"ඉල්තුත්මිෂ්" හි සංශෝධන අතර වෙනස්කම්
Senasinghe (කතාබහ | දායකත්ව) ('ඉන්දියාවේ මුස්ලිම් සමය ආරම්භයේ දී දිල්ලියේ ර...' යොදමින් නව පිටුවක් තනන ලදි) |
(වෙනසක් නොමැත)
|
12:11, 31 ජූලි 2025 වන විට නවතම සංශෝධනය
ඉන්දියාවේ මුස්ලිම් සමය ආරම්භයේ දී දිල්ලියේ රජ පැමිණි සුල්තාන්වරයෙකි. ඉල්තුත්මිෂ්ගේ රාජ්‍යසමය 1211-1236 දක්වා වේ. ඔහු අයත් රාජවංශය වහල් වංශය යයි සාමාන්‍යයෙන් හැඳින්වෙතත් එසේ හැඳින්වීම කිසි සේත් උචිත නොවේ. එම රාජවංශයට අයත් වූවන්ගෙන් වහලුන් වශයෙන් සිටියේ තිදෙනකු පමණි. එම තිදෙනාගෙන් දෙදෙනෙක් ම රාජ්‍යයට පත්වන්නට කලින් වහල්භාවයෙන් මිදී සිටියහ. මධ්‍යතන යුගයේ ඔවුන් හැඳින්වීමට යොදාගත් මම්ලුක් යන්න වහල් රාජවංශය යන්නට වඩා උචිත යයි සැලකීමට පුළුවන.
ඉල්තුත්මිෂ්ගේ සම්පූර්ණ නාමය මලික් ෂම්ස් උද්දීන් ඉල්තුත්මිෂ්ය. ඔහු වැදගත් තුර්කි ගෝත්‍රයක් වූ ඉල්බාරි ගෝත්‍රයට අයත් වූවෙකි. බාල කාලයේ සිට ම දක්ෂකම් දැක්වූ හෙයින් ඉල්තුත්මිෂ් තම පියාගේ ප්‍රියතම පුත්‍රයා වූයේය. මෙයින් ඊර්ෂ්‍යාවට පත් ඔහුගේ අනෙක් සහෝදරයෝ ඔහු වහල් වෙළෙඳුන්ට විකුණූහ. පසුව ඔහු දිල්ලියේ ප්‍රථම සුල්තාන්වරයා වූ කුතුබ්-උද්-දීන් අයිබෙක්ගේ වහලකු බවට පත් විය. ඔහුගේ දක්ෂකම් හේතුවෙන් අයිබෙක්ගේ ආදරයට පාත්‍ර වූ ඔහුට අයිබෙක්ගේ දුවක් සරණ පාවාගැනීමට හා වහල්බවින් මිදීමට ද හැකි විය. ඔහු බරන් නම් ප්‍රදේශයේ ආණ්ඩුකාරකමට ද පත් කරන ලදි.
1210 දී සිදු වූ අයිබෙක්ගේ මරණයත් සමඟ ම රාජපදප්‍රාප්තිය සඳහා අරගළයක් ඇති විය. අයිබෙක්ගේ පුත්‍රයා වූ ආරාම් ශා ලාහෝරයේ රජ බවට පත් වූ අතර දිල්ලියේ සිටි බලවත් වහලුන් කණ්ඩායමකගේ ආධාරය ඉල්තුත්මිෂ්ට ලැබිණි. දෙදෙනා අතර අටමසක් පමණ පැවතුණු සටනින් අවසන් ජය අත් වූයේ ඉල්තුත්මිෂ්ටය. මෙසේ වුව ද ඉල්තුත්මිෂ්ට සාමකාමී පාලනයක් ගෙන යාමට තරම් සුදුසු තත්වයක් නොවීය. ඇතුළතින් හා පිටතින් පැනනැඟුණු තර්ජන විශාල සංඛ්‍යාවකට මුහුණ පාන්නට ඔහුට සිදු විය. මේ වන විට මුල්තාන් හා සින්ධ් යන ප්‍රදේශ ඝෝර්හි මුහම්මද්ගේ තවත් සෙන්පතියකු වූ කබාවා යටතේ පැවතුණි. ඝස්නි ප්‍රදේශය නතු කර ගෙන සිටි යිල්දිශ් ද දිල්ලියේ පාලනය ලබාගැනීමට බලාපොරොත්තු වෙන් සිටියේය. බිහාර හා බෙංගාල යන ප්‍රදේශ (ලඛ්නාවතී) භක්ත්යාර් ඛල්ජිගේ අනුප්‍රාප්තයකු යටතේ නිදහස් මුස්ලිම් රාජ්‍යයක් වශයෙන් තිබිණි. මේ හැරෙන්නට අයිබෙක් විසින් යටත් කරන ලද රන්තම්භෝර් හා ග්වාලියෝර් යන ප්‍රදේශවල හින්දූහු නැවතත් බලයට පත්ව සිටියහ.
