"ඇදුම" හි සංශෝධන අතර වෙනස්කම්

සිංහල විශ්වකෝෂය වෙතින්
වෙත පනින්න: සංචලනය, සොයන්න
('(ඊලය). ප්‍රශ්වාසය දුෂ්කර වීම ලක්ෂණ කොට ඇති වරි...' යොදමින් නව පිටුවක් තනන ලදි)
 
(වෙනසක් නොමැත)

08:42, 8 ජූලි 2025 වන විට නවතම සංශෝධනය

(ඊලය). ප්‍රශ්වාසය දුෂ්කර වීම ලක්ෂණ කොට ඇති වරින් වර හටගන්නාසුලු රෝගයකි. ප්‍රශ්වාසය අපහසු වන්නේ වාතනාල හැකිළීම නිසාය. මේ රෝගයට සමහරු මුහරෝගය යි ද කියත්.

ඇදුම අසාත්මික රෝගයකි (අසාත්මිකතාව බ.) දිය පීනස, කඩුවේගන්, පළු මතුවීම යන මේවා ද අසාත්මික රෝගයි. මේවා බොහෝ කොට ම පරම්පරාගතව යන සහජ ලෙඩය. ඇදුමෙන් පෙළෙන රෝගියකුගේ පරම්පරා ඉතිහාසය විභාග කර බැලුව හොත් එම පරපුරේ වැඩි දෙනකුට යටත් පිරිසෙයින් අසාත්මික රෝග එකක් වත් සෑදී ඇති බව දක්නට ලැබේ. යම් හෙයකින් දෙමවුපියන්ගෙන් එක්කෙනකුට හෝ අසාත්මික රෝගයක් ඇතහොත් එක් දරුවකුට වුව ද එම රෝගය හෝ එසේ නැතහොත් අන් අසාත්මික රෝගයක් හෝ ඇති නොවන්නේ කලාතුරකිනි. සාමාන්‍යයෙන් එක් කෙනකුට අසාත්මික රෝග එකකට වඩා නොසෑදෙන නමුත් අවාසනාවකට මෙන් සමහරකුට අසාත්මික ලෙඩ දෙකක් හෝ තුනක් එක විට ම වැලඳී තිබෙනු ද දැකිය හැකිය. සමහරකුට පළමුවෙන් එක් අසාත්මික රෝගයකුත් දෙවනුව වෙනත් අසාත්මික රෝගයකුත් වැලඳෙන්නට පුළුවන. උදාහරණයක් දක්වතොත්, කෙනකුට මුලින් කඩුවේගන් සෑදී දෙවනුව ඇදුම සෑදෙන්නට පුළුවන. සමහරකුට කඩුවේගන් තිබෙද්දී ම ඇදුම ද වැලඳීමට පුළුවන. මේ නිසා කඩුවේගන් සුව වුවහොත් ඇදුම සෑදේ යයි ද එහෙයින් කඩුවේගන් සුව නොකළ යුතු යයි ද යන මතයක් මෙරට පවතී. මේ වැරදි මතය නිසා කඩුවේගන් රෝගයෙන් පීඩා විඳින සංඛ්‍යාව සුළුපටු නොවේ.

ඇදුම බොහෝ කොට ම සහජ රෝගයක් වුව ද කෙනකුට උරුම වන්නේ රෝගය නොව අසාත්මිකභාවයයි. අසාත්මිකතාව ඇති කෙනකුගේ ශරීරයේ ඕනෑ ම පටකයක අසාත්මික රෝග සෑදෙන්නට පුළුවන. පෙනහැල්ලේ ශ්ලේෂ්මල පටලය අසාත්මිකභාවයට ගොදුරු වුවහොත් ඇදුම සෑදේ. අසාත්මිකභාවයට නාසයේ ශ්ලේෂ්මල පටලය භාජනය වුවහොත් දිය පීනස ද සම භාජන වුවහොත් කඩුවේගන් හෝ පාමා රෝගය ද අන්ත්‍රයෙහි ශ්ලේෂ්මල පටලය ලක් වුවහොත් බඩේ රුජාව හා බඩ යෑම ද සෑදේ. එකවර පටක හෝ පටල එකකට වැඩියෙන් අසාත්මිකභාවයට භාජන වන්නට ද පුළුවන.

