"ඉස්ලාමාබාද්-1" හි සංශෝධන අතර වෙනස්කම්
Senasinghe (කතාබහ | දායකත්ව) ('පකිස්ථාන් සමූහාණ්ඩුවේ නව අගනුවරයි. රාවල්පිණ්...' යොදමින් නව පිටුවක් තනන ලදි) |
(වෙනසක් නොමැත)
|
10:26, 17 ජූලි 2025 වන විට නවතම සංශෝධනය
පකිස්ථාන් සමූහාණ්ඩුවේ නව අගනුවරයි. රාවල්පිණ්ඩියට සැතැපුම් හතක් පමණ වයඹ දිගින් පිහිටි ඉස්ලාමාබාද් 1947 දී පකිස්ථාන රාජ්‍යය බිහිවූවායින් පසුව එහි අගනුවර වශයෙන් ඉදි කිරීමේ අභිප්‍රායෙන් ම සංවිධානය කරන ලද වැඩ පිළිවෙළක් අනුව අභිනවයෙන් ගොඩනඟාගෙන යන නවීන නගරයෙකි.
මුල සිට පකිස්ථාන් රාජ්‍යයෙහි අගනුවර වූ කරච්චිය එවකටත් වෙළෙඳ වරායක් හා ජාත්‍යන්තර ගුවන් තොටුපළක් ආදි වශයෙන් කාර්‍ය්‍ය බහුල නගරයක් වූයෙන් එහි ම නවරජයෙහි පාලන කටයුතු ද කේන්ද්‍රගත කිරීමට වඩා රට අභ්‍යන්තරයෙහි නිදහස් භූමිභාගයක පාලන අගනුවර සඳහා නගරයක් ඉදිකිරීම යෝග්‍ය බව ජනාධිපති අයුබ් ඛාන් ප්‍රමුඛ පාලන නායකයන්ගේ තීරණය වූයෙන් 1960 දී අගනුවර ඉදි කිරීම පිළිබඳ කොමිෂන් සභාවක් පත්කර ඉස්ලාමාබාද් නගරය ඉදි කිරීමේ කටයුතු අරඹන ලදි.
මුහුදු මට්ටමේ සිට අඩි 1,700-2,000ක් දක්වා උස් වූ ද වර්ග සැතැපුම් 351ක් විශාල වූ ද මනස්කාන්ත භූමිභාගයක් ඉස්ලාමාබාද් නගරය උදෙසා වෙන් වී ඇත. මාර්ගාලා කඳුකරයෙන් ගලා එන ඇළදොළ කඳුරුවලින් පෝෂණය වන මෙම භූමිය සාරවත්ය. උතුරු දිගින් පිහිටි කඳුවල බලපෑම නිසා මෙහි දේශගුණය සුඛදායකය. අවට භූලක්ෂ අනුව ඉස්ලාමාබාද්හි භූගෝලීය පිහිටීම ද ආරක්ෂා සහිතය.
මෙම නගරය ඉදි කිරීම සඳහා මූලික සැලැස්ම සැකැසුම් කරන ලද්දේ බල්ගේරියානු ජාතික කොන්ස්ටන්ටයින් ඩොක්සිඩේස් නමැති නගර නිර්මාණ ශිල්පියා විසිනි. එසේ වුව ද නගරාභ්‍යන්තරයෙහි ඒ ඒ කොටස්වල නිර්මාණශිල්පීය කටයුතු වෙනත් සැලැසුම් කරුවන් සමූහයකගේ උවදෙස් අනුව සංවිධානය වී ඇත. පාලන අංශ, රාජ්‍ය දූත සේවා, නිවාස කොට්ඨාස, කාර්මික ආයතන ආදිය සඳහා වෙන් වූ විශේෂ කොට්ඨාස ද අධ්‍යාපනය හා විනෝදය සඳහා වූ ජාතික උද්‍යාන භූමි ද රාවල්පිණ්ඩි හා ඉස්ලාමාබාද් නගර අතර රෝපිත වනභූමි ආදිය ද මෙම නව නගරයෙහි විශේෂ ලක්ෂණයෝය. ඉස්ලාමාබාද් නගරය තුළ නොයෙකුත් වර්ගයේ මාර්ග සැතපුම් 110ක් පමණ ඇත. 60,000ක් පමණ ජනගහනයක් උදෙසා අවශ්‍ය ජලය සපයා ගැනීම සදහා මාර්ගාලා කඳු ප්‍රදේශයෙන් උල්පත් ජලය ලබාගැන්මට විධිවිධාන යොදා ඇත. මේ සඳහා රාවල්පිණ්ඩියට සැතැපුම් 20ක් පමණ ඔබ්බෙහි සෝන් ගඟ හරහා වේල්ලක් බැඳ ජලාශයක් ඉදි කරනු ලැබේ. විදුලි බලය, වායු බලය, සෞඛ්‍ය සේවා ආදි පහසුකම් සපයාගැන්ම උදෙසා ද විධිවිධාන යොදා ඇත.
ඉස්ලාමාබාද් නගරය සකලාංග සම්පූර්ණ අගනුවරක් වශයෙන් දියුණු වෙමින් පවත්නා අතර නගරයේ ජනගහනය (1968) 50,000කට අධිකය. 1968 ප්‍රථම කාර්තුව වන විට පකිස්ථාන් මහාආණ්ඩුවේ අමාත්‍යාංශ කීපයක් මෙනුවරට ගෙන ගොස් වැඩ කටයුතු අරඹා තිබුණු අතර ඉක්මනින් ම ඉතිරි ඒවා ද එනුවර පිහිටුවීමට කටයුතු සූදානම් කරමින් පැවැතිණ.
(සංස්කරණය: 1970)