"ඇන්ටියෝකස්" හි සංශෝධන අතර වෙනස්කම්
Senasinghe (කතාබහ | දායකත්ව) ('සිරියාවේ සෙලූසිඩ් රාජවංශයට අයත් රජවරුන් දහතු...' යොදමින් නව පිටුවක් තනන ලදි) |
(වෙනසක් නොමැත)
|
10:27, 26 අගෝස්තු 2025 වන විට නවතම සංශෝධනය
සිරියාවේ සෙලූසිඩ් රාජවංශයට අයත් රජවරුන් දහතුන් දෙනෙක් ම මෙනමින් හඳුන්වන ලදහ. මේ රාජවංශයේ ප්‍රථමයා වූයේ මහා ඇලෙක්සැන්ඩර් රජුගේ සෙන්පතියකු වූ සෙලූකස් නිකේටර්ය. පහත විස්තර වනුයේ වඩා වැදගත් සිව් දෙනකු ගැන පමණි.
ඇන්ටියෝකස් I සෝටේර්
(ක්‍රි.පූ. 280-261). සෙලූකස් නිකේටර්ගේ පුත්‍රයා වූ මොහු නිකේටර්ගේ මරණයෙන් පසු රජ විය. ඇන්ටියෝකස්ගේ ප්‍රධාන කාර්යය වූයේ සිරියාවේ දේශපාලන බලය රැකගැනීමයි. මේ සඳහා ඔහුට මුළු ජීවිත කාලය තුළ දී ම සටන්වල යෙදෙන්නට සිදු විය. ඔහුගේ වැදගත් ම කාර්යය වශයෙන් සැලකිය හැක්කේ ගෝල් ප්‍රදේශවාසීන්ගේ ආක්‍රමණයක් මැඩපැවැත්වීමය. සෝටේර් (ගැළවුම්කාරයා) යන නාමය ලදුයේ එයට පසුවයි. මේ රජතුමාගේ රාජ්‍ය කාලය යවන සමයේ ස්වර්ණමය යුගය ලෙස සැලකේ.
ඇන්ටියෝකස් II තෙයොස්
(ක්‍රි.පූ. 261-246). පළමුවන ඇන්ටියෝකස් රජතුමාගේ පුත්‍රයකු වූ මොහුගේ පාලනය අනුකම්පා විරහිත එකක් විය. මේ රජතුමා මිසරයේ ටොලමි ෆිලඩෙල්ෆස් රජතුමාගේ දියණියක විවාහ කර ගත්තේය. මෙයින් මිසරයත් සිරියාවත් අතර ගැටුම් කලකට නතර විය. අශෝක මෞර්‍ය්‍යයන්ගේ II, XIII වන ප්‍රධාන ගිරි ලිපිවල සඳහන් යවන රජතුමා මෙතුමා යයි ඉතිහාසඥයන් හඳුනාගෙන ඇත. මේ රජතුමාගේ කාලයේ දී පාර්තියා සහ බැක්ට්‍රියා යන ප්‍රදේශ සෙලූසිඩ් අධිරාජ්‍යයෙන් බිඳී ගියේය. මොහුගේ මරණයෙන් පසුව සිහසුන සඳහා පුතුන් අතර අභ්‍යන්තර යුද්ධයක් ඇති විය.
ඇන්ටියෝකස් III
(ක්‍රි.පූ. 223-187). මහා ඇන්ටියෝකස් යන නමින් ද හඳුන්වනු ලබන මොහු සෙලූසිඩ් රාජවංශයේ ශ්‍රෙෂ්ඨතම රජතුමා ලෙස ගැනේ. සුළු ආසියාව සහ මිසරය යන ප්‍රදේශවලත් පෙරදිගත් කරන ලද සටන්වලින් ඔහුට සෙලූසිඩ් රාජ්‍යය ව්‍යාප්ත කිරීමට හැකි විය. මිසරය සමඟ ඔහු ගැටුණේ පලස්තීනය උදෙසාය. මිසර යුද්ධවලින් පසුව නැගෙනහිර බලා ගමන්ගත් ඔහු පාර්තියාව සහ බැක්ට්‍රියාව සමඟ ද ගැටුණේය. ක්‍රි.පූ. 205 දී පමණ ඔහු ඉන්දියාව ආක්‍රමණය කළ බව සඳහන් වේ. රෝමය සමඟ සටන් කළ ප්‍රථම යවන රජතුමා මොහුය. දෙවරක් ම රෝමවරුන් අතින් පරාජය ලැබූ මොහුට ඇපමියා ගිවිසුමෙන් (ක්‍රි.පූ. 188) පසුව සුළු ආසියාවෙන් අල්ලා ගන්නා ලද ප්‍රදේශ ආපසු පවරා දීමට සිදු විය. එමෙන් ම කප්පම් වශයෙන් විශාල මුදලක් ගෙවීමට ද සිදු විය.
ඇන්ටියෝකස් IV එපිෆනීස්
(ක්‍රි.පූ. 175-164). අවසාන බලවත් සෙලූසිඩ් රජතුමායි. පිරිහී යමින් තිබුණු අධිරාජ්‍යය නැවත ගොඩ නැඟීමට හේ උත්සාහ දැරීය. පලස්තීනයත් කෝල්-සිරියාවත් මිසරයෙන් ආපසු ලබා ගැනීමට හෙතෙම සමත් විය. මිසරයේ ඔහු ලැබූ යුද්ධ ජයග්‍රහණවලින් ප්‍රතිඵල ලබාගැනීමට රෝමවරුන්ගේ මැදිහත් වීම නිසා ඔහුට නොහැකි විය. තම රාජ්‍යයේ වූ නොයෙක් ජාතීන් යවන සංස්කෘතිය යටතට ගෙන ඒමේ පියවරක් වශයෙන් ඔහු යුදෙව් ජාතීන් කෙරෙහි අසහනශීල ප්‍රතිපත්තියක් අනුගමනය කළේය. ඔහුගේ රාජ්‍ය කාලයෙන් පසු සෙලූසිඩ් අධිරාජ්‍යය ශීඝ්‍රව පිරිහෙන්නට විය.
ඇන්ටියෝකස් නම දැරූ අනෙක් රජවරු දුර්වලයෝ වූහ. පොම්පේ විසින් ක්‍රි.පූ. 64 දී සිරියාව රෝම අධිරාජ්‍යයට ඈඳා ගැනීමෙන් පසුව සෙලූසිඩ් රාජවංශය අවසන් විය.
(සංස්කරණය: 1967)