රෝග නිදානය

හුදෙක් අසාත්මිකතාව තිබූ පමණින් අසාත්මික රෝග නොසෑදේ. ඊට තවත් හේතු එක්විය යුතු වෙයි. ඒවා අදාළ හේතු සහ ඇවිසුම්කර හේතු වශයෙන් දෙකොටසකට බෙදේ. වයස, ස්ත්‍රීපුරුෂභාවය, සහජත්වය, දේශගුණය, චිත්තක්ෂෝභය සහ ඇතැම් රෝග අදාළ හේතු වශයෙන් ගැනේ.

වයස

ඕනෑ ම වයසක දී ඇදුම වැලඳිය හැකි වෙතත් වැඩි දෙනකුට එය මුලින් ම වැලඳෙන්නේ අවුරුදු 25ට අඩු වයසේ දීය.

ස්ත්‍රීපුරුෂභාවය

ඇදුම වැඩි කොට ම සෑදෙන්නේ පිරිමින්ටය.

සහජත්වය

පවුලේ වැඩිහිටියන්ට ද අනික් අයට ද ඇදුම ම නැති විය හැකි වුවත් වෙන අසාත්මික රෝග තිබිය හැකිය.

දේශගුණය

ශීත ප්‍රදේශවල දී හා කඳුකර ප්‍රදේශවල දී ඇදුම වැලඳීමට වැඩියෙන් ඉඩ තිබේ.

චිත්තක්ෂෝභය

හිතේ කරදර, හිත්වේදනාව ආදිය ද ඇදුමට අදාළ කරුණුය.

ඇතැම් රෝග

සෙම්ප්‍රතිශ්‍යාව, සෙම්ගෙඩි, නාසයේ මස්දලු, ශ්වරාල ප්‍රදාහය, අජීර්ණය ආදි රෝග ඇති අයට ඇදුම පහසුවෙන්ම සෑදේ.

ආශ්වාස වන දේ, කනබොන දේ, ස්පර්ශ වන දේ හා විදින බෙහෙත් වර්ග යයි ඇවිසුම්කර හේතු කොටස් කොට දැක්විය හැකිය.

ආශ්වාස වන දේ

තෘණ රේණු ඇතුළු මල් රේණු, සත්ව ලොම් ආදිය.

කන බොන දේ

ඉස්සන්, බිත්තර, අන්නාසි, කිරි හා සමහර බෙහෙත් වර්ග ආදිය.

ස්පර්ශ වන දේ

දළඹුවන් හා සමහර පැළෑටි යනාදිය.

විදින බෙහෙත්

ඇතැම් විදින බෙහෙත් වර්ග.

