"ඉස්තාන්බුල්" හි සංශෝධන අතර වෙනස්කම්
Senasinghe (කතාබහ | දායකත්ව) ('තුර්කි සමූහාණ්ඩු රාජ්‍යයෙහි පරිපාලන පළාතක් ද...' යොදමින් නව පිටුවක් තනන ලදි) |
(වෙනසක් නොමැත)
|
10:21, 17 ජූලි 2025 වන විට නවතම සංශෝධනය
තුර්කි සමූහාණ්ඩු රාජ්‍යයෙහි පරිපාලන පළාතක් ද එම පළාතේ ප්‍රධාන නගරය ද මෙනමින් හැඳින්වේ.
ඉස්තාන්බුල් පළාත
බොස්පරස් සමුද්‍ර සන්ධියේ දෙඉවුරෙහි ම විහිදි ඉස්තාන්බුල් පළාත තුර්කියේ ඉල් නමින් දන්නා ප්‍රධාන පරිපාලන කොටස් 67න් එකකි. එය ව.සැ. 2,149ක් විශාලය. මින් ව.සැ. 1,293ක් යුරෝපයේ ද ව.සැ. 856ක් ආසියාවේ ද පිහිටියේ වේ. ඉස්තාන්බුල් පළාතේ ජනගහනය 1,882,092කි.
ඉස්තාන්බුල් නගරය
තුර්කි සමූහාණ්ඩු දේශයෙහි විශාලතම නගරය වූ ඉස්තාන්බුල් බොස්පරස් සමුද්‍ර සන්ධියෙහි දකුණු කෙළවර මාර්මොරා මුහුදේ උතුරු වෙරළෙහි පිහිටියේය. උත්තර අක්ෂාංශ 41° හා නැගෙනහිර දේශාන්තර 29° ආශ්‍රිතව ඇති ඉස්තාන්බුල්හි භූගෝලීය පිහිටීම අවට දේශයන් හා මුහුදු අනුව සලකා බලන කල යුද්ධෝපාය අතින් කදිම මධ්‍යස්ථානයක් වශයෙන් පෙනීයන හෙයින් මේ ස්ථානය ග්‍රීක හා රෝම යුගයේ පටන් ම දියුණු විය. ග්‍රීකයන්ගේ බයිසැන්ටියම් නගරය පිහිටියේ මෙතැනය. මෙගාරාහි බයිසාස් නම් වූ අයකු විසින් ක්‍රි.පූ. 660 දී පමණ මේ නගරය ඉදිකරනු ලැබිණැයි විශ්වාස කරනු ලැබේ. පළමුවෙන් ම ඩෝරියන් සංක්‍රමණිකයන්ගේ ජනපදයක් වූ මේ නගරය සුළු කාලයක් මහා ඩේරියස් නම් වූ පර්සියන් රජු සතු විය. නැවත ක්‍රි.පූ. 479 දී පෝසේනියස් රජුගේ නායකත්වය යටතේ ස්පාටන්වරුන්ගේ ජනපදයක් වූ මෙය පෙලොපොනීසියන් යුද්ධවල දී ඇල්සිබයඩීස් හා ලයිසැන්ඩර් අතර වරක් හුවමාරු විය. ක්‍රි.පූ. 340 දී පමණ මැසිඩොන්හි පිලිප් කුමාරයා මේ නගරය අල්ලාගැනීමට ප්‍රයත්න දැරූ නමුත් එය නිෂ්ඵල විය. මහා ඇලෙක්සැන්ඩර් රජු සමයේ දී පවා නිදහස් නගරයක්ව පැවැති මෙය ක්‍රි.පූ. 146 දී පමණ ගිවිසුමක් අනුව රෝම රාජ්‍යයට බැඳිණි. පසු කාලයේ දී බයිසැන්ටියම් නගරය ඔගස්ටා ඇන්ටොනීනා නමින් හඳුන්වනු ලැබීය.
