"උච්ඡේදවාදය" හි සංශෝධන අතර වෙනස්කම්

සිංහල විශ්වකෝෂය වෙතින්
වෙත පනින්න: සංචලනය, සොයන්න
('සංසාරය නැතහොත් ප්‍රපඤ්ච ලෝකය පිළිබඳ අදහස් දැ...' යොදමින් නව පිටුවක් තනන ලදි)
 
(වෙනසක් නොමැත)

12:31, 2 ජූලි 2025 වන විට නවතම සංශෝධනය

සංසාරය නැතහොත් ප්‍රපඤ්ච ලෝකය පිළිබඳ අදහස් දැක්වූ භාරතීය දාර්ශනිකයන් අතර උච්ඡේදවාදය පිළිගත් කොටසක් ද විය. මහාබෝධි ජාතකයෙහි දැක්වෙන විස්තරය අනුව උච්ඡේදවාදියා “මෙලොවින් පරලොවට ගිය කෙනෙක් නැත. (මිනිසා අනුව සලකා බලන විට) මෙම ලෝකය විනාශ වන්නේය”යි ඉගැන්වීය (උච්ඡේදවාදී ඉතො පරලොකගතා නාම නත්ථි අයං ලොකො උච්ඡිජ්ජතීති ගණ්හාපෙසි). මේ නිසා, භාරතීය දාර්ශනිකයන් බොහෝ දෙනකුන් විසින් ම පිළිගන්නා ලද පුනරුත්පත්තිය පිළිබඳ විශ්වාසය බැහැර කිරීම උච්ඡේදවාදයේ මූලික ලක්ෂණය ලෙස සැලකිය හැකිය.

වෛදික යුගයේ සිට දියුණු වෙමින් පැවති මතු ආත්මභාවය පිළිබඳ විමර්ශනයන් පදනම් කොට ගෙන ඇති වූවකි, උච්ඡේදවාදී දර්ශනය. වෛදික යුගයේ දී මිනිසා මරණින් මතු ස්වර්ගලෝකයේ සදාකාලික සැපවත් ජීවිතයක් ලබන බවට විශ්වාසයක් විය. එම සදාකාලික ජීවිතය මෙලොව දී රැස් කරන ලද පුණ්‍ය සම්භාරය හේතු කොටගෙන ඇති වූවක් බව ඔවුන්ගේ පිළිගැනීම විය (ආළාහණ සූක්තය). බ්‍රාහ්මණ ග්‍රන්ථ පහළ වූ යුගයේ දී මේ විශ්වාසය පිළිබඳ කුතුහලයක් ඇති වූ බව පෙනේ. සීමිත වූ පුණ්‍ය සම්භාරයක් හේතුකොටගෙන අසීමිත වූ සදාකාලික ජීවිතයක් ලබන්නේ කෙසේ දැයි ප්‍රශ්නයක් නඟන ලදි. මේ පින් ගෙවී ගිය පසු (ක්ෂීණෙ පුණ්‍යෙ) මිනිසා ස්වර්ගයෙන් ච්‍යුත වන බව සමහරුන්ගේ මතය විය. එසේ ච්‍යුත වන පුද්ගලයා ඉන්පසු ක්‍රමයෙන් මෙලොව උත්පත්තිය ලබන බව සමහරුන් පිළිගත් අතර, තවත් සමහරෙක් ඔහු උච්ඡේදයට නැතහොත් විනාශයට ගොදුරු වන බව විශ්වාස කළහ. මෙය උච්ඡේදවාදයේ ළදරු අවස්ථාවක් ලෙස සැලකිය හැකිය.