අසාත්මිකතාව ඇති කෙනකුට සමහර අදාළ කරුණු තිබිය දී ම ඇවිසුම්කර දෙයකුත් ආශ්‍රය වුවහොත් ඇදුම සෑදේ. රෝගය වැලඳුණු විට ශ්වාසනාලිකා ශාඛාවල මාංස පේශී ඇකිළී එම නළ මාර්‍ග හීන් වේ. නළවල ශ්ලේෂ්මල පටලය ඉදිමී නළ මාර්ග තවත් කුඩා කරයි. ඒ සමග ම නළ මාර්ග උකු වූ සෙමින් පිරී වාත ගමන හොඳට ම හිර වෙයි. මේ නිසා වඩා අපහසු වන්නේ ප්‍රශ්වාසයයි. ප්‍රශ්වාසය සඳහා වැඩි උත්සාහයක් ද කාලයක් ද ඕනෑ කෙරේ. මාංස පේශිවල ආධාරයෙන් කෙරෙන ආශ්වාසයට එතරම් අවහිරයක් සිදු නොවේ. නිරෝගි අයගේ ආශ්වාසය දිගය; ප්‍රශ්වාසය කොටය. එහෙත් ඇදුම රෝගියාගේ ප්‍රශ්වාසය දිගය; ආශ්වාසය කොටය. හුස්ම පිට කිරීම ශබ්ද සහිත ද වේ. පුප්ඵුස (පෙනහැලි) කෝෂ සම්පූර්ණයෙන් ම වාතයෙන් හිස් නොවේ. ආශ්වාස කරන වාරයක් වාරයක් පාසා පෙනහැලි කෝෂ ටිකින් ටික වැඩි වැඩියෙන් පිරේ. කල් යත් යත් මේ කෝෂයන්හි ස්වාභාවික හිස් ගතිය නැති වී ගොස් පිරුණු ස්වභාවයක් ඇති වේ. මේ අවස්ථාවට එම්ෆිසීමාව (emphysema) යන නාමය භාවිත කරනු ලැබේ. කලක් ඇදුම තිබූ කෙනකුගේ පපුව පීප්පයක් මෙන් පුරවා දැමූ ගතියක් පෙන්වයි. එසේ වනුයේ එම්ෆිසීමා රෝගය නිසාය. මේ රෝගය කලක් පැවතුණ හොත් හෘදය වස්තුව ක්‍රියාවිරහිත වීමෙන් හෙවත් හෘදය විරතියෙන් රෝගියා මරුමුවට පැමිණේ.

රෝග ලක්ෂණ

සාමාන්‍යයෙන් ඇදුම සෑදෙන්නේ රාත්‍රියේ පැය කීපයක් නිදාගත්තාට පසුවය. ඊට දින කීපයකට කලින් රෝගියාට සෙම්ප්‍රතිශ්‍යාව තිබුණු බව ද බොහෝ විට පෙනෙනු ඇත. මෙසේ ඇදුම සෑදෙන රෝගියා එළි වන්නට පැය දෙකකට තුනකට කලින් පපුව තද වී හුස්ම පිට කරගන්නට බැරිව නැඟී සිටී. අවදි වුණු විගස ම ඔහු පිට පිට කිහිපවරක් කිවිසියි. හුස්ම පිටකර ගන්නට බැරිකමින් අත්දෙක පස්සට ගසා ඇඳේ වාඩි වෙයි. එහෙත් ප්‍රශ්වාසය අපහසු බැවින් පපුවෙන් ශබ්දයක් උපදී. සමහරු ඇඳෙන් නැගිට එහා මෙහා ඇවිදිත්. ලෙඩාගේ සිතේ පවත්නා භය මුහුණෙහි පිළිබිඹු වේ. ඔහුට වියළි කැස්සක් ද ඇත. ස්වල්ප වශයෙන් උණ ද තිබේ. ඔහු ටික වේලාවක් හුස්ම පිට කරගන්නට තතනා එකවිට ම කැස උකු සෙම ගුළියක් එළියට දමයි. තැම්බූ සව් වැනි මේ උකු සෙම පිට වූ සැණෙකින් ම රෝගියාට ලොකු පහසුවක් දැනේ. ඉන් පසු, තිබුණු අමාරුකම් සියල්ල ක්‍රමයෙන් මඟ හැරේ. මෙතෙක් ඒ අමාරුකම් පැවතුණේ හැකිළුණු නළ උකු සෙමින් ඇහිරී තිබීම නිසාය. මේ නිසා ප්‍රතිකාර කිරීමේ දී වාතනාල පුළුල්කරන බෙහෙතුත් සෙම දිය කරවන බෙහෙතුත් දිය යුතුය. සෙම පිට වී පහසුවක් ඇති කරලීමට තත්පර ගණනක සිට පැය ගණනක කාලයක් ගත විය හැකිය.

