බරය. සාමාන්‍යයෙන් පිරිමි සතාගේ ශරීරය අඟල් 20ක් ද වලිගය අඟල් 17ක් ද පමණ දිගය. උගුඩුවාගෙන් අප්‍රිය ගඳක් වහනය වේ.
උගුඩුවා නිශාචර සතෙකි. ඌ දවල් කාලයේ දී කළුවර මුල්ලකට වී වකුටු වී නිදාගනියි. බොහෝ විට ගෙවල්වල සීලිම්වලට වී වාසය කරන මේ සතා උඩ නඟින්නට ද ගස් යන්නට ද ඉතා සමර්ථය. නොයෙක් ගෙඩි ජාති උගේ ප්‍රධාන ආහාරය වේ.
වරකට උගුඩු පැටව් 3 දෙනෙක් හෝ 4 දෙනෙක් උපදිත්. උන් පහසුවෙන් හීලෑ කළ හැකිය.
උගුඩුවෝ ලංකාවේද ඉන්දියාවේ මධ්‍යම හා දකුණු ප්‍රදේශවලද බහුලය. ලංකාවේ පමණක් දක්නට ලැබෙන තවත් උගුඩු විශේෂයක් ද වේ. පරඩොක්සුරුස් සෙලොනෙන්සිස් (P. zeylonensis Schveber) නමින් හැඳින්වෙන මේ උගුඩුවා ලංකාවේ කඳුකර ප්‍රදේශයට සීමා වේ. ඌ තද දුඹුරු පාටය. උගුඩුවා මමාලියා වර්ගයෙහි කානිවොරා (බ.) ගෝත්‍රයෙහි විවෙරිඩෙ (Viverridae) කුලයට අයත්ය.
(සංස්කරණය: 1970)