මෙවැනි තර්ජන සියල්ලට ම මුහුණ පෑමට ඉල්තුත්මිෂ් සමත් විය. එකල සිටි වහල් රාජවංශිකයන් අතර කාර්යක්ෂම හා බලසම්පන්න පුද්ගලයා වූයේ ඔහුය. දිල්ලි සුල්තාන් රාජ්‍යයේ චිරස්ථිතියට අවශ්‍ය වූයේ ද එවැනි කෙනකුගේ නායකත්වයයි. අයිබෙක් මෙන් නොව ඉල්තුත්මිෂ් සිතා මතා කටයුතු කළ තැනැත්තෙක් විය. තමාගේ දුර්වලකම් මැනවින් අවබෝධ කොටගත් ඔහු රාජ්‍යයට පත් වූ විගස ම විරුද්ධවාදීන් මැඩීමට උත්සාහ නොගත්තේය. ඒ වෙනුවට විරුද්ධවාදීන් මැඩීමට සුදුසු කාලය එළඹෙන තෙක් තමාගේ ශක්තිය දියුණු කරගැනීමට උත්සාහ කෙළේය. මුල දී යිල්දිශ්ගේ ආධිපත්‍යය පිළිගත් ඔහු තමාගේ හමුදාව සකස් කිරීමට කාලය යෙදුවේය. 1215 දී ඝස්නියේ වූ දේශපාලන වියවුල් හේතුවෙන් යීල්දිශ්ට පැනයාමට සිදුවූ අවස්ථාවේ දී ඔහු විනාශ කර දැමීමට ඉල්තුත්මිෂ් සමත් විය. කබාවා පරාජයට පත් කිරීමට 1228 දක්වා බලා සිටීමට ඔහුට සිදු විය. මෙම අවධියේ මධ්‍යම ආසියාවේ දේශපාලන තත්වයේ වැදගත් වෙනස්වීමක් මොංගල් ආක්‍රමණ නිසා ඇති විය. මධ්‍යම ආසියාවේ සියලු ප්‍රදේශ යටත් කොටගත් ජෙන්ඝිස් ඛාන් ඔහුගේ ආක්‍රමණ සින්ධු නදිය තෙක් ගෙන ගියේය. ඉන්දියාව දෙසට පළමු මොංගල් ආක්‍රමණය එල්ල වූයේ ඉල්තුත්මිෂ්ගේ රාජ්‍ය සමයේ දීය. සින්ධු නදිය තෙක් ආක්‍රමණය මෙහෙයවූ ජෙන්ඝිස් ඛාන් සින්ධු නදී තීරයෙහි භටහමුදා නවත්වා ආපසු ගමන් කළේය. මොංගල් ආක්‍රමණ නිසා ඇති වූ වියවුල්වලින් ප්‍රයෝජන ගත් ඉල්තුත්මිෂ් කබාචාගේ බලය විනාශ කර දැම්මේය. මොංගල් බලය ගැන දත් ඉල්තුත්මිෂ් ඔවුන් ප්‍රකෝප නොකිරීමට වග බලාගත්තේය. මේ හේතුවෙන් ඉන්දියාවට එල්ලවීමට තුබුණු බලවත් තර්ජනයක් මඟහැරවීමට ඔහු සමත් විය.