රාත්‍රියේ පටන් ගන්නා ඇදුම්වාරය පැය බාගයකින් පමණ සුව වූ පසු රෝගියා නිදාගනියි. පසු දා අවදිව පුරුදු පරිදි සිය කටයුතුවල යෙදේ. එහෙත් එදින රාත්‍රියේ දී ද ඔහුට පෙර සේ ම ඇදුම්වාරය ඇති විය හැකිය. සමහරකුට ඇදුම්වාරය ඇති වන්නේ කලාතුරකිනි. සමහරුන්ට දිනපතා ම ද අන් සමහරුන්ට වැසි කාලයේ දී ද නැත්නම් පසළොස්වක් පෝය දවස්වල දී ද ඇදුම්වාරය ඇති වෙයි. අමාරු රෝගීන්ට දවසට කීප විටක් ඇදුම්වාරය පැන නැඟිය හැකිය. සමහර විට ඇදුම්වාරය දවස් ගණනාවක් පවතින්නට පුළුවන. එය භයානක අවස්ථාවකි. බටහිර වෛද්‍යවරුන් 'ස්ටේටස් ඇස්මැටීකස්' (status asthmaticus) හෙවත් 'අල්ලාසිටින ඇදුම් අවස්ථාව' යනුවෙන් හඳුන්වන්නේ මෙයයි. සාමාන්‍යයෙන් ඇදුම රෝගීහු දීර්ඝායු ඇත්තෝ වෙති. කුඩා කාලයේ සෑදෙන ඇදුම වයස් ගත වන විට මඟ හැරී යන්නට ද පුළුවන.

ප්‍රතිකාර

ඇදුම ඇති කල්හි හැකි පමණ ඉක්මනින් වාතනාල පළල් වෙන බෙහෙතක් දිය යුතුය. මීට සොයාගෙන ඇති ප්‍රශස්ත ඖෂධය වූකලි ඇඩ්රිනලින් (adrenalin) ය. ඉක්මනින් බෙහෙත ක්‍රියාවේ යෙදවීමට එය විදිය යුතුය. බෙහෙත ඉක්මනින් ශරීරගත කරගත් තරමට සුවය ඉක්මන් වන බැවින් වෛද්‍යවරයකු පැමිණෙන තුරු බලා නොසිට රෝගියා ම එය විද ගැනීම යහපති. ඇඩ්රිනලින් විද විනාඩි පසළොසක් ඇතුළත වාතනාල පළල් වී උකු සෙම පිට වී ප්‍රශ්වාස අපහසුව මඟ හැරේ. විනාඩි 30කින් පහසුවක් නොලදහොත් දෙවැනි වරටත් බෙහෙත විදිය යුතුය. සාමාන්‍ය ඇදුම ඇඩ්රිනලින් විද්ද විට නවතී. ඇඩ්රිනලින් දෙවරක් විදීමෙන් පසුත් නොනවතින ඇදුම බොහෝ උග්‍ර එකකි. ඇඩ්රිනලින් විදීමෙන් ප්‍රයෝජනයක් නැති කල ඇමයිනොෆිලින් (aminophylline) නම් ඖෂධය ශිරාගත කළ යුතුය. ශිරාවන්ට බෙහෙත් විදීම වෛද්‍යවරයකු විසින් ම කළ යුතුය. ඇමයිනොෆිලින් ඖෂධය ද පැය දෙකකින් ක්‍රියාකාරී නොවුවහොත් රෝගය අල්ලා හිටින ඇදුම් අවස්ථාවට පැමිණ ඇති බව තේරුම් ගත යුතුය. මේ අවස්ථාවේ දී කෝටිසෝන් (cortisone) හෝ එයින් සැදුණු ප්‍රෙඩ්නිසොලොන් (prednisolon) නම් බෙහෙත් අවශ්‍ය වේ. සමහර විට මේ අවස්ථාවේ දී පැරැල්ඩිහයිඩ් (paraldehyde) නම් නිද්‍රාජනක ඖෂධය ශරීරගත කළහොත් නින්දට යන රෝගියා ඇදුම නැතුව අවදිවන්නට පුළුවන. මෑත දී සොයාගත් ආශ්වාස ප්‍රශ්වාස ව්‍යායාම ක්‍රමයක් පුරුදු කිරීමෙන් ඇදුම රෝගීන්ට ගුණ ලැබී තිබේ. රෝගියාගේ ඇදුම අවුස්සනසුලු ද්‍රව්‍ය කවරේ දැයි සොයාගෙන ඉන් එකක් ක්‍රමයෙන් ඔහුගේ ශරීරගත කිරීම ද ඉතා ප්‍රත්‍යක්ෂ ගුණ දෙන ප්‍රතිකාර ක්‍රමයකි.

