"ඇන්ටියොක්" හි සංශෝධන අතර වෙනස්කම්
Senasinghe (කතාබහ | දායකත්ව) ('(ඇන්ටාකියා). ඔරොන්ටීස්නදිය ආශ්‍රිතව ක්‍රි.පූ. 30...' යොදමින් නව පිටුවක් තනන ලදි) |
(වෙනසක් නොමැත)
|
10:24, 26 අගෝස්තු 2025 වන විට නවතම සංශෝධනය
(ඇන්ටාකියා). ඔරොන්ටීස්නදිය ආශ්‍රිතව ක්‍රි.පූ. 300 දී පැනනැඟුණු පැරණි නගරයකි. දැන් ඇන්ටාකියා නමින් හැඳින්වෙන මේ නගරය මෙකල අයත් වනුයේ තුර්කියටය. මෙය ඉප්සස් (ක්‍රි.පූ. 301) ජයග්‍රහණයෙන් පසුව ඇලෙක්සැන්ඩර්ගේ සේනාපතියකු වූ සෙලූකස් නිකේටර් (බ.) විසින් ගොඩනඟන ලද නගර දෙකින් එකකි. සෙලූසිඩ් අධිරාජ්‍යයේ බටහිර කොටසේ අගනුවර වශයෙන් පැවතියේ ඇන්ටියොක් නගරයයි. නැගෙනහිර සෙලූසිඩ් අධිරාජ්‍යය බිඳ වැටීමෙන් පසුව සෙලූසිඩ් රජවාසල පිහිටියේ මෙම නගරයේයි.
ඇන්ටියොක් නගරය පෙර පටන් ම වෙළෙඳ මධ්‍යස්ථානයක්ව පැවතිණි. සුළු ආසියාව හා මෙසපොටේමියාව සම්බන්ධ කළ වෙළෙඳ මාර්ගයක් මේ හරහා වැටී තිබිණි. ඇන්ටියොක් නගරය ගොඩනගන ලද්දේ ග්‍රීක නගරයක ආකෘතිය අනුවය. ග්‍රීක නගරයකට අයත් නෘත්‍යාගාර, නාන තටාක, කුලුනු හා කෞතුකාගාර යනාදියෙන් එය අලංකාර විය.
සෙලූසිඩ් රාජවංශය බිඳ වැටීමෙන් පසුව ඇන්ටියොක් රෝමවරුන් යටතට පත් විය. මෙය රෝම ප්‍රදේශයක ප්‍රධාන නගරය ද විය. මෙම නගරය කලින් කලට භූමිකම්පාවලින් විනාශ වූ බව සඳහන් වේ. රෝම අධිරාජයෝ විනාශ වූ නගරය නැවත ගොඩනැංවීමෙන් නොනැවතී ඊට අලුත් අංග ද එකතු කළහ.
ඇන්ටියොක් නගරය ක්‍රිස්තියානි මධ්‍යස්ථානයක් වශයෙන් ද ඉතා වැදගත් වේ. ජෙරුසලම වැටීමෙන් පසු ක්‍රිස්තියානි ලෝකයේ ප්‍රධාන මධ්‍යස්ථානය වූයේ එයයි. එය සාන්තුවරයන් කිහිප දෙනකුන්ගේ ජීවිතයන් හා සම්බන්ධව පැවැත්තේය. ක්‍රිස්තියානි ආගම රෝම අධිරාජ්‍යයේ රාජ්‍ය ආගම බවට පත් කළ කොන්ස්ටන්ටයින් අධිරාජයා විසින් ක්‍රි.ව. 341 දී අලංකාර දේවස්ථානයක් මෙහි ගොඩනංවන ලදි. ආගමික ගැටලු සම්බන්ධයෙන් ද මෙම නගරය වැදගත් තැනක් ඉසිලීය.
ක්‍රි.ව. 540 දී සසනිඩ් අධිරාජයා වූ කොස්රෝස් විසින් මෙය යටත් කොට ගිනිතබා විනාශ කරන ලදි. බයිසන්ටයින් අධිරාජයෝ නැවතත් මෙය ගොඩනැංවූහ. 638 දී අරාබීන් විසින් අල්ලා ගන්නා ලද මෙම නගරය නැවතත් 10 වන ශත වර්ෂයේ දී බයිසන්ටයින් රාජ්‍යයට අයත් විය. 1097 දී කුරුස යුද්ධකරුවන් විසින් අල්ලාගනු ලැබ ඔවුන් යටතේ ශතවර්ෂ දෙකක් පමණ කාලයක් පැවතිණි. 1517 දී එය තුර්කියට අයත් විය. 1920 දී ජාතීන්ගේ සංගමයේ අනුදැනුම අනුව ප්‍රංසය යටතට පත් මෙය 1939 දී නැවතත් තුර්කියට ම පවරා දෙන ලදි.
1931-39 අතරතුර කාලයේ කරන ලද පුරා විද්‍යාත්මක ගවේෂණයන් මගින් පැරණි නෂ්ටාවශේෂ සොයාගෙන ඇත.
දුම්කොළ, කපු, තිරිඟු, ඔලිව් ආදිය වගා කරන වර්තමාන ඇන්ටාකියාහි සේද කර්මාන්තය හා සතුන් ඇති කිරීම ද දියුණුවට කෙරෙයි. ජනගහනය (1950) 30,385කි.
(සංස්කරණය: 1967)