උපනිෂද් යුගයේ විසූ යාඥවල්ක්‍ය නමැති දාර්ශනිකයාගේ සමහර ප්‍රකාශයන් උච්ඡේදවාදයකට තුඩුදෙන බැව් පෙනේ. මේ නිසා ඔහුගේ එක් වාක්‍යයක් භෞතිකවාදීන් විසින් තම ධර්මය සනාථ කිරීම සඳහා උපයෝගී කොට ගෙන තිබේ (බෘහදාරණ්‍යක උපනිෂද් 4.2.12 සහ සර්වදර්ශන සංග්‍රහ 5 වැනි පිටුව සංසන්දනය කරන්න). මරණින් මතු මිනිසා උච්ඡේදයට, විනාශයට පත්වන බව ප්‍රකාශ කෙරෙන ඔහුගේ තවත් වැදගත් වාක්‍යයක් වෙයි. “යම් වෘක්ෂයක් මුලින් උදුරා දැමුවහොත්, එය නැවත හට නොගනී. මරණයෙන් කපා හෙළන ලද මිනිසා කිනම් මුලකින් නැවත හටගන්නේද?” (යත් සමූලං ආවෘහෙයුඃ වෘක්ෂං න පුනරාහවෙත්, මර්ත්‍යඃ ස්වින් මෘත්‍යුනා වෘක්ණඃ කස්මාන් මූලාත් ප්‍රරෝහති - බෘහදාරණ්‍යක උපනිෂද් 3.9.28.6). මේ අදහස ම තවදුරටත් මහාභාරතයේ ශාන්තිපර්වයේ (184.14) විස්තර වේ. දීඝනිකායේ සාමඤ්ඤඵල සූත්‍රයේ දැක්වෙන අජිත කේසකම්බලිගේ දර්ශනය පිළිබඳ විවරණයක් කරන බුද්ධඝෝෂ හිමියෝ මෙබඳු තර්කයක් ගැන සඳහන් කරති. “යම් සේ වැටුණා වූ වෘක්ෂපර්ණයන්ගේ නැවත හටගැනීමක් නොවන්නේ ද, එමෙන් ම සත්වයා (මරණින් මතු නූපදී) යන තර්කය අනුසාරයෙන් උච්ඡේදවාදයක් පිළිගනිත්” (යථා රුක්ඛපණ්ණානි පතිතානි න පුන විරූහන්ති , එවං සත්තා'ති ආදිනා තක්කෙන වා උච්ඡෙදං ගණ්හන්ති - සුමංගලවිලාසිනී 1.120).

මේ අයුරින් දියුණු වෙමින් පැවති උච්ඡේදවාදයේ පළමුවැනි අනුග්‍රාහකයා ලෙස අජිත කේසකම්බලී හැඳින්විය හැකිය. ඔහුගේ දර්ශනය සාමඤ්ඤඵල සූත්‍රයේ විස්තර වන්නේ මෙසේය: “දානයක් නැත, යාගයක් නැත, ගරු බුහුමන් කිරීමක් නැත, කුශලාකුශල කර්මයන්ගේ ඵලයක් නැත, විපාකයක් නැත, මෙලොවක් නැත, පරලොවක් නැත, මවෙක් නැත, පියෙක් නැත, මැරී උපදින සත්වයෝ නැත. යමෙක් මෙලෝ පරලෝ විශේෂ ඥානයෙන් දැන අවබෝධ කොට ප්‍රකාශ කෙරෙත් ද එබඳු ආර්‍ය්‍යමාර්ගයට පැමිණි හොඳින් පිළිපැද්ද මහණ බමුණෝ ලෝකයේ නැත. සතර මහා භූතයන්ගෙන් සෑදුණු මේ පුරුෂ තෙමේ යම්කලෙක කාලක්‍රියා කරන්නේ ද, එකල පෘථිවි ධාතුව පෘථිවිකාය සමග එක්වෙයි, එයට ඇතුළත් වෙයි. ආපෝ ධාතුව ආපෝකාය සමඟ ද, තේජෝ ධාතුව තේජෝකාය සමඟ ද, වායෝ ධාතුව වායෝකාය සමඟ ද එක්වෙයි. ඉන්ද්‍රියයන් අහසට සංක්‍රමණය කරයි... යමෙක් කර්මවිපාක ඇතැයි යන වාද ඇත්තෝ ද ඒ ඔවුන්ගේ හිස් වූ බොරු වූ වචන වේ.

අනුවණ අය ද නුවණ ඇත්තෝ ද මරණින් පසු සහමුලින් ම නැති වෙත්, වැනසෙත්. මරණින් මතු ඔවුහු නොවෙත්.”

ඉහත සඳහන් විස්තරයෙන් අවධාරණය වන්නේ භෞතිකවාදයකි. එම භෞතික වාදයේ විශේෂ ලක්ෂණ මෙසේ දැක්විය හැකිය.

(1) කුශලාකුශල කර්මයන්ගේ විපාකයක් නොමැත.

(2) මෙලොව පරලොව යනුවෙන් දැක්විය හැකි දෙයක් නොමැත.

(3) ආධ්‍යාත්මික ජීවිතයක් නොමැත.

(4) සත්වයා සතර මහාභූතයන්ගෙන් යුක්ත වූවෙකි.

(5) සෑම කෙනෙක් ම ශරීරයාගේ බිඳීමෙන් උච්ඡේදයට, විනාශයට පත්වෙති: මරණින් මතු ජීවිතයක් නොලබති.