ඇදුම නැති කාලයේ දී රෝගියාගේ ඉතිහාසය ඉතා ඕනෑකමින් වටහාගත යුතුය. යම් ඇවිසුම්කර ද්‍රව්‍යයක සම්බන්ධකමක් වෙතොත් ඒ ද්‍රව්‍යය ලෙඩාගේ වටපිටාවෙන් අස්කිරීමෙන් බොහෝ දුරට ඇදුම වළක්වා ගත හැක. අශ්වයකු, බළලකු වැනි සුරතල් සතකු හෝ මල්ගසක්, වස්ත්‍රයක්, රස ආහාරයක් වැනි ආශා කරන දෙයක් හෝ යමකුගේ ඇදුම අවුස්සනසුලු නම් ඒ සතා හෝ ඒ දෙය ඔහු කෙරෙන් බැහැර කළ යුතුය. එසේ බැහැර කිරීම දුෂ්කර නම් රෝගියා එම වටපිටාවෙන් ඉවත්වුවමනාය. යම් ස්ථානයකට ගිය විට ඇදුම සෑදෙන්නේ ඇවිසුම්කර ද්‍රව්‍යයක් ඒ ස්ථානයේ ඇති බැවිනි. සිත කැළඹීමෙන් ද ඇදුම සෑදෙන බව පිළිගත් කරුණකි. දූවිල්ල, සීතල හා තෙතමන ආශ්‍රයෙනුත් ඇදුම සෑදෙන්නට පුළුවන. එබැවින් ඒ සියල්ලකින් ඈත්ව සිටීම නුවණට හුරුය. නියම වේලාවට පථ්‍ය ආහාර ගැනීම කවර රෝගයක් සම්බන්ධයෙන් වුව ද හිතකරය. රාත්‍රියේ දී සැහැල්ලු කෑම ගැනීම ද හැකි තරම් වේලාසනින් ඒ ආහාරය ගැනීම ද ඇදුම රෝගියාට පහසුව ගෙන දෙන්නකි. අන්ත්‍රමාර්ගයෙහි යම් ආබාධයක් වෙතොත් එය ද සුවකර ගත යුතුය. එළිමහන් ජීවිතය ද ඇදුමට හිතකරය. නරක් වූ දත්, සෙම්ගෙඩි, නාසයේ මස්දලු යනාදිය ඇදුම කල් අල්ලා සිටීමට හේතු වන බැවින් එම රෝග සුවකර ගැනීම ඇදුමට කරන ප්‍රතිකාරයක් බඳුය.

(කර්තෘ: ඊ.ඇම්. විජේරාම)

ආයුර්වේද මතය

දේශීය වෛද්‍ය ශාස්ත්‍රයෙහි මුහ රෝගය, ඇදුම යන නම්වලින් හඳුන්වනු ලබන්නේ ශ්වාසරෝගයයි. ආයුර්වේදීය සංහිතාවන්හි ශ්වාස, හික්කා යන රෝග දෙක ම එක ම රෝග හේතූන් කරණකොටගෙන උපදිතියි කියනු ලැබේ. මෙහි දැක්වෙන්නේ එයින් ශ්වාසය ගැනය. කටුතික්තාදි රසයෙන් යුත් ආහාර පානයන් බෙහෙවින් වැළඳීම, ආමාතිසාරය, වමනය, විෂදෝෂ, පාණ්ඩුව, ජ්වර, මුඛනාසිකාදියෙන් බොහෝ කොට ධූලි වැදීම, ඝන වූ ධූමපටලයන්ට අසුවීම, බෙහෙවින් සැඩසුළං හමන තැන්වල හැසිරීම, මර්මස්ථානයන්ට පහර වැදීම හෝ ඉවසිය නොහැකි තරම් ශීතලජලයෙහිගැලීම යන මේ හේතූන් කරණකොට ගෙන ප්‍රාණවාතය විකෘතියට පත් වනුයේ සෙම ද අවුස්සා උඩුකුරුව ගොස් ශ්වාස රෝගය උපදවයි.