ක්‍රි.ව. 328 දී මහා කොන්ස්ටන්ටයින් අතට පත් වූ ඔගස්ටා ඇන්ටොනීනා නගරය ‘කොන්ස්තන්තිනෝපල්’ නොහොත් ‘නව රෝමය’ නම් විය. රෝම අධිරාජයන් විසින් අලංකාර කරනු ලැබූ කොන්ස්තන්තිනෝපල් නගරය නැගෙනහිර රෝම අධිරාජ්‍යයේ අගනුවර ද විය. රෝම ගෘහනිර්මාණ ශිල්පය හා නගර නිර්මාණ ක්‍රම අනුව ප්‍රතිසංස්කරණය කර ඉදි කරනු ලැබූ කොන්ස්තන්තිනෝපල් ඵ් කාලයේ දී ඉතා අලංකාර පුරවරයක් විය. ඉන් පසු කාලයේ දී නගර ආරක්ෂාව සඳහා ප්‍රාකාර ඉදි කළ II වැනි තියොඩෝසියස් වැන්නවුන් ද හගියා සොෆායා (Hagia Sophia) පල්ලිය ඉදි කළ ජස්ටිනියන් ආදින් ද නිසා කොන්ස්තන්තිනෝපල් නගරය වඩ වඩා දියුණු වූ අතර ම පර්සියානු, අරාබි, බල්ගේරියානු, රුසියානු ආදි ආක්‍රමණිකයන්ගේ ප්‍රහාරයන්ට ද ලක් විය. බයිසැන්ටියානු අධිරාජ්‍ය සමයේ දී දේශපාලන හා සංස්කෘතික මධ්‍යස්ථානයක් වූ මේ නගරය 1453 දී තුර්කීන්ට යටත් වීමෙන් තුර්කි ඔටොමන් අධිරාජ්‍යයේ අගනුවර බවට පත් විය. 1509 දී ඇති වූ දරුණු භූමිකම්පාවකින් විනාශ වූ මෙය II වැනි සුල්තාන් බජාසෙත් විසින් නැවත ඉදි කරන ලදි. මෙහි තුර්කි සංස්කෘතිය හා සභ්‍යත්වය වඩාත් දියුණු වූයේ II වැනි බජාසෙත්, I වැනි සුලෙයිමාන්, I වැනි අහමද් ආදීන්ගේ රාජ්‍ය කාලයන් ඇතුළත් වූ 16 වැනි ශතවර්ෂය තුළ දීය. 1453 සිට 1922 දක්වා තුර්කියෙහි ප්‍රධාන නගරය වූ මෙය ඉස්තාන්බුල් නමින් හඳුන්වනු ලැබීය. මේ නගරයට ඉස්තාන්බුල් නාමය රජයෙන් අනුමත කරන ලද්දේ 1930 දීය.
1922 දී ඇංකාරා නගරය තුර්කියේ පාලන අගනුවර වූවායින් පසු ඉස්තාන්බුල් නගරය වරායක් හා ප්‍රධාන වාණිජ මධ්‍යස්ථානයක් වශයෙන් වැදගත් වී ඇත. මුස්ලිම් පල්ලි 700කින් හා ක්‍රිස්තියානි පල්ලි 175කින් පමණ යුත් මේ නගරය ආගමික මධ්‍යස්ථානයක් ද වේ. 1520 සිට 1560 දක්වා රජ කළ සුලෙයිමාන් රජු විසින් එහි පැවැති ප්‍රධාන විද්‍යාස්ථාන එක් කොට පිහිටුවන ලද පුරාණ විශ්වවිද්‍යාලයක් ද මෙහි වේ. 1933 දී පූර්ණ ස්වාධීනත්වය ලැබූ මේ ආයතනය වර්තමාන තුර්කියේ ඇති ප්‍රධාන විද්‍යාස්ථානය වේ. උසස් කාර්මික අධ්‍යාපනය සඳහා 1883 දී පිහිටුවන ලද කාර්මික විශ්වවිද්‍යාලයක් ද වේ. කෞතුකාගාර කීපයක් ද ඇති ඉස්තාන්බුල්හි සංස්කෘතික පරිසරය අගනේයි.
ඉස්තාන්බුල් වරායේ පෙර පැවැති සෞභාග්‍යය අද නැති වුව ද නැව් අතර බඩු හුවමාරු කර ගැනීම මේ වරායේ දී බෙහෙවින් සිදු වේ. සම් පදම් කිරීමත් සපත්තු සෑදීම හා සම් භාණ්ඩ නිපදවීමත් මෙහි දියුණු ප්‍රධාන කර්මාන්තය. කපු හා ලොම් පිළී විවීම ද වීදුරු නිපදවීම හා මද්‍යසාර පෙරීම ද මෙහි දියුණු වෙනත් කර්මාන්තයි.
මෙහි ජනගහනය (1960) 1,466,535කි.
(සංස්කරණය: 1970)