එයින් පසුව ඉල්තුත්මිෂ් ලඛ්නාවතී රාජ්‍යය දෙසට නෙත් සිත් යොමු කෙළේය. සටන් කිහිපයකින් පසුව 1229 වන විට එම ප්‍රදේශවල ආධිපත්‍යය ලබාගැනීමට ඔහු සමත් විය. මෙහි දී සේනා මෙහෙයවීම ඔහු විසින් ම කැරිණි. අවසාන වශයෙන් ඔහුට තිබුණේ සුල්තාන් රාජ්‍යයේ දකුණු දිග සීමාවේ බලවත්ව සිටි හින්දු රාජ්‍යයන් යටත් කර ගැනීමය. මෙම ආක්‍රමණයන් ඔහු ආරම්භ කරන ලද්දේ 1226 දීය. එම වර්ෂයේ දී රන්තම්භෝර් හා මන්ඩාවර් යන ප්‍රදේශ ඔහු අල්ලාගත්තේය. ගුජරාථ දේශය අල්ලාගැනීමට කළ උත්සාහයක් අසාර්ථක වූ බව රාජ්පුත් වාර්තාවල සඳහන් වේ. අජ්මීර් බලකොටුව ශක්තිමත් කළ ද එයින් චාහමාන බලය මැඩපැවැත්වීමට නොහැකි විය. 1234-35 කාලයේ දී මාල්වා ප්‍රදේශය ආක්‍රමණය කළ ඔහු විශාල වස්තුවක් කොල්ලකාගත්තේය. ග්වාලියෝර් බලකොටුව නැවත අල්ලාගැනීමට ද ඔහුට හැකි විය. ගංගා-යමුනා ප්‍රදේශයේ හින්දු බලවතුන් මැඩ පැවැත්වීමට ඔහු සටන් කිහිපයක් කළ ද සමහර හින්දු ගෝත්‍ර විනාශ කිරීමට ඔහුට නොහැකි විය. හින්දු රාජ්‍යයන් කෙරෙහි ඔහු ගත් පියවර සාර්ථක වී යැයි සිතිය නොහැකිය. පසු කාලයේ පහළ වූ බල්බන් වැනි සුල්තාන්වරුනට ද ඔවුන් සමඟ සටන් කරන්නට සිදු විය. මේ ජයග්‍රහණයන්ගේ හේතුවෙන් 1229 දී බැග්ඩෑඩ්හි කාලිප් විසින් ඉල්තුත්මිෂ් ඉන්දියාවේ නියම පාලකයා ලෙස පිළිගනු ලැබූ අතර “ආගමේ ආරක්ෂකයා” යන විරුදය ද ඔහුට ප්‍රදානය කරන ලදි. 1236 දී ඔහුගේ මරණය සිදු විය.
දිල්ලි සුල්තාන් රාජ්‍යයේ දියුණුවට ඉල්තුත්මිෂ්ගෙන් වූ සේවය ඉතා වැදගත්ය. ඔහු යටතේ මුස්ලිම් බලය අලුත් ප්‍රදේශවලට ව්‍යාප්ත නොවුව ද එතෙක් මුස්ලිම් බලය පැතිරී තුබුණු ප්‍රදේශ එක්සත් කිරීමට ඔහුට හැකි විය. ඔහු බලයට පත් වන විට දිල්ලි සුල්තාන් රාජ්‍යයට අයත් වූයේ දිල්ලිය අවට ප්‍රදේශය පමණි. ඔහුගේ මරණය සිදු වන විට දිල්ලි සුල්තාන් රාජ්‍යයට විශාල ප්‍රදේශයක් අයත්ව තිබිණි. නියම රජ පෙළපතක ආරම්භය ඇති කිරීමට හැකි වූයේ ඔහුටය. මෙයට පෙර රජ කෙනකුන් පත් කිරීමේ අයිතිය තිබුණේ රාජ්‍යයේ රදලවරුන් අතේය. ඔහුගේ අවසාන කාලයේ දී තමාගේ අනුප්‍රාප්තයා වශයෙන් රශිය්යා කුමරිය ඔහු විසින් නම් කරන ලද්දේ රජපෙළපත පිහිටුවීමටයි. අයිබෙක් දිල්ලි සුල්තාන් රාජ්‍යයේ ප්‍රථම සුල්තාන් වුවත් එම රාජ්‍යයේ නියම ප්‍රතිෂ්ඨාපකයා ඉල්තුත්මිෂ්ය. ඝස්නිය සමඟ පැවති සියලු සම්බන්ධකම් අත්හැර දිල්ලි සුල්තාන් රාජ්‍යය ස්වාධීන රටක් බවට පත් වූයේ ඔහුගේ කාලයේ දීය.
ඉල්තුත්මිෂ්ගේ රාජ්‍ය සමය දේශපාලනය අතින් පමණක් නොව සංස්කෘතික කටයුතු අතින් ද වැදගත්ය. වැදගත් මුස්ලිම් ලේඛකයන් කිහිප දෙනකුන්ට ම ඔහුගේ අනුග්‍රහය ලැබුණේය. අයිබෙක් විසින් ආරම්භ කරන ලද දිල්ලියේ කුටුබ් මිනාර් ස්මාරකය සම්පූර්ණ කොට ගොඩනහන ලද්දේ ඔහු විසිනි. එමෙන් ම මුස්ලිම් දේවස්ථාන සංඛ්‍යාවක් ම ඔහු විසින් ගොඩනඟන ලදි. මරණයට පෙර තමා ම උදෙසා ඔහු ගොඩනැඟූ සොහොන් කොත හින්දු-මුස්ලිම් ගෘහ නිර්මාණ ක්‍රමද්වයේ සංකලනයකි. එසේ වුව ද හින්දූන් කෙරෙහි ඔහු ගෙන යන ලද්දේ අසහනශීල ප්‍රතිපත්තියකි.
(සංස්කරණය: 1970)