එය ප්‍රභේද විසින් පස්වැදෑරුම් වේ. ක්ෂුද්‍රශ්වාසය, මහාශ්වාසය, ඡින්නශ්වාසය, ඌර්ධ්වශ්වාසය, තමකශ්වාසය යන මොහුය. පංචවිධශ්වාසයෙහි සම්ප්‍රාප්ති වූකලි සකල දේභව්‍යාපී ප්‍රකුපිත වාතය තෙම දූෂිත ශ්ලේෂ්මයෙන් ප්‍රාණවායුවාහී, උදකවාහී හා අන්නවාහී ස්‍රෝතසුන් අවුරයි. වක්ෂඃස්ථලය කරා ගියාවූ ඒ දෝෂ වේගය ආමාශය ඇසුරු කොට රැඳෙනුයේ ශ්වසනය කෙරෙයි. ඉක්බිති එහි පූර්වරූප විසින් හෘදය දෑලවර වේදනාව, ප්‍රාණවාතයෙන් කෙරෙන කාර්යයන්හි වියවුල් බව, ආනාහය හෙවත් බඩපිපීම සහ හකු පෙදෙසෙහි බිඳුණාක් වැනි වේදනාව ද වෙයි. එකි එකී ශ්වාස භේදයන්ගේ ලකුණු මෙසේයි.

ක්ෂුද්‍රශ්වාසය

අධික වෙහෙසීම, බොහෝ ආහාර අනුභව කිරීම යන මේ අපථ්‍ය විහරණයෙන් කුපිත වූ වාතය නොමඟ ගොස් ක්ෂුද්‍රශ්වාසය උපදවයි. මේ ශ්වාසය ඉබේ ම සංසිඳේ.

මහාශ්වාසය

මහාශ්වාසයෙන් පෙළෙන රෝගියා ක්ලාන්ත වේ. ගොනකු තප්පුලන්නාක් මෙන් හඬ නඟයි. කුපිතවාතය උඩුකුරු වීමෙන් එය සිදු වේ. එවිට රෝගියාට කිසි හැඟීමක් නොමැති වේ. උගුර වියළී දිව ගොත ගැසෙයි. මූත්‍ර අඩස්සිය ඇතිවේ. හකුපෙදෙස හා දෙකන වේදනාවෙන් යුක්ත වේ.

ජින්නශ්වාසය

ඡින්නශ්වාසයෙහි වේගය නිරතුරුව ම නොතිබෙයි. එහෙත් ශ්වාස හේතුවෙන් මර්මස්ථානයන් සිඳුණාක් වැනි පීඩාව, ඩාදිය ගැලීම, මූර්ඡාව, ආනාහය, මූත්‍රාශයෙහි දැවිල්ල හා මූත්‍ර ඇහිරීම, හිස පහතට නැමීම, නෙත් සෙලවීම හා එක් ඇසක් රතුපාට වීම, කටතොල වියළීම, දෙඩවීම හා ක්ලාන්තය යන මේ උපද්‍රවයන්ගෙන් හා ලකුණුවලින් යුක්ත වේ.

ඌර්ධ්වශ්වාසය

ඌර්ධ්වශ්වාස රෝගියාගේ ඇදුම වේගවත්ව උඩුගන්වයි. හුස්ම පහළට හෙළීම ඉතා දුෂ්කර වෙයි. මුඛය හා ස්‍රෝතසුන් සෙමෙන් ඇවිරෙන බැවින් මෙසේ සිදු වේ. මෙම ශ්වාසයෙහි බිහිසුණු තත්වය මෙයයි. අනික් ශ්වාස රෝගීන්ට කොතෙක් උපද්‍රව ඇතත් හුස්ම පහළට හෙළිය හැකි වන්නේය.