මේ අනුව සලකා බලන විට උච්ඡේදවාදය භෞතික දර්ශනයේ විශේෂ අංගයක් ලෙස සැලකිය හැකිය. පුනරුත්පත්තිය පිළිබඳ විශ්වාසය බැහැර කිරීම උච්ඡේදවාදයේ මූලික ලක්ෂණයක් වූ හෙයින් සංසාරික ජීවිතයෙන් මිදී පුද්ගලයා නිර්වාණප්‍රාප්ත වීමත් සමඟ ම නැවත උත්පත්තියක් නොලබන බව ප්‍රකාශ කළ බුදුන්වහන්සේ ද උච්ඡේදවාදියකු ලෙස හැඳින්වීමට සමහර දෙනා වෙහෙස ගත් සැටි මජ්ඣිම නිකායේ අලගද්දූපම සූත්‍රයෙන් මොනවට පැහැදිලි වේ. (වෙනයිකො සමණො ගොතමො සතො සත්තස්ස උච්ඡෙදං විනාසං විභවං පඤ්ඤාපෙති).

පුනරුත්පත්තිය ප්‍රතික්ෂේප කිරීමෙන් පමණක් යමෙක් උච්ඡේදවාදියෙක් නොවෙත්. බෞද්ධ සාහිත්‍යයෙහි විස්තර වන අයුරු “එකෙක් (කර්මයක්) කරයි. අනිකෙක් (විපාක) ප්‍රතිසංවේදනය කරයි” (අඤ්ඤො කරොති අඤ්ඤො පටිසංවෙදියති) යන පරංකතවාදී මතය උච්ඡේදයකට තුඩු දෙයි. (උච්ඡෙදං එතං පරෙති - සංයුත්ත නිකාය). මිනිසා භුක්ති විඳින සැපදුක් සියල්ලක් ම අනුන් විසින් කරන ලද දේ නැතහොත් මිනිසාට බාහිර වූ බලවේගයක් හෝ නියාමයක් හෝ නිසා ඇති වූ දේ (පරංකතං) යයි පිළිගත් නිකායයන් අතර ස්වභාවවාදීන්ට නැතහොත් භෞතිකවාදීන්ට හා නියතිවාදීන්ට වැදගත් තැනක් හිමි වේ. මේ නිකායද්වය අතුරෙන් ස්වභාවවාදය පිළිගත් භෞතිකවාදීන්ගේ උච්ඡේද දර්ශනය ගැන ඉහත සඳහන් කරන ලදි.

නියතිවාදය බොහෝදුරට භෞතිකවාදයට සමාන වන අතර යම් ආකාරයක පුනරුත්පත්තියක් පිළිගන්නා හෙයින් එයට අසමාන වෙයි. නියතිවාදය පිළිගත් මක්ඛලිගෝසාල ප්‍රමුඛ ආජීවිකයෝ සත්වයා සංසාරයේ නියමිත කාලයක් සැරිසරා අවසානයේ විමුක්තිය ලබන බව විශ්වාස කළහ (බාලෙ ච පණ්ඩිතෙ ච සංධාවිත්වා සංසරිත්වා දුක්ඛස්ස’න්තං කරිස්සන්ති - සාමඤ්ඤඵල සූත්‍රය). මෙය සංසාර සුද්ධිය යනුවෙන් බෞද්ධ පොත්පත්වල හැඳින්වේ. පුනරුත්පත්තියක් පිළිගන්නා ආජීවික දර්ශනය ඉහත සඳහන් සංයුක්ත පාඨය අනුව උච්ඡේදවාදයකට නැඹුරු වන්නේ කෙසේද? එය උච්ඡේදවාදයක් ලෙස හඳුන්වන ලද්දේ පුරුෂකාරය ප්‍රතික්ෂේප කිරීම නිසාත් කර්මයාගේ විපාකයක් නැතැයි පිළිගත් නිසාත් විය හැකිය.

මේ ආදි වශයෙන් සත් ආකාරයකින් උච්ඡේදවාදයන් ඉදිරිපත් කළ චින්තකයන් පිළිබඳ විස්තරයක් දීඝනිකායේ බ්‍රහ්මජාල සූත්‍රයේ දැක්වේ.

(කර්තෘ: ඩී.ජේ. කළුපහන)

(සංස්කරණය: 1970)

"http://encyclopedia.gov.lk/si_encyclopedia/index.php?title=උච්ඡේදවාදය&oldid=8297" වෙතින් සම්ප්‍රවේශනය කෙරිණි