තමකශ්වාසය

කුපිත වූ වාතය විලෝම බැවින් සෙම උඩුකුරුව ගෙන ගොස් ශිරා ස්‍රෝතසුන් අවුරයි. ඒ හේතු කොටගෙන ළමැද හා දෑලවර පෙළෙයි. තියුණු වේගයෙන් ඇදෙයි. උගුරෙහි ගුරු ගුරු ශබ්දය ද අරුචිය ද ප්‍රතිශ්‍යාව හා පිපාසය ද හටගනී. සෙම් වෑහෙන ස්‍රෝතසුන් ඇවිරෙන බැවින් තමකශ්වාස රෝගියා මුසපත් වෙයි. ඒ අතර කැස්සෙන් සෙම නිකුත් වුවහොත් මඳ සුවයක් ලැබෙයි. නිදාගත් කල ඉතා අපහසුවෙන් හුස්ම ඉහළ පහළ ගනී. ශයනයෙන් නැඟිට හිඳගත් කල පීඩනය අඩු වී සුවයක් ලබයි. මේ ශ්වාස රෝගියා උඩුකුරුව බලයි. ඔහුගේ නළලින් ඩාදිය නැගෙයි. පීඩා බහුලයි. මුව වියළෙයි. රෝගය කෙණෙහි කෙණෙහි සෑදෙයි. රෝගියා වෙව්ලයි. උණුදිය කැමති වෙයි. වැස්ස පවතින විට හා වර්ෂා කාලයේ ද ඇති වන ශීත කාලගුණය හා පෙරදිගින් හමන සුළඟ ද සෙම් වඩන ආහාරපානයන් ගැනීම ද රෝගය වැඩි වීමට කරුණු වෙයි. ශරීර ශක්තිය ඇතියවුන්ට හා අලුතෙන් රෝගය වැලඳුණු අයට ද සුදුසු පිළියම් කිරීමෙන් සුවය ලැබේ.

තමකශ්වාසය ජ්වරයෙන් හා මූර්ඡාවෙන් යුක්ත වේ ද ශීතවීර්ය ඖෂධ ආහාරපානාදිය සේවනයෙන් රෝගය උත්සන්න නොවී සංසිඳේ ද ඊට ප්‍රතමකශ්වාස යයි කියනු ලැබේ.

මේ දැක්වුණු ශ්වාස ප්‍රභේද සියල්ල ම වේගය හා උපද්‍රවයන් අඩුවැ සැදුණු කල සාධ්‍ය වේ. සම්පූර්ණ ලක්ෂණයන් සහිතව සැදුණු කල්හි සාධ්‍ය නොවන්නේය. මෙහි නොකියැවුණු සහජ ශ්වාසයක් ද ඇත්තේය. එය වනාහි මවට හෝ පියාට ශ්වාසය තිබුණහොත් ඔවුන්ගෙන් පැවතෙන දරුවකුට ද නියතින් ම වාගේ සෑදෙන ශ්වාසයයි. ඒ සහජ ශ්වාසය යාප්‍ය වෙතත් සාධ්‍ය නොවන්නේය. මාසේපෝය හා පසළොස්වක පොහෝ දිනයන්හි ශ්වාස රෝගය ඇවිස්සේ. හඳපහන පවත්නා කල හමන ශීතල වාතය හා කාලගුණයත් ශ්වාස රෝගීන්ට පථ්‍ය නොවේ.

ආයුර්වේදයෙහි මෙන් ම දේශීය චිකිත්සාවෙහි ද ශ්වාස රෝගයට පිළියම් බොහෝය. රෝගියාගේ ශක්තිය බලා සෙම් වමනය කරවීම ද බෙහෙත් දුම් වර්ග උරන්නට දීම ද ඉන් දෙකකි.

(සංස්කරණය: 1967)

"http://encyclopedia.gov.lk/si_encyclopedia/index.php?title=ඇදුම&oldid=8470" වෙතින් සම්ප්‍රවේශනය කෙරිණි